| උවනත දිලිසෙනා පානා සඳ | සෙ මි නා |
| සියොගත බබළනා නානා රුවෙනි | මනා |
| සිහිවෙන පියමනා නූනා අදර | ගුනා |
| මගේසිත වෙහෙසෙනා නෝනා නුඹව | ගැනා |
ඇලපාත මුදලිගේ කවි හසුන තම සුරතින් ගත් ගජමන් නෝනා වරක් නොව දෙතුන් වරක්ම මේ කවිය කියෙව්වාය.
සැමියාගේ අභාවයෙන් පසුව මේ වනවිට වසර හයකටත් වඩා ගෙවී ගොසිනි. ඇලපාත මුදලි හා කවි හසුන් හුවමාරු කරගන්නා අතර ඔහු සමග ඇරඹි පේ‍්‍රමයේ මල්ද පිපී තිබේ.
තවදුරටත් තනියහනේ නිදාගත යුතුදැයි ගජමන් නෝනා කල්පනා කළාය.
| නෙතට දුකයි නුඹෙ උවනත | නොදැකීම |
| කනට දුකයි නුඹෙ අම බස් | නොඇසීම |
| කයට දුකයි නුඹෙ සුපහස | නොලැබීම |
| හිතට දුකයි මෙළෙසින් නිති | පසුවීම |
ඇලපාත මුදලි නැවතද ලියා එව්වේය. මේ වනවිට ගජමන් නෝනාටද තනියහන එපා වී තිබිණි.
| සිත පමා නොවන පදරුත් | දන්න |
| සිත යොමා වසන සරසවි පමන | මෙන |
| සිත පෙමා කරන මැතිඳුනි | සුපසන්න |
| මම පමාවුනයි නොසතුටු | නොමවන්න |
ගජමන් නෝනා ඇලපාත මුදලිට එසේ ලියා යැව්වාය.
අන්තිමේදී එතෙක් කලක් තම හිතේ හැංගී තිබුණ පේ‍්‍රමයට පියාපත් ලැබිණි. ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන පැමිණියේය. තවදුරටත් තම හැඟීම් සඟවා තබාගත යුතු නැති බව ගජමන් නෝනා තීරණය කළාය. ඇලපාත මුදලි සමග තහනම් පේ‍්‍රමයේ රස පහස භුක්ති විඳින්නට ඇය හිත හදාගත්තාය.
ඔවුන්ගේ හමුවීම් අතිශයින්ම රසවත් විය. දෙදෙනාම කවීහුය. ඔවුහු හමුවන හැම මොහොතකම කවි කීහ.
| මද මත් දිගු හොඬින් දස අත | පිඹින්නිය |
| ළැම පත් පියයුරන් හස පොළඹ | වන්නිය |
| සිරිමත් ඒ ගජමන් නෝනා | ඇතින්නිය |
| තෙරහත් රඹ උයන සිඳ බිඳ | හෙළන්නිය |
ඇලපාත මුදලි එක්තරා සන්ධ්‍යාවක ගජමන් නෝනාට ඇසෙන්නට පැවසුවේය.
ගජමන් නෝනා වහා මෙසේ පැවැසුවාය.
| වැස තදින් ගලන සිව් ඕගය | ඈත |
| විසිරෙමින් පිරීගිය නොරදා | මෑත |
| තම දහම් බැම්ම බැඳි වැර | ඇලපාත |
| බිඳ ගොසින් වැටුණි නාරියතොට | ඇත |
ගජමන් නෝනා බලන්නට ඇලපාත මුදලි පැමිණි විට ඔහු ඉක්මණින් ආපසු ගියේ නැත. ඇතැම් විට රාත්‍රිය පවා ඔහු ගතකළේ ගජමන් නෝනාගේ පුංචි නිවහනේය. තම සුවිසල් ඇලපාත වලව්වට වඩා වැඩි සැපක් ඔහුට ගජමන් නෝනාගේ නිවසේදී දැනුණි. ඇය උයා පිහා දෙන කෑමද රසවත්ය. එම කෑමවලින් ඔහුගේ රස නහර පිනා ගියේය. කෑම සේම ඇගේ රූසිරියද ආදරයද මී පැණි තරමටම රසවත් විය.

