IMG-LOGO

පොත් බද්ද රටට කොඩිවිනයක්

වෙනදා සැප්තැම්බර් මස මැද පටන් ගෙන එම මාසය තුළදීම අවසන් වන කොළඹ පොත් ප්‍රදර්ශනය මෙවර ආරම්භ වන්නේ සැප්තැම්බර් 27 වැනිදාය. එය ඔක්තෝබර් 06 වැනිදා අවසන් වීමට නියමිතය. සෑම වසරකදීම නියමිත කාලය තුළ පොත් ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඒ සඳහා ක්‍රියාත්මක වේ.

වසරකට පමණ පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ඒ සඳහා වෙන්කර ගනී. සැප්තැම්බර් මාසය සැලකෙන්නේ සාහිත්‍යය මාසය ලෙසිනි. සෑම වසරකදීම කොළඹ පොත් ප්‍රදර්ශනය එම කාලය තුළ පවත්වනුයේ සාහිත්‍ය මාසය සැමරීම සඳහාය. මෙවර එය සාහිත්‍ය මාසයෙන් ඔබ්බට ගෙන යාමට සිදුව ඇත්තේ කුමන හේතූ නිසාද? එම කාලය තුළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කටයුතු නිරීක්ෂණය කිරීමෙන් හේතුව වටහා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතමි.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතා ඉන් දින හතකට පසු සැප්තැම්බර් 28 වැනිදා කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට ගියේය. එය ප්‍රදර්ශන සංවිධාකයන්ගේ ආරාධිතයකු වශයෙන් නොව පාඨකයකු වශයෙන් එයට සහභාගී වීමටය. ජනාධිපතිවරයාගේ පැමිණීම පොත් ප්‍රදර්ශනයේ වැදගත්කම තහවුරු කරන්නක් වූ අතර එසේ පැමිණීම බොහෝ පිරිසකගේ ප්‍රසාදය සහ ආකර්ෂණය දිනා ගැනීමට හේතු විය. ජාතික ජන බලවේගය මුද්‍රිත පොත්, අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ආදිය සම්බන්ධයෙන් මැතිවරණවල දී දුන් පොරොන්දු මේ දක්වා ඉටු වී නැති අතර ඒ හේතුවෙන් මෙවර පොත් ප්‍රදර්ශනයේ දී පොත් වෙනුවෙන් අධික මිලක් ගෙවීමට පාඨකයන්ට සිදුව ඇත. එම නිසා ඔවුන්ට මිලදී ගැනීමට හැකිවන පොත් ප්‍රමාණය ද අඩු වී තිබේ.

ජනාධිපතිවරයා මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගී වන්නේ නම් ඊට පෙර රටේ පොත් ප්‍රකාශනය පිළිබඳව ඇතිව තිබෙන මෙම ගැටලු‍ව පිළිබඳව වටහාගෙන එය විසඳීමට කටයුතු කරන්නේ නම් මහජනතාවගේ ආකර්ෂණය තවදුරටත් දිනා ගැනීමට එය ප්‍රබල හේතුවක් බවට පත්වෙනු ඇත. මීට පෙර මුද්‍රිත පොත් වැඩි ප්‍රමාණයක් මිල කර තිබුණේ රුපියල් දහසකට වඩා අඩු මිලකටය. පාසල් පොත් ආදිය රුපියල් පන්සියයකට වඩා අඩු මිලකට මිල කර තිබුණි. එසේ වුව ද මෑතක දී ප්‍රකාශයට පත් වූ පොත්වලින් වැඩි ප්‍රමාණයක් රුපියල් දහසකට වඩා වැඩි වටිනාකමකට මිල නියම කර තිබේ. මෙම තත්වයට හේතු වී තිබෙන්නේ පොත් ප්‍රකාශනයේ දී සහ අලෙවියේ දී වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්ද ඒවායින් අය කිරීමට නියම කර තිබීමය.

රුපියල් පන්සියයකට මිල නියම කර ඇති පොතකින් රුපියල් සියයක් වැට් සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් අය කර ගැනේ. රුපියල් දහසකට මිල කර ඇති පොතකින් රුපියල් දෙසීයක් ද, රුපියල් එක් දහස් පන්සියයක පොතකින් රුපියල් තුන්සියයක් වශයෙන් බදු අය කර ගනී. පොත් මුද්‍රණය සඳහා භාවිත කරන කඩදාසි, තීන්ත සහ මුද්‍රණ පුවරු ආදිය ආනයනය කරන අතර ඒවාට ද සියයට තිහක පමණ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇතැයි පොත් ප්‍රකාශනයට සම්බන්ධ සංවිධාන පෙන්වා දී තිබේ. පොත් කියවීම බුද්ධි වර්ධනයට ඉවහල්වන ප්‍රධාන සාධකයක් වන නමුදු රජය එම ක්‍රියාවලියේ දී සියයට පනහක බදු අය කිරීම හැඳින්විය හැක්කේ බුද්ධිය වර්ධනය නොව බුද්ධී හීනතාව වර්ධනය කිරීම එම බදු ක්‍රමයේ ප්‍රතිඵලය වී ඇති බවය.

