IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තරඟකාරී ආර්ථිකයක් අවශ්‍ය ඇයි?

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත විශේෂ ආරාධිතයකු කර්තෘ මණ්ඩලයට කැඳවා සාකච්ඡා කරන සම්ප්‍රදායක් අනුගමනය කරයි. ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින් ද මොරගොඩ මහතා ‘Idea Exhange’ විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් රට දැනට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය ජය ගැනීම අරමුණු කරගෙන ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යෝජනා කළේය. එසේම පසුගිය කාලයේ පැවැති තත්ත්වය, අතීතයෙන් ඉගෙන ගත යුතු පාඩම් සහ ඉදිරියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ගැන දක්වන ලද අදහස් මෙම ලිපියේ සම්පිණ්ඩනය කර ඇත.

ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක පසුවන ශ්‍රී ලංකාව, උන්නතියක් කරා ගමන් කිරීමේ මාවතෙහි ප්‍රායෝගික, පළමු පියවරට අවතීර්ණ වී සිටී. මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මටට්මේ ගිවිසුමක් අත්සන් කර ඇති අතර වසර තුනක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක පැකේජයක් අපේක්ෂා කරයි. එය කෙසේවත් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අවශ්‍යතා සඳහා සෑහෙන්නේ නැත. එහෙත් මෙම ප්‍රතිපාදන සඳහා ක්‍රියාකිරීමේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරණය කළ යුතු වේ. අරමුදල යෝජනා කරන සැලැස්ම රටට පීඩනයක් ඇති කරනු ඇත. ශ්‍රී ලංකාවේ ද්වී පාර්ශ්වික හා බහු පාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ණ වැඩසටහන දැනටමත් අරඹා ඇත. මුල්‍ය අරමුදලේ සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් ආයෝජකයන්ට විශ්වාසයක්, විදේශ විනිමය ප්‍රේෂණ ඉහළ යන්නට හේතුවන ස්ථාවරත්වයක් සහ ආධාර වැඩසටහන් සඳහා පදනමක් වනු ඇත. ඉන්දියාව මෙම පසුබිම ඇති කරන්නට මහත් පරිශ්‍රමයක නිරත වූ අතර ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් මහත්මිය එහිලා ඉටු කරන ලද කාර්ය භාරය අගය කළ යුතුය.

ත්‍රස්තවාදය අවසන් කර මැදි ආදායම් රටක මට්ටමට පැමිණ සිටි ශ්‍රී ලංකාව දැන් පවතින අභාග්‍ය සම්පන්න ස්ථානය දක්වා ගමන් කිරීමට හේතු ගණනාවකි. 1977 දී ආර්ථිකය විවෘතකර පුළුල් අවකාශයක් ඇති කරන ලද නමුත් සහනාධාර සපයා ජනතාව සතුටු කරන රාමුව වෙනස් කළේ නැත. රාජ්‍ය ආදායමෙන් සියයට අසූවක් රජයේ වැටුප් හා විශ්‍රාමික දීමනාවලට වැය වේ. ඉතාම සුළු ආදායමක් ඉතිරි රටක් වශයෙන් වසර ආරම්භ කරන අතර විශ්‍රාම වැටුප් ගෙවීම පවා අයවැය ලේඛනයෙන් කරගෙන යෑම බදු බර වැඩිකරන හේතුවක් වී ඇත. රජයේ සේවකයන් ලක්ෂ පහලොවක් හා විශ්‍රාමිකයන් පන් ලක්ෂයක් නඩත්තු කිරීමට රජයට සිදුවී තිබේ. පෞද්ගලික අංශයේ ව්‍යවසාය ප්‍රසාරණය නොවීම පදනම් කරගෙන උසස් අධ්‍යාපනය අවසන් කරන සෑහෙන පිරිසක් රජයේ සේවයට බඳවා ගැනීමට සිදුවී ඇත. එය තව දුරටත් රජයේ සේවක පිරිස වැඩි කරන හේතුවකි. ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණ නොගැනීම නිසා වියදම සඳහා දේශීය හා විදේශීය ණය දිගින් දිගටම ගන්නා අතර එම ණය සඳහා ගෙවන පොලී වාරික ද රජයේ ආදායමෙන් සියයට හැත්තෑවකි. වැටුප් හා පොලිය යන රජයේ වියදම් සඳහා පමණක් තවත් ණය ගන්නට සිදුවී ඇත.