ඇලපාත මුදලි, ගජමන් නෝනා එකගෙයි දීග කන පුවත සමකාලීන කවි කිවිඳියන් අතරද පැතිර ගියේය. රංචාගොඩ ළමයා කවි මඩුවලට ගිය විට ගජමන් නෝනාගේ මේ අනියම් සම්බන්ධය ගැන පහර ගැසුවාය. එවිට ගජමන් නෝනා හොඳ වචනවලින් උත්තර දුන්නේ රංචාගොඩ ළමයාගේ කට වැහෙන පරිද්දෙනි.
මේ කාල පරිච්ෙඡ්දය ගජමන් නෝනාට අග හිඟ දැනුණ කාලයක් නොවේ. ඇගේ වැඩිමහල් දරුවෝ ගුරුවෘත්තිය ලැබී කොළඹ පැත්තේ පාසල්වල ඉගැන්වූහ. ගජමන් නෝනාට තිබුණේ ඇලපාත මුදලි සමග පේ‍්‍රමය සමපාත කිරීමට පමණකි.
එහෙත් කාලයත් සමග ගජමන් නෝනාගේ රූසිරිය වියැකී ගියේය. ඇලපාත මුදලිගේ කවි සිතද වියැළුණේ ඒ නිසාමය. කලක් බොහෝ ආශාවෙන් ප්‍රාර්ථනා කළ ගජමන් නෝනාගේ රස පහසම ඇලපාතට එපාවිය.
අන්තිමේදී ඔහු පැදුරටත් නොකියාම යන්නට ගියේ ගජමන් නෝනා අන්තෙටම අසරණ කරමිනි.
ගෙදරින් නික්ම ගිය දරුවන්ටද ගජමන් නෝනා එපාවී තිබිණි. පිටව ගිය එක දරුවෙකුවත් ලියුම් කරදාසියක් තරම්වත් එව්වේ නැත. වෙන එකක් තියා ඇලපාත මුදලිවත් ගජමන් නෝනාට එක කවියක්වත් ලියා එව්වේ නැත.
වරක් මේ ගැන දුක සිතුණු ගජමන් නෝනා මේ නිහඬතාවය ගැන අසා ඇලපාත මුදලිට හසුනක් යැව්වාය.
එයට ලැබුණු පිළිතුර ඇය කවදාවත් ප්‍රාර්ථනා කළ පිළිතුර නම් නොවේ.
| මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක් | හදේ |
| කෙමෙන් එය නැතිව නුඹ සිිටි නිසා | තදේ |
| මේ දැන් කියමි කරුණක් දැනගන්න | හොඳේ |
| නිවන් දකින තුරු මට ඔබ එපා | ලඳේ |
ඒ කවිය කියවන විට ගජමන් නෝනාට ඇඬිණි. ඇයට සිහිපත් වූයේ තල්පේ ආරච්චි සහ උයන්වත්තේ මුහන්දිරම් යන දෙදෙනාවය. ඔවුන් ජීවතුන් අතර සිටියානම් ඇලපාත මුදලි මෙන් කවදාවත්ම ඇයව ප්‍රතික්ෂේප නොකරන බව ගජමන් නෝනාට සිතිණි.
සැබෑ ආදරය යනු රස පහස වෙනුවෙන් කෙරෙන බාල බැඳීමක් නොව ඊට එහා ගිය අධ්‍යාත්මික බන්ධනයක් බව ගජමන් නෝනා තේරුම් ගත්තාය.
ඇය ඇලපාත මුදලිට පිළිතුරු ලිව්වේ දෙනෙත තෙත් කළ කඳුළු වලිනි.
| මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම | හදේ |
| කෙමෙන් එය දැඩිව අලි කළුගලක් | ලෙදේ |
| මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද | වදේ |
| නිවන් දකින තුරු මා හැර කවුද | හොඳේ |
ඇලපාත මුදලිඳු වෙතින් ප්‍රතික්ෂේප වූ පසුව ගජමන් නෝනා ගතකළේ අතිශය දුෂ්කර වූ ජීවිතයකි. විටෙක ඇයට සිදුවූයේ බඩගින්නට වතුර විතරක් බී නිදාගන්නටය. ඇයට පිහිටට සිටියේ නෝනාගම වැව පමණක්මය.
