ඓතිහාසික පානදුරා වාදයෙන් ලෝක ප්‍රකට බෞද්ධ පුනරුදය මෙරට යළි ස්ථාපිත කිරීමට දායක වූ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් නමින් පානදුරේ ඇති වාද භූමි ගොඩනැගිල්ල මේ වනවිට ලඳු කැලෑවකින් වැසී පරිහානියට පත් වෙමින් තිබෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ පරිහානිය දැක්වෙන සේයාරුවක්ද සමගය.
අපට අපේ උරුම සම්බන්ධයෙන් ඇගයීමක් තිබේද යන ප්‍රශ්නය මතු කිරීමට සාධාරණ පරිසරයක් බිහි වී තිබේ. එක් අතකින් ආගමදහමට නිගරු කරන, පරිභව කරන වැඩ සටහන් විශාල පිරිසකගේ අත්පොළසන් මැද වේදිකාගත කෙරේ. තවත් අතකින් ලෝකයේම අවධානය යොමුවන ක්‍රිකට් සැණකෙළියක සමාරම්භක උළෙලේදී ජාතික ගීය විකෘති කෙරේ. එමෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඒවායේ හෝටල් සංකීර්ණ ඉදිකිරීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක වේ. ලෝක උරුම සිංහරාජ වනාන්තරය දෙපළු කරමින් කොන්ක්‍රීට් පාරවල් ඉදිවේ. ඒ සිංහරාජ වනාන්තරය තුළ අනීතිකව ඉදිකර ඇති බලපුළුවන්කාරයන්ගේ හෝටල්වලට ගමන් පහසුව සැලසීමට බව පරිසර සංවිධාන චෝදනා කරති.
‘‘අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී’’ යැයි ලියා තැබුවේ කුමරතුඟු මුනිදසුන්ය. එය ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම අපගේ ඉපැරණි උරුමයන් නොතකා හා ඒවාට ගරහමින් යා හැකි ගමනක් හෝ අත්පත් කරගත හැකි ජයග්‍රහණයක්ද නැත. අවාසනාවකට අප හැමදාමත් තෝරාගෙන ඇත්තේ පරාජයේ හා විනාශයේ මාවතය. ඓතිහාසික පානදුරා වාද භූමිය ජරාවාස වීමට ඉඩ හැරීමෙන් පැහැදිලි වන්නේ එයය.
අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට රට තතුවීමත් සමඟ බුදු දහම වැළලී යාමේ තර්ජනය මතු විය. මේ රට තමුන්ට ඇවැසි පරිදි හසුරුවාලීමට නම් රටට ලැබෙන කහ සිවුරේ සෙවණ අහිමි කළ යුතුවිය. මන්දයත් මහින්දාගමනයත් සමග අපගේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ ගමත් පන්සලත් වැවත් දාගැබත් කේන්ද්‍ර කර ගනිමින් වීමය. මෙහිදී බුදු දහම ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාන්විතයට අපේ භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත්හ. පානදුරාවාදය, සව්සත් දම්වාදය එහිදී ප්‍රධාන විය. නූතන බෞද්ධ පුනරුදයට සවිමත් පදනම වැටුණේ එම වාද මගිනි. බුදු දහම විකෘති කරමින් රැගෙන ගිය ව්‍යාජ මතවාදවලට එදිරිව අභීත කේශර සිංහරාජයකු සේ නැගී සිටියේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ පාමුල, විචක්ෂණ දැනුම ළෙලවමින් සතුරු බලමුළු පරාජය කිරීමට උන්වහන්සේගේ වාග් ප්‍රහාරය හේතු බල සම්පන්න විය. පසු කලෙක මහා ප්‍රවාහයක්ව බෞද්ධ පුනරුද ව්‍යපාරයට හැකියාව ලැබුණේ එමගිනි.
මේ ඉතිහාසයට පිටුපා අපට ගොඩනැගිය හැකි ජාතියක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව සුසංයෝගයෙන් ශ්‍රී ලංකේය ජාතිය ගොඩ නැගීමට නම් ඉතිහාසය නිවැරැදිව වණපොත් කළ යුතුය. නූතන පරම්පරාවට ආදරයෙන් කියා දිය යුතුය. අනාගත පරම්පරාවට හැදෑරීමට සංරක්ෂණය කළ යුතුය.
