IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගිනිගත් නැවේ වන්දිය මෙතරම් පමාවූයේ ඇයි?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරෙන් ශ්‍රී ලංකාවට අයිතිය වශයෙන් වන වන්දිය ලබාගැනීම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් එම ක්‍රියාවලිය කල් යන බව පසුගියදා වාර්තා විය. පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය වී තිබිණි. වන්දි මුදල් ලබාගැනීමට අදාළව ගැටලු‍ රැසක් මතුවී තිබෙන බව ද එහිදී හෙළිදරව් විය.

මේ රටේ බොහොමයක් කාරණාවලදී සම්බන්ධීකරණය නිසි ආකාරයට සිදුනොවීම රටට විශාල අවාසියක් වී තිබේ. මේ අවාසිසහගත තත්ත්වයෙහි බලපෑම ඍජුවම කේන්ද්‍රගත වන්නේ රටේ ආර්ථිකයටය. එහෙයින් එහි බලපෑම බරපතළය. විවිධ හේතු මත අබල දුබලව ගිය ආර්ථිකය යළි හැඩගස්වා ගැනීමේ වෑයමට මෙවැනි අඩුපාඩුකම් හරස්වීම එම සමස්ත ක්‍රියාවලියම අඩපණ කර දැමීමකි. එහි ප්‍රතිඵලය රටේ ආර්ථිකය තවදුරටත් දැඩි ලෙස පීඩනයට හසුවීමය. නැවේ වන්දි මුදල් ගැටලු‍ව ද මුහුණ දී ඇත්තේ එම පීඩනයටමය.

එක්ස්ප්‍රස් පර්ල් නැව 2021 මැයි මස 20 වැනිදා සිට දින ගණනාවක් තිස්සේ කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගත් අතර එයින් ඇති වූ පාරිසරික බලපෑම හැඳින්වූයේ ලොව සමුදුරු ආශ්‍රිතව සිදුවූ විශාලතම මයික්‍රෝ ප්ලාස්ටික් ව්‍යසනය හැටියටය. එහි බලපෑම ඉදිරි වසර ගණනාවක් තිස්සේම පවතිනු ඇති බවට ද අනාවැකි පළ විය. ශ්‍රී ලංකාව ආශ්‍රිත සමුද්‍රයේ සිදුවූ පාරිසරික විනාශය ගණන් බැලිය නොහැකි තරම් විශාල වන බව ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වී තිබිණි. සිද්ධිය කොතරම් බරපතළ වුවද එයින් රටට සිදුවන හානිය ගණන් බලා වන්දිය අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ දක්වා පැමිණ ඇත්තේ ඉබිගමනින් වීම අවාසනාවකි. එයට හේතුව ආයතන අතර තිබිය යුතු සම්බන්ධීකරණය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට නොහැකි වීම බවද සඳහන් වීය.

මෙවැනි අනතුරක වන්දිය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවට සටන් කිරීමට සිදුවන්නේ ලෝකයේ ඉතාම බලවත් රක්ෂණ සහ වන්දි ලබාදීමේ සංවිධානාත්මක සමාගම් ජාලයක්  සමඟින් බව අමතක නොකළ යුතුය. මෙවැනි ඉතා ශක්තිමත්ව, සූක්ෂමව සහ සැලසුම්සහගතව ක්‍රියා කරන සමාගම් මුලින්ම සිදුකරන්නේ අදාළ රටේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම පැවරෙන ආයතනවල ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් බිලිබා ගැනීමට ක්‍රියා කිරීමය. මෙහිදී අත යටින් ඩොලර් කුට්ටි ගණනින් ගනුදෙනු සිදුවන බවද නොරහසකි. එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන අතර සම්බන්ධීකරණය අතරමගදී පීලි පනින්නේ ඒවායේ බලපෑම්වලින් දැයි අපි නොදනිමු. එහෙත් ආණ්ඩුවේ සියලු‍ බලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන්නේ රටට ලැබිය යුතු ඉහළම වන්දිය අදාළ ආයතනවලින් ලබාගැනීමට කටයුතු කිරීමය. ඒ සඳහා සියලු‍ පාර්ශ්ව එකට එකතු කර ඔවුන්ට නිසි උපමාන ලබාදීමය.

