IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කළු ජාතිකයන්ගේ අභිමානය - පේලේ - සමුගනී

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

පාපන්දු ලෝක කුසලාන තුනකට හිමිකම් කියූ ලෝකයේ එකම ක්‍රීඩකයා වන බ්‍රසීල ජාතික පේලේ සිය දිවියෙන් සමුගෙන තිබේ. බඩවැලේ පිළිකාවක් හේතුවෙන් වසර දෙකකට වැඩි කලක් ප්‍රතිකාර ලබමින් සිටි පේලේ මියයන විට 82 වැනි වියේ පසුවිය.

පාපන්දු ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතමයා ලෙසින් සැලකෙන පේලේ පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළේ 1958 දී ස්වීඩනයේදීය. ඒ වන විට 17 හැවිරිදි වියේ පසුවූ පේලේ, එයින් වසර 65 කට පසුවත්, ලෝක කුසලාන තරගයකට ක්‍රීඩා කළ ළාබාලතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකේ.

1962 දී ලෝක කුසලාන දිනාගත් බ්‍රසීල කණ්ඩායමේ සමාජිකයකු වූ පේලේ විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් 1962 තරගාවලියේදී ක්‍රීඩා කළේ තරග 2 කට පමණි. බ්‍රසීලය ලෝක කුසලාන දිනාගත් 1970 තරගාවලියේදී අති විශිෂ්ට දස්කම් පෙන්වූ පේලේ අවසන් මහ තරගයේදී ඉතාලිය පරදවා ලබාගත් ගෝල 4-1 ක ජයග්‍රහණයටත් සම්මාදම් වූයේය.

පේලේ කෙතරම් ජනප්‍රිය ක්‍රීඩකයකු ද යත්, නයිජීරියාවේ ප්‍රදර්ශන පාපන්දු තරගයකට පේලේ සහභාගි වන්නේ නම්, තාවකාලික සටන් විරාමයකට යාමට 1967 නයිජීරියානු සිවිල් යුද්ධයේ එක් පාර්ශ්වයක් එකඟ විය.

1997 දී බ්‍රිතාන්‍යයේ II වැනි එළිසබෙත් මහ රැජිනගෙන් නයිට් පදවිය ලත් පේලේ, වරක් පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සඳහා ඇමරිකාවට ගියේය. පේලේ පිළිගැනීමට පළමුවෙන්ම ඉදිරිපත්වූයේ ඇමරිකානු ජනාධිපතිවරයායි.

“මගේ නම රොනල්ඩ් රේගන්. මම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා. ඒත් ඔබ ගැන හැඳින්වීමක් අනවශයි. ඔබ ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වන පේලේ කියා ලෝකයම දන්නවා” යයි පේලේ වෙත අත දිගු කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.

බ්‍රසීල පාපන්දු ක්‍රීඩාවේ කෙරුම්කාරයන් වන්නේ බ්‍රසීලයේ සුළු ජන කොට්ඨශයක් වන සුදු ජාතිකයන්ය. ඔව්හු ස්පාඤ්ඤයේ සහ පෘතුගීසියේ සිට බ්‍රසීලයට සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන්නෝ වෙති.

පේලේ බ්‍රසීලයේම කළු ජාතිකයෙකි. එහෙත් ඔහු කිසි දිනෙක වර්ණභේදවාදය ගැන ප්‍රසිද්ධියේ කතා නොකළේය. නූතන බ්‍රසීලයේ පළමු වැනි කළු ජාතික වීරයා පේලේය.

තරග පැවැත්වෙද්දි වඳුරන් මෙන් හඬ තැලීම, කළු ජාතික ක්‍රීඩකයන්ට සරදම් කරන නොහික්මුණු ක්‍රීඩා ලෝලීන්ගේ පුරුද්දකි. එහෙත් පේලේ කිසිවිටෙක එය රිස්සුවේ නැත.

“මේ වගේ වඳුරු ඝෝෂා නතර කිරීමට මට හැම තිස්සේම සිද්ධ වෙනවා නම් මම ආයේ කවදාකවත් පාපන්දු සෙල්ලම් කරන්නේ නෑ” යයි පේලේ වරක් නරඹන්නන් වෙත යමින් කීවේය.

පේලේ යනු බ්‍රසීලයේ කළු ජාතිකයන්ගේ අභිමානයයි. ඒ ගැන සැකයක් හෝ විවාදයක් නැත. එහෙත් කිසිම අවස්ථාවක, කළු ජාතිකයන් වෙනුවෙන් කොඩිය ගෙන යාමට පේලේ ඉදිරිපත් නොවීය. ඔහු සුපුරුදු ලෙසින් ‘බ්‍රසීලයේ පේලේ’ ම වූයේය.

