ඉර හඳ ගෙනැවිත් දෙපා මුල තබන්නෙමැයි තම පෙම්වතියට පොරොන්දු දී කෙටි කලෙකින් ඔවුන් අතහැර යන, නැතිනම් ඔවුන් මරා දමන පෙම්වතුන් පිළිබඳ පුවත් ලොව නන් දෙසින් අසන්නට ලැබේ. එහෙත් තමා පණ මෙන් පෙම් කළ යුවතිය හදිසි රිය අනතුරකින් මිය ගියද ජීවිතයේ ඉතිරි කාලය ඇය වෙනුවෙන් කැප කරන බවට පොරොන්දුවක් දෙමින් මිය ගිය යුවතියගේ අවමඟුල පැවැති දින ඇය හා විවාහ වූ තරුණයකු පිළිබඳ අපූරු පුවතක් තායිලන්තයෙන් අසන්නට ලැබිණි.
ඩෙෆ් යින්ගුයෙන් නමින්ද හැඳින්වෙන චඩිල් ඩෙෆි උසස් අධ්‍යාපනය ලබුවේ ඊස්ටන් ඒෂියා විශ්වවිද්‍යාලයෙනි. 2002 වසරේ ඔහු එහි පිවිසෙන විට සරිණ්‍යා ඈන් කම්සූක් නම් යුවතියද එහි අධ්‍යාපනය ලබමින් සිටියාය. එකම පීඨයක අධ්‍යාපන කටයුතු කළ සරිණ්‍යාගේ සුන්දරත්වයෙන් වශී වූ ඩෙෆී ඇයට සිතින් පෙම් කරන්නට විය. තම අදහස කෙළින්ම පවසන්නට තරම් ධෛර්යයක් ඔහුට නොවුණද තම හැසිරීමෙන් එවැන්නක් ඇතැයි හඟවන්නට ඔහු උත්සාහ කළේය. ඩෙෆී තමාට විශේෂ ඇල්මක් දක්වන බැව් සරිණ්‍යාටද වැටහී තිබුණි. මෙම කඩවසම් තරුණයා පිළිබඳව ඇගේ සිතේද කැමැත්තක් මෝදු වන්නට විය. යුවතිය තමාට ඇලුම් කරන බැව් වටහාගත් ඩෙෆී දිනක් තම සිතේ සඟවා ගෙන සිටි ප්‍රේමය සරිණ්‍යාට ප්‍රකාශ කළේය. එතැන් සිට ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.
විශ්වවිද්‍යාලයේදී සැමවිටම එක්ව සිටින්නට පෙම්වතුන් දෙදෙන පුරුදුව සිටියහ. එකිනෙකා නොදැක සිටින්නට නොහැකි තරමට දැඩි ප්‍රේමයකින් වෙ`ඵණු ඔවුහු අනාගතය පිළිබඳව සුබ සිහින දකිමින් සිටියහ. තමා විවාහ කර ගන්නැයි දිනක් සරිණ්‍යා ඩෙෆීගෙන් ඉල්ලා සිටියේ ඔහුගෙන් වෙන්ව මොහොතක් හෝ ගෙවන්නට අකමැති වූ බැවිණි. තමා ඇය හා විවාහ වීමට කැමති බවත් එහෙත් තම අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ඉවසා සිටින ලෙසත් ඩෙෆී ඇයගෙන් ඉල්ලීය. සරිණ්‍යා එයට අනුමැතිය පළ කළාය.
ඩෙෆීට අවශ්‍ය වූයේ සරිණ්‍යා හා සතුටින් පිරුණු සාර්ථක විවාහ ජීවිතයක් ගෙවීමටය. එහෙයින් තම අධ්‍යාපන කටයුතු අවසන් කොට සුදුසු රැකියාවක් සොයා ගැනීමෙන් පසු ඇය විවාහ කර ගැනීමට ඔහු සිහින මැවීය.
