පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් හෂීම් සිය අනුගාමිකයන් වෙනුවෙන් පන්ති පැවැත්වීමට සහ අවි පුහුණුව ලබාදීමට යොදාගත් බව කියන නුවරඑළියේ රුවන්එළිය ධර්මපාලපුර මාර්ගයේ පිහිටි දෙමහල් නිවෙසක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සහරාන්ගේ කල්ලියේ බෝම්බ විශේෂඥයකු ලෙස සැලකෙන පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව මෙම දෙමහල් නිවෙස සොයාගත් බවද අප ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.
දෙමහල් නිවසක් යනු ගිනි පෙට්ටියක් වැනි යමක් නොවේ. තමන්ගේ ප්‍රදේශයට ආගන්තුකයකු පැමිණි විට ඒ පිළිබඳව විමසිලිමත් වීම සාමාන්‍ය සිරිතය. එයට බෝම්බ පුපුරා යා යුතු නැත. සහරාන්ට අයත් මෙම දෙමහල් ගොඩනැගිල්ල පරිහරණය කර තිබෙන්නේ අනුගාමිකයන්ට පන්ති පැවැත්වීමට හා අවි පුහුණුව ලබාදීම සඳහාය. සාමාන්‍යයෙන් එක්වරකට පුද්ගලයන් තිස්පස් දෙනකු පමණ මේ සඳහා පැමිණ ඇත. ඒ අනුව මෙම දෙමහල් ගොඩනැගිල්ලේ කටයුතු අබිරහස් ස්වරූපයක් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් කිසිදු ඉවක් අසල්වැසියන්ට හෝ නොදැනීම විමතිය දනවන තරම්ය.
මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ ජාතික ආරක්ෂාවය. රටේ පැවැත්ම තහවුරු වන්නේ ජාතික ආරක්ෂාව තහවුරුවන ප්‍රමාණයටය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැහැදිලිවන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් නොතිබූ බවය. එබඳු අවධානයක් තිබුණේවී නම් සැක කටයුතු යමක් සිදුවන නුවරඑළියේ දෙමහල් ගොඩනැගිල්ල සෝදිසියට ලක් විය යුතුව තිබිණි.
නුවරඑළියේ දෙමහල් ගොඩනැගිල්ල සොයා ගැනීමට අදාළ ප්‍රවෘත්තිය පළවූ දිනයට පෙර දිනයේ අප පුවත්පත වාර්තා කළේ සහරාන් කල්ලියට අයත් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් කාත්තන්කුඩි ඔල්ිකුලම් ප්‍රදේශයේදී සොයාගත් බවය. ගොවිපොළක් ලෙස මතුපිටට පෙනෙන සේ පවත්වාගෙන ගොස් තිබෙන මෙම මෙහෙයුම් මූලස්ථානයේද පන්ති පැවැත්වීම්, ඉලක්කයට වෙඩිතැබීම් පුහුණූවීම් මෙන්ම මරාගෙන මැරෙන පුහුණුවීම්ද සිදු කෙරී ඇති බව වාර්තා විය.
එහෙත් මේ සියල්ල අනාවරණය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුවය. මෙරට බුද්ධි අංශයක් තිබුණේද යන්න සැක පහළවන තරමට තත්ත්වය භයානකය. ඇමරිකාවේ බුද්ධි අංශය වන සී.අයි.ඒ. ඉන්දියාවේ බුද්ධි අංශය වන රෝ ඔත්තු සේවය මෙන්ම ඊශ්‍රායලයේ මොසාඞ් ඔත්තු සේවය තම රට වෙනුවෙන් වෙනත් රටවල ප්‍රශ්න අර්බුද ඇති කරවීමට තරම් දියුණුය. පාකිස්තානයේ සැඟවී සිටි අල්ඛයිඩා සංවිධානයේ නායකයාට සිදුවූයේ කුමක්ද යන්න පාකිස්තාන බලධාරින්ට පවා දැන ගැනීමට හැකි වූයේ සෑහෙන කාලයකට පසුවය.
