IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


පයිනස් ලී ගෙන්වීමේ තීරණය ගත්තේ කා වෙනුවෙන්ද?

මෙරට අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි පයිනස් දැව රට තුළ තිබිය දී පසුගිය වසර තුන ඇතුළත දී රුපියල් කෝටි 480 ක පමණ පයිනස් දැව මෙරටට ආනයනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව අනාවරණය කරගත් පරිසර ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාව ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇති බව ද ‘‘ලංකාදීප’’ පුවතේ සඳහන්ය.

නාස්තිකාර වියදම් අපේ රටේ බොහොමයක් දේශපාලකයන්ට සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට අතැඹුලක් සේ හුරුපුදුරුය. එවැනි වියදම්වල ‘‘රස’’ මේ අය හොඳින් අත්විඳින බැවින් කිසි කලෙකත් එවැනි වියදම් කපා හැරීමට ඔවුන්ට සිත දෙන්නේ නැත. රටේ කොතරම් භාවිත කළ හැකි තත්ත්වයේ පවතින පයිනස් වගා තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගැනීම තමන්ගේ සාක්කුවලට නොදැනීම ඊට හේතුවය. සාක්කු හොඳින්ම පිරෙන්නේ නාස්තිකාර වියදම් නැවැත්වීමට වඩා ඒවා පවත්වාගෙන යාම තුළින් බව ඔවුහු දැන සිටිති. මෙවන් ආංශික කාරක සභා දැම්මත් අල්ලස සහ දූෂණය රජ කරන තුරු ඒවායින් සිදු කෙරෙන සොයා බැලීම පල දෙන්නේ නැත.

අදාළ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එහිදී පෙන්වා දී තිබුණේ සාමාන්‍යයෙන් පොදුවේ රුපියල් කෝටි 900 ක් පමණ වටිනා දැව දඬු වර්ෂයක් තුළ දී මෙරටට ආනයනය කෙරෙන බවය. පයිනස් දැව සම්බන්ධයෙන් සලකන විට දළ වශයෙන් වසර 18 කට පමණ ප්‍රමාණවත් පයිනස් මෙරට තිබෙන බව ද ඔහු හෙළිකර තිබිණි.

කෙසේ වුවද මෙම කාරක සභාවට පැමිණ සිටි නිලධාරින් පෙන්වා දී තිබුණේ ආනයනික පයිනස් දැවවල ප්‍රමිතිය ඉහළ බව සහ ඒවාට අය කෙරෙන බදු ඉතා අඩු මට්ටමක පවතින බවය. එසේම දේශීය පයිනස් දැව තුළ පවතින ‘ගැට’ හේතුවෙන් ඒවායේ ගුණාත්මක බව අඩු වීම නිසා ඉල්ලුම අඩු බවත් සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආනයනික පයිනස් දැව යොදා ගන්නා බවත් නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

නිලධාරින් කර ඇති කරුණු දැක්වීමේ වැරැද්දක් ඇතැයි අපි නොකියමු. එහෙත් මෙරටට සිදු කෙරෙන ආනයන පසුගිය වසර දෙකක පමණ කාලය තුළ දී දැඩිව පාලනය කරනු ලැබීය. ආනයනයේ දී ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛත්වය ලබා දී තිබුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පමණි. ප්‍රමිතියෙන් ඉහළ පයිනස් දැව එම අත්‍යවශ්‍යම භාණ්ඩ ලැයිස්තුවේ කොතැන තිබිණි දැයි දැනගන්නට නැත. එසේම ගෙවී ගිය දෙවසර තුළ දී මෙරට මුහුණ දී සිටි බරපතළ ආර්ථික අර්බුදය සමග සසඳන කල සුඛෝපභෝගී ගෘහ භාණ්ඩවලට තිබූ ඉල්ලුම සම්බන්ධයෙන් ද අපට ඇත්තේ ගැටලුවකි.

එවැනි ගෘහභාණ්ඩ මෙරට නිපදවා අපනයනය කර රටට විදේශ විනිමය උපයා ගන්නවා නම් එහි වැරැද්දක් අපි නොදකිමු. එහෙත් රටට විදේශ විනිමය උපයාදෙන අපනයන භාණ්ඩ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පයිනස් ගෘහ භාණ්ඩ සඳහා පවතින ස්වාභාවය කුමක්දැයි එම නිලධාරීන් පැහැදිලි කර දී තිබුණේ නම් එය වැදගත් බව ද කිවයුතුය.

එවැනි කරුණු දැක්වීම්වලින් තොරව පයිනස් ලී මෙරටට කෝටි ගණන් වියදම් කර ගෙන්වීම සාධාරණීකරණය කළ නොහැක. විශේෂයෙන් බංකොළොත් ආර්ථිකයක් ප්‍රකාශකර තිබූ අවදියක සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඇණවුම් භාරදුන් මෙරට ආයතන සම්බන්ධයෙන් ද සොයා බැලීම අවැසිය.

රුපියල් ලක්‍ෂ ගණන් වටිනා අති සුඛෝපභෝගී පුටු තමන්ගේ අමාත්‍යාංශ කාමරයට ගෙන්වා ගත් අමාත්‍යවරුන් ද සිටින රටක පයිනස් දැව යොදා සකස් කෙරෙන සුපිරි ගෘහ භාණ්ඩ ගෙන්වා ගත් අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු ද ආයතන ද තිබීම විස්මයට කරුණක් නොවන බැවිනි.

අල්ලස සහ දූෂණය සමග අත්වැල් බැඳි නාස්තිකාර වියදම් කපා හැරීමට නම් රටට තද නීති තිබීම පමණක් මදිය. එම නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය යාන්ත්‍රණයක් ද අවශ්‍යය. ඒ සඳහා දූෂණයෙන් තොර දේශපාලකයන් සිටීම ද අත්‍යවශ්‍යය.

(***)



අදහස් (1)

පයිනස් ලී ගෙන්වීමේ තීරණය ගත්තේ කා වෙනුවෙන්ද?

චන්දිම ෆොන්සේකා Saturday, 16 September 2023 10:21 AM

මේ සිද්ධිය ගැන හරියට හෙව්වොත් රට විනාශ කරපු දේශපාලුවෙක් හරි, කුඨ නිලධාරියෙක් හරි අනිවාර්යයෙන්ම අහුවෙනවා. ඒත් මේ රට නැතිභංග වෙලා අලුදුවිලි වෙලා යනවා කිව්වත් ඕවා හොයන එකක් නම් කවදාවත් වෙන්නේ නැහැ. මේ වගේ අකටයුතුකම් වලින් රටේ බදුමුදල් ගසා කාපු ගසාකන පරපෝෂිතයින් යහතින් ඉන්නකම් මේ රට කවදාවත් ගොඩ යන්නේ නැහැ...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 5394 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 231 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 181 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site