තවත් දින කිහිපයකින් ජපානයට ප්‍රථම වරට කාන්තා අගමැතිවරියක පත් වීමට නියමිතය. ජපානයේ පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවීමෙන් පසු මේ දක්වා කිසිදු අවස්ථාවක කාන්තා අගමැතිවරියක පත් වී නැත. එම සම්ප්‍රදායය බිඳ දමමින් සනාඒ තකඉචි එරට විශාලතම දේශපාලන පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායිකාව වශයෙන් තෝරා ගෙන ඇත.
ඒ නිසාම ඇයට රටේ අග්‍රාමාත්‍ය ධුරය ද හිමි වනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන නිල සංචාරයේදී වැඩ බලන අගමැතිවරයකු හමු වීමට ඔහුට සිදු වූයේ දැනට වැඩ බලන අගමැතිවරයා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායකයා තෝරා ගන්නා තුරු පමණක් එම තනතුර දැරීම හේතුවෙනි. ජපන් ශ්‍රී ලංකා සම්බන්ධතා සම්බන්ධයෙන් නව ආකාරයකින් සිතීමේ සහ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මේ වන විට දැඩිව ඉස්මතුව තිබේ. එමෙන්ම දෙරටේම සිදුව ඇති දේශපාලන වෙනස්කම් තුළ ජපාන ශ්‍රී ලංකා සම්බන්ධතා නව පරිච්ඡේදයකින් ආරම්භ කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු විය යුතුව තිබේ.
නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට විවිධ රටවලින් විදේශ ණය සහ ආධාර ලැබී ඇත. නිදහස ලබන විට දිළිඳු රටක් වශයෙන් වර්ග කර තිබූ ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනය හා සංවර්ධනය ළඟා කරගැනීම සඳහා විදේශ රටවල ණය සහ ආධාර ලබා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබුණි. එයට හේතුව දිළිඳු රටක් ලෙස තම සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය දේශීය වශයෙන් සපයා ගැනීමට නොහැකි තත්වයකට රට පත්ව තිබීමයි. ශ්‍රී ලංකාවට සංවර්ධනය වූ රටවලින් මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ අනෙකුත් නියෝජිත ආයතනවලින් ද ආධාර ලබා ගැනීමට හැකි විය.
මුල් කාලීනව ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම ණය සහ ආධාර ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ රටවලිනි. 1951 වසරේදී පිහිටුවූ කොළඹ ක්‍රමය (Colombo Plan) මගින් ශ්‍රී ලංකාවට විදේශ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධාන ව්‍යුහයක් ගොඩනගා ගැනීමට හැකි විය. මහා පොදු රාජ්‍ය මණ්ඩලයීය බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වූයේ එම සංවිධාන ව්‍යහුය හරහාය.
ඒ වන විට ආර්ථික වශයෙන් ශක්තිමත්ව තිබූ සමාජවාදි රටවල් ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත් විය. රුසියාව, නැගෙනහිර ජර්මනිය, යුගෝස්ලෝවියාව වැනි රටවල් ශ්‍රී ලංකාවේ කාර්මිකරණය සඳහා ආධාර දීමට ඉදිරිපත් විය. එසේ වුව ද පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් මෙන්ම සමාජවාදි රටවලින් ද ලැබුණු ආධාර බොහෝ විට ගිවිස ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘතිවලට සීමා වූ බවක් පෙනේ. ජපානය ශ්‍රී ලංකාවට නිල විදේශ ආධාර සැපයීම ආරම්භ කරන ලද්දේ 1954 වසරේදීය. ජපානය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් වී ඇමෙරිකානු ආධිපත්‍යය යටතට පත්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩනැගී කෙටි කලක් තුළදී ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා ඉදිරිපත් විය.