 

ජාතිකවාදී දේශපාලනඥයෝ නොදත් ගැඹුර

1983 හා 2009 අතර ත්‍රස්තවාදය පැවැති කාලයේ ණය ගැනීම පහසු වූයේ නැත. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු වේගවත් සංවර්ධන සැලසුම් සඳහා වාණිජ ණය ගැනීමට අවකාශයක් නිර්මාණය විය. එතැන් සිට විශාල වශයෙන් වාණිජ ණය ලබාගෙන ඇති අතර එම ණය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් සියයට හතලිහක පමණ කොටසකි. වහාම ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති අතර තවත් කොටසක් පරිභෝජනය සඳහා වැය කිරීම ගැටලුවලට මුල බව දැක්විය හැකිය. කොවිඩ් වසංගත කාලයේ දී මතු තත්ත්වය තුළ රාජ්‍ය ආදායම අඩුවන සහ මුල්‍ය ස්වභාවය අක්‍රමවත්වන අතරවාරයේ දී පාත්ෆයින්ඩර් පදනම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාකර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට වහා ගමන් කරන සේ යෝජනා කළ නමුත් අවාසනාවකට ජාතිකවාදී දේශපාලනඥයන් සහ මෙහි ගැඹුර ගැන අනවබෝධයකින් සිටි පිරිස් එයට කිසිසේත් අනුග්‍රහය පළ කළේ නැත.

නිදහසට පසු කාලයේ දී රබර්, මිනිරන් වැනි දේ අපනයනය කර ඒවායෙන් ලැබෙන ආදායමෙන් සහනාධාර සහිත ආර්ථිකයක් නඩත්තු කළ ශ්‍රී ලංකාව සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන අංශවලට සෑහෙන පිරිවැයක් දරා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස උසස් ජීවන මට්ටමක් ලැබී තිබේ. ආර්ථික වර්ධනයක් සඳහා ආයෝජනය නොකර හා පවතින ආර්ථිකයෙන් යැපුන ක්‍රමය අර්බුදය මතු කළේය.

ඉන්දියාව ආර්ථිකය විවෘත කිරීම සමග නිෂ්පාදනය, ආයෝජනය හා කර්මාන්ත සහිත වෙනස් ගමනක් ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව තිබුණ ආර්ථිකය හැර අලුත් රාමුවක් සකස් කරන්නට පියවර ගත්තේ නැත. ව්‍යුහාත්මක ගැටලු අනෙක් පැත්තකි. රජය විසින් මහජනතාව පමණක් නොව ආයතන ද නඩත්තු කරමින් සිටී. විදුලිය බල අංශය රජයේ ඒකාධිකාරයකි. ඉන්දියාව දෙස බලනවිට පෞද්ගලික අංශයට ඉඩ දී ඇත. අලුත් ආයෝජන, අලුත් තාක්ෂණය සඳහා අවස්ථාව ලැබී ඇත. දේශපාලන අංශ හා වෘත්තීය සමිති පවතින රාමුව වෙනස් කරන්නට ඉඩ නොදෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකයන් අකාර්යක්ෂම වැඩපිළිවෙළක ගොදුරු බවට පත්වී අධික විදුලිය බිලක් ගෙවමින් සිටී. එය එක උදාහරණයක් පමණකි. ටෙලිකොම්, ඛනිජ තෙල්, මුල්‍ය සේවා අංශවල පවා කොටසක් පමණක් තරගකාරීව පවත්වාගෙන යන්නට ඉඩ දී ඇති අතර එම අංශ තවත් විවෘත කළ හැකිය. විදුලිය බල මණ්ඩලය, තෙල් සංස්ථාව හා ජාතික ගුවන් සේවය වැනි ආයතන රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන පවත්වාගෙන යන හෙයින් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ද පීඩනයකය.

