IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තෙවැනි ලෝක යුද්ධය ඇවිළේද?

අවසානයේ එය එසේ සිදුවිය. ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන ඉලක්ක තුනටය. මේවා න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ න්‍යෂ්ටික පර්‌යේෂණාගාර විය. ඇමෙරිකාවට අයත් අධි බරැති, රේඩාර්වලට හසුනොවී යා හැකි අති ප්‍රබල බී2 වර්ගයේ බෝම්බ හෙළන යානයක් භාවිතයට ගනිමින් මෙම න්‍යෂ්ටික පර්‌යේෂණාගාර සම්පූර්ණයෙන් විනාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේ ජාතිය අමතමිනි. රාත්තල් 30,000 ක බරින් යුත් බෝම්බ මෙම ප්‍රහාරයට යොදා ගත් බව පැවැසෙයි.

“මම කැමැතියි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට ස්තුති කරන්න. අපි (ඇමෙරිකාව) ඊශ්‍රායලය සමඟ කටයුතු කරන්නේ සහයෝගයෙන්. හොඳ කණ්ඩායමක් හැටියට. ඉරානය ඊශ්‍රායලයට පුදුමාකාර විදියේ තර්ජනයක්. ඒ තර්ජනය මුලිනුපුටා දමන්න අප ඊශ්‍රායලයට සහාය දක්වනවා. මම කැමැතියි ස්තුති කරන්න, ඊශ්‍රායල හමුදාවට. ඔවුන්ගේ කාර්යය ප්‍රසංශනීයයි. ඒ වගේමයි මම ස්තුතිවන්ත වෙනවා, ප්‍රහාරය සඳහා ගිය ඇමෙරිකන් ප්‍රහාරක යානාවල දේශප්‍රේමී වීරෝධාර නියමුවන්ට. දශක ගණනකින් ලෝකයට දකින්න නොලැබුණු ආකාරයේ හමුදා මෙහෙයුමක් දකින්න සලස්වන්න අපට (ඇමෙරිකාව) හැකි වුණා. දැන් ඉරානය තීරණයක් ගන්න ඕනෑ, සාමයට යනවාද? නැත්නම් පසුගිය දින අටක කාලයේ සිදුවුණාටත් වඩා දරුණු ඵලවිපාකවලට මුහුණ දෙනවාද? ඉරානයේ තීරණය කුමක්වේවිදැයි අපි බලමු. මැදපෙරදිග කලාපයේ චණ්ඩියා ඉරානයයි. ඉරානය සාමයට යා යුතුමයි. එහෙම නැතිනම් ඔවුන් අමාරුවේ. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ලෝකයේ අංක එකේ සතුරා ඉරානයයි. අවුරුදු 40 ක් තිස්සේ ඉරානය කීවේ එක දෙයයි. ඇමෙරිකාවට මරණය; ඊශ්‍රායලයට මරණය. ඒත් සැබෑ ත්‍රස්තවාදියා ඉරානයයි” යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ, ජාතිය අමතමිනි. ට්‍රම්ප් ජාතිය අමතද්දී, උප ජනාධිපති ජේඩී වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඔහු පසුපස සිටියහ. ට්‍රම්ප්ගේ ජාතිය ඇමතීම මිනිත්තු හතරකට සීමා විය. ඉරානයට ඇමෙරිකාව පහර දීම සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුද ප්‍රකාශයක් නිකුත් කළේය. එම ප්‍රහාරය තමන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු වූවක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ජාතිය ඇමතීමට පෙර, ට්‍රම්ප් ඉරානයේ ඉලක්ක වෙත. පහර දුන් බව ලොවට අනාවරණය කළේ ඔහුගේ ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. ඒ, ඇමෙරිකාවේ වේලාවෙන් සෙනසුරාදා (21) රාත්‍රී අටට පමණය. ට්‍රම්ප් ජාතිය ඇමැතුවේ ඇමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 10 ට ධවල මන්දිරයේ සිටය. “මම ඉරානයට පහර දෙන්න අණ කළා. රාත්තල් 30,000 ක බරින් යුත් බංකර් නාශක බෝම්බ, ටොමාහෝක් වර්ගයේ මිසයිල 30 ක් මේ සඳහා යොදා ගත්තා” යැයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැවැසීය.

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙන යන ප්‍රහාරවලට දැන් ඇමෙරිකාව ද එක් වී ඇත. මෙය සැබැවින්ම බිහිසුණු තත්වයකි.

ඇමෙරිකන් ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් තමන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරයි. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික ස්ථාපනවලට පහර දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙනවා.” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා චෝදනා නගා ඇත. ඇමෙරිකාව තමන්ට ප්‍රහාරයක් එල්ල කරකළහොත් ඉරානය මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් සහ බටහිර රටවල ඉලක්කවලට පහර දෙන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මීට පෙර අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබුණි. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම මැදපෙරදිග කලාපයේ ප්‍රධාන ගැටලු‍කාරී තත්වයකි. ඇමෙරිකාවේ මැදිහත්වීමත් සමග මෙම අර්බුදය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග යෑමට ද ඉඩ ඇත. මේ වන විටත් රුසියාවත් යුක්රේනයත් අතරේ යුද්ධයක් පවතින බැවින් ලෝකයට තවත් යුද්ධයක් අවශ්‍ය වන්නේ නැත.