විෂය භාර පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවට මෙහිදී පැවරෙන්නේ විශාල වගකීමකි. නීතිපති දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ එමගින් පත් කළ විද්වත් කමිටුවේ සාමාජිකයන් ඒකාබද්ධව ඉදිරි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවටත් ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසටත් ආංශික කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ මේ වගකීම ඉටුකිරීම සඳහා විය යුතුය. එය සාර්ථක කර ගැනීමට නම් ආයතන අතර සම්බන්ධීකරණය ඉහළම මට්ටමින් පවත්වා ගැනීමට වගබලාගත යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විට මුහුණ දී තිබෙන ගැටලු‍ හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ද කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් තවදුරටත් සිදුවනු ඇත්තේ කාලය කා දැමීමක් පමණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඛේදවාචකය මෙරට ධීවර ජනතාවටත් රටේ පරිසර පද්ධතියටත් සිදුකරන ලද්දේ අතිවිශාල විනාශයකි. මූල්‍යමය වශයෙන් සිදුවූ බරපතළ හානිය මෙන්ම රටේ ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් අවම වශයෙන් විසිදහසකට වැදුණු පහරද දරුණුය. මේ සියලු‍ දෙයට වන්දි ලැබිය යුතුය. එම වන්දිය ලබාගැනීම තවදුරටත් ප්‍රමාද කළ නොහැක. ඒ සඳහා ඊට අදාළ සියලු‍ පාර්ශ්වවල සම්බන්ධීකරණය පවත්වා ගැනීම අවශ්‍යම සාධකය බවද සඳහන් කරමු.

(***)



අදහස් (1)

ගිනිගත් නැවේ වන්දිය මෙතරම් පමාවූයේ ඇයි?

AB Sunday, 07 January 2024 05:17 AM

වන්දි මුදල් ලබාගැනීමට අදාළව ගැටලු‍ රැසක් මතුවී තිබීමට මූලික හේතුව නම් ලංකාවේ බොහෝමයක් කාරණාවලදී රජයේ ආයතන අතර සම්බන්ධීකරණය නිසි ආකාරයට සිදුනොවීම, මෙම කරණයට අදාළව සාකච්ඡා සඳහා පාර්ශවයන් විසින් ඉදිරිපත්වන පුද්ගලයින්හට වන්දි මුදල් ලබාගැනීමේදී % (අතයට ගනුදෙනු) ප්‍රමාණයක් හෝ සන්තෝසම් නොලැබීම සහ නිලධාරි වාදය සහ දේශපාලන උවමනාවන් මත නිලධාරීන් ක්‍රියා කිරීම රටට විශාල අවාසියක් සහ ඛේදවාචකයක් වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ එමගින් පත්කළ විද්වත් කමිටුවේ සාමාජිකයින් ආයතන කිහිපයක් එක්ව කටයුතු කිරීමේ ක්‍රමව්දයන් අනුගමනය කිරීම හේතුවෙන් ගැටළු විසඳීමේදී දිගු කාලයක් ගතවීම අවම කිරීමට නම් මෙම සිදුවීම අවස්ථාවක් ලෙස යොදාගනිමින් ඉදිරියේදී මෙවැනි සිදුවීමකදී මුහුණ දියයුතු ආකාරය සහ විසඳුම් ලබාදීමට අවශ්‍ය නීතිමය සහ පාරිසරික නීතින් සම්පාදනය කර දේශපාලනික මැදිහත්විම්වලින් තොර එක් ආයතනයක් යටතට පත්කිරීම ගැටළු පහසුවෙන් නිරවුල්ව විසඳා ගැනීමට, අර්බුදයට මැදිහත්වූ දේශීය මෙන්ම විදේශය පාර්ශවයන් සමගද පහසුවෙන් ගනුදෙණු කිරීමටද අවස්ථ‍‍ාව සැලසේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site