යමක මිල දන්නා අගය නොදන්නා පුද්ගලයාට පාවිච්චි කරන වචනයක් සිංහල භාෂාවේ තිබේ. ඒ නරුමයා යන වචනය වේ. වැඩි ඉඩක් එබඳු රැඩිකල් නරුමයන්ට වෙන්ව ඇති පරිසරයක ඓතිහාසික පානදුරා වාද භූමිය ජරාවාස වීමේ පුවත විමතියක් ද නොවනු ඇත.
රට යනු ගොඩනැගිලි හෙවත් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නොවේ. එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කිරීම පමණක් ද නොවේ. රට යනු ඒ සියල්ලෙන්ම මෙන්ම ඉතිහාසය සංස්කෘතික, ආගම දහම, කලාශිල්ප, සංගීතය ආදී සියල්ලෙන්ම සමන්විත වූවකි. පිරිපුන් මිනිසකු නිර්මාණය වන්නේ එමගිනි. රටට ඇවැසි වන්නේ එබඳු සංස්කෘතික මිනිසෙකි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා භූමිය අමතක වෙලා තියෙන කාලේ... පානදුරා වාද භූමිය අමතක වෙයිද?
ඇත්තම කියනවා නම්, අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයටවත් හසුකර ගැනීමට නොහැකි වූ බුදුදහම අධි මාන්නක්කාර හොර තක්කඩි පූජකයින්ගේ ග්‍රහණයට ලක්වී ඔවුන් අතින් විකුර්ති වෙමින් පරිහානියට පත්වෙමින් තිබෙන බව නම් සත්‍යයක්. බුද්ධ දර්ශනයට අමුතුවෙන් ලෝක පුනරුදයක් අත්කර ගන්න ලංකාවේ නම් කිසිම පූජකයෙක් සමත් වී නැහැ. එදත් කළේ ආගම්වාදය ඉස්මතුකොට ලංකාවේ අඥාන බෞද්ධයින්ව කුල්මත් කිරීම පමණයි. ඒ අතරින් සැබෑ බුද්ධාගම ලෝකයට රැගෙන ගොස් ඇමරිකානුවන් හා බටහිර ජාතීන් අතර නව බෞද්ධ පුනරුදයක් ඇතිකළ දලෙයිළාමා ස්වාමින් වහන්සේට (තුමන්ට) අපි කෘතඥ විය යුතුයි. ඇතැමුන්ගේ රංගන ශාලා කොතෙක් විනාශ වුවද, බුද්ධ දර්ශනයේ පරම සත්‍යය කිසිදා විනාශ නොවන බව කුල්මත් ශ්‍රාවකයින්ට මතක් කර සිටිමි...
වාදකොට දිනලා, අන්‍ය ආගම්වලට ගරහලා ධර්මය අවබෝධ කරගත හැකියි... දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගත හැකියි කියලා පූජකයින් විසින්, අඥාන බැතිමතුන්ව අන්දවපු සමාජයකට අද අත්වෙලා තියන ඉරණම තමයි මේ වර්තමානයේ ලාංකික සමාජය තුළින් පිළිබිඹු වන්නේ... අද ප්‍රසිද්ධියේ ඔවැනි වාද නැති වුණාට, ලෝකෙට ලොක්කන් යයි හිතාගෙන පුහු මාන්නය ඔලුවේ තියාගෙන, උද්දච්ඡ ලෙස හැසිරෙන ජනතාව දැන් ලෝකයා ඉදිරියේ දීන හිඟන්නන් බවට පත්වී සිටීම, දෛවයේ සරදමක් වන්නට බැරිද...? එදා මෙන්ම, මෑත ඉතිහාසයේත් වපුරාපු බීජවල සරු අස්වැන්න තමයි මේ ලාංකික සමාජය නෙලමින් සිටින්නේ... කාටද ආඩම්බර...? මියන්මාරයේ චිරතු ලා දෙස නොබලා ටිබෙටයේ දලෙයිළාමා දෙස බලාවත් සැබෑ බුදු දහම ප්‍රත්‍යක්ෂ කර ගනිල්ලා මෝඩ මිනිසුනේ...