2024 වසරේ දී නව බදු සංශෝධන හඳුන්වා දීමත් සමග පොත් සඳහා වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අය කරන බව ප්‍රකාශයට පත් විය. එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පොත් සඳහා බදු අය නොකළ යුතු බවත්, එම බදු වෙනස් කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය. එසේ වුව ද වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වනතුරුම එම යෝජනාව ක්‍රියාත්මක නොවීය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, මුද්‍රණ ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ සංගම්, මුද්‍රණකරුවන්ගේ සංගම් සහ සිල්ලර පොත් අලෙවිකරුවන්ගේ සංගම් ආදිය මේ පිළිබඳව රජයට අවස්ථා කිහිපකදීම කරුණු ඉදිරිපත් කර ඇත.

ඉහතින් සඳහන් කළ පරිදි ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ අවස්ථාවල දී පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ පොත්පත් ආදියෙන් වැට් බදු අය කිරීම නතර කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේ වුව ද මේ දක්වාම එම අදහස ක්‍රියාත්මක වී නැත. මෙවර පොත් ප්‍රදර්ශනයේ දී මිලදී ගන්නා පොතක වටිනාකමෙන් සියයට විස්සක මුදලක් රජයට බදු වශයෙන් ගෙවීමට එයට සහභාගි වී පොත් මිලදී ගන්නා සියලු‍ දෙනාටම සිදුව ඇත්තේ ඒ නිසාය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයන් ප්‍රකාශ කරන ආකාරයට පොත්වලින් බදු අය කරන ලොව එකම රට ශ්‍රී ලංකාවය.

තමන්ම තමන්ගේ පොත මුදල් ගෙවා මුද්‍රණය කරවාගෙන ප්‍රකාශයට පත් කරන අය හඳුන්වන්නේ කර්තෘ ප්‍රකාශකයන් වශයෙනි. මේ දක්වා ඔවුන් තම කෘති පොත්හල්වලට අලෙවිය සඳහා ලබා දුන් විට අලෙවියෙන් පසු පොතේ මිලෙන් සියයට හැටක් කර්තෘවරයාට ලබා දුන්නේය. සියයට හතළිහක් පොත් වෙළෙන්දෝ තමන්ගේ ගාස්තුව ලෙස ලබා ගත්හ. එසේ වුව ද දැන් සියයට හතළිහක ගාස්තුවක් සහ සියයට විස්සක වැට් බදු ගාස්තුවක් ද කර්තෘ ප්‍රකාශකයන්ගෙන් පොත් වෙළෙන්දෝ අයකර ගනිති. කර්තෘ ප්‍රකාශයකන්ට ලැබෙන්නේ පොතේ මිලෙන් සියයට හතළිහක මුදලක් පමණි. කෙසේ වුව ද දැන් පොත් සාප්පු වැට් බදු ප්‍රශ්නය නිසා කර්තෘ ප්‍රකාශකයන්ගෙන් අලෙවිය සඳහා පොත් ලබා ගැනීම නවතා ඇති බවක් ද පෙනේ.

