IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෝර ගැන සුබ පණිවිඩයක් එහෙත් බෙදීම ක්‍රමයකට ඕනෑ

 

අප රට වැටී ඇති තත්ත්වය මිත්‍ර රටවලින් අප රටට ලැබෙන සහයෝගයෙන්ද පැහැදිලිය. ඉන්දියාවේ ගොවීන්ට ලබා දීම සඳහා ඉන්දියාව ඕමානයෙන් යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ඇණවුම් කළේය. ඕමානය ඒ සඳහා සූදානම් වන විට ඉන්දීය රජය ඕමානයට දන්වා තිබුණේ එම පොහොර නැව ලංකාවට රැගෙන යන ලෙසය. ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවක ඉන්දියාව ගත් එම තීරණය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඉන්දියාවේ මානුෂිකත්වයට අපි හිස නමා ආචාර කළ යුතු වෙමු. කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ මෙම පොහොර නැව තව දින කීපයකින් එනම් මේ මස 28 වැනිදා ඕමානයෙන් පිටත්වීමට නියමිත බවත් එය ජූලි 10 හෝ 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බවත්ය. ඒ අනුව ජූලි 15 වැනිදා සිට එම පොහොර ගොවීන්ට බෙදා හැරීමට කටයුතු කරන බවත්ය. පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම හරහා ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට බෙදා දෙන බවත් ඒ හරහා කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 10,000කට අලෙවි කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කර තිබිණි. යල කන්නයේ වී හා බඩ ඉරිඟු ගොවීන් සඳහා මෙම පොහොර නිකුත් කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

පළමුව අනාවැකියක් පළ කළ හැකිය. එම අනාවැකිය නම් මීළඟ උද්ඝෝෂණ රැල්ල පොහොර ලබා ගැනීමට පැමිණෙන ගොවීන්ගෙන් බවය. අප එසේ අනාවැකි පළ කරනු ලබන්නේ පෙර අත්දැකීම්වලට යටත්වය. එක් අතකින් පොහොර බෙදා හැරීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් නැත. ගොවියාගේ අවශ්‍යතාව බලා එම පොහොර කඩිනමින් ගොවියා අතට පත් කිරීමට නිදාශීලී මෙන්ම වගකීම් විරහිත නිලධාරීහු කටයුතු නොකරති. එමෙන්ම ඇතැම් පොහොර මිටි පිල්ලි ගසා කළු කඩවලට යවා අහිංසක ගොවියා සූරාකෑමටද ඉඩ තිබේ. දැන් සිටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් තවත් ජරමරයකට භූමියේ ඉඩ වෙන්වනු ඇත.

පොහොර පමණක් ගොවියා අතට පත් කර ප්‍රමාණවත් නැත. ගොවියාට සෑහෙන තරමට ඉන්ධන අවශ්‍ය වේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නම් පවසන්නේ ඉන්ධන පාරිභෝගිකයන් ළඟම ඇති ඉන්ධන පිරවුම් හලෙහි ලියාපදිංචි විය යුතු බවය. ඇමතිවරයා එසේ කීමට බොහෝ කාලයකට පෙර සිටම ජනයා ඉන්ධන පිරවුම්හල් අසල පදිංචිව සිටිති. ඇතැම් පිරිස් දින 10- 15 අතර කාලයක් පුරා එසේ සිටිති. කිලෝ මීටර ගණන් දිග්ගැස්සුණු ඉන්ධන පෝලිම්වල කෙළවරෙහි රැඳීසිටි මිනිසාට ඉන්ධන පිරවුම්හල පෙනෙන මානයට ආසන්න වූ විට දැන ගැනීමට ලැබෙන්නේ ඉන්ධන අවසන් බවය. ඉන්ධන බවුසරයක් යළිත් එහි ළඟා වන්නේ දින 5කින් 6කින් පසුව විය හැකිය.

මේවා යළි යළිත් අප අවධාරණය කරන්නේ රටේ දැවෙන ප්‍රශ්න මේවා වන හෙයිනි. එමෙන්ම උත්තරයක් පෙනෙන්නට නැති ප්‍රශ්න මේවා වන හෙයිනි. විසඳුම් සොයන්නට ප්‍රමාණවත් උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැති ප්‍රශ්න හෙයිනි. මෙම ප්‍රශ්නවලට කල් පවත්නා හා ක්‍ෂණික විසඳුම් නොදී රටට එක අඩියක් හෝ ඉදිරියට යා නොහැකිය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරියේදී සලාක ක්‍රමයකට ඉන්ධන නිකුත් කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසා තිබේ. ඇමතිවරයා වැඩි දුරටත් පවසා තිබුණේ පොදු ප්‍රවාහනය සහ කර්මාන්තවලට ප්‍රමුඛතාව ලබා දෙමින් සෙසු ඒවාට ඉන් පසුව ප්‍රමුඛතාව ලැබෙන පරිදි මෙම ක්‍රමය සකස් කරන බවය.

ඉන්ධන ලබා දීමේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉහළම අංකයක් ගොවියාටද හිමි විය යුතුය. වගා කරන්න අතීතයේදී ඉන්ධන අවශ්‍ය වුණේ නැහැ යැයි අමන තර්ක ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීම නුවණක්කාරය. එසේ කීම එක රැයින් කාබනික පොහොර භාවිතයට පිවිසුණාක් බඳුය. තර්කයෙන් තර්කය ජයගත හැකි වුවද එම තර්කවලට යථාර්ථය වසන් කළ නොහැකිය. ඇත්ත යථාර්ථය නම් මෙරට ගොවිතැන අංශබාග රෝගියකු සේය. මෙම රෝගියා නගාසිටුවීමට ගොඩ වෙදකම්වලින් නොහැකිය. එමෙන්ම අදාළ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් හැර වෙනත් පිරිස්වලින් උපදෙස් ගෙන මෙම රෝගියා සුවපත් කළ නොහැකිය. පළමුව ගොවියාට අවශ්‍ය දේ ලබා දිය යුතුය. එම අවශ්‍ය දේ අතර පොහොර හා ඉන්ධන ප්‍රධානය.

වගකිවයුත්තන් රෑ මැද සිහිනයකට බියෙන් තිගැස්සී අවදි වූවාක් මෙන් වගා සංග්‍රාමයක් අරඹා තිබේ. එය යහපත්ය. එහෙත් මේවා ආරම්භ කළ යුතුව තිබුණේ කොරෝනා වසංගතය ආපු මුල්ම සන්දියේදීය. ඉතිහාසයේ මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි යැයි කියන්නේ එහෙයිනි. කෙසේ වෙතත් මෙම කටයුතු සාර්ථක කර ගැනීමට ජනතාවගෙන් ලැබිය යුතු උපරිම සහයෝගයද දිය යුතු බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (0)

පෝර ගැන සුබ පණිවිඩයක් එහෙත් බෙදීම ක්‍රමයකට ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site