ශ්‍රී ලංකාවේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන තුරුම දෙරට අතර වෙළෙඳ කටයුතු ද, ලබා දෙන ආධාර ද ක්‍රමයෙන් වැඩි වූ අතර, ආර්ථික නිදහස්කරණය දෙරට අතර පැවැති සම්බන්ධතා වඩා පුළුල් මට්ටමකට පත්වීම සඳහා ඉවහල් විය. නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙන තුරුම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම්කරු බවට පත්ව සිටියේ මහා බ්‍රිතාන්‍යයයි. එසේ වුව ද ඉන් පසුව ක්‍රමයෙන් ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම්කරු බවට පත් විය. එම අවධියේ ශ්‍රී ලංකාව විසින් ආරම්භ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතුවලදී විවිධ ක්‍රම ඔස්සේ ආධාර දීම මගින් ජපානය අතිවිශාල මෙහෙයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කළේය. ජපානයේ නිල ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට විශාල ආධාර සහ ණය ප්‍රමාණයක් ලබා දුන්නේය. ඊට අමතරව විවිධ ව්‍යාපාති සඳහා ද ආධාර ලබා දීමට ජපානය කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ආරම්භ කිරීමේ සහ පවත්වාගෙන යෑමේදී ජපානයෙන් ලැබුණු ආධාර ඒ සඳහා මහෝපකාරි විය. 1954 සිට අද දක්වාම ජපානය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබා දී ඇති ආධාර ප්‍රමාණය අතිවිශාලය. උදාහරණයක් ලෙස 1970 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ජපන් රජයේ නිල ආධාර ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 7,000කට ආසන්න වේ. සුනාමි ව්‍යසනය, කෝවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය වැනි ආපදා අවස්ථාවලදී ජපානය ශ්‍රී ලංකාව සඳහා ආධාර දෙමින් එම තත්වයෙන් ගොඩ ඒම සඳහා හිතවත් රටක් ලෙස තම ආධාර ලබා දීමට කටයුතු කළේය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය ඇති වූ අවස්ථාවේ ජපානය ඩොලර් මිලියන 106ක පරිත්‍යාගයක් රටට දුන් අතර, ඉන් ඩොලර් මිලියන 46ක් ඉන්ධන ආධාර ලෙස ලබා දී තිබුණි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සම්බන්ධතාව පිළිබඳ රටේ සෑම පළාතකින්ම දෘශ්‍යාත්මක තොරතුරු ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය, අධිවේගී මාර්ග, කැලණි ජපන් මිත්‍රත්ව පාලම් සහ මාර්ග, ජාතික රූපවාහිනිය, රට පුරා ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති ආදිය මගින් පැහැදිලි වන්නේ රටේ සංවර්ධනය ගොඩනැගීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට කොතෙක් දුරට ආධාර දී තිබේ ද යන්නයි. ඒ අතරම ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගෙන සෞඛ්‍ය සේවා මෙන්ම තාක්ෂණ අධ්‍යයනය පුළුල් කිරීම සඳහා ද විශාල වශයෙන් ආධාර දී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ ඔරුගොඩවත්ත මෝටර් පුහුණු අභ්‍යාස ආයතනය ආදිය ඉන් සමහරකි.
පසුගිය කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම ණය සහ ආධාර ලැබුණේ චීනයෙනි. ආර්ථික අර්බුදය අවස්ථාවේදී ඉන්දියාවෙන් ද අතිවිශාල මුදල් ආධාර ප්‍රමාණයක් ලැබී තිබුණි. එසේ වුව ද මෙම රටවල් දෙක අතර පවත්නා අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය සහ ආධාර ව්‍යාපෘති මෙන්ම ආයෝජන ව්‍යාපෘති බොහෝ දෙනකුගේ සැකයට සහ අවිශ්වාසයට පාත්‍ර වී තිබේ. ඊට හේතුව මෙම රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර, ණය සහ ආයෝජන ව්‍යාපෘති යටතේ තම දේශපාලන අරමුණු කරගැනීමට ක්‍රියා කරන බවට චෝදනා නැගී තිබීමයි. කෙසේ වුව ද ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ආධාර සහ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් එවැනි දේශපාලන බලපෑම් ඇති වීම පිළිබඳව කිසිදු චෝදනාවක් ඉදිරිපත් වී නැත.
