තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන් සඳහා දේශනා කරනු ලබනුයේ සියලු පව්වලින් වැළකිය යුතු බවය. බුදුවරයන් වහන්සේලා ලොව පහළ වනුයේ සත්වයන් දුකින් මුදවීම සඳහාය. එම අනුශාසනය සියලු බුදුවරයන් වහන්සේලාගේම අනුශාසනයකි.
පාපකර්මයේ ප්‍රතිවිපාකය දුක ප්‍රමුඛ කොට ඇත්තේය. පුද්ගලයා පවට බර වීම තථාගතයන් වහන්සේගේ එම මූලික අභිලාසය මුදුන් පමුණුවා ගැනීමට ප්‍රමුඛතම බාධාවක් වේ. පවෙහි ඇති කටුක බව මෙන්ම රුදුරු බවත් විපාකය නිරතුරුවම තමා පසුපස පැමිණෙන බවත් “චක්කං ව වහතෝ පදං” යන උපමාවෙන් දක්වා ඇත. ඉන් පෙන්නුම් කර ඇත්තේ ගොනු පසුපස ගමන් කරන කරත්ත රෝදයේ සංකල්පයකි. කරත්ත රෝදය ගොනා පසුපස ඇදී යන්නේ මිහිරි හඬක් නිකුත් කරමින් නොවේ. ඉන් නැගෙන කඨෝර හඬ සවනට සුවයක් නොවේ. ගොඩැලිවල වැටෙමින් ගමන් කිරීමේදී සවනට ඇසෙන්නට සලසා ඇත්තේ කර්කෂ වූ පවෙහි දෝංකාරයයි- පාපකර්ම පිළිබඳ සඳහන් කිරීමේදී එහි ප්‍රතිඵලය ලෙස “පාපකම්මං කටුකප්පලං” යනුවෙන් ඉතා කටුක විපාක ලැබෙන ආකාරය පිළිබඳ සඳහන් වේ. එපමණක් නොව එහි දෘෂ්‍ය ස්වභාවය ලෙස දක්වා ඇත්තේ “අස්සු මුඛෝ රෝදං” කඳුළ උරුමකරගත් හැඬීම් වැළපීම්වලින් අතිශය පසුතැවිලි බවින් යුතුව වැළපෙමින් විඳවමින් දිවි ගෙවීමට සිදු වීමේ ස්වභාවය වන්නේය.
ඇතැම් විට බොහෝ පව්කම් සිදුකරන පුද්ගලයන් තාවකාලිකව ඉන් සතුටු වන අතර ඉන් ප්‍රමෝධයට පත්වුවන් පාපධර්ම පිළිබඳ නොසලකා ක්‍රියා කරන අයුරු දක්නට ලැබේ. එබඳු පුද්ගලයන් සිදුකරනු ලබන අපරාධකාරී ක්‍රියා සපල කර ගැනීමේදී ඉන් ලබන ලාබ ප්‍රයෝජන හා බලාපොරොත්තු ඉටු කරගැනීමේදී පව මිහිරක් සේ සලකන අයුරු ප්‍රකට ය. ඇතැම් විට එබඳු පුද්ගලයන් පිළිබඳ අසන, දකින පුද්ගලයන් ද ප්‍රකාශ කරනුයේ මෙබඳු පාපකාරීන් පව පිළිබඳව දක්වන මිහිරියාවෙන් අයහපතක් නොවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවය. පවට ලැබෙන විපාකය ක්ෂණිකව නොලැබීම පිළිබඳව එසේ මැසිවිලි නගන සාමාජගත පුද්ගලයන්ටද භාග්‍යවතුන් වහන්සේ ඉතා සරල උපමාවකින් කරුණු පැහැදිලි කොට ඇති ආකාරය අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කරනු ලැබේ.