කරුණු කාරණා එපරිදි වුවද අප රටේ බුද්ධි අංශයට යාබද ඉඩමේ සිදුවන්නේ කුමක්ද යන්න පවා සොයා ගැනීමට නොහැකියාවක් පැවැති බවට කරුණු කාරණාවලින් පැහැදිලි වෙයි. එය ඉතා භයානක තත්ත්වයකි. එබඳු දුර්වල අඩියකට බුද්ධි අංශ ඇද වැටීම සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් කළ යුතුය.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ගාල්ල පොලිසිය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කරාපිටිය ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් දාහක පමණ තොගයක් සොයා ගත් බවය. ත්‍රිවිධ හමුදාවට අයත් නිල ඇඳුම් ආවාට ගියාට මැසිය නොහැකිය. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය. වාර්තාවන අන්දමට එසේ ලියාපදිංචි වී තිබෙන්නේ එක් ආයතනයක් පමණි. කෙසේ වෙතත් ගාල්ලේ නිවෙසින් සොයාගත් ත්‍රිවිධ හමුදා නිලඇඳුම්වල රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඒ අනුව පැහැදිලි වන්නේ මේවා ත්‍රිවිධ හමුදා නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් නොව නිල ඇඳුම් බවය.
ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් පෞද්ගලික නිවෙසකින් සොයා ගැනීම තේරුම් ගත යුත්තේ කෙසේද? කිසියම් අතපසුවීමකින් මෙය සිදුවීද? නැතහොත් සංවිධානාත්මකව සිදුකර තිබේද? එසේනම් මෙයට සම්බන්ධ පිරිස් කවුරුන්ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? පාස්කු ප්‍රහාරකයන් සමඟ ඍජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබේද? එමෙන්ම මෙම ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගාල්ලේ නිවෙසකට රැගෙන ආවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද? එයට පෙරද? ඊට පෙර නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වනතුරුම මේවා සොයා ගැනීමට නොහැකි වූයේ මන්ද?
ජාතික ආරක්ෂාව අනතුරට හෙළීමේ තාර්කික වන්දිය ගෙවීමට සිදු වූයේ රටේ පොදු මහජනතාවටය. අනාගතයේ තවත් මෙබඳු විපත් සිදුවීම වැළැක්විය යුතුය. ඒ සඳහා එළඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරිම බලධාරින් ඉදිරිපිට ඇති හැහැර හැරිය නොහැකි වගකීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට සමාවන්න මෙහෙම ලියනවට. මෙම බෝම්බ ප්‍රහාරයට පෙර අපේ හමුදාපති සමග පැවැත්වූ සාකච්චාවකදී කිව්වේ, යුද්ධ කරන්න ලේසියි ඒත් නැවත යුද්ධයක් ඇති නොවීමට ක්‍රියා කිරීම තමයි අසීරු, එතුමා දැන් කරමින් සිටින්නෙත් ඒවගේ කටයුත්තක් කියලා. අන්තිමේ මොකද වුනේ? හොඳ වෙලාවට උන්ට මරාගෙන මැරෙන උන් හත් අට දෙනෙක් හිටියේ. නැතිනම් දැන් අල්ලන ආයුධ තොග වල හැටියට මුළු ලංකාවම කුඩු කරන්න තිබුනා. දැන්වත් කව්රු කවුරුත් තමන් ගැන අධි තක්සේරු නොකර, දේශපාලකයන්ට කඩේ යන්නෙත් නැතිව ජාතික ආරක්ෂාව ගැන හිතුවොත් හොඳයි. මෙවැනි ත්‍රස්ත ක්‍රියා නිසා අපට අහිමිවන දේ නැවත කිසිදා ලබාගත් නොහැකියි.