ශ්‍රී ලංකාව අඩු දියුණු තත්වයක සිට මැදි ආදායම් ලබන රටක තත්වයට පත් වීමෙන් පසු සංවර්ධනය වූ රටවලින් නිල ආධාර නොලැබෙන තත්වයක් ඇති විය. එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමේදී ඉහළ පොලී අනුපාත මත ඒවා ලබා ගැනීමට සිදු විය. එසේ වුව ද ජපානය මේ දක්වාම ශ්‍රී ලංකාවට ණය දී ඇත්තේ ඉතා අඩු පොලී අනුපාතයකට වන අතර, ඒවා ගෙවීම සඳහා ද ඉතා දිගු කාලයක් ලබා දී තිබේ. උදාහරණයක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානය ඩොලර් මිලියන 1,800ක ණය මුදලක් දුන් අතර, අවුරුදු 12කින් පසු ණය ආපසු ගෙවීම ආරම්භ කර අවුරුදු 40ක් තුළදී මුළු ණය ආපසු ගෙවීමට ඉඩ දී තිබුණි. පොලී අනුපාතය 0.1ක් විය. ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙන රටවල් අතුරින් එවැනි සහන කොන්දේසි මත ණය ලබා දෙන ප්‍රධාන රට බවට ජපානය පත් වී ඇත. ශ්‍රී ලංකාවට සැබැවින්ම ආදරය කරන සහ කිසිදු බාහිර කොන්දේසියකින් තොරව රටේ සහ මහජනතාවගේ සංවර්ධනය උදෙසාම ආධාර සපයන රටක් ලෙස ජපානය කටයුතු කළ ද, සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග හේතුවෙන් දෙරට අතර ආර්ථික සහයෝගිතාව පිළිබඳ අප්‍රසන්න තත්වයක් ඇති වූ අවස්ථා ද පවතී.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව විසින් ඒකපාර්ශ්වීයව නවතා දැමීම ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ ශ්‍රී ලංකාව ජපානයට ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව දෙරට අතර පැවැති සාකච්ඡා සහ ව්‍යාපෘති ඇගැයීම්වලින් පසුවය. එය ජපානයේ යෝජනාවක් නොවන අතර, ශ්‍රී ලංකාව ජපානයේ ආධාර සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් වේ. ජපානය එය පිළිගැනීමෙන් පසු ඒ සඳහා ණය දීමට කටයුතු කළ අතර, ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එසේ වුව ද රටේ දේශපාලන වෙනස්වීම් ඇති වීමෙන් පසු 2020 වසරේදී මෙම ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීයව ශ්‍රී ලංකාව විසින් නවතා දමන ලදී. මේ පිළිබඳව ජපානය සමග අඩුම තරමින් සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව ද වාර්තා වේ.
මේ ආකාරයට එම සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබඳ විදේශ මාධ්‍ය විශේෂ අවධානයකින් යුතුව වාර්තා කළේය. තමන් ලබා දෙන ආධාර සම්බන්ධයෙන් ජපානයට එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වූයේ ප්‍රථම වතාවටය. ඒ හේතුවෙන් ජපානයට විශාල අපකීර්තියක් ද ඇති විය. එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද, වර්තමාන රජය විසින් ද සාකච්ඡා පවත්වා ඇති නමුත් ජපානය ඒ පිළිබඳ දක්වන්නේ උදාසීන ප්‍රතිපත්තියක් බව පෙනි යයි.
විදේශ ප්‍රතිපත්තියේදී අපගේ සැබෑ මිතුරන් කවුරුන් දැයි හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවලට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම ජපානය ශ්‍රී ලංකාව සමග සිටියේය. කිසිදු දේශපාලනික වුවමනාවකින් තොරව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උර දුන්නේය. නිදහසින් පසු රටට ලැබුණු විදේශ ආධාර පිළිබඳව සමාලෝචනයක් කළහොත් අපට සමීපතම හිතමිතුරා ජපානය බව තේරුම් යනු ඇත. එබැවින් එම සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා නව ක්‍රියා පිළිවෙතකට එළැඹීම පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුව ඇත.
(***)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජපානය අත්හැරීමේ විපාකය
RANTHA Wednesday, 08 October 2025 12:44 PM
මෙයාලට මොන්ගල් කියන්නේ නිකම්ද? සැහැල්ලු දුම්රිය පටන් ගත්තේ කවුද? යහපාලන ආණ්ඩුව නැවැත්තුවේ ගෝඨාභයගේ ආණ්ඩුව. දැන් දෙගොල්ලන්ම එකම පැත්තේ... එතකොට කවුද හරි?