IMG-LOGO

පැල්වත්ත සීනි තිත්තද?

මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් ලක්ෂ 07ක් පමණ වුවත්, මෙරට  ප්‍රධාන කර්මාන්තශාලා 04 මගින් නිෂ්පාදනය කළ හැකි සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 56,000කි. එය ප්‍රතිශතයක් ලෙස  සාමාන්‍යයෙන් සියයට 08කි. රටේ ඉතිරි සියයට 92 ක් පමණ වන සීනි අවශ්‍යතාව  සපුරා ගැනීමට රජයට සිදුව ඇත්තේ සීනි ආනයනය මගිනි.

සීනි නිෂ්පාදනය කරන ලොව අනෙකුත් රටවල් සමග සසඳන විට, ශ්‍රී ලංකාව,  සීනි නිෂ්පාදනයේදී, ඉතා පහළ මට්ටමක සිටියද, සීනි වැඩිපුරම පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව ඇත්තේ පෙරමුණේය. සාමාන්‍යයෙන්, ලොව බොහොමයක් රටවල ජනතාවගේ වාර්ෂික ඒක පුද්ගල පරිභෝජන සීනි අවශ්‍යතාව, සීනි කිලෝග්‍රෑම් 31ක් වුවත් අප රටේ එම අවශ්‍යතාව කිලෝග්‍රෑම් 33ක් පමණ වන බව, හෙළිවී තිබේ.

 

ලන්දේසීන් පණදුන් උක් වගාව

අපේ රටේ සීනි කර්මාන්තයේ ඉතිහාසය වසර දහස් ගණනක ඈත අතීතයට දිව ගියද, එය කර්මාන්තයක් ලෙස දියුණු වූයේ, ලන්දේසි සමයේදී බව පොදු අදහසයි. ලන්දේසීන් මෙරට දකුණු පළාත ප්‍රමුඛව, මුහුදුබඩ කලාපයේ බලය පතුරුවාගෙන සිටි සමයේ, දකුණු ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල්වලින්, උක්දඬු ආනයනය කර ඒවා දැදුරු ඔය, ගිං ගඟ, කැලණි ගඟ හා දකුණු පළාතේ ඇති අනෙකුත් ගංගා නිම්න ආශ්‍රිතව, ව්‍යාප්ත කර, ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස උක් හකුරු හා සීනි නිෂ්පාදනය කර තිබේ. එහෙත් මෙම උක් වගාව වඩාත් පුළුල් ලෙස රටේ ව්‍යාප්තව ඇත්තේ ඉංශ්‍රීසි පාලන කාලයේය.

ඔවුන් නිල්වලා, කළු හා ගිං ගංගා නිම්න ආශ්‍රිතව තවදුරටත්, උක් වගාව ව්‍යාප්ත කරමින්, 1890 වසරේදී, ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම හා නාගොඩ ආශ්‍රිතව, මහා පරිමාන උක් කර්මාන්තශාලා කිහිපයක් අරඹා ඇත.  ඉන් පසුව ඉංශ්‍රීසි ජාතිකයන්, උක් වගාව අතහැර, වතු වගාවලට යොමුවීම නිසා, එම ආරම්භ කළ, සීනි නිෂ්පාදන කර්මාන්තශාලා මෙන්ම උක් වගාද අතහැර එම භූමි ද වතු වගාවලට පසුකාලීනව යොදාගෙන ඇත.

වසර 33ක් පමණ කාලයක් රාජ්‍ය ආයතන ලෙස පැවති, කන්තලේ සහ හිඟුරාණ සීනි කර්මාන්තශාලා 1993 වසරේදී, ප්‍රථම වතාවට, මුළුමනින්ම පෞද්ගලික අංශයට විකුණා දැමීමට එවකට ආණ්ඩුව කටයුතු කළේය.