“සජ්ජු ඛීරංව නහි මුච්චති” මෙම පාලි පාඨයෙන් ප්‍රකාශිත උදාහරණය බොහෝ දෙනා ඉතා හොඳින් ප්‍රායෝගිකවම දන්නා කරුණකි. එනම් කිරි දොවන ලද සැණින් නොමිදෙන බවය. පාපකාරීන් පව්කම් කරන ලද සැණින් විපාක නොලැබේ. එසේම පාප කර්මයෙහි විපාක අළු යට සැඟවුණු ගිනි පුපුරක් ඉවත් වූ අළු අතරින් නැගී පෑගුණ පුද්ගලයා දවා ලන්නාසේ මෝරන ලද පාපකර්මයේ විපාක අපායට පමුණුවන තැනැත්තා පසුපස හඹා විත් අතිශය දුකට පමුණුවන බව සඳහන් වේ. එම සඳහනෙහිම “ඩහන්තං” යන වචනයෙන් පෙන්නුම් කොට ඇත්තේ සිදුකර ඇති පාපකර්මයෙහි විපාක වශයෙන් දැවීමට පත් කරන බවයි. පව් කිරීමේදී ඉතා මිහිරිව පව් කම්හි යෙදුනේ නමුත් පසුව සිදුකරන ලද පාපතර ක්‍රියාව පිළිබඳ පසුතැවිලි වෙමින් දැඩි සේ දැවීමට පත්වීම පිළිබඳව සඳහන් වන්නේ “ඩහන්තං බාලං අන්වේති” යන පාලි පාඨයෙනි- එපමණක් නොව භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු වේදනාකාරී භයානක විපාක ලබාදෙන පාප ධර්මයන් වර්ණ ගන්වා සමාජය වෙත හඳුන්වා දී ඇත්තේ “කණ්හං ධම්මං විප්පහාය” යනුවෙනි. පැහැය වශයෙන් තථාගතයන් වහන්සේ විසින් පාපකර්ම සඳහා ලබා දී ඇත්තේ කාල වර්ණය වන්නේ මතු නොව අඳුරු පැහැය හෙවත් කළු පාටින් අර්ථවත් වන පව්කම් වලින් වැළකී සිටීම සඳහා අනුශාසනා කරන ලදහ.
පාප ධර්මයන් හි යෙදීම පමණක් නොව එනිසාම පාපී පුද්ගලයකු සමාජයට එක් වීම බුදු දහමින් වාරණය කරනු ලැබේ. පාපියකු වීමෙන් අත්මිදවීම සඳහා කිසියම් නැණවතකු මග පෙන්වීමක් කරන්නේ නම් එය නිධානයක් පෙන්වන්නකු ලෙස පිළිගෙන ඉන් අත්මිදීම සඳහා අවධානය යොමු කර ඇත- එසේම එබඳු පවිටු ක්‍රියා කරන්නන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ කිසියම් සානුකම්පිත බවක් දක්වමින් මග පෙන්වා ඇති අයුරු ධම්මපද පාලියෙහි පාප වග්ගයෙහි සඳහන්ව ඇත්තේ මෙසේය.
පාපං චේ පුරිසෝ කයිරා ‐ නතං කයිරා පුනප්පුනං
නතම්හි ඡන්දං කයිරාථ ‐ දුක්ඛෝ පාපස්ස උච්චයෝ
මෙම දේශනයෙහි සරල අදහස ලෙසද දැක්වෙන්නේ නැවත නැවතත් පව් කම් නොකළ යුතු බව හා ඒ සඳහා නොකැමැති වීමත් එසේ විය යුතු වන්නේ පාප ධර්ම රැස්කිරීම දුකට හේතුවන බැවිනි. ඇතැම් විට ව්‍යවහාරික ලෝකයෙහි බොහෝ දෙනා පවට යොමුකරවීම පාප මිත්‍ර සේවනය නිසා සිදුවන්නක් බව රහසක් නොවේ. පළමු පාප ක්‍රියාව බොහෝවිට ස්වෙච්ඡාවෙන් සිදුකරන්නක් නොවන්නේ මතු නොව විවිධ බලපෑම් හා නොදැනුවත්කම් නිසා සිදුවිය හැකිය. කෙසේ නමුත් එතැන් සිට පවට ඇති බිය නැති වී යාම නිසා දිගින් දිගටම පාප ක්‍රියාවල යෙදීම ප්‍රකට කරුණකි. මේ පිළිබඳව බුදු නැණින් නිරවශේෂව තොරතුරු දත් තථාගතයන් වහන්සේ ලබා දෙන අවවාදය වන්නේ එසේ අවාසනාවන්තව කිසියම් පව්කමකට එළැඹි පුද්ගලයා තමා සිදුකරන වරද නිවැරදි කරගනිමින් පාප ධර්මයන් හි නොයෙදිය යුතු බවයි. ඒ බව උන්වහන්සේ විසින් පැහැදිලි කොට ඇත්තේ “පුනප්පුනං න කයිරා” යනාදී ලෙසින් යළි යළිත් පාපයෙහි නොයෙදිය යුතු බවය. ඒ පිළිබඳ වූ කරුණු පැහැදිලි කිරීමේදී නොදැනුවත්ව පයට පෑගුණු ගිනි අඟුරුවල දිගින් දිගටම පය තබා නොසිට ඉන් වහා තම පය ඉවතට ගන්නාක් මෙන් පාපයෙහි දැවෙන සුළු බව වටහා ගෙන පව්කම් කිරීමෙන් වැළකීම යුතු බව ප්‍රකාශ වේ. පාප ධර්මයන් හි ඇලුම් නොකළ යුතු බව ප්‍රකාශිත පාලි පාඨය වන්නේ “ඡන්දං න කයිරාථ” යන යෙදුම වන්නේ මතු නොව පාප ක්‍රියාවකට සිත යොමු වීමේදී තමා එම ක්‍රියාවෙහි යෙදීම තම වයසට හෝ අයත් කුල පරපුරට සිදුවන අවමානය පිළිබඳ සලකා හෝ ඉන් වැළකීමේ අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබේ. එපමණක් නොව එසේ මෙලොව වශයෙන් ලැබෙන නින්දා අපහාස පමණක් නොව පරලොව වශයෙන් ලැබෙන අපාදුක් පිළිබඳව සලකා බලා පාපධර්මයට ඇලුම් නොකළ යුතු බවට දහමින් නියමයක් කර ඇත. මෙසේ ඇලුම් නොකළ යුතු නොයෙදිය යුතු පාප ධර්මයන් ලෙස මූලික වශයෙන් සංඛ්‍යාත්මකව දක්වා ඇත්තේ පංච දුශ්චරිත හා දස අකුසල් ආදී කොට ඇති පුද්ගලයා මුල්කරගත් සමාජය පීඩාවට හා විනාසයට පත්කරන ක්‍රියාදාම බව ධර්මයෙහි සඳහන් වේ. මූලික වශයෙන් පාපධර්මයන් සංඛ්‍යාත්මක වශයෙන් මෙසේ ලඝු කොට දක්වා ඇත්තේ වුව ද යහපත් සමාජ සම්මතයන්ට එරෙහි සදාචාර විරෝධී සියලු පවිටු ක්‍රියා එම සංඛ්‍යාවට ඇතුළත්ව ඇති බව ද අමතක නොකළ යුතුව ඇත.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනය සඳහා පාදක වී ඇත්තේ ද එක්තරා පුහුදුන් ගුරු ගෝල දෙනමකගේ සදාචාර විරෝධී ක්‍රියාදාමයකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙර වාසීව වැඩ සිටී මෙම දෙනම ලාලුදායි හා සෙය්යක නමින් හඳුන්වනු ලැබිණි. ලාලුදායි ගුරුවරයා වූ අතර ශිෂ්‍යයා සෙය්යක නම් වූයේ මතු නොව ගුරුහිමියන් මංමුළා වුවෙකු සේ කිසිදු කටයුත්තක සුදුසු නුසුදුසු කම් පිළිබඳ සැලකීමක් නොදක්වන්නෙකි. තැනට ගැළපෙන සේ ක්‍රියා කිරීමේ නොහැකියාවෙන් යුතු මෙම භික්ෂුව භික්ෂුවට කැප අකැප දෑ පිළිබඳවද හැඟීමක් නොතිබිණි. එබඳු ගුරුවරයෙකුගේ ශිෂ්‍යයා ද එසේ නොවූයේ නම් පුදුමයකි. මේ අනුව ගුරුගෝල දෙනම එකම ආකාරයේ අමනෝඥ පුද්ගලයන් වූ අතර සමාජ සදාචාර ධර්මයන් පිළිබඳව ද කිසිදු අවබෝධයක් ද නොවූයේ ය. තැනට ගැළපෙන නොගැළපෙන බවක් මායිම් නොකළ ලාලුදායි තෙරුන් අවමගුල් නිවෙස්වල මංගල කරුණු ද මංගල සම්මත අවස්ථාවල අවමංගල කරුණු ද කියමින් දහම් දෙසනුයේ සුදුසු නුසුදුසු බව පිළිබඳ මතු නොව සම්මත අසම්මත පිළිබඳවද වටහා නොගැනීමෙනි. දිනක් තම ශිෂ්‍යයා රාගික හැඟීමකින් මුසපත්ව ඒ බව ගුරු හිමියන්ට දන්වා සිටියේය. යහපත් ගුරුවරයකු නම් ඒ සඳහා දිය යුත්තේ අසුභ භාවනාව වැඩීම වැනි උපදේශයකි. එහෙත් මෙම ගුරුවරයාගෙන් විමසීම මග වැරදුණු මගියකු තවත් මග වැරදුණ මගියකුගෙන් මග තොරතුරු ඇසීමක් වැනි