IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජනමතය හෙළිකරන යථාර්ථය

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා පැවැති මහජන නැඟිටීම කිසිදු දේශපාලන පක්ෂයක් විසින් හෝ වෙනත් සංවිධානයක් විසින් හෝ සංවිධානය කරනු ලැබ මෙහෙයවනු ලැබුවක් නොවේ. එය පැහැදිලිවම පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ජනතාවට විඳින්නට සිදුවූ පෙර නොවූ විරූ පීඩාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.

එය නිශ්චිත දේශපාලන මතවාදයක් දරන පීරිසකගේ විරෝධතා රැල්ලක් ද නොවේ. එය ආණ්ඩු පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පසුගිය මැතිවරණවල දී සහයෝය දුන් පිරිස් ද ඇතුළු බොහෝ දේශපාලන මතවාද දරන්නන් සහභාගි වූ විරෝධතා මාලාවකි. රසායනික පොහොර ආනයන තහනම නිසා පීඩාවට පත්ව උද්ඝෝෂණවලට එක් වූ ගොවි ජනතාවගෙන් අති බහුතරය පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ වූහ.

එම විරෝධතාවලදී විරෝධතාකරුවන් විසින් යොදා ගන්නා ලද ප්‍රධාන සටන් පාඨය වන ‘‘ගෝඨා ගෝ හෝම්’’ යන්න ද සැලසුම් කරන ලද සටන් පාඨයක් නොවීය. ආණ්ඩුවට විරෝධය පෑමේ දී යොදා ගත හැකි බැරෑරුම්ම සටන් පාඨය ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි කීමය. එය අහම්බෙන් මතුවී පසුව ස්ථිරව අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු විරෝධතාවල ප්‍රධාන සටන් පාඨය බවට පත් විය.

පසුගිය වසර මුල දී රට පුරා දිනපතා පැය 10කට වැඩි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය. ඇතැම් දිනෙක එය පැය 13ක් විය. පෙට්‍රල් ඩීසල් හා ගෑස් මිල දී ගැනීම සඳහා ජනතාවට තම එදිනෙදා කටයුතු හා රැකියා අත්හැර දින ගණන් පමණක් නොව සති ගණන් ද කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල කාලය නාස්ති කරන්නට සිදුවිය. රටේ වැඩි පිරිසකගේ ආදායම් හරි අඩකින් පමණ අඩුවෙද්දී බඩුමිල තුන් ගුණයකින් පමණ ඉහළ ගියේය.

මේ තත්ත්වය යටතේ එම අරගලකරුවන්ගේ අවශ්‍යතාව වූයේ නිසි කලට පෝලිම්වලින් තොරව පහසුවෙන් ඉන්ධන හා ගෑස් ලබා ගැනීම පමණක් නොවේ. ඔවුනට පළමුව රට සාමුහිකව ඊට වඩා ඈතට සිතන්නට සිදුවිය. අනාරක්ෂිත තත්ත්වයේ සිටින තම දරුවන්ට සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීම, දිනෙන් දින අගාධයට යන තම ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීම හා එමඟින් තම දරු මල්ලන් හට ආහාර ටිකක් හෝ දී ගත හැකි වන පමණට තම ආදායම් රැක ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය.

තමන් හා තම දරුවන් එදිනෙදා ආහාර වේලක් සඳහා අනේක විධ දුෂ්කරතාවලට මුහුණ දෙද්දී තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙද්දී ඔවුන්ගේ අනාගතය විනාශ වේදෝයි  යන බිය සිත් කළඹද්දී තම දෑස් ඉදිරිපිටම එක්තරා කණ්ඩායම් රටේ සම්පත් කොල්ලකනු ඔවුනට ජනමාධ්‍ය මගින් දැන ගත හැකිවිය. එය වැළැක්වීම හා එසේ මහජන සම්පත් කොල්ල කෑ පුද්ගලයන්ට දඬුවම් දීම ද උද්ඝෝෂකයන්ගේ සටන් පාඨ අතර විය.

 පැරැණි වාමාංශික සාහිත්‍යයේ බලපෑමට ලක් වූ ඇතැම් අරගලකරුවෝ ජනාධිපති කාර්යාලය පුස්තකාලයත් බවට පත් කරන්නටත් ජනාධිපති මන්දිරය ජනතාවගේ විවේකාගාරයක් බවට පත් කරන්නටත් බොළඳ ලෙස සිහින දුටහ.

