IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


දරුවාත් විසිකර මූදට පැන්න මව

panchana
 

අවුරුදු හතරක් හා පහක් වයසැති කුඩා දැරියන් දෙදෙනකු මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට විසි කළ පියකු පිළිබඳව පසුගිය කාලයේ මුළු රටම කතා බහ කරන්නට විය. ඒ ආකාරයට සිය සිව් හැවිරිදි පුත‍්‍රයා මුහුදට විසිකර සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවක් ගැන ඉකුත්දා වාර්තා වූයේ වැලිගම මිදිගම දේනුවල ප‍්‍රදේශයෙනි.

වැල්ලවාය, හඳපානාගල ආදවෙල යාය පදිංචි රත්නායක මුදියන්සේලාගේ සෝමලතා (32) නම් ඇයගේ සැමියා පොලිස් කොස්තාපල්වරයෙකි. ශාන්ත සිසිර බණ්ඩාර (40) වන ඔහු ඇතිමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරයි.

DSC00285ඔවුන්ට පිරිමි දරුවන් දෙදෙනකු සිටින අතර වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු දහයකි. බාල පුතුවන පංචන ධනංජය (04) කුඩා කාලයේ සිට අසනීප තත්ත්වයෙන් පසුවෙයි. එම දරුවාගේ බෙහෙත් හේත් ආදී වියදම් සඳහා මාසයකට වැඩි වියදමක් දැරීමට සිදුවන නිසා ඔවුන්ට ආර්ථික වශයෙන් දියුණුවීමේ ඉඩකඩ ඇහිරී තිබුණි.

තම බාල පුතු සමීපයේ නිතර සිටිය යුතු නිසා සෝමලතාට ද රැකියාවකට යාමට නොහැකි වූවාය. මේ නිසා ඇය හා සැමියා අතර නිතර අඩ දබර ඇති විය. ඇතැම් විට ඔවුන්ගේ පවුල් ආරවුල් විසඳුණේ පොලිසියට ගොස්ය.

දිනය ඉකුත් 17 වැනිදාය. එදින මුළු රටටම සුවිශේෂී වූයේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ දිනය වන නිසාය. සෝමලතාගේ වැඩිමහල් පුතුද එම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණෙන් සිය පියා උදෑසනින් එම දරුවා විභාග මධ්‍යස්ථානය වෙත ඇරලවා ඔහු රැුකියාව සඳහා පිටත්ව ගියේය.

විභාගය අවසානයේ කිසිවකුත් තමා කැඳවා ගෙන යාමට නොපැමිණි නිසා එම දරුවා තනිවම නිවස වෙත පැමිණියේය. ඒ වනවිට මව හා ඔහුගේ බාල සහෝදරයා ගමනක් යාමට සූදානම්ය. ”අම්මේ කොහෙද යන්නේ” කියා එම දරුවා විමසන විට ”මම මල්ලීට බෙහෙත් අරන් දෙන්න යනවා” යයි මව පිළිතුරු දුන්නාය.

එම දෙදෙනා නිවසින් පිටත්ව ගිය පසු ශාන්ත සිසිර බණ්ඩාර මහතා නිවසට පොලිසියේ සිට දුරකථන ඇමතුමක් ගත්තේය. ඊට ප‍්‍රතිචාර දැක්වූයේ වැඩිමහල් පුත‍්‍රයායි.

”අම්මා මල්ලිත් එක්ක බෙහෙත් ගන්න රෝහලට ගියා” යයි ඔහු තාත්තාට කීවේය. කාලය ක‍්‍රමයෙන් ගෙවී ගියේය. රෑ බෝවී එන විට නැවතත් ශාන්ත නිවසට ඇමතුමක් ලබා ගත්තේ බිරිඳ සමග කතාබහ කිරීමේ අදහසිනි. එම අවස්ථාවේදීද ප‍්‍රතිචාර දැක්වූයේ වැඩිමහල් පුත‍්‍රයාය.

”අම්මයි මල්ලියි තවම ගෙදර ආවේ නැහැ.” යයි එම දරුවා කී විට ශාන්තගේ හිතට යම් බියක් ඇති වූයේ ඔවුන්ට කුමක් වුවාද යන්න සිතමිනි. ඔහු පොලිසියේ සිට සිය සම්බන්ධතා උපයෝගි කරගෙන වැල්ලවාය, මොනරාගල ආදී රජයේ රෝහල් වෙත දුරකථන ඇමතුම් ලබා ගනිමින් බිරිඳ හා බාල දරුවා ගැන තොරතුරක් ලබා ගැනීමට වෙහෙසෙමින් සිටියේය.