අඩුම තරමින් ව්‍යවසායකත්වය සඳහා ප්‍රාග්ධනය සැපයීමට අසමත්ය. අකාර්යක්ෂම වාණිජ බැංකු පද්ධතිය තවදුරටත් නඩත්තු කිරීම සඳහා අලුතින් විශාල ප්‍රාග්ධනයක් යොදවන්නට සිදුවී තිබේ.

 

නැති සම්පත් වෙන්දේසි කිරීම තවදුරටත්

මුල් කාලයේ දී, ශ්‍රී ලංකාව සේ දියුණුවීමට කල්පනා කළ සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා පසුව මෙම අභ්‍යන්තරය හඳුනාගත් අතර “ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු නැති සම්පත් වරින්වර වෙන්දේසි කිරීමක් ” බව ප්‍රකාශකර ඇත. නැති සම්පත් වෙන්දේසි කරන ක්‍රමයෙන් ගැලවෙන්නේ කෙසේ ද? මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සමග කළ යුතු ප්‍රතිසංස්කරණ සමග සමාජ සුබසාධන ජාලය ගැන නැවත සමාලෝචනය කරන්නට සිදුවේ. අලුත් ප්‍රතිසංස්කරණ යෝජනා සාමාන්‍ය ජනතාවට ඉසිලිය නොහැකි විය හැක. අර්බුදයකට යන තෙක් අවශ්‍ය වෙනස්කම් නොකිරීම ගැන ඇතැමුන් චෝදනා කරනු ඇත. එහෙත් එය සංකීර්ණ තත්ත්වයකි.

ඕනෑම රටක ජයග්‍රහණයට හේතුවන තරුණ ශ්‍රමයේ වාසිය අපට නැත. ශ්‍රී ලංකාවේ සමාජය වියපත්ය. තරුණ ශ්‍රම බලකාය වයස් කාණ්ඩ අනුව පහළ ප්‍රතිශතයකි. එය ඉහළම අගයක පැවැති 1980 ගණන්වල ත්‍රස්තවාදය පැවැතිණි. නිෂ්පාදන හැකියාව තිබුණ පිරිස ගැටුම්වලට ගොදුරු වූහ.  දක්ෂතා ඇති තරුණයන් පිරිසක් අහිමි වූ අතර තවත් මිලියනයක පමණ පිරිසක් රට හැර ගිය බව සඳහන් කළ යුතුය. මෙම පිරිස රටට ආපසු අවශ්‍ය කර තිබේ. අපෙන් ගිලිහී ගිය මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම් එයටත් වඩා වුවමනා කෙරේ. අසූ තුනේ කෝලාහල, ඉන්දීය විරෝධතා, පාස්කු ප්‍රහාරය වැනි සිද්ධි නැවත නැවතත් රට අවුලවන ලද අතර එයට පහසුවන පරිදි කුලය, පැලැන්තිය, ආගම, භාෂාව හා ජාතිය වශයෙන් ජනසමාජය බෙදී තිබේ. මේවායෙන් ගැලවෙන්නේ කෙසේද? රට පාලනය කරන කණ්ඩායම් පවා ඉංග්‍රීසි කතාකරන නාගරික ප්‍රභූ පැලැන්තිය හා සිංහල කතාකරන ග්‍රාමීය පංතිය වශයෙන් බෙදී ඇත. ග්‍රාමීය ප්‍රජාවට රාජපක්ෂ පාලනය නායකත්වය දුන් අතර ත්‍රස්තවාදය ජයග්‍රහණය කිරීමෙන් පසු අලුත් ව්‍යුහයක් මත මෙම වැරදි නිවැරදි කරන්නට අවස්ථාවක් තිබුණි. එහෙත් එතැනින් ද නිර්මාණය වූයේ තවත් අන්තවාදී බෙදීම් සහිත සමාජ ක්‍රමයක් බව සඳහන් කළ යුතුය.

