රාත්‍රී කාලයේදී හොරෙන් කැලි කසළ ගෙනැවිත් දමන පුද්ගලයන් ඇල්ලීමේ මෙහෙයුමක් හොරණ ප්‍රාදේශීය සභාව, හොරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සහ හොරණ පොලිසිය ඇතුළු ආයතන රැසක එක්වීමෙන් කළ මෙහෙයුමක දී එසේ කැලි කසළ ගෙනැවිත් දැමූ පුද්ගලයන් 60කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර හොරණ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් පිටත පුද්ගලයන් කිහිප දෙනකු ද සිටින බව අප පුවත්පත වාර්තා කරයි.
මෙහෙයුමේ දී අල්ලා ගැනුණු පුද්ගලයන් කිහිප දෙනකුට නඩු පවරා ඇති බවත් සෙස්සන්ට එම ක්‍රියාවේ ආදීනව පෙන්වමින් දේශන පවත්වා ඇති බවත් අප පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
සැබැවින්ම කළ යුතුව තිබෙන්නේ මෙබඳු අනීතික හා අවිනීත ක්‍රියා කරන පුද්ගලයන්ගේ ඡායාරූප හා නම්ගම් සහිතව මහජනයාට ප්‍රදර්ශනය කිරීමය. එය එතරම්ම පාපී ක්‍රියාවකි. මෙබඳු පුද්ගලයන්ට දඬුවම් කළ යුත්තේ ප්‍රසිද්ධියේය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිහී ආත්මාර්ථකාමීත්වයේ පත්ලටම වැටුණු මෙබඳු පුරවැසියන් සැබැවින්ම සමාජයට පිළිලයකි. මාරාන්තික උවදුරකි.
මෙරට සිටින ඇතැම් පුරවැසියන් පළමු වරට මිනිස් ආත්මභාවයක් ලැබූවන් යැයි සැක කළ හැකිය. එයින් කියැවෙන්නේ ඔවුන් තවමත් මිනිස් සමාජයට නුහුරු බවය. මිනිස් සමාජයට ආගන්තුක බවය. ඔවුන්ගෙන් තවමත් ප්‍රදර්ශනය වන්නේ පෙර විසූ තිරිසන් ආත්මභාවවල ගති ලක්ෂණය. එම චර්යා රටාය. විශිෂ්ට මානව ගතිගුණ ප්‍රදර්ශනය වීමට තවත් මිනිස් ආත්මභාව ගණනාවක් ඔවුන් ලැබිය යුතුය.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ගමේ පාර, අපද්‍රව්‍ය සහ කුණු කසළවලින් ආරක්ෂා කිරීමටත් පාරට හොර රහසේ කුණු කසළ දමන්නන් කොටු කර ගැනීමටත් අරමුණු කර ගනිමින් ජාඇළ ප්‍රාදේශීය සභා කොට්ඨාසයේ වසම් කිහිපයක ප්‍රධාන මාර්ගවල සීසීටීවී කැමරා සවිකිරීමට ප්‍රජා පොලිස් ඒකක මගින් කටයුතු කර තිබෙන බවය.
මහ පාරවල්වලට හා නගරයටත් පොදු ස්ථානවලටත් කුණු දමන්නන්ගෙන් එල්ල වී ඇති අභියෝගය ඉහත ප්‍රවෘත්තියෙන් ද මනාව ප්‍රදර්ශනය වේ. කුඩුකාරයන්ගෙන්, ගැට කපන්නන්ගෙන්, මංපහරන්නන්ගෙන්, සොරුන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් හා ළමා අපචාර කරන්නන්ගෙන් සමාජයට එල්ල වී ඇති අභියෝගයට සමාන අභියෝගයක් මහපාරට, නගරයට කුණු දමන්නන්ගෙන් එල්ල වී ඇති බව ඒකාන්ත සත්‍යයකි.
මහ පාරට, නගරයට, පොදු ස්ථානවලට කුණු දමන්නන්ගේ සිත් කියැවීම ඉතා පහසුය. කුණු ඔවුන්ට බරකි. එහෙයින් ඔවුන් කරන්නේ එම කුණු තමන්ගේ නොවන වෙනත් ස්ථානයකට ගෙනැවිත් දැමීමය. එසේ කිරීෙමන් කුණුවලින් තමන් නිදහස්වීමය. ඒ හරහා සමාජයේ නිර්මාණය වන පොදු ගැටලු සම්බන්ධයෙන් ඔවුහු වග නොවෙති. එබඳු දියුණු අධ්‍යාත්මයක් ඔවුන් සතුව නැත.