ඒ වනවිට ඩොයිලිද මාතර සිටියේ නැත. ඔහුවත් සිටියානම් තම දුක ඔහුට හෝ කියාගන්නට ඉඩ තිබිණි. ඒ වෙද්දී ජෝන් ඩොයිලි සේවය කළේ කොළඹය. සිවිල් ඔඩිටර් ජනරාල් ලෙස ඔහුට උසස්වීමක් ලැබී තිබිණි.
එක්තරා රාත්‍රියක ගජමන් නෝනාට දැඩි කුසගින්නක් දැනිණි. එදා උදේ සිටම ඇයට බඩකට පිරෙන්නට තරම් රස අහරක් ලැබී තිබුණේ නැත.
ඇය මුළුතැන්ගෙට ගියේ එහිවත් බඩට දාගන්නට මොනවාහරි ඉතිරි වී තිබේදැයි බලන්නටය. ඇගේ නෙත ගැටුණේ පිහිය පමණි. ඒ පිහිය අතටගත් ඇය පිහියත් රැුගෙනම ගෙයි එහා මෙහා ඇවිද්දාය. කපාගන්නට කුරුම්බා ගෙඩියක්වත් වූයේ නැත. තවදුරටත් ජීවත්වන්නේ කුමටදැයි ඇය කල්පාන කළාය.
හැමදාමත් තනි නොතනියට ළඟ සිටි කවියට අන්තිමට වරටත් පණදුන් ඇය මෙසේ ලියුවාය.
| සත විසි නෙත් දහස් සතිස් | වස |
| වත ලෑ කෙලෙස් උඳුවප් අඩහැර | දවස |
| නෙත ගුණ ඉසබෙල් පෙරුමල් | දිගැස |
| සතපුර පැමිණි දිව සිරි සැප විඳින | ලෙස |
ඉක්බිතිව ඇය කළේ පිහිය ගෙල මුල තබාගෙන ගෙලට තද කර ගැනීමය.
ගජමන් නෝනාගේ මරණය පිළිබඳ පුවත ගිරුවාපත්තුව පුරා පැතිරගියේ විදුලි වේගයෙනි.
රුහුණේ කිවිවරිය ලෙස එදාද සමහරකු හැඳින්වූ ගජමන් නෝනාගේ මිනිය බලන්නට බොහෝ දෙනෙක් නෝනාගමට පැමිණියහ. ඇලපාත මුදලිටද ගජමන් නෝනාගේ මරණය ගැන ආරංචි වී ඔහුද නෝනාගමට පැමිණියේය.
”අන්තිම කාලේ මමවත් බැලූවෙ නැහැනෙ, මේ ගෑනි දිහාවෙ...”
ඇලපාත තමන්ටම කියා ගත්තේය.
දැන් ඉතින් කළයුත්තේ ගජමන් නෝනාගේ අවමගුල් කටයුතු හොඳට කිරීමයි. ඇලපාත මුදලි ඒ කටයුත්ත තම වගකීම සේ සැලකුවේය.
මියගොස් වසර සිය ගණනකට පසුත් තවමත් කතාකරන ගජමන් නෝනාගේ සොහොන නෝනාගම වැව අද්දර කිරිනුග ගහක් යට කාලයක් යනකෙත් තිබූ බවද නෝනාගම වැසියෝ කියති.
එසේ වුවත් මේ වනවිට ඉතිරිව ඇත්තේ අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් යටතේ නෝනාගම හන්දියේ ඉදිකරුණු ගජමන් නෝනාගේ ප්‍රතිමාව පමණකි.