1952 වසරේ දී යුනෙස්කෝ සංවිධානයේ මග පෙන්වීම යටතේ ඇති කර ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆ්ලෝරන්ස් ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තබමින් එම ගිවිසුමේ පාර්ශ්වකරුවකු බවට පත් විය. එම ගිවිසුම අනුව පොත් ආනයනය කිරීමේ දී, ප්‍රකාශයට පත් කිරීමේ දී සහ ලේඛන ප්‍රකාශයට පත් කිරීමේ දී ඒ සම්බන්ධයෙන් ආනයන බදු හෝ වෙනත් කිසිඳු ගාස්තුවක් හෝ අය නොකරන බවට පොරොන්දු වී ඇත. ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, යුරෝපය සහ ජාත්‍යන්තර පොත් අලෙවිකරුවන්ගේ සම්මේලනය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ෆ්ලෝරන්ස් ගිවිසුමට එරෙහිව යමින් පොත්වලින් බදු අය කිරීම ඔස්සේ එම සම්මුතිය කඩකර ඇතැයි ප්‍රකාශ කර ඇත. බදු අය කිරීම වහාම නතර කරන ලෙස ද එම සංගම් දෙක ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ වනවිට මෙම බදු අය කිරීම රටේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පුස්තකාල කෙරෙහි විශාල බලපෑමක් එල්ල කර ඇති බව පෙනේ. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වෙත පුස්තකාල පොත් මිලදී ගැනීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් සියයට විස්සක් බදු වශයෙන් ගෙවීමට සිදුව තිබීම නිසා අපේක්ෂිත අයුරින් පොත් මිලදී ගැනීම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණ දී සිටී. විශ්වවිද්‍යාල සිසුන් බොහෝ දෙනකුට පරිශීලනය කිරීමට නියම කර ඇති පොත් මිලදී ගැනීමට නොහැකි නිසා ඒවා පරිහරණය කිරීමට ලැබෙන්නේ තම ආයතනවල පුස්තකාලවලින් පමණකි. එසේ වුව ද එම පුස්තකාලවලට ලබාගන්නා පොත් ප්‍රමාණය විශාල ලෙස අඩු කිරීමට සිදුව තිබේ. මේ ආකාරයටම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට මෙන්ම පාසල් පුස්තකාලවලට පොත් මිලදී ගැනීම සීමා කිරීමට සිදුව ඇත. එයට හේතුව පොත් මිලදී ගැනීම සඳහා වෙන්කර ඇති මුදලින් පහෙන් එකක් රජයට බදු වශයෙන් ගෙවීමට විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ පාසල්වලට සිදුව තිබීමයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු බුද්ධිමත්හු විශාල පිරිසක් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලයේ ද, පාර්ලිමේන්තුවේ ද සිටිති. එසේ වුව ද ලෝකයේ කිසිම රටක සිදු නොවන ආකාරයට රජය විසින් බුද්ධිය උකහා ගැනීමේ සහ බුද්ධිය බෙදාහැරීමේ ප්‍රධාන මාර්ගය වන පොත්වලින් අතිවිශාල බද්දක් අය කර ගනු ලැබීම පිළිබඳව එම බුද්ධිමතුන් නිහඬව සිටිම කනගාටුවට කරුණකි. රජයේ වගකීම විය යුත්තේ පොත් කියවීම තවදුරටත් අඩු කෙරෙන තත්වයක් ඇති කිරීම නොව රටේ ජනතාව වැඩි වැඩියෙන් පොත් කියවන පරිසරයක් නිර්මාණය කිරීමයි. ලෝකයේ බෙහෝ රටවල් හා සසදන විට ශ්‍රී ලංකාවේ පොත් කියවන පිරිස ක්‍රමයෙන් පහළ වැටෙමින් පවතින බව පෙනේ. මීට දශකයකට පමණ පෙර පොතක් ප්‍රකාශයට පත් කරද්දී පිටපත් අවම වශයෙන් දහසකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කළේය. එහෙත් අද වනවිට පොතකින් මුද්‍රණය වන්නේ පිටපත් පන්සියයක් වැනි ප්‍රමාණයකි. රටේ පොත් කියවීම බිඳ වැටී ඇති ආකාරය එයින් පැහැදිලි වේ.

කෝවිඩ් වසංගත සමයේ දී පොත් මුද්‍රණයට අවශ්‍ය කෙරෙන කඩදාසි, තීන්ත සහ මුද්‍රණ පුවරු ආදියෙහි මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. එසේ වුව ද එම මිල ගණන් මේ වනවිට සුළු ප්‍රමාණයකින් හෝ අඩු වී තිබේ. පොත්වලින් බදු අය කිරීම නිසා එම වාසිය පොත් ප්‍රකාශකයන්ට ද, පාඨකයන්ට ද අහිමී වී ඇති අතර පෙරට වඩා ඉතා අධික මුදලක් දැන් බදු වශයෙන් ගෙවීමට ද සිදුව ඇත.

සැප්තැම්බර් සාහිත්‍ය මාසය අවසානයේ දී පැවැත්වෙන රටේ පොත් මංගල්‍යය ලෙස හැඳින්විය හැකි කොළඹ පොත් ප්‍රදර්ශනයට පෙර මේ රටේ ඉතිහාසය තුළ පොත් සම්බන්ධ මහා ඛේදවාචකය ලෙස සැලකිය හැකි මෙම බදු අය කිරීම නවතා පොත් බදුවලින් නිදහස් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේත්, කැබිනට් මණ්ඩලයේත් අවධානය යොමු වෙනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ ප්‍රර්ථනාව වනු ඇතැයි සිතමි. බුද්ධිය ළඟා කර ගැනීමේ ප්‍රධාන මාර්ගය වන පොත් වෙනුවෙන් බදු අය කරන එකම රට ශ්‍රී ලංකාව යන ලේබලය වහාම ඉවත් කිරීම රජයේ වගකීම වේ.

 

(***)



අදහස් (0)

පොත් බද්ද රටට කොඩිවිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 113 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1054 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site