ඉරානය සේම, ඊශ්‍රායලය ද කලාපීය වශයෙන් බලවත් රටවල්ය. ඉරානය ෂියා මුස්ලිම් රාජ්‍යයකි. මුස්ලිම් ලෝකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෙස බෙදෙන්නේ සුන්නි සහ ෂියා මුස්ලිම් වශයෙනි. ලොව ප්‍රධානතම සහ එකම ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යය ඉරානයයි. ඊශ්‍රායලය, ඉරානය සමඟ සසඳද්දී, ඉතාමත් කුඩාය. ඊශ්‍රාලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි. පලස්තීන භූමිය දෙකඩ කරමින්, ඊශ්‍රායලය නමැති යුදෙව් රාජ්‍යය පිහිටුවන ලද්දේ 1948 දීය. මෙය එදා සිටම කලාපීය මුස්ලිම් රටවල විරෝධයට හේතු විය. පලස්තීනුවන් මුස්ලිම්වරුන්ය. පලස්තීනුවන්ට සිදුවුණු අසාධාරණය හේතුවෙන්, මුස්ලිම් රටවල් ඊශ්‍රායලය පිළිගත්තේ නැත. ඒ කාලයේ, ඉරානයේ සිටි ෂා රජු ඊශ්‍රායලය සමග ඉතාමත් හොඳ සබඳතා පැවැත්වීය. ඊශ්‍රායලයට ඉරානයෙන් තෙල් ලැබුණු අතර, ඉරානයට ඊශ්‍රායලයෙන් තාක්ෂණික සහ කෘෂිකාර්මික සහය ලැබුණි. එපමණක් නොවෙයි, සෙසු අරාබි රටවල් අමතක කර, ඊශ්‍රායලය තමාගේ හොඳ මිතුරා ලෙස පිළිගත්තේ ද ඉරානයයි. කෙසේ නමුත්, 1979 දී ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මිතුරා හතුරා විය. ෂා රජුගේ පාලනයට පෙරළා දැමූ, ඉරාන උත්තරීතර ආගමික නායක අයාතොල්ලා රූහොල්ලා කමේනීගේ නායකත්වයෙන් යුත් නව ඉස්ලාමීය පාලනය, ඊශ්‍රායල මුස්ලිම්වරුන්ගේ සතුරකු ලෙස සලකන්න විය. ඊශ්‍රායලය සමඟ සියලු‍ සම්බන්ධකම් කපා දැමීය. අද ඉරානයේ උත්තරීතර නායකයා අයතුල්ලා අලී කමේනීය. ඉරාන විප්ලවයෙන් පසු, ඉරානය, පලස්තීන අරගලය වෙනුවෙන් ශක්තිමත් හඬක් නගන්න පටන් ගත්තේය. පලස්තීනුවන්ගේ ඉඩම් ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ඉරානය හඬ නගන්න විය. මේ නිසා ඉරානය, ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හවුති සහ පලස්තීනයේ හමාස් වැනි ඊශ්‍රායලයට විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්වලට මුදල්, ආයුධ සහ පුහුණුව ලබා දෙමින් සහයෝගය දක්වන්න විය. මේ කණ්ඩායම්, ඊශ්‍රායලයට සෘජුව තර්ජන එල්ල කරන අතර, ඊශ්‍රායලය මේවා ඉරානයේ නියෝජිත කණ්ඩායම් ලෙස සලකයි. ඉරානයේ එක් අරමුණක් වන්නේ මැදපෙරදිග කලාපයේ තමන්ගේ බලපෑම පුළුල් කර ගැනීමය. ඊශ්‍රායලය ඊට බාධාවක් බව ඉරානයේ විශ්වාසයයි. ඉරානයේ මේ ක්‍රියාකලාපය තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායලයේ පමණක් නොව ඇමෙරිකාවේ ද දැඩි විශ්වාසයයි.

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවට ඊශ්‍රායලය සහ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා නගයි. ඊශ්‍රායලය විශ්වාස කරන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන්නේ නම්, එය ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක් වන බවය. ඉරානය තරයේ පවසා ඇත්තේ බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කළ තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම සාමකාමී අරමුණු සඳහා පවත්වාගෙන යන බවය. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට පහර දීමට අණ කිරීමට පැය කීපයකට පෙර ප්‍රකාශ කළේ, ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරැදි බවටත්, ඉරානය පරමාණු බෝම්බයක් නිපදවමින් සිටින බවටත්ය. ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පවසා තිබුණේ, ඉරානය යුරේනියම් බල ගැන්වීමක් කරන නමුත්, පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවි හෝ නිපදවීමක් සිදු නොකරන බවය. තමන් මෙය තරයේ බැහැර කරන බව ට්‍රම්ප් කියයි. ඒ අනුව, පසුව තුල්සි ගැබාඩ් ප්‍රසිද්ධියේ පැවැසුවේ, ඉරානය පරමාණු බෝම්බයක් නිපදවමින් සිටිනවා යැයි තමන් ද විශ්වාස කරන බවය.