ඉතා කෙටි කාලයක් තුළදී, දුර්වල කළමනාකරණය හා පරිපාලනය නිසා එම කර්මාන්තශාලා දෙකම බිඳ වැටුණේ, එහි සේවකයන් විශාල ප්‍රමාණයක් මහ මගට ඇද දමමිනි. ඉන් අනතුරුව 2001 වසරේදී, නැවතත්, රජයට ඉතිරිව තිබූ, පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා මුළුමනින්ම පෞද්ගලීකරණයට ලක් කරන්නේ, එහි සේවක, සේවිකාවන්ගේ දැඩි විරෝධය ද නොතකාය.

එනමුත්, මෙම සීනි සමාගම් පෞද්ගලීකරණය මගින්, එකල රජය අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබීමෙන් ඒ වනවිට වසා දමා තිබූ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව, ගල්ඔය වැවිලි සමාගම ලෙස, එහි කොටස්වලින් සියයට 51ක් රජයටත්, ඉතිරි සියයට 49 පෞද්ගලික අංශයටත් ලෙස ආරම්භකරන ලද්දේ 2005 වසරේදීය. පසුව 2015 වසරේදී, මෙම කර්මාන්තශාලාව සඳහා දිනක ධාරිතාව ලෙස එතනෝල් ලීටර් 20000ක් නිෂ්පාදනය කළ හැකි, නවීන කර්මාන්තශාලාවක්ද මීට එක් කළේය.

2001 වසරේ සිට වසර 10ක කාලයක්, පෞද්ගලික අංශයට අයිතිව තිබූ, සෙවනගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා 2011 වසරේදී, ඌන උපයෝගීතා වත්කම් පනත යටතේ නැවත රජයට පවරාගන්නා ලද අතර 2012 වසරේ සිට මේ දක්වා එම ආයතන පවත්වාගෙන යනු ලබන්නේ පූර්ණ වශයෙන් රාජ්‍ය මැදිහත්වීම යටතේය. මීට අමතරව සම්පූර්ණ පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන ඇතිමලේ වැවිලි සමාගමද, තම මෙහෙයුම් කටයුතු අරඹා ඇති අතර, එම සමාගම මගින්ද, වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් 1450ක් හා එතනෝල් ලීටර් 15000ක් නිෂ්පාදනය කරයි.

 

උක් තරම් රස නැති කම්හල් හෙට දවස

මෙරට උක් කර්මාන්තශාලා මගින් වසරකට නිෂ්පාදනය කරන සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 56000කි. ඉන් රජය අනුබද්ධ පැල්වත්ත, සෙවනගල හා ගල්ඔය සමාගම් සීනි මෙට්‍රික් ටොන් 50000ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉතිරි ප්‍රමාණය නිෂ්පාදනය කරනුයේ සියයට සියයක්ම පෞද්ගලික අංශය සතු ඇතිමලේ වැවිලි සමාගම විසිනි. වසර කිහිපයක් ඉතා ලාභදායි මට්ටමින් පවත්වාගෙන ගිය මෙම සමාගම්, දැනට වසර දෙකක පමණ කාලයක සිට පාඩු ලබමින් ඇති අතර, මේ වනවිට මෙම සමාගම් සතු, සීනි තොග හා එතනෝල් අලෙවි නොවීමෙන් මෙම සමාගම්වල සේවක පඩිනඩි ගෙවා පවත්වාගෙන යාමේ ගැටලු‍ද මතුව ඇතැයි මෙම සමාගම්වල පාලන අධිකාරිය පවසයි.

