දේශපාලන කරළියේ ජනාධිපතිවරණයක් පිළිබඳ කතාබහ මේ දිනවල ශීඝ‍්‍ර වෙත්ම වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි ධුර කාලය සඳහා ඉදිරිපත් විය හැකිද නොහැකිද යන්න පිළිබඳව විවිධ අදහස් පළවේ. ඒ පිළිබඳ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මෙසේ අදහස් දැක්වීමට එක්වේ.
හිටපු අග විනිසුරු සරත් සිල්වා මැතිතුමා 18 වැනි සංශෝධනය අර්ථ නිරූපණය කරලා මතු කරලා තියෙනවා ප‍්‍රශ්නයක්. එහි සඳහන්ව තියෙන ආකාරයට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තව සැරයක් ජනාධිපති ධුරයට ඉල්ලන්න බෑ කියලා තමයි ඔහු අදහසක් ගේන්නේ. ඔහුගේ නිගමනය සමඟ මම එකඟ වෙනවා. ඒත් මම මේ ප‍්‍රශ්නයට එළඹෙන්නෙ වෙනත් ආකාරයකට.

පළමුව කියන්න ඕනෑ ඇයි මේ ප‍්‍රශ්නය අද වැදගත් වෙන්නේ කියලා. එකක් තමයි මේ මැතිවරණය අද කාටවත් අවශ්‍ය නැති මැතිවරණයක්. මහින්ද රාජපක්ෂ මහතාට තව අවුරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන්. කාටවත් මේ සඳහා කිසිම හදිසියක් නෑ. මේක අවශ්‍යවෙලා තියෙන්නේ පාලකයින්ට පමණයි. ධුර කාල සීමාවන් වැදගත් වෙන්නේ ඇයි කියලත් අපි සලකා බලන්න ඕනෑ. 1978 ව්‍යවස්ථාවෙ තිබුණෙ ධුර කාල දෙකයි ජනාධිපතිවරයෙකුට බලයේ ඉන්න පුළුවන් කියලා සඳහන් වෙලා තිබුණේ. ධුර කාල සීමාවන් දකින්න තියෙන්නෙ විධායක ජනාධිපති ක‍්‍රමය තියෙන රටවල්වල විතරයි. පාර්ලිමේන්තු ක‍්‍රමය තියෙන රටවල්වල එවැනි සීමාවන් නෑ අගමැතිවරයාට. විධායක ජනාධිපති ක‍්‍රමය පවතින රටවල මෙවැනි සීමාකිරීම් නිසා නව නායකයින් පත්වීමේ හැකියාව තියෙනවා. අලූත් නායකයින්ට අවස්ථාව උදාවෙනවා. බලය එක් පුද්ගලයෙකු වටා දීර්ඝ කාලයක් කේන්ද්‍රණය වෙන්නෙ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වෙනවා.
විධායකයේ ප‍්‍රධානියා දීර්ඝ කාලයක් බලයේ ඉන්නකොට රාජ්‍යයයි පාලන පක්ෂයයි අතර වෙනස බොඳවෙලා යනවා. ලංකාවේ අද ඒක වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය නෙවෙයි රට පාලනය කරන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි ඒක කරන්නේ. පක්ෂයක් හැටියට ඒකට අද භූමිකාවක් නැතිවෙලා. හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තියෙන රටවල්වල පවා දීර්ඝ කාලයක් එකම විධායක නායකයෙක් හිටියොත් එය බලපානවා කීප තැනකට. පාර්ලිමේන්තුවට බලපානවා. පාර්ලිමේන්තු බලතලවලට බලපානවා. අධිකරණ ස්වාධීනත්වය හෑල්ලූවට ලක්වෙනවා. මැතිවරණ නිලධාරින්ගේ බලයට බලපානවා. අනෙකුත් දේශපාලන පක්ෂවලට පවා එය බලපානවා. එමගින් අධිකාරිවාදී පාලන ඇති වෙනවා. ඒක නිසා තමයි මේ සීමාවල් අවශ්‍ය වෙන්නේ.