ට්‍රම්ප් ඉරානයට මෙසේ චෝදනා නගද්දී, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ඊශ්‍රායලයට දෙහි කපමින් ඉරානයට සහාය දැක්වීය. කලාපීය සාමයට ලොකුම බාධාව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යැයි තුර්කි ජනාධිපති එර්දොවාන් චෝදනා නැගුවේය. තුර්කි ජනාධිපතිවරයා මෙසේ චෝදනා කළේ තුර්කියේ ඉස්ලාමීය සහයෝගීතා සමුළුව අමතමිනි. ඉස්ලාමීය සහයෝගීතා සමුළුව පැවැත්වූයේ අසල්වැසි කලාපීය අරාබි රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙනි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානය සහ ඇමෙරිකාව අතරේ සාකච්ඡා වට කීපයක් පැවැත්විණි. එම සාකච්ඡා සාර්ථක වී, ඇමෙරිකාව සහ ඉරානය අතරේ එකඟතාවක් ඇති කර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ඊශ්‍රායලය පසුගිය සතියේ ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළේය‍. නවතම ඊශ්‍රායල ඉරාන ගැටුම හටගත්තේ ඒ අනුවය. ‘ඉරානය න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ හදනවා යැයි චෝදනා නගන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒවා විශ්වාස කරනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කලාපීය සාමයට ලොකු බාධාවක්. ඔහුට ඔහුගේ අභිමතය පරිදි ක්‍රියාකාරීමට ඉඩ ලබා දීම වැරදියි’ යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැහැදිලි කළේය.

ඊශ්‍රායල ඉරාන ගැටුමට ඇමෙරිකාව සම්බන්ධ වෙද්දී, ඉරානයට සහාය දක්වමින්, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව පවසා ඇත්තේ ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලබන සන්නද්ධ කණ්ඩායම් සහ අතිරේක හමුදා කණ්ඩායම්ය. ලෙබනනයේ හිස්බුල්ලා, ඉරාකයේ ෂියා සටන්කාමීන්, යේමනයේ හවුති සටන්කාමීන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානය මේ අතර සිටී. පාකිස්ථානය ඉරානය සමග සමීප සබඳතා පවත්වයි. පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන සිත්පිත් නැති ප්‍රහාර තරයේ හෙළා දැක ඇත. එමෙන්ම ස්ථිර වශයෙන්ම ඉරානයට සහාය දක්වන බවට ප්‍රතිඥා දී ඇත. කෙසේ නමුත් එය හමුදාමය මැදිහත් වීමක් නොව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් වීමට ද ඉඩ ඇත. කෙසේ නමුත් පාකිස්ථානය සැමවිටම ඇමෙරිකාවට කීකරුව සිටී. එබැවින්, ඊශ්‍රායල ඉරාන ගැටුමට ඇමෙරිකාව සම්බන්ධ වෙද්දී, පාකිස්තානය ඊට මැදිහත් වෙන්නේ නැත. ඉන්දියාව, මෙම අර්බූදයේ දී මධ්‍යස්ථව සිටිනු ඇත.

රුසියාව, ඉරානයේ ප්‍රධාන ගෝලීය මිත්‍රයාය. රුසියාව පසුගිය සතියකට වැඩි කාලයක් ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හෙළා දුටුවේය. ගැටුම්කාරී තත්වය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් එහි ප්‍රතිවිපාක පිළිබඳව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවීමක් ද කළේය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය යුදමය සහාය තමන්ගෙන් ඉල්ලා නොමැති බව, රුසියන් ජනාධිපති පුටින් පැවැසුවේ මීට සිවු දිනකට පෙරය. රුසියාව යුක්රේනය සමග පැටළී සිටින බැවින්, යුදමය තත්වයකදී, රුසියාවට පූර්ණ වශයෙන් ඉරානයට සහාය දැක්වීමක් කළ නොහැකිය. මධ්‍යස්ථව සිටියත්, චීනය ද ඉරානයේ ප්‍රධාන ගෝලීය මිත්‍රයෙකි. ඊශ්‍රායලයට සහාය දක්වමින්, ඉරානයට එරෙහිව පහර දීමට එක් වන රටවල් අතරේ ජී7 රටවල් සිටී. ඇමෙරිකාව ද ජී7 රටකි. ජර්මනිය, කැනඩාව, එක්සත් රාජධානිය දැඩි ලෙස ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වන රටවල්ය.

 

(***)
ලු‍සිත ජයමාන්න
බීබීසී ඇසුරිනි



අදහස් (0)

තෙවැනි ලෝක යුද්ධය ඇවිළේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 248 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site