කාලය ගෙවී ගියේය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට දස වසරක් පිරිණි. අධ්‍යාපන කටයුතු අවසන් කළ ඩෙෆී සුදුසු රැකියාවක් සොයා ගත් අතර තමන්ගේම නිවෙසක් තනාගෙන සරිණ්‍යාට දුන් පොරොන්දුව ඉටු කිරීමට සූදානම් විය. ඒ වන විට ඩෙෆී 28 හැවිරිදි වූ අතර සරිණ්‍යා 29 හැවිරිදි විය. ඔවුන්ගේ විවාහය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරුණු අතර විවාහ මංගල්‍යය 2012 ජනවාරි 4 වැනි දින පවත්වන්නට දින නියම කර ගැනිණි. එහෙත් දෛවය ඔවුනට අතිනත ගන්නට ඉඩ තැබුවේ නැත. මහ මඟ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ පුද්ගලයකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් දස වසරක් මු`ඵල්ලේ පැවැති ඩෙෆීගේ සහ සරිණ්‍යාගේ පෙම් ලොව සුනු විසුනු වී ගියේය.
විවාහ මංගල්‍යයට පෙර දින සරිණ්‍යා සාප්පු සවාරියක යෙදුණේ අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලට ගනු සඳහාය. සියල්ල රැගෙන යළි පැමිණෙමින් සිටියදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඇය යටකර ගෙන ගියේ සිදු වූයේ කුමක්දැයි කිසිවකුට සිතා ගැනීමට අවකාශයක් නොතබමිනි. පසු දින තම පෙම්වතා සමඟ අතිනත ගෙන පතිනියක වන්නට සිහින මැවූු සරිණ්‍යා ලේ විලක් මැද මහ මග වැටී සිටියාය.
තරුණිය වහා රෝහල් ගත කෙරිණි. දරුණු ලෙසින් තුවාල ලද සරිණ්‍යා පැය හයක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය. ඇයගේ තත්ත්වය නරක අතට හැරෙන්නට වූ හෙයින් වෛද්‍යවරු රෝගියා වෙනත් රෝහලකට පිටත් කර හැරීමට පියවර ගත්හ. එසේ ගෙන යන අතුරතුර සිහි නොලබාම ඇය ජීවිතයෙන් සමු ගත්තාය.
තම පෙම්වතියගේ අකල් වියෝව ඩෙෆී දැඩි කම්පනයකට පත් කළේය. ඇය මිය ගිය බව අදහන්නට ඔහුට නොහැකිය. තමා ඇයට දුන් පොරොන්දුව කෙසේ හෝ ඉටු කරන්නෙමැයි සිතූ ඩෙෆී කිසිදු තරුණයකු නොගන්නා දැඩි තීරණයකට එළැඹියේය. ඒ තම මිය ගිය පෙම්වතිය හා විවාහ වී ජීවිතයේ ඉතිරි කාලය ඇයගේ මතක සුවඳ මැද තනිකඩව ගත කිරීමටය.
2012 ජනවාරි 4 වැනි දින උතුරු තායිලන්තයේ සුරින් ප්‍රාන්තයේ පිහිටි ත්‍රි විවේක් පන්සලේ සරිණ්‍යාගේ අවමඟුල් කටයුතු සිදු කිරීමට සූදානම් කර තිබිණි. ඇයගේ සිරුර මනාලියක ලෙස සරසා තිබිණි. බෞද්ධයන් වූ හෙයින් පැන් වඩා මතක වස්ත්‍ර පූජා කෙරිණි. මනාලයකු ලෙස සැරසුණු ඩෙෆී තම පෙම්වතිය අසලින් වාඩිවී සිටියේය. ආගමික කටයුතු අවසන් වූ පසු ඔහු සරිණ්‍යාගේ අත අල්ලා ගත්තේය. තම කබා සාක්කුවෙන් රන් මුදුවක් ගත් ඩෙෆී එය ඇගේ ඇඟිල්ලේ පැලඳුවේය. ඉන්පසු විවාහ චාරිත්‍ර සිදු කෙරිනි. ඇයගේ අවමඟුල හා විවාහ මංගල්‍යය එකම දිනක සිදුවිය. මඟුල් - අවමඟුල් උත්සවයට ඩෙෆීගේ සහ සරිණ්‍යාගේ මාපියන් හා හිතමිතුරන් රැසක් සහභාගී වී සිටියහ.