(අවසන්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ලංකාදීප ,හොඳ රසවත් ලිපියක් (ම)
සසරේ ස්වභාවය, හරිම කුරිරුයි. රටම අදත් කථා කරන ඒ ශ්‍රේෂ්ට කිවිදියගේ ජීවිතය අවසන් වූ හැටි ? ඉතාම ඕනෑ කමින් කියවූ මේ ලිපි පෙළ ලියූ - තොරතුරු සොයා ගන්නට නොයෙක් අයුරින් උදව් කල මෙන්ම ලිපි පලකල පුවත් පතටද ස්තුතියි. (නදී)
ඇත්තෙන්ම හුගක් අසාවෙන් කියවපු ලිපි පෙළක් (බ)
ඉතාම රසබර කවි පෙලක් ඉදිරිපත් කලාට ස්තුතියී (නදී)
මෙම ලිපිපෙළ ඉදිරිපත් කල ලේඛකයා සහ ලංකාදීප එසැනට මගේ ගෞරව ප්‍රණාමය. ගොඩක් ස්තුතියි මෙය ඉදිරිපත් කලාට. ඉදිරියේදී ද මෙවැනි රසවත් හරවත් ලිපි පළවනු තුරු ආශාවෙන් බලා සිටිමි. (නදී)
හොඳ ලිපි පෙළක්. ලංකාදීපයට තුති! (නි)
හොද ලිපි පෙළක් ලංකාදීපයට තුති. එදත් අද වගේම බලය ඇති අය නැති අයව තාවකාලිකව ප්‍රයෝජනයට අරන් තියෙනවා. වෙසෙසින්ම කාන්තාවෝ හැමදාම මේ අසරණ බවට පත් උණු බව පේනවා. අදත් මේ බව සිය දහස් වාරයක් වෙමින් පවතිනවා. දිනපතා පොලිසියට අහුවෙන වෙසගණන් ප්‍රමාණය බලනකොට ගජමන් නෝනා වාසනාවන්තියක් (නදී)
ප්‍රේමදාස ජනපතිතුමා උදාර මිනිසෙක්. අපගේ ප්‍රණාමය එතුමාට! (නි)
තම කුසලතා වලින් සමාජය රසගැන්වූ බොහෝ පුද්ගල චරිතවල තමුන්ගේ ජීවිතය බොහොම කටුකයි. (නි)
ඉතා ආශාවෙන් කියවූ ලිපි පෙළක්.නොදැන සිටි කරුණු බොහොමයක් දැනගත්ත.ගොඩක් ස්තුති.(ම)
ප්‍රේමදාස මහත්තයට ස්තුතියි පිළිමයක් හැදුවට අපිට මෙයාව මතක් වෙන්න.(ම)
ආසාවෙන් කියෙවුවා. ගොඩක් වැදගත් දේවල් ගොඩක් තිබුනා. (බ)
කන්න දෙයක් නැතුව ඉන්නකොට බලන්න එකෙක් හිටපු නැති උනත් මරණය නම් විදුලි වේගෙන් ආරංචි වෙලා තියනවා. ඒ කාලේ ඉඳන්ම එහෙනම් එහෙම තමයි (නදී)
පෙර නොතිබු ඉතා හොඳ දැනුමක් ලැබුවා. බොහොම ස්තුතියි (නි)
ඉතාමත් ආශාවෙන් කියැවූ ලිපි පෙළක් (නි)
අදටත් අපේ ඇස් මානයේ පෙනෙන ලෙස ;..........කොපමණ කලාකරුවන් දුක් විඳිනවද?. මළපසු කොතෙක්වත් ගුණ ගී ගයන්නට .......රැස්වෙයි ඉහල අතු නැමි, නැමි හතර අත! (බ)
මට හිතෙන හැටියට ගජමන් නෝනාට එක්තරා මානසික ගැටළුවක් තිබිලා තියෙනවා. මේ කතාවල හැටියට ගජමන් නෝනා කිසිම විටෙක තමන්ගේ පැලැන්තියේ කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධ තිබිලා නැහැ. ඒ කියන්නේ ගජමන් නෝනාට ඉහළ පන්තිය ඇසුරු කිරීමට ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඒක එක්තරා මානසික සංකීර්ණත්වයක්. (නි)
හොඳ රසවත් ලිපියක්. (නි)
ස්තුතියි ලංකාදීප. හරවත්.(නදී)