“පැල්වත්ත සීනි සමාගමේ පමණක්, අලෙවිකරගන්න බැරිව සීනි මෙට්‍රික්ටොන් 17000කට ආසන්න ප්‍රමාණයක් ගොඩගහලා තියෙනවා. මේ වෙනකොට උක්ගස් කැපෙන නිසා, නිෂ්පාදනය කරන සීනි ගබඩා කර ගැනීමේ ගැටලු‍ත් මතුවෙමින් තියෙනවා. අපි නිෂ්පාදනය කරන එතනෝල් දෙන්න වෙලත් තියෙන්නේ කුණු කොල්ලයට. ඒ නිසා එතනෝල්වලින් සමාගමට ලාභයක් ඇත්තෙත් නැහැ. සාමාන්‍යයෙන් මාසයකට සමාගමේ සේවක පඩිනඩි ගෙවන්නත් රුපියල් මිලියන 280ක් පමණ වැයවෙනවා, දැනට ලැබෙන ආරංචි අනුව මේ මාසේ පඩි ගෙවන්නත් රුපියල් මිලියන 100ක් විතර අඩුවක් තියෙනවා. දැනට තියෙන සීනි තොග විකුණගන්න බැරිවුණොත්, සමාගමේ සේවකයන්ගේ මේ මාසේ වැටුප ගෙවීමත් අවිනිශ්චිතයි” පැල්වත්ත සමගි සේවක සංගමයේ ලේකම් ජීවන් ප්‍රදීප්  මහතා පැවසුවේ එවැන්නකි.

පැල්වත්ත සමාගමේ සේවකයන් පෙන්වා දෙන අන්දමට, මේ වනවිට සමාගම පහසුවෙන් ගොඩවිය නොහැකි ණය බරක හිරවී තිබේ. සමාජ ආරක්ෂණ බද්ද සඳහා රුපියල් මිලියන 160ක්, වැට් (අගය මත එකතුකළ බද්ද) සඳහා රුපියල් මිලියන 1000ක්, සේවක අර්ථසාධක හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් මිලියන 219ක් වශයෙන් රුපියල් මිලියන 1379ක් මහා භාණ්ඩාගාරයට පැල්වත්ත සමාගම ණය වී තිබේ. ඊට අමතරව, පසුගිය ආණ්ඩු සමයේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හා වර්තමාන ආණ්ඩුවේ පාලන අධිකාරිය විසින් රුපියල් මිලියන 1500ක බැංකු අයිරාවක් ලබාගෙන ඇති අතර, මේ හේතුව නිසා, සමාගම විසින් මහ බැංකුවෙන් ඉල්ලා සිටි රුපියල් බිලියන දෙකක ණය මුදල ද මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, පැල්වත්ත සමාගම විසින් මීට පෙර ලබාගත් ණය මුදල් ගෙවීමද අතපසු කිරීම හේතුවෙන් බව පැවසෙයි.

‘‘අපේ රටේ සමාගම් හදන්නේ දුඹුරු සීනි පමණයි. අපට දුඹුරු සීනි කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 283ක් වැය වෙනවා, එහෙත් අපට මේ සීනි කිලෝවක් අලෙවිකරන්න වෙලා තියෙන්නේ රුපියල් 180 වගේ මුදලකට, ඒ හේතුව නිසා විකුණන සෑම සීනි කිලෝවකින්ම රුපියල් 100ක පමණක්, සමාගම පාඩු ලබනවා. එතනෝල් වුණත් එහෙමයි. එතනෝල් ලීටරයක් නිපදවන්න නිෂ්පාදන වියදම වශයෙන් අපට රුපියල් 510ක් පමණ වැය වෙනවා, ඒත් සමාගමට එතනෝල් ලීටරයක් විකුණන්න වෙලා තියෙන්නේ, රුපියල් පන්සීයකට වගේ මුදලකටයි. ඒ නිසා එතනෝල්වලිනුත් ආයතනයට වාසියක් නැහැ. මේක පැල්වත්තට විතරක් නෙමෙයි සෙවනගල, හිඟුරාණ වගේම ඇතිමලේ වැවිලි සමාගමටත් පොදු ගැටලු‍වක්’’ යැයි පැල්වත්ත වෘත්තිය සමිති කේන්ද්‍රයේ ලේකම් ප්‍රේමසිරි දිසානායක මහතා පෙන්වා දෙයි.

වර්තමානයේ මෙරට සීනි සමාගම් මුහුණ දී ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන එම සමාගම්වල වෘත්තීය සමිති, සේවක සේවිකාවන් මෙන්ම පාලන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අදහස වී ඇත්තේද, රජය විසින්, ආනයනික සුදු සීනි වැට් හා සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්කර, දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි සඳහා පමණක් දැරිය නොහැකි වැට් බද්දක් අය කිරීම මෙම ගැටලු‍වට ප්‍රධාන හේතුවක් බවයි.