මෙම ලිපිය යොමු කල තැනැත්තාගේ නම හෙළි නොකර සිටීමේ වැදගත්කම කුමක්ද? බුද්ධි අංශය දේශපාලන අධිකාරිය සහ ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලුම දෙනාගේ අවතක්සේරුව, වගකීම් පැහැර හැරීම, ආරක්ෂාව දියාරු කිරීම වැනි එකී මෙකි දෑ දැන් සිදු වී හමාරය. ඔවුන්ට අවශ්‍ය දඩුවම් අප ඉදිරියේදී දිය යුතුයි. දැන් සිදුවුන විපත අපට නැති කල නොහැක. නමුත් එයින් පාඩමක් ඉගෙන ගෙන අත්දැකීම් අරගෙන නැවත එවන් විපතක් නොවෙනා විදිහට වැඩ කිරීම අප සැමගේ යුතුකමයි. අපත් මින් මතුවට අහල පහල ගැන හොද අවබෝධයෙන් සිට අකටයුත්තක් හෝ සැක කටයුතු යමක් වෙතොත් අවශ්‍ය අංශ දැනුවත් කිරීම මෙවන් විපත් අවම කල හැකි බව මෙනෙහි කල යුතුය.
ජීවිතේට නුවර එළියට ගිය කෙනෙක් වෙන්න බැහැ. ත්‍රස්තවාදීන් පුහුණු කටයුතු සඳහා එම ප්‍රදේශය තෝරා ගැනීමේ හේතුව ගැන කිසිම අවබෝධයක් නැති බව පැහැදිලියි. ඒ වුණාට නුවරඑළිය කියන්නේ ලංකාවේ තියන පළමුපෙලේ සංචාරක නගරයක්.... ඒක සාමාන්‍ය ගමකට උපමා කරලා අල්ලපු ගෙවල්වලට එන්නේ යන්නේ කව්ද කියලා හෙව්වේ නැති එක ගැන විවේචනය කර තිබෙනවා. අමුත්තන්, හඳුනා නොගත් පුද්ගලයන් විනා දන්නා අඳුනන පුද්ගලයින් නුවර එළියේ නිවාඩු ගත කරන්න යන්නේ නැහැ. ඒ බව නොදන්නවා වුණාට ත්‍රස්තවාදීන් හොඳින් දැන සිටිය බව පේනවා. එහි වාසිය ඔවුන් ලබාගත්තේ ඒ ප්‍රදේශයේ තියන සමාජ වටපිටාව ගැන හොඳින් දන්නා නිසයි. ඒ වගේම හමුදා නිල ඇඳුම් සැපයීමට කොන්ත්‍රාත් ගත් තැනැත්තන් ඒවා උප කොන්ත්‍රාත් කරුවන්ට සහ ඔවුන් මගින් සුළු පරිමාණ මැහුම් ආයතන වලටත් බෙදා හැරෙන බවත් නොදන්නා බව පේනවා.
මේවා ඇදගෙන තැනින් තැන පහරදී ලෝකයට පෙන්වනවා හමුදාවෙන් කළ විදියට ඉන්පසු වැට ගහන්න කට්ටිය එනවා. ඒ සමගම අනිත් අයත් පටන් ගන්නවා.
එවැනි යුදහමුදාවේ අැඳුම්වලට සමාන ඇඳුම් ඇමෙරිකාවේ ඕනේ කෙනෙකුට අඳින්න පුළුවනි. පරණ යුදහමුදා ඇඳුම් විකුණන වෙළඳසැල් බහුලව තිබෙනවා. ඉතින් ලංකාවේ අය සොයාගත් ඇඳුම් කට්ටලවලට ඔය තරම් බය මොකද? ත්‍රස්තවාදීන් එම ක්‍රියාවලට පැමිණියේ යුදහමුදා ඇඳුමෙන් සැරසිලාද?
දේශද්‍රෝහීන් රට පාලනය කරනතුරු ජනතාවට නිවනක් නැත.
ගාල්ල ගැන දන්නා ඕනෑම කෙනෙක් දන්නවා ඔය නිල ඇඳුම් තිබුණේ (යුද හමුදා නිල ඇඳුම්) නිල වශයෙන් අවසර තිබෙන ආයතනයකින් බව. සියල්ල පුවත් නිර්මාණය කර සමාජය බිය ගැන්වීමක් පමණි.
මොන බුද්ධි අංශද? ඔවුන් ඔක්කොම හිරේ...