IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රශ්නය

වත්කම්, බැරකම් ප්‍රකාශ අපේ රටේ දේශපාලනය සමඟ දැඩිව බැඳී තිබෙන විෂයයකි. නීතියට සහ සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කළ යුතු වෙයි. විශේෂයෙන් ම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු ම ඡන්ද අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවශ්‍ය ය. තත්ත්වය එසේ වුව ද මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම ක්‍රියාත්මක වන්නේ වක්කඩේ හකුරු හැංගුවාක් වැනි ආකාරයකට ය. අන්තිමට ගත යුත්තක් නැත.

මැති ඇමැතිවරුන් ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශවල අතට හසුවන දෙයක් නැති වුව ද එසේ සිදුවෙන්නේ මේ මැති ඇමැතිවරුන්ට ප්‍රකාශ කිරීමට තරම් වත්කම් හෝ බැරකම් නැති නිසා යැයි වරදවා වටහාගත යුතු නැත. මේ අය අතුරින් වැඩි පිරිස වැටෙන්නේ ඇති හැකි අයගේ ගණයට මිස නැති බැරි අයගේ ගණයට නොවේ.

ඔවුන් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් නොකරන්නේ ඔවුන් සතු වත්කම් නැති නිසා නොව ඒවා හෙළිදරව් කිරීමෙන් තමන්ට අමාරුවේ වැටීමට සිදුවන බව දන්නා හෙයිනි. මේ හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හැමවිට ම පවතින්නේ සැඟවුණු මාතෘකාවක් වශයෙනි.

කොළඹ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැදගත් කරුණක් හෙළිකර තිබිණි. සිය වත්කම් බැරකම් ප්‍රකාශ කිසිදු චකිතයකින් තොරව ප්‍රසිද්ධියට පත්කරන මන්ත්‍රීවරයකු වශයෙන් නමක් දිනාගෙන සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරුන් 225 දෙනාගෙන් දොළොස් දෙනකු පමණක් බව ය.

මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශ 16න් දෙවැන්න ලෙස දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙවත් ජනාධිපතිවරයා, අගමැති, ඇමැතිවරුන් මෙන් ම පාර්ලිමේන්තුවේ සියලු දෙනා ජනතාවට බලා ගත හැකි වන අයුරින් වත්කම් ප්‍රසිද්ධ කළ යුතු ව ඇති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දී තිබිණි. එම වත්කම් ප්‍රකාශන තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි 24 වන විට ප්‍රසිද්ධ කළ යුතු බව ද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබෙන මැති ඇමැතින් කවුදැයි තව ම හෙළි වී නැත. එහෙත්  එසේ හෙළි කළ සියලු දෙනා සැබෑ මහජන සේවකයන් වශයෙන් අපි අගයමු. තමන් කවුදැයි තමන්ගේ ඡන්ද දායකයාට හරිහැටි හඳුන්වා නොදෙන මහජන නියෝජිතයන් බොහෝ දෙනකු වැටෙන්නේ කට්ට කයිරාටික ගණයට බව ද ප්‍රකාශ කිරීමට ද අපි මැලි නොවෙමු. හෙළි කිරීමට නොහැකි තරමට වත්කම් සහ බැරකම්  හිමි බොහොමයක් මැති ඇමැතින් දේශපාලනයේ අතපොත් තබන විට සිට ඇත්තේ කෙසේ දැයි සොයා බැලුවහොත් ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි යන්නට පිළිතුරක් ලැබෙනු ඇත.

මුළු රට ම දුප්පත් වී බංකොළොත් වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් සහ ඔවුන්ගේ සමීප ඥාතීන් ද ගජ මිතුරන් ද අසීමිත ලෙස පොහොසත් ව සිටීමේ මන්ත්‍රය ඇත්තේ මේ රටේ ක්‍රියාත්මක ව පවතින ගඳ ගසන දූෂණයෙන් සහ වංචාවෙන් පිරී ඉතිරී ගිය දේශපාලනය තුළ ය. මේ හේතුවෙන් තමන්ගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීම ජනතාව ඉදිරියේ රෙදි ගලවා ගැනීමක් බව ඔවුහු දැන සිටිති.

මූල්‍ය අරමුදල මෑතක දී නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ ඔවුන් සඳහන් කර ඇත්තේ දූෂණයට එරෙහිවීමට ශ්‍රී ලංකාව වසර 50කට ආසන්න කාලයක සිට උත්සාහ කළත් ශ්‍රී ලංකාවේ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව ය. ලංකාවේ දූෂණය ඉහ වහා ගොස් තිබෙන බව ද එම වාර්තාවේ සඳහන් වී තිබේ.

එම දූෂණ ක්‍රියාවලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දීමට නම් 1975 වසරේ සිට ක්‍රියාත්මක ව පවතින වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන් අනුගත වීම අවශ්‍ය ය. එයින් මග හැර යාම තමන්ගේ වරද තමන් ම පිළිගැනීමක් වනු ඇත.

(***)



අදහස් (0)

දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රශ්නය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site