සමාගම්වල සේවකයන් පවසන්නේ, එවකට පාලන අධිකාරිය එම ලාභ නිසි ලෙස කළමනාකරණය නොකිරීමත්, වර්තමානයේ සමාගම් පාඩු ලබන්නට හේතු වූ බවයි. මේ සම්බන්ධයෙන් පැල්වත්ත අන්තර් සේවක සංගමයේ පැල්වත්ත ශාඛාවේ සභාපති කේ.එම්. රොෂාන් දිලීප මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“වර්තමානය සීනි සමාගම් මුහුණදී ඇති අර්බුදය, වර්තමාන ආණ්ඩුවේ හරි පාලන අධිකාරියේ වැරැදි නිසාම වෙච්ච දෙයක් නෙමෙයි. ආනයනික සීමා නිසා, පැල්වත්ත වගේම අනෙකුත් රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සීනි සමාගම් මීට වසර කිහිපයකට පෙර අධික ලෙස ලාභ ලැබුවත්, එවකට පාලන අධිකාරිය එම ලබාගත් ලාභ, මෙම කර්මාන්තයේ දියුණුවට යොදාගත්තද කියන එක ප්‍රශ්නයක්. අදටත් හිඟුරාණ සීනි සමාගමේ කර්මාන්තශාලාවේ තියෙන්නේ 1960 ගණන්වල ගෙන්වන ලද යන්ත්‍ර සූත්‍ර, පැල්වත්ත සහ සෙවනගල තියෙන්නේ 1980 දශකයේ මුල් භාගයේ ගෙන්වන ලද යන්ත්‍ර. මේ යන්ත්‍ර වෙනුවට නවීන යන්ත්‍ර සූත්‍ර හෝ මේ යන්ත්‍රසූත්‍රවල කාර්යක්ෂමතාව වැඩිකරන්න අවශ්‍ය මැදිහත්වීමක් කළේ නැහැ. උදාහරණයක් විදිහට උක් ගසකින් සීනි උකහාගැනීමේ ප්‍රතිශතය 8.5 - 9.0 අතර තිබිය යුතුයි. ඒත් මේ යල් පැනගිය යන්ත්‍රසූත්‍ර නිසා එම සීනි උකහාගැනීමේ ප්‍රතිශතය 6.5 දක්වා අඩුවෙලා තියෙනවා. ඒ නිසා විතරක්, සමාගමට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක මුදලක් වාර්ෂිකව අහිමි වෙනවා. එවකට පාලන අධිකාරිය කළේ සමාගමේ ඇත්ත සංවර්ධනය වෙනුවෙන් එම ලාභයන් යොදවනවා වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික ප්‍රතිරූප නංවාගන්න කටයුතු කිරීම සහ අසාර්ථක ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම විතරයි. පැල්වත්ත සමාගමේ සේවක අතිරික්තයක් තිබියදී, එවකට වැවිලි කටයුතු භාර ඇමතිවරයා ඔහුගේ දිස්ත්‍රික්කයෙන් අලු‍තින් සේවකයන් 1200ක් පමණ අලු‍තින් බඳවාගෙන, ඔවුන් ඉහළ වැටුප් තලවල පිහිටෙව්වා. සෙවනගලටත් මේ දෙයම කළා රුපියල් බිලියන 04ක් පමණ වියදම් කරලා පැල්වත්තේ අසාර්ථක කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් කළා තැන් තැන්වල පොකුණු හැදුවා. මේ විදිහට තමයි පැල්වත්තේ සහ සෙවනගල එදා ඒ සමාගම් ලැබු ලාභ විනාශ කළේ..’’