එහෙත් අරගලයේ බලපෑම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් වසරේ ජූලි 9 වැනිදා රටෙන් පළා ගොස් 14 වැනිදා සිංගප්පූරුවේ සිට ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අරගලකරුවෝ කර කියා ගත නොහැකි තත්ත්වයකට පත් වූහ. ඒ ඔවුනට එතැනින් එහාට ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් නොවූ හෙයිනි. එසේම ජූලි 20 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරනු ලැබූ අතර ජූලි 22 වැනිදා ගාලු මුවදොර පිටියෙන් පිටවන්නට සිටි අරගලකරුවෝ හමුදාව විසින් එදිනම පහර දී අවමානකාරී ලෙස පළවා හරිනු ලැබූහ.

ඒ සමඟම අරගලය මඟින් යහපත් පාලනයක් අපේක්ෂා කළ ලක්ෂ ගණන් ජනතාවගේ යථාර්ථවාදී හා සාධාරණ සිහින මෙන්ම ලාමක සිහින හා අපේක්ෂා ද සුණු විසුණු වී ගියේය. කාලයක් පුරා ආර්ථික ආගාධයකට ඇද දමනු ලබමින් සිටි රට අවසානයේ දී ආර්ථික විනාශයක් කරාම ගෙන ගිය දේශපාලන කණ්ඩායම නව පාලනය පළිහක් කර ගනිමින් යළි හිස එස වූහ.

‘‘අරගලය’’ පිළිබඳ වත්මන් මහජන මතය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මත විමසුමක් පවත්වා එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ඒ පසුබිම තුළය. පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද එම මත ගිවිසුමේ ප්‍රතිඵලය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 60ක් අරගලය මඟින් ජනතා අපේක්ෂා ඉටුනොවූ බව පවසා තිබිණි. අරගලය මගින් බොහෝ දුරට ජනතා අපේක්ෂා ඉටු වූ බව ජනතාවගෙන් සියට 11ක් ප්‍රකාශ කොට තිබිණි.

මේ ප්‍රතිචාර සඳහා ඔවුන් වෙත යොමු කරනු ලැබ තිබූ ප්‍රශ්නය වූයේ ‘‘අරගලය ජනතාවගේ ප්‍රාර්ථනා හා අභිලාෂයන් ඉටු කළේ යැයි ඔබ සිතන්නේ ද’’යන්නයි. මෙය ගැටලුකාරී ප්‍රශ්නයකි. අරගලයේ ප්‍රධාන සටන් පාඨය වූ ‘‘ගෝඨා ගෝ හෝම්’’ (ගෝඨා ගෙදර යනු) යන්න ඉටු වුවද අරගලය ජනතාවගේ අපේක්ෂා ඉටු කරමින් හෝ ඉටු කිරීමට මාවත සකස් කොට අවසන් වූයේ  නැත.

එය විසඳුමක් නැතිව අවසන් වූයේ විවිධ මතවාද දරමින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් එය මෙහෙය වූවන් හට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වීමත් සමග ඉදිරියට යන්නට  ඉදිරි වැඩ පිළිවෙළක් හෝ දැක්මක් නැති වීමෙනි. දෙවැනුව ඔවුනට එවැන්නක් පිළිබඳව ඉන්පසු හෝ සිතන්නට ඉඩ නොතබා ක්‍රියාත්මකවූ දරුණු මර්දනය අරගලය ආසන්න වශයෙන් මුළුමනින්ම නිහඬ කොට දැමීය. ඒ අනුව අරගලයේ ඉතා ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ නීතිඥ නුවන් බෝපගේ මහතා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබු පරිදි අරගලය මඟින් ජනතා අපේක්ෂා ඉටු වූයේදැයි සොයන්නට සමීක්ෂණ කළ යුතු නැත.