 

පෞද්ගලික ව්‍යවසායවලින් රැකියා සහ රජයට බදු

ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස, 2001 වසරේ දී තරගකාරීත්වය හා පෞද්ගලීකරණය ගැන කරුණු යෝජනා කළ නමුත් සමාජය ඒ ගැන විශාල නොමනාපයක පසුවිය. අවශ්‍යතා සලකා ආර්ථික කළමනාකරණයක වැදගත්කම ආණ්ඩුවල ප්‍රධානීහු සලකා නොබැලූහ. යටිතල පහසුකම්, ප්‍රවාහන, හෝටල, ගුවන් තොටුපොළවල සිට පදික වේදිකාවේ වෙළඳාම දක්වා ව්‍යාපාර මෙහෙයවන්නේ ආණ්ඩුවයි. එය එසේ සිදුවිය යුතු නැත. පෞද්ගලික ව්‍යවසායකයන්ට අවස්ථාව දිය යුතු අතර එයින් තරුණයන්ට රැකියා ලැබේ. රජයට බදු ආදායම හිමිවේ. රජය හා පෞද්ගලික අංශය කරන ආර්ථික ක්‍රියාකාරකම්වලින් අපනයනයට මග පාදාගත යුතු අතර දෙස් විදෙස් ආයෝජකයන්ට ඉඩ දිය යුතුය. අතීතයේ වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීම අවශ්‍යය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්ප්‍රදායික වෘත්තීය දේශපාලනඥයකු නොවන, යහපත් චේතනාවකින් ක්‍රියා කළ නායකයකු නමුත් අවාසනාවකට කොවිඩ් ප්‍රශ්න පැණ නැගිණ. අවශ්‍ය වෙනස්කම් කරන්නට කලින් ආර්ථිකය අඩාල වී අරගලකාරී තත්ත්වයක් හට ගැනිණ. ඉන්ධන, විදුලිය, ගෑස් වැනි අංශ කඩා වැටී ආර්ථිකය අර්බුදයකට පත්වනවිට විරෝධය නැග ආ අතර ප්‍රචණ්ඩත්වයක් ඇති විය. නිවාස ගිනිතබා අමානුෂික සිද්ධි ඇති කරන බලවේග හමුදාව මෙහෙයවා මර්දනය කරන්නට ගෝඨාභය මහතාට අවශ්‍ය නොවූ අතර ඉතිහාසයේ ඒ ගැන විශේෂයෙන් සඳහන් විය යුතුය. ගූගල්, ඌබර් වැනි කැළඹිලිවලින් කරන පරිපරිවර්තනය වැනි ක්‍රම ආණ්ඩුවලට ද ප්‍රවණතාවක් විය යුතු බව සිතන අතර පොල්පොට් වැනි සංස්කෘතියක් හා තරුණ රෝමෑන්ටික් ක්‍රමයක් එකට එකතුකරන සිස්ටම් වෙනසක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කළේ යැයි අරගලකරුවන් කල්පනා කරන්නට ඇත. එය කිසිසේත් ශ්‍රී ලංකාවට ගැළපෙන එකක් නොවේ. සම්ප්‍රදාය සම්පූර්ණයෙන් කඩා විනාශ කර අලුත් දෙයක් බිහි කිරීම වෙනුවට රටට අවශ්‍ය කරන්නේ නිසි පිළිවෙළක් හා දර්ශනයක් සහිත පෙරැළිකාර පරිවර්තනයකි. ආර්ථිකය හා ක්‍රමය කඩා වැටී, ව්‍යවස්ථාපිත පද්ධති බලරහිත කරන පිපිරවීමට පෙර නැවත නීතිය හා විධිවිධාන ශක්තිමත් කරන්නට හැකි වූ අතර ව්‍යවස්ථානුකූල රාමුවට ඇතුළුවීමට රටට හැකිවිය. පටු විරෝධතාවලට හසු නොවිය යුතු අතර වෙනස්කම් කළ යුතු පද්ධතිය තුළ බව අමතක කළ යුතු නැත. පවතින ක්‍රමයට වෙනස්කළ යුතු නමුත් ජන සම්මතවාදී රාමුව තුළ ක්‍රියා කිරීම අනිවාර්ය සාධකයකි.