ඒ අතරතුරදී වැලිගම, මිදිගම, දේනුවල ප‍්‍රදේශයේදී සිය සිව් හැවිරිදි දරුවා මුහුදට විසිකර ඇයද මුහුදට පනින අයුරු ධීවරයෝ පිරිසක් දැක ඇත. එම ධීවර පිරිස ඉතා ඉක්මනින් මුහුදට පැන පිහිනා ගොස් අදාළ කාන්තාව හා දරුවා අල්ලාගෙන ගොඩට රැගෙන ආහ.

සුළු වේලාවක් තුළදී එම දෙදෙනා අහංගම ගොන්නගහහේන රජයේ රෝහල වෙත ඇතුළත් කිරීමට ප‍්‍රදේශවාසීහු කි‍්‍රයා කළහ. එහෙත් ඒ වනවිටත් කුඩා දරුවා මිය ගොස් තිබුණි. සිහිසුන් වී සිටි මව වලාන රජයේ රෝහල වෙත යැවීමෙන් පසු මාතර මහ රෝහල වෙත මාරුකර යවන ලදී.

ඒ සමගම කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ මේ අපරාධය කළ මව වැල්ලවාය, හඳපානාගල පදිංචි මුදියන්සේලාගේ සෝමලතා (32) නමැත්තිය බවත් ඇය මුහුදට විසිකර මරා දැමුවේ පංචන ධනංජය (04) නමැති දරුවා බවත්ය.

එම තොරතුරු ඉන් අනතුරුව පොලිස් කොස්තාපල් ශාන්තටද දැන ගන්නට ලැබුණි. ඔහු වහා මාතරට පැමිණෙන විට සියලූ දේ සිදුවී හමාරය. තම කුඩා දරුවාගේ නිසල සිරුර වලාන රජයේ රෝහලේ තබා තිබුණි. සිහිසුන් වූ බිරිඳ මාතර මහ රෝහලේ 25 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.

ඇය වැල්ලවාය සිට ගාල්ල බලා ධාවනය වන බසයකට ගොඩවී මිදිගම දේනුවල පාලම අසළින් බැස තිබෙන බව පොලිසිය කියයි. ටික වේලාවක් කැලෑ රොදක සැඟවී සිටි ඇය රෑ බෝ වනවිට මුහුද අයිනේ උස් ස්ථානයකට පැමිණ මෙම අපරාධය කර තිබේ. කෙසේ වෙතත් ඒ අසල හෝටලයක ඉහළ මහලේ සිටි විදේශිකයකු එම අවස්ථාව දැක මහ හඬින් කෑ ගසා ඇත. එවිට ධීවරයින් පැමිණ මව හා පුත‍්‍රයා මුහුදෙන් ගොඩට රැගෙනවිත් තිබේ.


old-house

කෙසේ වෙතත් පවුල් ආරවුලක් මේ සිද්ධියට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සැකකාර මවට මිනී මැරුම් චෝදනා එල්ලවී ඇත්තේ තම පුත‍්‍රයා මුහුදට විසිකර මරා දැමීමේ වරදටය. පොලිස් නිලධාරිනියන් භාරයේ මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය පරීක්ෂා කළ මාතර අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා සැකකාරිය ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කළේය.

දුරදිග බලා කටයුතු නොකිරීම හේතුවෙන් සිව් හැවිරිදි පංචන ධනංජය දරු පැටියාට ජීවිතය අහිමිවීම මෙන්ම එම මවට සිර ගෙට යාමටද සිදුවූවාය. කොතරම් ප‍්‍රශ්න ආර්ථික අපහසුතා තිබුණද මෙවැනි පාප කි‍්‍රයා මේ සමාජයේ කිසිවකුත් අනුමත නොකරති. එබැවින් බුද්ධිමත්ව කි‍්‍රයා කිරීම හැම අතින්ම යහපත්ය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරි විජිත රණබාහු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැලිගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්. කාරියවසම්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ. ලලිත්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන 475  ඕෂදී හා 1793 සුජීවා යන මහත්ම මහත්මීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 

kalina-03-futter



අදහස් (0)

දරුවාත් විසිකර මූදට පැන්න මව

තිලක් Tuesday, 09 September 2014 06:23 PM

අම්මලට මේවගේ වෙනවා. මෙයට වරද තාත්තගේ .හරිම දුක හිතෙන කතාවක්.(ස)

:       0       0

තිලක් Tuesday, 09 September 2014 06:33 PM

ඔය ගෑනු කෙනා හිරේ දාන්න එපා කොහේහරි පුනරුත්ථාපන කඳවුරකට දාල මනස හදලා ආපසු ගෙදරට යවන්න .ඔය ගෑනිගේ වරදක්නෑ,මිනීමරුවෙක් නොවේ ඔය කෙල්ල .අනිත් දරුවත් කාලකන්ණි වෙනවා .හොදට හිතලා බලන්න ඕනේ. (ස)

:       0       0

තිලක් Tuesday, 09 September 2014 06:36 PM

වැරැද්ද මිනිහගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1629 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1394 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site