එතකොට දේශපාලනය කි‍්‍රයාත්මක වෙන්නේ පුද්ගලිකත්වය මත පදනම්ව නෙවෙයි. පක්ෂමත පදනම් වෙලා. ලංකාවේ අද පුද්ගලයා මත පදනම් වෙච්ච දේශපාලනයක් කි‍්‍රයාත්මක වෙන්නේ. සීමා තියෙනකොට පුද්ගලයකුට පවුලකට පෙළපතකට තනි අධිකාරියක් පිහිටුවන්න බෑ. ඒක ඉතා වැදගත් කාරණයක්. අනිත් එක දීර්ඝ කාලයක් එකම විධායක නායකයෙක් කි‍්‍රයාත්මක වෙනකොට හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්වල පවා බලය සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස, භාවිතයට ගැනෙනවා. විශේෂයෙන් මෙය මැතිවරණවලදී දකින්න ලැබෙනවා. ඒ නිසාත් මේ සීමා අවශ්‍යයි.
සරත් සිල්වා තමන්ගේ තර්කයට පදනම් කර ගන්නේ අපට තියෙන අර්ථ නිරූපණ ආඥාපනත. එම පනතේ හය වැනි වගන්තියේ තියෙනවා යම් කිසි කෙනෙක් යම්කිසි නෛතික අබලතාවනට ලක් වුණොත් ඊට අදාළ නීතිමය ප‍්‍රතිපාදන පසු කාලයකදී වෙනස් කළොත් එම වෙනස්වීම බලපාන්නේ අනාගතයට පමණයි කියලා. එය ආපස්සට බලපාන්න අවශ්‍යනම් ප‍්‍රකාශිතව එය සංශෝධනයේ සඳහන් වෙන්න ඕනෑ. 18 වැනි සංශෝධනයේ එහෙම දෙයක් ප‍්‍රකාශිතව සඳහන් වෙලා නෑ. ඒ නිසා තමයි මේ ප‍්‍රශ්නය මතුවෙලා තියෙන්නේ.
මෙතනදි මගේ අදහස වෙන්නේ අර්ථ නිරූපණ ආඥා පනත පැත්තට තිබ්බත් ලෝකයේ ව්‍යවස්ථා සහ සාමාන්‍ය නීතිය අර්ථ නිරූපනය කරන ආකාරයට එය අනාගතයට තමයි බලපාන්නේ. තව මූලික සිද්ධාන්තයක් තියෙනවා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමටත් සාමාන්‍ය නීතිය අර්ථ නිරූපණය කිරීමටත් අදාළ. ඒක තමයි යම් කිසි නීතියකට සංශෝධනයන් ගෙනාවම ඒ අලූත් සංශෝධනය ආපස්සට කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. ඒක කි‍්‍රයාත්මක වෙන්නේ ඉදිරියට.
මේ ලෝකය පිළිගන්න මූලික සිද්ධාන්ත දිහා බැලූවම පේනවා ප‍්‍රකාශිතවම සඳහන් වෙලා නැත්නම් නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ ඉදිරියට පමණයි කියන එක. 2010 ජනවාරි මාසේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත්වුණා. ඒ වෙලාවෙ තිබුණු නීතිය අනුව ඔහුට තව ධුර කාලයකට ඡුන්දය ඉල්ලන්න බෑ. එතකොට ඔහුට පක්ෂව සහ විරුද්ධව ඡුන්දය දුන්නු ඡුන්ද දායකයො දැනගෙන හිටියා මේ පුද්ගලයා ජනාධිපති කළොත් තව සැරයක් බලයට එන්න බෑ කියලා. 2005 මැතිවරණය වෙලාවෙ කිව්වා තමන් බලයට පත් වුණොත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනව කියලා. 2010 ඔහු කිව්වා ඒක බලතල සීමා කිරීමකට ලක් කරනවා කියලා. ඡුන්ද දායකයින්ට කිසිම සංඥාවක් දුන්නෙ නෑ තුන්වැනි වතාවට ජනාධිපතිවරණයකට එනවා කියලා. 18 වැනි සංශෝධනය ආවේ ඔහු තේරීපත්වී මාස 8 ක් විතර ගියාට පස්සේ. ඒක ගෙනල්ලා කිව්වෙ ඕනෑම කෙනෙකුට ඕනෑම ධුර කාලයක් ඉන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙනකොට එතුමා නෛතික අබලතාවයකට ලක්වෙලා ඉවරයි. පුරවැසියන් ලෙස අපටත් අයිතියක් තියෙනවා ඊළඟ මැතිවරණයකදී වෙනත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට. ඒක වෙනස් කෙරුවා 18 වැනි සංශෝධනයෙන්. ඒත් 18 වැනි සංශෝධනයෙන් ඒක වෙනස් කෙරුවට එය ප‍්‍රකාශිතවම කි‍්‍රයාත්මක කළේ නෑ. එම නිසා ඡුන්ද දායකයින්ට තියෙන අයිතිවාසිකම එහෙම තියෙනවා කියලා තමයි අර්ථ නිරූපණය කළ යුත්තේ. ඒක ආපසු කි‍්‍රයාත්මක වෙන ආකාරයට අවශ්‍ය නම් නීතිය හදන්න පුළුවන්. නමුත් එහෙම හැදුවෙත් නෑ.