තම විවාහය පිළිබඳව ඩෙෆී සිය ෆේස් බුක් ගිණුමේ පළකොට එයට සහභාගී වන මෙන් සියලු මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා තිබිණි. දෙදෙනා අධ්‍යාපනය ලද ඊස්ටන් ඒෂියා විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියෝ විශාල පිරිසක්ද අවමඟුලට සහභාගී වී සිටි අතර නන් දෙසින් මල්වඩම් රැසක් එවනු ලැබ තිබිණි. උත්සවය තායි රූපවාහිනියෙන්ද ප්‍රචාරය කෙරිනි. බොහෝ දෙනෙකුගේ අනුකම්පාව ඩෙෆීට හිමිවිය. ලොව විවිධ රටවලින් ශෝක පණිවුඩ ගලා ආ අතර ඩෙෆී සැබෑ පෙම්වතකුගේ පරමාදර්ශය බැව් ඔවුහු පැවසූහ.
තම විවාහය ප්‍රමාද වූයේ අධ්‍යාපන කටයුතු හා වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් හේතුවෙන් බැව් පැවසූ ඩෙෆී “අපේ ජීවිත කෙටියි. එම කෙටි කාලය තුළ කිසිවක් වැරදුණොත් එය නිවැරැදි කර ගැනීම අපහසුයි. ඔබට කිසියම් අරමුණක් ඇත්නම් එය අප්‍රමාදව ඉටු කර ගන්න. මව්පියන්, පවුලේ සාමාජිකයන්, පෙම්වතා හෝ පෙම්වතිය වැනි තමා ප්‍රේම කරන පුද්ගලයන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ප්‍රමාද නොවන්න. එසේ නොකළහොත් ඔබටත් මා මෙන් පසුතැවිලි වන්නට සිදුවේවි.” යනුවෙන් පවසා තිබිණි. තමාට පණ මෙන් ප්‍රේම කළ සරිණ්‍යාට යුතුකම් ඉටු කිරීමට තිබුණේ වසර ගණනකට පෙර යැයි පැවසූ ඔහු ඇයගේ මතකය වෙනුවෙන් ඉදිරි ජීවිතය කැප කරන බවද කියා තිබිණි.
තම විවාහ මංගල්‍යය හා අවමංගල්‍යය එකම මොහොතක සිදුවූ ලොව එකම යුවතිය සාරිණ්‍යා විය හැකි වන අතර මළ සිරුරක් හා විවාහ වූ එකම පෙම්වතා ඩෙෆී විය හැකිය. මේ වන විට 32 හැවිරිදි තරුණයෙක් වන චඩිල් ඩෙෆී තායිලන්තයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. පසු කාලයේ ඔහු සාරිණ්‍යාගේ හා තමගේ විවාහයේ විඩියෝ පටයක් යූ ටියුබ් නාළිකාවට එක් කොට තිබූ අතර එය නැරඹු බොහෝ පිරිසක් කම්පාවට පත් වූ බැව් වාර්තා විය. චඩිල් ඩෙෆී ඇන්ඞ් සරිණ්‍යා ලෙස සොයා බැලීමෙන් ඔබටද එය නැරඹිය හැකි වනු ඇත.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පෙම්වතියගේ මළසිරුර සමග විවාහ වූ තරුණයා
නිම්මි Tuesday, 21 June 2016 02:53 PM
නිෂ්ඵල ක්‍රියාවක් වුණත් ඔහුගේ ආදරය විශිෂ්ටයි. ඔහුගේ දුක තුනීවේවා! (නි)
නිම්මි Friday, 24 June 2016 03:15 PM
තව විවාහයක් කරගැනීමට ඔහුට බාධාවක් නැත. වටින්නේ ඔහුගේ ක්‍රියාවයි. ඔහුගේ ප්‍රේමය සුන්දරය. (නි)
සොපි Thursday, 23 June 2016 10:07 AM
ටික දවසකින් මෙතුමා තව විවාහයක් කර ගනියිද ? (ර)