විය. තමන් නොදන්නා මාර්ගයක් පිළිබඳ වෙනත් කෙනකු දැනුවත් කිරීම මං මුලා කිරීමකි. තැන නොතැන ගැන අනවබෝධයෙන් යුතු වූයේ මතු නොව සමාජ අසම්මතයන් පිළිබඳවද නොදත් ලාලුදායි රාගය මැඩලීම සඳහා තම ශිෂ්‍යයාට දෙන ලද උපදේශය වූයේ ප්‍රථම සංඝාදිසේස ක්‍රියාවෙහි යෙදීම සඳහා ය. තමනුත් එබඳු අවස්ථාවල එම ක්‍රියාවෙහි යෙදී රාගය පහ කර ගන්නා බවද ප්‍රකාශ කරමින් ලබා දෙන ලද උපදෙස් අනුව ශිෂ්‍යයා ද දිගින් දිගටම එම පුහුදුන් ක්‍රියාවෙහි යෙදිණි. මෙසේ නොසැඟව ප්‍රකටව ස්වයං වින්දනීය ක්‍රියාවලියක යෙදුන මෙම භික්ෂුව පිළිබඳ තොරතුරු දැනගත් භාග්‍යවතුන් වහන්සේ කරුණු විමසා මෙබඳු ග්‍රාම්‍ය ක්‍රියා මෙලොව නිගාවට හා ගැරහීමටත් පරලොව දුක සඳහාත් හේතුවන බව දේශනා කොට අවවාද කරමින් ප්‍රථම සංඝාදිසේස විනය නීතිය ද පනවන ලදහ. එක් වරක් සිදු කරන ලද පවිටු ක්‍රියාවක නැවත නැවතත් නොයෙදිය යුතු බව හා එහි ඇලී ගැලී සිටීම පාපධර්ම එක් රැස්වීමට හේතුවන්නේ මතු නොව ඒ සඳහා ලැබෙන විපාක අතිශය දුක් සහගත බව පෙන්වා දෙමින් දහම් දෙසූ සේක. ශිෂයන්ට වැරදි ඉගැන්වීම් සහ ආදර්ශ දෙන මෙබඳු මන්ද බුද්ධික ආචාර්යවරුන් බුද්ධ කාලීන සමාජය තුළද දක්නට ලැබෙන අතර ගුරුවරයාගේ වගකීම තේරුම් නොගත් ශිෂ්‍යයන් නොමග යවන ඇතැම් පුද්ගලයන් වර්තමාන සමාජයෙහිද සුලභව අසන්නට දකින්නට ලැබීම බවට පත්ව ඇති බවද සඳහන් කළයුතුව තිබේ.
තවත් වසරක අවසන් දින කිහිපය ගෙවී යමින් පවතින අතර අවසන් පුර පොහෝ දිනය වූ උඳුවප් පුර පොහෝ දිනය ද එළඹ තිබේ. ගෙවීයන වසර සේම ගතකරන ජීවිතයෙහි ජීවමාන දින ගණනද ක්‍ෂය වෙමින් පවතින්නේ මතු නොව අවසන් වන වසරෙහි සිදුකරගත නොහැකි වූ යහපත් චර්යාවන් උදාවන වර්ෂයේ දී වත් සපුරාගැනීමේ අදිටන ඇතිකර ගත යුතුව ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක් බිමට වැඩම වූ දිනය ලෙසත් ඒ සමග සපැමිණි සඟමිත් තෙරණිය විසින් භික්ෂුණී සාසනය පිහිටුවමින් ශ්‍රී ලාංකික කාන්තාව පූජනීයත්වයට හා වන්දනීයත්වයට පත්කළ දිනය ලෙසත් අද දිනය සැමරිය යුතුව තිබේ. බෝධි ආගමනය සමග පැමිණි විවිධ වෘත්තික ප්‍රජාවගේ පැමිණීමද සමග ශිල්පීය නිපුණත්වයෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය වී බුදුදහමට නතු අනන්‍යතාවකින් හෙබි කීර්තිමත් බෝධි සංස්කෘතියක උරුමකරුවන් වීම ඇරඹුණ දිනය වශයෙනුත් වූ ශාසනික ඉතිහාසය මෙනෙහි කරමින් නව වසර දෙස දෑස් දැල්විය යුතු ව ඇත්තේ පැමිණ ඇති තුන් බිය තුරන්වූ නිරෝගී සම්පන්න අලුත් වසරක් පිළිබඳවය. එසේ බිය සැක තුරන් වූ මනසින් යුතුව පාපධර්මයට ඇලුම් නොකරමින් නැවත නැවතත් පව්කම්හි නොයෙදී සසර ද සුවපත් කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලී විය යුතුව ඇත.
(***)
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පව් රැස්කරන්නෝ දුක උරුමකර ගන්නෝය