 

නියපොත්ත පොරොවක් කරගත් බලධාරී ​ෙකරුවාව

දැනට වගාකරන සමස්ත උක්වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 16000ක් පමණ වෙයි. මෙම කර්මාන්තය නිසා ප්‍රතිලාභ ලබන සෘජු ප්‍රතිලාභී පවුල් ප්‍රමාණය 35000කට අධික අතර, වක්‍ර ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ ගණනකි. ඌවේ ආර්ථිකය කෙරෙහි පැල්වත්ත, සෙවනගල මෙන්ම ඇතිමලේ වැවිලි සමාගම එක් කරන්නේ විශාල දායකත්වයකි. දිගාමඩුල්ලේ ජන ජිවිතය මෙන්ම ආර්ථිකයේ වැඩි පංගුවක් ගල්ඔය සීනි සමාගම දරන අතර, එම සමාගම් බිඳවැටීම මගින් එම ප්‍රදේශවල ආර්ථිකයට හා සමාජයට ඇතිවිය හැකි බලපෑම සුළුපටු නැත.

“ආණ්ඩුවේ වැරැදි බදු ප්‍රතිපත්ති නිසා අපේ සමාගම්වලට ඇතිව තියෙන හානිය අපි අවස්ථා දෙකකදී, වර්තමාන ආණ්ඩුවේ, කර්මාන්ත ඇමතිවරයාගේ අවධානයට යොමුකළා. එහෙත් ඔහුගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් හෝ සාධනීය මැදිහත්වීමක් ලැබුණේ නැහැ. ඔහු අපට කිව්වේ මාස 03ක් ඇතුළත, පැල්වත්ත සමාගම ගොඩදානවා කියලයි. ඒත් දැන් මාස 03ක් ගතවෙන කොට මේ සමාගම වහලා දාන මට්ටමට වැටිලයි තියෙන්නේ.’’

ජාතික සේවක සංගමයේ පැල්වත්ත ශාඛාවේ සභාපති ශ්‍රීමාල් දිසානායක මහතා සහ සමගි සේවක සංගමයේ ලේකම් ජීවන් ප්‍රදීප් මහතා චෝදනා කරනුයේ එලෙසය.

 

ගොවියන්ට තේරෙන ලොක්කන්ට නොතේරෙන ඇත්ත ප්‍රශ්නය.

වර්තමානයේ පැල්වත්ත සීනි සමාගම මුහුණ දී ඇති මුල්‍ය අර්බුදය පිළිබඳ පැල්වත්ත ජනාවාසවල වෙසෙන උක් ගොවියන් අතර ඇත්තේ භීතියකි. අපට මෙම සංචාරයේදී හමුවූ පැල්වත්ත, කුකුරම්පොළ ප්‍රදේශයේ පදිංචි උක්ගොවීන් දෙපළක් වන ඩබ්ලිව්. බී.එම් පුෂ්පකුමාර (47) හා එච්.එම් චන්දන යන ගොවි මහත්වරුන් පවසන්නේ,සමාගමේ මෙම කඩා වැටීමට සමාගමේ පාලන අධිකාරිය සෘජුව වගකිව යුතු බවයි.

“වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ අපි හිතුවා සමාගමේ කාලයක් පුරා සිටි දූෂිත ඇතැම් නිලධාරීන් ඉවත්කර, මේ සමාගමට අලු‍ත් පණක් දෙයි කියලා, ඒත් ආණ්ඩුව අලු‍ත් වුණාට සමාගමේ පරිපාලනයේ ඉන්නේ පරණ අයම තමයි. ඒකේ ප්‍රතිඵල තමයි සමාගමත් අපිත් මේ බුක්ති විඳිමින් ඉන්නේ. අපි දෙන්නා අක්කර 20 බැගින් උක් වගා කරනවා. ඒත් අපට ගිය වසරේ ඉඳලා පොහොර ලැබෙන්නේ නැහැ.ගොවියන්ට බෝනස් ලැබෙන්නෙත් නැහැ. වෙනත් සේවා ලැබෙන්නේ නැහැ. සමාගම හරියටම පාලනය කළේ සුද්දෝ විතරයි. ඒ කාලේ මේ ජනාවාසවල පදිංචිකරුවන්ගේ පෝෂණය, අධ්‍යාපන, සෞඛ්‍ය ගැන හොඳට ඔවුන් සැලකිලිමත් වුණා. මේ පාර නඩත්තු කළා. සේවකයන්ට සතේට ලැබිය යුතු දීමනා ලබාදුන්නා. ජනාවාසවලටම ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කළා. පවුල්වලට නොමිලේ ත්‍රිපෝෂ බෙදාදීම ඇතුළු පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ජනාවාස ඇතුලේ හොඳ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කළා. ඉන් පස්සේ හැරී ජයවර්ධන මහත්තයා මේ සමාගම අරන්, සේවකයන්ට වගේම ගොවියන්ටත් අවශ්‍ය බෝනස් දීලා සමාගම නි​ය​ෙමටම අරන් ගියා. එහෙත් මේ සමාගමේ දූෂිත නිලධාරින් දේශපාලනඥයන් එක්ක එකතුවෙලා හැරී ජයවර්ධන මහත්තයාව මාස 03න් එළවලා දැම්මා. අපි කියන්නේ බලධාරීන්ට මේක හරියට කරන්න බැරිනම් පෞද්ගලික අංශයට භාර දෙන්න අපේ ඒකට විරෝධතාවක් නැහැ.

 

ඇඟ බේරාගන්නා බලධාරීන්ගේ  තියරිය

පැල්වත්ත සීනි සමාගම වර්තමානයේ මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හා සීනි අලෙවිකර ගැනීමේ ගැටලු‍වට බලපා ඇති හේතු පිළිබඳ අප පැල්වත්ත සීනි සමාගමේ වර්තමාන සභාපතිනිය වන සඳමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් මෙන්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීනි දීපිකා ගුණරත්න මහත්මියගෙන් විමසුවද, ඔවුන් පැවසුවේ ආයතන සංග්‍රහයට අනුව නිසි අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් දැක්වීම කළ නොහැකි බවයි.පසුව අප මේ සම්බන්ධයෙන් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ, සමාගමේ  සීනි අලෙවිකර ගැනීමේ ගැටලු‍වක් පැන නැගී ඇතත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීම කළ නොහැකි බවයි. ඒ අනුව අප මේ සම්බන්ධයෙන් විමසීමට විෂය බාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, එම උත්සාහයද අසාර්ථක විය. අනතුරුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාදෙමින් ඒ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පැවසුවේ, නියෝජ්‍ය ඇමැතිවරයා වෙනත් සාකච්ඡාවක නිරතව සිටින බැවින් ඒ මහතා සම්බන්ධ කරගැනීම අසීරු බවයි. අනතුරුව නියෝජ්‍ය ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඒ මහතා සම්බන්ධකර ගැනීමට උත්සහ කළද, ඒ උත්සාහයද අසාර්ථක විය.

(*** මොණරාගල - නයනජීව බණ්ඩාර)



අදහස් (2)

පැල්වත්ත සීනි තිත්තද?

saman Saturday, 24 May 2025 09:23 PM

වරෙක ආදායම් ලැබීමට සහ වරෙක පාඩු ලැබීමට හේතුව කලමනකාරීත්වය, පරිපාලනය පිළිබඳ ගැටළු සහ දේශපාලන මැදිහත්වීම හෝ බලපෑම් වේ. ආදායම් ලැබෙන අවස්ථාවේ සිටි කලමණාකාරීත්වය ඉවත්කර දේශපාලකයින් හෝ ඔවුන්ගේ හිතවතුන් ආයතන ලබාගෙන කටයුතු කිරීම නිසා සමාජීය සහ ආර්ථික හැකි සිදුවේ....

:       0       3

janahitha Sunday, 25 May 2025 09:00 AM

ලොක්කෝ ගහපු ගැහිලි, වෘත්තීය සමිති මේවාට වගකියන්න ඕනේ. එකෙක් හෙලිකොප්ටර් ගත්තේ ඕවායේ සල්ලි වලින්... නුඹලා සහයෝගය දුන්නා... තිත්ත ඇත්ත.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 731 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site