ඒකෙන් පස්සෙ තවත් ප‍්‍රශ්නයන් ඇති වෙනවා. වෙන රටවලට වඩා වෙනස් තත්ත්වයක් අපේ ව්‍යවස්ථාවෙ තියෙනවා. ඒ තමයි ව්‍යවස්ථාවේ සමහර වගන්ති වෙනස් කරන්න තුනෙන් දෙක විතරක් නෙවෙයි ජනමත විචාරණයකුත් අවශ්‍යයි. අපි හිතමුකො 18 වැනි සංශෝධනයේ ප‍්‍රකාශිතවම සඳහන් වුණා කියලා කෙටුම්පතේ එය ආපසු කි‍්‍රයාත්මක වෙනවා කියලා. එතකොට ඡුන්ද දායකයින්ගේ අයිතිවාසිකම නැති වෙනවා. එතකොට ඒ වෙලාවෙ ඡුන්ද බලය පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවෙනවා. අපේ ව්‍යවස්ථාවෙ තුන්වැනි සහ අසූ තුන් වැනි වගන්ති එකට කියවූ විට කියවෙනවා පුරවැසියන්ගේ ඡුන්ද බලයට අගතියක් වන ආකාරය, එයට අනුකූලවන ආකාරයට සංශෝධනයක් ගෙනාවොත් එයට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.
අද අර්ථ නිරූපණයක් දෙන්න බෑ මේක ආපස්සට කි‍්‍රයාත්මක වෙනවා කියලා. එහෙම වුණොත් ජනතාවගේ ඡුන්ද බලය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු වෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට පටහැනියි. දැන් කරන්න වෙන්නේ ආපහු පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ සංශෝධනය වෙනස් කර ගන්න පුළුවන් ප‍්‍රකාශිතවම ආපස්සට කි‍්‍රයාත්මක වෙනව කියලා. එතකොට ඒකට තුනෙන් දෙකක් විතරක් මදි. ඒකට ජනමත විචාරණය අවශ්‍යමයි. මේක සරල නෑ.
මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කරන අතර වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරටත් ඒ ස`දහා ඉදිරිපත් වන බැව් ප‍්‍රකාශ වී තිබෙනවා. ජනාධිපතිවරයාට නැවත වරක් තරග කළ නොහැකි බවට එක් පිරිසක් මත පළ කරන අතර එයට කිසිදු බාධකයක් නොමැති බවට තවත් පිරිසක් තර්ක කරනවා. මේ පිළිබ`දව ප‍්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි මහතා සමඟ කළ සාකච්ඡුාවකි.
- වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරට ඒ ස`දහා තරග කළ නොහැකි බවට පිරිසක් ප‍්‍රකාශ කරනවා. එහි සත්‍යයක් තිබේද?
ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි ආකාරය පිළිබ`දව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තියේ ස`දහන් කොට තිබෙනවා. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසියක් එහි ස`දහන් වන්නේ නැහැ. එහි දැක්වෙන කොන්දේසි අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන තැනැත්තා වයස අවුරුදු 30 ඉක්මවූවකු විය යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු නොවිය යුතු වන අතර, ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලද පුද්ගලයකු නොවිය යුතුයි. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසිය 2010 වන තෙක් පැවතුණා. එය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කෙරුණා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබ`ද කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබ`දව කතා කරනවා. 31 වැනි වගන්තියේ දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට තරග කළ නොහැකි බව ස`දහන්ව තිබුණා. එම වගන්තිය 2010දී ඉවත් කළා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. මෙහිදී ජනාධිපතිවරයාට තුන් වැනි වරටත් එම තනතුර ස`දහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීම විනා එම පදවියට පත් කිරීමක් සිදු වන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පත් කර ගන්නේ හෝ ඉවත් කරනු ලබන්නේ රටේ ජනතාවයි. වෙනත් මැතිවරණයකදී මෙන් නොවෙයි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා 50% ඉක්මවූ ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුයි. ඉතින් තුන්වැනි වරට තරග කරන ජනාධිපතිවරයාට ජනතාව කැමතිනම් අවස්ථාව ලැබේවි. නැතිනම් නොලැබේවි. කෙසේ වුවත් වැඩි වාර ගණනක් එම තනතුරේ සිටින කෙනකුගේ ජනපි‍්‍රයත්වය නම් අඩු වෙන්න පුළුවන්.