අරගලය මෙරට දේශපාලන හා ආර්ථික ගමන් මඟ වෙනස් කිරීමට පැහැදිලිවම අසමත් විය. ඉන් ඇති වූ එකම වෙනස පුද්ගලයන් වෙනස්වීම පමණි. රට ආර්ථික වශයෙන් මුළුමනින්ම විනාශ වීම වළකා ලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ආණ්ඩුවට ඇති එකම උපක්‍රමය ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ සහභාගිත්වයෙන් දැනට  ක්‍රියාත්මක වැඩ පිළිවෙළයි. එය  අලුත් දෙයක් නොව අරගලය පැවැති කාලයේදී පැවැති දෙයකි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කොට එම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපතිව සිටියදීය. එම  වැඩපිළිවෙළ යටතේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශකයන් වශයෙන් ලාසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතන තෝරා ගනු ලැබුවේද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීය. දැනට මූලය අරමුදල සමග කටයුතු කරන මෙරට ප්‍රධාන නිලධාරීන් දෙදෙනා වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් භාණ්ඩාගාර ලේකම්  මහින්ද සිරිවර්ධන මහතාත් එම ධුරවලට පත් කළේද රාජපක්ෂ මහතාය.

මූල්‍ය අරමුදලේ උපදෙස් වශයෙන් දැනට රටතුළ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ද අලුත් ඒවා නොවේ. ආණ්ඩුව මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලන්නටත් පෙර පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ මෙම ප්‍රතිසංස්කරණ  මූලික වශයෙන් සඳහන්ව තිබිණි. දැන් කෙරෙන්නේ ජනාධිපතිවරයා හැර එදා සිටි පිරිසක්ම එදා තීරණය කළ වැඩ පිළිවෙළක්ම ඉදිරියට ගෙන යාමය. අරගලය එදා පැන නැංගේ ඒ වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡා ආරම්භ වී තිබියදීය. 

අරගලය මඟින් ඇති වූ ප්‍රතිඵල දෙකක් වන්නේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම චෝදනාවට ලක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හැරදමා යාම හා රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමයි. මේ තත්ත්වය ගැන සතුටු වන්නෝ ප්‍රධාන වශයෙන්ම වික්‍රමසිංහ මහතාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෝයි. අරගලය මගින් ජනතා අපේක්ෂා ඉටුවී යැයි වෙරිටේ  රිසර්ච් සමීක්ෂණයේ දී අදහස් දක්වන්නට ඇත්තේ ඔවුන්ය. මන්දයත් වැඩිවන බඩුමිල, විදුලි බිල, ජල බිල ආදිය නොසලකා ජනතා අපේක්ෂා ඉටුවී යැයි සිතනු ඇත්තේ ඔවුන්ය. එහෙත් ඔවුන්ගේ ප්‍රතිශතය එජාපයට බිය ගෙන දෙන තරමේ සියයට 11කි.

රටේ බහුතරය (සියයට 60ක්) අරගලය මඟින් ජනතාවගේ (තමන්ගේ) අපේක්ෂා ඉටු නොකළ බවට මෙම සමීක්ෂණයෙන් දැක්වෙන කරුණ බොහෝ දෙනා තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව විග්‍රහ කරමින් සිටිනු පෙනේ. ආණ්ඩුවට හිතවත් පිරිස් එය රටේ වැඩි දෙනකු අරගලය අනවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස  සලකා හෙළා දකින බවක් කියන්නට යොදා ගනිති. එසේම මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අරගලයේ නිරත ඇතැමුන් කළ ඝාතන හා දේපළ ගිනි තැබීම් සමඟ පටලවාගෙන අරගලය පිළිබඳ බියකරු චිත්‍රයක් මවන්නට ද ආණ්ඩුවට හිතවත් පිරිස් උත්සාහ කරනු පෙනේ.

අරගලය අසාර්ථකය යන්න හා අරගලය වැරදිය යන්න එකක් සේ පෙන්වන්නට ඔවුහු උත්සාහ කරති. සමහරු තවත් ඉදිරියට ආර්ථික අර්බුදය නිසා අරගලය පැන නැංගා නොව අරගලය නිසා ආර්ථික අර්බුදය ඇති වූ බව කියන්නට ද උත්සාහ කරති.