පොදු ස්ථානවලට, මහ මඟට, නගරයට කුණු ගෙනැවිත් දැමීමෙන් තමන් නිදහස් වූයේ යැයි ඔවුන්ට සිතුණ ද සැබැවින්ම එසේ සිදුවන්නේ නැත. විවිධ මාරක ලෙඩ රෝග වසංගත පැතිර යනවිට ඔවුන්ට පමණක් බේරී නිරුපද්‍රිතව සිටිය නොහැකිය. විශේෂයෙන්ම ඩෙංගු රෝගය හරහා නිර්වින්දනය වූ භීතියෙන් සැළුම් වෙවුළුම් කෑ සමාජයක ජීවත්වන පුරවැසියන්ගෙන් මෙබඳු අශිෂ්ට හා දුෂ්ට හැසිරීමක් ප්‍රදර්ශනය වීම එක් අතකින් විමතිය දනවන්නකි. ‘වළක වැටීම මොළයට ලාභයකැයි’ කීවද අපේ ඇතැම් පුරවැසියෝ රෑ වැටුණු වළේ මහ දවාලේත් වැටෙති. විනාශයකින් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරවන සෙයකි.
පළාත් පාලන ආයතන ද කුණු කසළ බැහැර කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් පුරවැසියන් හරි මඟට නොඑන්නේ නම් රට යනු ඇත්තේ වළපල්ලටමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරිපනම් ගෙවන නගර වැසියන්ගේ නිවෙස්වල කුණු අදාළ ආයතනවලින් නොගෙන යන නිසා මිනිසුන් මහපාරට කුණු ගෙනවිත් දමයි. එය නොවැලහැකි දෙයක්. මටත් ඔය ප්‍රශ්නය තිබෙනවා. මමත් තව ටිකක් බලලා කුණු පාරට ගෙනවිත් දමනවා.
ඔබලා සොයලා බැලුවාද මේ මිනිසුන්ට කුණු ඉවත් කර ගැනීමේ පහසුම් තිබිලාද මේ කුණු පාරට ගෙනවිත් දමන්නේ කියලා.
"කුඩුකාරයන්ගෙන්, ගැට කපන්නන්ගෙන්, මංපහරන්නන්ගෙන්, සොරුන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් හා ළමා අපචාර කරන්නන්ගෙන් සමාජයට එල්ල වී ඇති අභියෝගයට සමාන අභියෝගයක් මහපාරට, නගරයට කුණු දමන්නන්ගෙන් එල්ල වී ඇති බව ඒකාන්ත සත්‍යයකි." ඒ වගේ අදාළ ආයතනවලින් කුණු නොගෙන යන එක කතා කරන්නේ නැහැ. විකල්පයක් නොමැති නිසා පාරට කුණුදමන එක කතා කරනවා. මහරගම නගර සභාව කුණු නොගෙන යන එක කතාකරන්නේ නැහැ. නගර සභාවේ වැරදි ලෝකයා දැනගත යුතුයි.
මොන මිනිහද කුණු ඉවත් කිරීම තම නිවාස අසලින් කෙරෙනවා නම් මහපාරට කුණු ගෙනවිත් දමන්නේ...? ලෝකයේ අනික් රටවල මෙන් කුණු එකතු කරන භාජන ප්‍රදේශයේ නිවාසවලට අනුපාතිකව පාරවල් අයිනේ තිබෙනවා නම් මිනිස්සු කුණු ඒ භාජනවලට දමාවි. නගර සභාවට එම ස්ථානවලින් කුණු ගෙනයා හැක... මේ රටේ නගරවල පැවතුනේ එම කර්මයයි. දැන් අපේ රටේ නගරවල වෙන්නේ කුණු දමන භාජන නැති නිසා තාප්පවල, ලයිට්කනුවල, දැන්වීම් පුවරුවල කුණු එල්ලා තැබීමයි. රට දියුණුවෙන විට තවත් පහසුකම් ඇතිවෙනවා වෙනුවට උනේ තිබුණු පහසුකමුත් නැතිවීමයි. නගරය ගඳ ගහන විට පළාත් සභාව පමණක් සුවඳවත් කර ගන්නවා වරිපනම් බදුවලින්.