- ජනාධිපතිවරයා තුන් වැනි වතාවටත් බලය ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම තනතුරට සුදුසු වෙනත් පුද්ගලයකු නොමැති නිසාද?
අපේ රටේ නායකයන් සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් ජනතාව දිනාගත් නායකයකු තවත් නැහැ. ඇතැම් විට ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ජනපි‍්‍රයත්වය ඇති. එලෙසම එක්සත් ජාතික පක්ෂයේ සිටින නියම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතායි. මේ රටේ නායකයකු සතු වියයුතු ගුණාංග සහිත පිරිස ඉතා අල්පයි. නිමල් සිරිපාල ඇමතිවරයාට හෝ මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ ජී.එල්. පීරිස් මහතාට එම ජනපි‍්‍රයත්වය ඇතැයි කියා මා සිතන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිධුරයට ඉල්ලූම් කිරීමට ඇති වාර ගණන සීමා කළ යුතු නැහැ. නීතිමය වශයෙනුත්, රටේ තිබෙන සම්පත් අනුවත් එම කොන්දේසිය ඉවත් කිරීම ඉතා සුදුසුයි.
- එකම ව්‍යවස්ථාව දෙපිරිසක් විසින් විවිධ ලෙස අර්ථ දක්වනවා. එසේ වන්නේ අපේ ව්‍යවස්ථාවේ කිසියම් ව්‍යාකූලත්වයක් ඇති නිසාද?
නැහැ. කිසිදු ව්‍යාකූලත්වයක් නැහැ. 2010 ව්‍යවස්ථානුකූලව එම සීමාව ඉවත් කරන විට දැන් මෙයට විරෝධය පළ කරන පිරිස කිසිවක් ප‍්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිවරණයට සූදානම් වන අවස්ථාවේ ඔවුන් මෙවැන්නක් කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. ජනාධිපතිවරයාට තුන්වැනි වතාවටත් තරග කළ හැකියැයි යන මගේ මතය හෝ මෙයට විරෝධය දක්වන අනෙකුත් පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි. මෙම තත්ත්වය නිවැරදි කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිිනුයි. දෙපක්ෂයේම මතය සළකා බලා නිවැරදි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දේවි. හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා 2010දී මෙයට එරෙහිව කි‍්‍රයා මාර්ගයක් නොගත්තේ මන්ද? මීට වඩා භයානක සිදුවීම් මේ රටේ සිදු වුණා. උදාහරණයක් ලෙස මන්තී‍්‍රවරුන්ට පක්ෂ මාරු කිරීම පිළිබ`ද ව්‍යවස්ථාවේ කිසිදු සංශෝධනයක් කළේ නැහැ. එහෙත් අධිකරණය එයට ඉඩ ලබා දුන්නා. පක්ෂ මාරු කිරීම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනියි. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක්. ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තියේ තවමත් ස`දහන් වනවා මන්තී‍්‍රවරයකු ඉල්ලා අස්වුවහොත් හෝ පක්ෂයෙන් ඉවත් කළ හොත් හෝ පක්ෂය මාරු කළ හොත් හෝ ඔහුට මන්තී‍්‍රධුරය අහිමි වන බවට. ව්‍යවස්ථාව වෙනස් නොකොට එවැන්නක් කළා නම් ව්‍යවස්ථාවට අනුකූලව තුන් වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලයක් නැතැයි මේ අය ප‍්‍රකාශ කරන්නේ කොහොමද?
- පොදු අපේක්ෂකයා යන සංකල්පය පිළිබ`ද ඔබේ මතය.
පොදු අපේක්ෂකයකු කියා කෙනෙක් නැහැ. විරුද්ධ පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන්නට සුදුසු එකම පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි. එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ සිටින බලවත්ම පක්ෂයක්. අපේ රටේ තවමත් තිබෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ගියවර ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයකු තරගයට ඉදිරිපත් කළා. එය සාර්ථක වූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ප‍්‍රබල පක්ෂයකට හැකිද නැවත වරක් එවැන්නක් කිරීමට? එසේ වුවහොත් එම දේශපාලන පක්ෂයේ ශක්තිය හා ගෞරවය නැතිවී යනවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ පොදු අපේක්ෂකයකු නොව රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි එකම සුදුස්සා. විවිධ හැලහැප්පීම් තිබුණත් එතුමා එම පක්ෂය බි`ද වැටෙන්නට නොදී ඉදිරියට ගෙන ආවා. භික්ෂූන්වහන්සේ ජනාධිපතිධුරයට හෝ වෙනත් මැතිවරණයකට හෝ තරග කිරීම මා අනුමත කරන්නේ නැහැ.