මෙම සමීක්ෂණයේ දී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ජනතාවට ඉදිරිපත් කරන ලද තවත් ප්‍රශ්නයකට ලැබී ඇති පිළිතුර ඔවුන්ගේ මෙම උත්සාහයට ද පිළිතුරකි. රට යළි ගොඩනැඟීමට කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නයට ජනතාවගෙන් සියයට 51ක්ම දී ඇති පිළිතුර වන්නේ දූෂණය හා පරිපාලන දුබලතා නිවැරැදි කළ යුතුය යන්නයි. ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු යැයි ජනතාවගෙන් සියයට 34ක් පවසා තිබිණි. ප්‍රජාතන්ත්‍රවා දී අවකාශයට වඩා රටේ ස්ථාවරත්වයට ප්‍රමුඛතාව දිය යුතුය, යන්න පිළිගෙන ඇත්තේ සියයට 15ක් පමණි.

රට ගොඩනැගීමේ දී ජනමතය වැදගත් යැයි බලධාරීන් සිතන්නේ නම් ඔවුනට මෙම සමීක්ෂණ ප්‍රතිඵලය ඉතා හොඳ මඟ පෙන්වීමක් කරයි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (2)

ජනමතය හෙළිකරන යථාර්ථය

Nimal Sunday, 20 August 2023 06:05 PM

ආණ්ඩුවට හිතවත් පිරිස් එය රටේ වැඩි දෙනකු අරගලය අනවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස සලකා හෙළා දකින බවක් කියා සිටින්නේ දූෂිත දේශපාලකයින් සහ ඔවුන් අවට සිටින කණඩායම් පමණි. දශක ගණනාවක් මාධ්‍ය මගින්, දේශපාලන සකච්ඡා මගින්, දේශපාලන වේදිකාවේ බොහෝ පිරිසක් දූෂණය, ආර්ථිකය සහ රට තුළ සිදුවන බොහෝ කරණු රටේ මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රකාශ කළද ඉන් ඵලක් නොවිණි. අවසානයේ සිදුවුයේ ජනමනස වෙනස් කිරීමට සොබාදහමට මැදිහත් වීමටයි. පසුගිය වසරේ අරගලය මඟින් රටේ අතිබහුතර ජනතාවගේ ජනමනස වෙනස් විය. ඔවුන් දේශපාලන වෙනසක් ඉල්ලා පිරිසිදු පැහැදිලි පණිවුඩයක් ලබාදුන්නේය. කෑම පැකට්ටුවට, මත්පැන්, හෝ රුපියල් සතවලට මිලදීගත් මහජන ඡන්දයට වටිනාකමක් ලබාදීමට අරගලය සමත්විය. නැවත වරක් ලංකාවේ මිනිසුන් රවටා ඡන්දය ලබාගැනීමේ දුෂිත ක්‍රමවේදය හමාර කළේය. රටේ බහුතරය (සියයට 60ක්) අරගලය මඟින් ජනතාවගේ (තමන්ගේ) අපේක්ෂා ඉටු නොවූ බව සැබෑවකි. පය 24ක් තුළ සියල්ල සිදු නොවූ බව ජනතාවට දැනෙන්නේ නම් එය ඉතාම වැදගත්ය. එයට හේතුව අරගලයෙන් පසු තවමත් රට පාලනය කරන්නේ සුපුරුදු ජනතාව පත්කළ පාර්ලිමේන්තුව විසින්මය.

:       0       9

Sudharma De silva Monday, 21 August 2023 07:25 PM

අරගලය ආරම්භ වූයේ යහපත් චේතනා ඇති ස්වාධීන කාණ්ඩයක් විසින් වුවත් පසුව තක්කඩි දේශපාලන කණ්ඩායම්, මැරයන්, විදේශීය බලවේග වල අත කොලු, විදේශීය මුදල් මත යැපෙන. NGO කණ්ඩායම්, විසින් අරගලය තමන්ගේ අතට ගෙන ක්‍රියා කිරීමට යාම නිසා අරගලය රටටම හෙනයක් විය. එය තව දුරටත් ගෙන ගියේ නම් මුළු රටම අකර්මණ්‍ය වී යනු ඇත.. කොල්ලකෑම්, මිනීමැරීම්, ගිනිතැබීම් මෙරට ජනතාව කිසිදා අනුමත නොකරයි. දැනට රටේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ හා එහි නායක කාරකාදීන් සියල්ලම රට කපටීන් බවද ජනතාව හොඳින් දන්නා කරුණකි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 304 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 648 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 983 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 642 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 505 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1905 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 855 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 214 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1261 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site