යෝජනා කරන්නකෝ දෙන්න යන අමතක නොවන පාඩම...?
කුණු රැගෙන යන්නේ සුමානයකට වරක් හෝ දෙවරක් එය ප‍්‍රමාණවත් නෑ. පර්චස් පහේ හයේ හෝ ඊටත්වඩා අඩු ඉඩකඩක ජිවත් වන නාගරික හෝ අර්ධ නාගරික නිවැසියන් ට කුණු රදවා ගන්නට ඉඩක් නෑ. නියමිත දිනට කුණු රැගෙන නොගියොත් කුණු නිවසේ දීම කුණු වෙනවා. කුණු දමන්නන් අල්ලා දඩ ගැසිම නොව නියමිත පරිදි කසල බැහැර කිරිමත් කසල රැගෙන යාමත් විදිමත් කරන්න.
කුණු පාරට දමන අයට නොවෙයි නිසි ක්‍රම වේදයක් සලසන්නේ නොමැති අමනයින්ටයි ඔය ටික කියන්ඩ ඕන.
මිනිස්සුන්ට කුණු ඉවත් කරන්න කුණු බක්කි ටිකක් වත් මහා පාරේ තියන්න ඕනේ. එහෙම නැතුව cctv දාල තේරුමක් නෑ. කුණු ට්‍රැක්ටරය එන්නේ ඉඳලා හිටලා. ඒ ආවත් එන්නේ මගට ඇවිල්ලා හොර්න් එක ගහගෙනනේ. මිනිස්සු කුණු මලු ටික අරන් දුවන් යන්නේ ඕනේ ට්‍රැක්ටරය ළඟට. අලදෙනියේ ප්‍රදේශයේ නම් (හාරිස්පත්තුව ප්‍රාදේශීය සබාවේ) කුණු ට්‍රැක්ටරයේ රියදුරුට එන පාරකටරුපියල් 100ක් දෙන්න ඕනේ. හැම නිවසකින්ම... ඉඳලා හිටලා සති කීපයක් එන්නේ නෑ. ප්‍රාදේශීය සභාවෙන් ඇහුවම කියන්නේ ට්‍රැක්ටරය කැඩිලා නැත්නම් රියදුරු ලෙඩ වෙලා කියලා... ප්‍රායෝගිකව කුණු ඉවත් කරන්න ක්‍රමවේදයක් හදලා බලන්න. මිනිස්සු එතකොට කුණු නිසි ආකාරව බැහැර කරයි.
කියන්න සතුටුයි.. අනුරාධපුර නගර සීමාවේ නම් ක්‍රමානුකූලව කුණු සතියකට 3න් වරක් (බදාදා සහ ඉරිදා දිරන අපද්‍රව්‍යද, සෙනසුරාදා නොදිරන ද්‍රව්‍යද) පැමිණ කරන සේවය අගේ කොට සැලකිය යුතුයි. සෑම නිවසකටම ඒ සඳහා ලොකු ප්ලාස්ටික් භාජන 2 බැගින් නගර සභාව මගින් සපයා දී ඇත. ඒ නැතත් තමන්ගේ ගෙදර කුණු පිළිවෙලකට එකතු කර දීම ඉගැන්විය යුතු දෙයක්ද නොවේ. මහපාරට කුණු විසි කරන අයගේ ගෙවල්ද කුණු ගොඩක් වගේ ඇති....
අපේ පළාතෙත් ඔය ගැටලුව තිබෙනවා. කරදුපොන සිට රඹුක්කන දක්වා සංචාරක කලාපය තුල පාර දෙපසමටම විශාල වශයෙන් කුණු කසල විසිකර යනවා. මෙය මාර්ගය ආසන්නව ජීවත් වෙන නිවැසියනට හා මාර්ගයෙහි ගමන් කරන්නන් හට විසාල කරදරයක්. මේ සදහා වගකිය යුතු ආයතන ඉක්මන් නිවැරදි කර්යා මාර්ගයක් ගත යුතුයි .
හොඳම දේ තමයි අදාල නගර සභාවෙන් කුණු වෙලාවට අරන් යන එක.. මම කඩුවෙල නගර සභාවට අයත් පුද්ගලයෙක්.. දවස් 14කට පස්සේ එන්නේ කුණු අරන් යන්න..