- වර්තමාන ජනාධිපතිවරයාට එදා තිබූ ජනතා ආකර්ෂණය අදටත් තිබෙනවාද?
එදා තිබූ ආකර්ෂණය අඩුවෙලා. දීර්ඝ කාලයක් පාලන බලයේ සිටින ඕනෑම පක්ෂයකට එවැන්නක් සිදු විය හැකියි. ජනාධිපතිවරයාට උපරිම ජනතා ආකර්ෂණය ඇති වූයේ යුද ජයග‍්‍රහණයෙන් පසුවයි. රටේ විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව මධ්‍යම ආර්ථිකයක් සහිත රටක් බවට පත්වෙලා. රජය කිසියම් පසුබෑමකට ලක් වනවා නම් එයට බල පාන්නේ ජීවන වියදම ඉහළ යාම. යම් කිසි හෙයකින් රජය පරාජය වුවහොත් එය සිදුවන්නේ විපක්ෂයේ හැකියාව මත නොවෙයි. පක්ෂය ඇතුළේ සිටින ඇතැම් පිරිස් සිදු කරන විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් ජනතාව කලකිරීමට පත්වීම නිසයි. විශේෂයෙන්ම ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා දේශපාලන හෙංචයියන්ගේ හැසිරීම පිළිබ`දවත් ඔවුන්ගේ වැරදිවලට විනයානුකූල පියවර නොගැනීම පිළිබ`දවත් ජනතාව කල කිරිලා. ගම්වල ජනතාවට වඩා නගරබද ජනතාවට මේවා දැනෙනවා. උතුරේ විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා. එහෙත් මිනිසුන්ගේ සාක්කුවට මුදල් වැටෙන ක‍්‍රමයක් සකසා නැහැ. රට වගේම ජනතාවත් නඟා සිටුවිය යුතුයි. එවිට ජනතා ආකර්ෂණය ර`දවා ගත හැකියි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා! (නි)
ගෝමින් දයාසිරි අදහස ප්‍රශ්න සහිතයි.මොකද ව්‍යවස්තා වෙනස හංගල කියන්නේ . (අ)
මෙතන තියෙන්නේ නීති ප්‍රශ්නයකට වඩා බලකාමය පිළිබඳ ප්‍රශ්නයක් බවයි මට නම් හිතෙන්නේ. ප්‍රාදේශීය සභා පළාත් සභා පාර්ලිමේන්තුව යන සියලුම මහජන නියෝජිත ආයතනවලට පත්වෙලා ඉන්න බලය ඇති සහ බලය නැති හැමෝම යන්න පළමුව තමන්ගේ පවුල්වල අය ඉස්සරහට දාගන්නවා. දැන් ප්‍රධාන දේශපාලන පක්ෂවල පාක්ෂිකයින් හැටියට ඉන්නේ නෑදෑයින් විතරයි. (නි)
මට හිතෙන්නේ තෙවැනි වර ඉල්ලන එකේ වරදක් නැහැ (නි)
අපි හැමදාම ඉතින් එක තැන (නි)
තුන් පාරක් නෙමේ දහපාරක් වුණත් ඉල්ලන්න පුළුවන්. අපි කැමති නම් ඡන්දෙ දෙනවා. අපේ රට බේරලා දුන්නා වගේම මිනිසුන්ට හොඳ ජීවන තත්වයකුත් හදාදෙන්න. (නි)
සමහර අය ගොඩක් බයවෙලා වගෙයි (නි)
මහින්ද මහත්තයා අාවේ ඕක වෙනස් කරන්න නේද දැන් වෙනස් කරන් නැද්ද ඕක (නදී)
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ උනේ ජ.ර හදපු ව්‍යවස්ථාව නිසා. එහි තිබුණු එකම හොඳ වගන්තිය දෙපාරකට වැඩියෙන් ජනපති වෙන්ඩ බැහැ කියන එකයි. දැන් ලජ්ජා නැතිව එ්කත් වෙනස් කරලා (නදී)
ප්‍රහ්නය අපිට හරි විකල්පයක් නැති එකනේ (නි)
සෙනරත්, ඔයා කියන එක මම අනුමත කරනවා (නි)