 

ගෝඨාභය නැවත නොඑන නමුත් බෙදීම් හා ආර්ථිකය එකම කාසියකි

පැරණි රාමුව ආරක්ෂා කරගැනීම තුළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට ප්‍රවේශ වන බවක් ප්‍රකාශ නොවේ. එහෙත් වඩා දරුණු ආර්ථිකය ද පවතින සමාජ බෙදීම් ද යන්න ප්‍රශ්න කළහොත් එම ව්‍යාධි දෙකටම තීරණාත්මක ලෙස අපට බලපා ඇත. ඇතැම් විද්වතුන් අලුත් ව්‍යවස්ථා ගැන කතා කරමින් සිටී. ග්‍රාමීය ජනතාවට ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ කාර්යක්ෂම ආර්ථිකයක ප්‍රතිලාභ ගැන අවබෝධයක් නැත. මෙම අංශ දෙකම රටට ප්‍රශ්නයකි. 2022 වසරේ ආර්ථිකය ඝෘණ 8.4 කින් පහත වැටෙනු ඇති දක්වන අතර සුළු වර්ධනයක් ලබන වසරේ දී අපේක්ෂා කළ හැක. පවතින ව්‍යුහය වෙනස් කිරීම සඳහා කෙටි කාලීන ඉක්මන් තීරණ හා දිග කාලීන ස්ථාවර ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ගොඩ නැගිය යුතුව තිබේ.

ඉදිරි මාස දහ අට තීරණාත්මක කාල පරිච්ඡේදයකි. ආර්ථිකය තිබුණ තැනට කැඳවීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන තුනක් අවශ්‍ය කෙරේ. එය උපයා ගන්නේ කෙසේද? ගුවන් සේවාව, විදුලිය හෝ ඛනිජ තෙල් අංශ පැවැරීමෙන් යම් සහනයක් ලැබෙනු ඇත. මෙම ව්‍යවසාය ජාතික සම්පත් බවට ආකල්පයක් ඇත. ජාතික සම්පත් බව අඟවන නමුත් මේවායේ අධික පාඩු, වත්කම් ඉක්මවන ණය හෙයින් ආයෝජනයකට කිසිවකු උනන්දුවක් දක්වන්නේ නැත.

තේ, ඇඟලුම්, ඇතුළු අපනයන ආදායම පසුගිය වසර හතලිහ තුළ එකම මටට්මක පවතී. තොරතුරු තාක්ෂණ අංශයේ යම් පිබිදීමක් ඇති නමුත් එය කෙසේවත් ප්‍රමාණවත් නැත. ආදායම හා වියදම පියවන්නට වැට් ඇතුළු බදු වැඩිකරන අතර ආර්ථිකයේ කළ යුතු වෙනස්කම්වලට ඉඩ නොදෙන පරිසරය තුළ වන්දි ගෙවන්නේ දුප්පත් ජනතාව බව අවධාරණය කළ යුතුව තිබේ.

 

ආදායම් උත්පාදන ව්‍යාපෘතිවලට ඉන්දියානු පෙළඹවීම

වත්මන් ජනාධිපතිවරයා සියලු පාර්ශ්වවල එකඟතාව සහිතව අලුත් යුගයක් ඇති කරන්නට උත්සාහ කරමින් සිටී. ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල පීඩනයක් මතු කරන ඩයස්පෝරාවට අත දිගු කරයි. ආර්ථික පසුබෑම තුරන් කරන වැඩපිළිවෙළක් සඳහා වෑයමක නිරතය. සංහිඳියාව ඇති කර සමාන අවස්ථා සම්පාදනය කර ජන කොටස් එකතු කරන්නේ කෙසේද යන බරපතළ අභියෝගය සම්බන්ධ සංවාදයක් අප ඇති කරගත යුතුය.

ජනතාවට අවම පීඩනයක් ඇතිකරන අතර අලුත් අවස්ථා ඇති කිරීමෙන් ලබාගත හැකි වාසි ඉදිරියේ ඉන්දියාව සමග කරන සාකච්ඡාව ඉතාම වැදගත්ය. රාමායන පුරාවෘත්තයට අනුව වසර හත්දහසක පමණ කාලයක් සහ බුදු දහම සමග වසර දෙදහස් හයසියයක කාලයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමීප මිතුරන්ය. මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය, විදේශ කටයුතු ඇමැති එස්. ජෙයශංකර්, ආරක්ෂක උපදේශක අජිට් දොවාල් යන මහත්වරු ශ්‍රී ලංකාවේ ස්වභාවය ගැන පෞද්ගලිකව උනන්දුවක් දක්වන ලද අතර එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආධාර, ඛනිජ තෙල් සැපයුම හා ගෙවුම් ශේෂ සහාය යන කුලුනු තුන ගැන අවධානය යොමු කළේය. මෙහි අනෙක් පියවර දිගු කාලීන ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය සඳහා පොළඹවන උපාය මාර්ගික සැලැස්මකි. ඉන්දියන් ඔයිල් සමාගම සමග එකතු වී දැනට කරන තෙල් බෙදාහැරීම තවත් පියවරක් ඉදිරියට තබා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ආයෝජනය කර ඇත. තෙල් සංචිතයක්, පිරිපහදුවක් හා එයින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව දියුණුවක් අපේක්ෂා කෙරේ. තෙල් හා ගෑස් නළ මාර්ග ඉදිකිරීම, තවත් අපේක්ෂාවකි. එය ඉන්ධන ප්‍රවාහන වියදම් කපාහරිනු ඇත.

මන්නාරම හා පුනරින් අවට සුළං හා සුර්ය තාප විදුලිය උත්පාදනයට අවස්ථා ඇත. පර් යේෂණ වාර්තා අනුව මෙගාවොට් 30,000ක් පමණ නිපදවිය හැක. දැනට කරන විදුලිය උත්පාදනය මෙගාවොට් 4,300 කි. රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් හයගුණයක නිෂ්පාදනයක් සිදුවන විට අතිරේක විදුලිය ඉන්දියාවට විකිණීමෙන් විනිමය ප්‍රමාණයක් ලබාගත හැකිවේ. බංගලාදේශය, නේපාලය හා භූතානය එවැනි ව්‍යාපෘති ආරම්භ කර ඇත. බලශක්ති අපනයනය විනිමය උපයන මාර්ගය කර ගැනීමේ අවස්ථාවක් තිබේ. කොළඹ වරායේ පර්යන්ත තුනක් ඇත. එහි ප්‍රති නැව්ගත කිරීම්වලින් සියයට අසුවක් ඉන්දියාවටය. හතරවැනි ආයෝජනයට අදානි සමූහ ව්‍යාපාරය ගිවිසුම් අත්සන් කර ඇත. තවත් වරාය පර්යන්ත වැඩි දියුණු කළ හැකි අතර වරාය පහසුකම් අතින් ආසියාවේ ඉහළටම පැමිණිය හැකිය. මෙවැනි අංශ ගැන තීරණ ගතහොත් රටට ආර්ථික වාසි ලැබේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ඉතිහාසයක් ඇත. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව යටත්කරගත්තේ මෙම වාසි සලකා බලා ඇති අතර ඒවා නැවත අපගේ අනන්‍යතාවක් ඇතිව ආයෝජන අවස්ථාවලට හරවා ගැනීම අපගේ වගකීමකි. ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයකි. වසරකට නාවික යුද නැව් පමණක් 300 ක් පමණ පැමිණේ. මෑතක දී චීන නෞකාවක් ගැන මහත් ආන්දෝලනයක් හටගත් අතර 2014 වසරේ දී මෙවැනිම තත්ත්වයක් සබ්මැරීනයක් පැමිණීම සමග සිදුවිය. චීන ණය උගුලක ශ්‍රී ලංකාව හසුවූ බව ප්‍රකාශ වෙයි. වාණිජ ණයවලින් චීනයේ කොටස සියයට දහයකි. ජපානයට ද මෙවැනි ණය ප්‍රමාණයක් ඇති නමුත් එම ණයවලට ඇති රාමුව චීනයට වඩා වෙනස්ය. මේවා පසෙක තබන අතර ඉන්දියාව සමග ආයෝජන අවස්ථා කළමනාකරණය කිරීමට ඉතාම හොඳ සන්නිවේදනයක් අවශ්‍ය කෙරේ. ඒ මගින් විශ්වාසය තහවුරු කරගත යුතුය. කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති වුවමනාව අවබෝධ කරගෙන ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන රාමුවක් නිර්මාණය කරගැනීම අපගේ අවශ්‍යතාව විය යුතුය.

(***)



අදහස් (0)

තරඟකාරී ආර්ථිකයක් අවශ්‍ය ඇයි?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 342 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 81 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 664 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 313 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 130 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 342 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site