කතුවරයා පොතක් නිකුත් කළාද ? කොහෙන්ද ගන්න පුළුවන් ? කරුණාකරලා අපට කියන්න. හොද ඉදිරිපත් කිරීමක් ස්තුතිය (හේ)
ලන්දේසි යුගයේ සිටි නිර්භීත චරිතයකින් යුත් මෙම කිවිඳියගේ ජීවිත කතාව ලිපි පෙළකින් සාධක සහිතව ඉදිරිපත් කිරීම ගැන ශාන්ත කුමාර පුතණුවනි, ඔබට පින්! දැන් අභාවට ගොස් ඇති අප කවි කලාව ලන්දේසි යුගය වැනි කලදීද දියුණුව තිබුනු අතර මීට දශක හයකට පෙරත් ජනප්‍රියව තිබු බව 83 වියැති මට මකතය (නි)
පල ඇති තෙක්ය වවුලන්ගේ පැමිණීම රොන් ඇති තෙක්ය බබරුන්ගේ රොන්ගැන්ම රුව ඇති තෙක්ය සලේලුන්ගේ නොනිමි පෙම නිකෙලෙස් නිවන වෙයි කාටත් සැනසීම (නදී)
අනේ මන්ද ... මොන කවි ලීවත් වැඩක් නැහැනේ .. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී (බ)
මේ කතා පෙළ මම ඉතාම ආශාවෙන් කියෙව්වා. ගජමන් නෝනා ගැන අපි නොදත් ඉතාම වටිනා තොරතුරු මේ මඟින් මම දැනගත්තා.බොහොම ස්තුතියි (නි)
ගජමන් නෝනා පිළිබඳව ඉදිරිපත්කර තිබෙන ලිපියේ අඩංගු කරුණු වලින් අපේ ජීවිත යථාර්ථය දකින්නට උත්සාහ කරමු. (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
ඉතාමත් වැදගත් ලිපියක්...තවත් බලාපොරොත්තු වෙනවා මේවගේ ලිපි ඉදිරියටත්. ස්තුතිය ඔබට. (බ)
හරිම ලස්සන ලිපියක් (නි)
මේක තමයි ජිවිතේ යථාර්තය, අපි හැමෝටම මේක පොදු කතාවක්, (ම)
මේ ලිපි පෙළම මම, පළවූ දා පටන් කියවූවා. හරිම අගෙයි. ගජමන් නෝනගේ නිවාස පිහිටා ඇති තැනට ගිහින් ඇතිමුත් මෙපමණ දේවල් දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි ඔබට. ඉතිහාසයේ අමතක වී යන චරිත ගැන ලිවීමට ඔබට සුබ පතනවා.මම ගජමන් නෝනා ගැන අසා තිබු දුර්මත දේවල් මේ ලිපියෙන් පසු දුරු වී ගියා. මා අසා තිබු දේ වලට රංචාගොඩ ළමයාගේ කවිත් හේතුවෙන්න ඇති කියලා හිතෙනවා (නි)
ශකුවිගේ ලිපි වලට මම කුඩා කාලයේ සිටම ඇලුම් කළා. මම පොඩි කාලේ ගෙදරත් ඇවිල්ලා තියනවා ඔබගේ. සමන්ති දේශප්‍රිය නම මතක් කළොත් ඔබට මා ගැන මතකයක් ඇති (නි)
රසවත් වගේම හරවත්. සතුටින් ආරම්බ උනා වගේම සතුටින් අවසන් නොඋනු එක ගැන දුකයි ස්තුතියි ඔබට (නදී)
වැළලීයන අතීතයට පණ පෙව්වට බොහෝම ස්තුතියි...!!!
ගජමන් නෝනා ටෙලිනාට්‍යයේ තිබෙන්නේ මීට වඩා වෙනස් අවසානයක් නේද?
කුසුමාසන දේවිය සහ ගජමන් නෝනා අතර කිසියම් ආකාරයක සමානකමක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ දෙන්නාම දේවවාදී අන්ධ ආගමික මිත්‍යාවෙන් දෑස් අන්ධ කර ගත් අය. දෙදෙනාටම බහු පුරුෂයන්. දෙදෙනාම අල්පායුෂ්කව මිය යනවා. හරි පුදුමයි නේද?