මහින්ද ජනපති තරග කළ ජනපතිවරණය 2010 ජනවාරි පැවත්වීය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2010 අගෝස්තු සිදුකරන ලදී. මහින්ද ජනපති 2 වනවර දිව්රුම් දුන්නේ 2010 නොවෙම්බෙර් 18 වන දිනදීය. එම නිසා මහින්ද ජනපති 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම්දී ඇත. (නදී)
බලය ලැබීමට පෙර විදායක බලය තමයි පිලිකුල්ම දේ. බලය ලැබුනට පසු ඒකම ආරක්ෂා කරන්නම තමයි හැම උප්පර වැට්ටියක්ම දාන්නේ. බලයට පෙර චන්ද්‍රිකා නෝනා /මහින්ද මහතා ඕක අහෝසි කරනවා කියලයි කිව්වේ. නමුත් දෙදෙනාම ජනතාව රැවටුවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ මනාපයට පමණක් එය ශක්තිමත් කරනවා. ඕකට ඔයතරම්ම ආශා නම් මහජනයා රවටන්නේ නැතිව කලින්ම අහක්කරනවා කියා නොසිට්න්න තිබුනා. බොරු කාරයෝ නොවී. මැඩම් ආයෙම එන්න වලිකන්නේ ඕක ඉවත් කරන්න වෙන්න ඇති. (නදී)
රටේ තිබෙන ප්‍රශ්න වලට උත්තරය තුන්වැනි වතාවටත් මහින්ද මැතිතුමා එන එකද? මිනිසුන්ට වෙනසක් ඕනෑ. රටේ තිබෙන සම්පත් වලින් ගසා කෑම නැතිකරලා, උගතුන්ට සුදුසු තැන ලැබිලා, ඉගෙනගන්න අපේ දරුවන්ට ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් ලැබිලා රට දියුණු කරන්න ඕනෑ නේද? අද රටේ බඩුමිල ඉතා ඉහළ අගයක තියෙන්නේ. අනික් රටවල ආර්ථිකය දිහා බලන්න (නි)
මේක ජනපති පත්වෙන විට තිබුනේ නැති නිසා ජනපතිට ඉල්ලන්න බෑ. නමුත් 18 වැනි සංශෝධනය අනුව මහින් ද රාජපක්ෂට පුළුවන්. (දිල්)
මගේ දැක්ම අනුව නම් දේශපාලනයේදී හොඳින් තෙම්පරාදු වූ,නීතිවේදියෙකුත් වෙන එතුමා මෙහෙම දේවල් ගැන නොදැනුවත් වෙන්න බැහැ. (නි)
සටන තියෙන්නේ එජාපය සහ සන්ධානය අතරේ පමණයි. අනිත් කවුරුත් බෝඩ් ලෑලි පමණයි. (නදී)
රටේ ඒකීය භාවය රඳවාගන්න මහින්ද මහතා නැවත බලයට එන එක හොඳයි. අනෙක් අය අාවට පස්සේ මොනවා කරයිද දන්නේ නැහැ. බටහිර කියන ඕනෙම දේකට එකගවෙනෙක තමයි එයාල දන්නේ. එතකොට කොහොමද රටේ එ්කීය බාවය රැකෙන්නේ. බටහිරට ඕනෙත් මේක කැලි, කෑලි වලට කඩල සදාකාලික ප්‍රස්නයක් හදන්නයි. (නදී)
30 වසරක යුද්ධයක් අවංක චේතනාවෙන් නිමකළ මෙවන් පුද්ගලයෙක් නැවත ජනාධිපතිවීම ඉතා අගය කළයුතුයි. (නි)
කවුරු බලයට අාවත් අපිට මොකෝ යහ පාලනයක් ගෙනියනවා නම් රටේ ජීවන වියදම අඩුකරලා ආර්ථිකය සංවර්ධනය ඇතිකරලා රැකියා අවස්ථා උදා කරලා දුෂණය නැති කරලා. නමුත් එ්ක වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. කැසිනෝ ලංකාවට ගෙනල්ලා ආර්ථිකය දියුණු කරන්න පුලුවන්ද? අපේ අසල්වැසි රටවල් වලින් වත් ආදර්ශයක් ගත්තොත් හොඳයි.(නදී)
එය දේශපාලන පක්ෂ වලට අවශ්‍ය විදිහට වේවි. කලබල වෙන්න එපා (නි)