පාපන්දු ක්‍රීඩාවෙන් පසුව පේලේගේ දිවිය නොසිතු අඩවි වල සැරිසැරීය.

දේශපාලනඥයකු වශයෙන්, ඔහු බ්‍රසීලයේ අති විශිෂ්ටතම ක්‍රීඩා ඇමතිවරයා විය. ඉතාම සාර්ථක ව්‍යාපාරිකයකු මෙන්ම යුනෙස්කෝවේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් තානාපතිවරයකු ද වූයේය. ඇතැම් අවස්ථාවල චිත්‍රපට නළුවකු සහ ඔපෙරාවන්හි ද පෙනී සිටියේය. එහෙත් කිසිදා පාපන්දු ක්‍රීඩාවෙන් ඈත්වූයේ නොවේ.

පසුගියදා කටාරයේදී පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පේලේ නැරඹුවේත් රෝහලේ සිටිමිනි.

1940 ඔක්තෝබර් 23 වැනිදා, බ්‍රසීලයේ කුඩා නගරයක් වන ටේ‍රස් කොරාකාස් හිදී උපත ලද ඔහුගේ උප්පැන්න සහතිකයේ නම සටහන් වූයේ එඩ්සන් ඇරන්ටස් දෝ නසිමෙන්ටෝ ලෙසිනි.

ඉතා කුඩා කාලයේදීම පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වූ එඩ්සන් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තමන්ට අවශ්‍ය උපාංග මිලදී ගැනීම සඳහා සපත්තු ඔප දමන්නකු ලෙසින් කටයුතු කරමින් සුළු මුදලක් උපයා ගත්තේය.

එඩ්සන්ට යන්තම් වයස 11 වෙද්දී, බ්‍රසීලයේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරමින් සිටි ජ්‍යෙෂ්ඨ (වෘත්තීය) පාපන්දු ක්‍රීඩකයකුගේ ඇස ගැටිණ. ඔහු එඩ්සන් කැඳවගෙන ගොස් සැන්ටොස් ක්‍රීඩා සමාජයේ තරුණ සංචිතයට බාර කළේය. එහෙත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක්වීමට එඩ්සන්ට වැඩි කාලයක් අවශ්‍ය නොවීය.

අඩි 5 යි අඟල් 8 ක් උස තරුණ ක්‍රීඩකයකු වූවත්, සැන්ටොස් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨයන් හා හරි හරියට ක්‍රීඩා කළ පේලේ, වයස 16 දී සැන්ටොස් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක්විය. මේ අපූරු ක්‍රීඩකයා, එඩ්සන් ඇරන්ටොස් දෝ නසිමෙන්ටෝගේ දස්කම් හේතුවෙන් සැන්ටොස් ක්‍රීඩා සමාජය ලෝ පුරා ජනාදරයට පත්විය.

එකළ ‘බයිලේ’ නමිත් තවත් ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයකු විය. එහෙත් එඩ්සන්ට කිසිවිටෙක බයිලේ ගේ නම නිවැරදිව උච්ඡාරණය කළ නොහැකි විය. ඔහු එය උච්ඡාරණය කළේ ‘පේලේ’ ලෙසිනි. එඩ්සන් ඇරන්ටොස් දෝ නසිමෙන්ටෝ ‘පේලේ’ වූයේය.

වයස 17 දී, 1958 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා, පේලේ ස්වීඩනයට ගියේ බ්‍රසීල කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයකු ලෙසිනි. 1958 ලෝක කුසලාන තරගාවලියේදී පේලේ ලබාගත් පළමු ගෝලය, අදටත් කතාබහට ලක්වන, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අනුස්මරණීය ගෝලයකි.

66 වැනි විනාඩියේදී තම පපුවෙන් පන්දුව බාරගත් 17 හැවිරිදි පේලේ, ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයාගේ හිසට ඉහළින් පන්දුව යැවීය. අනතුරුව ඔහු පසුපස දිව යමින් නැවතත් පන්දුව ලබාගත් තරුණයා එය දැළ තුළට යැවූයේ ජෝන් චාල්ස්ගේ වේල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් බ්‍රසීලය ජයග්‍රහණය කරවමිනි.

ස්ටොක්හොම් නුවරදී ප්‍රංශය හමුවේ පැවැති අවසන් පූර්ව තරගයේදීත් ගෝල තුනක් ලබාගත් පේලේ බ්‍රසීලය අවසන් මහ තරගය දක්වාම කැඳවාගෙන ගියේය. ස්වීඩනයට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී බ්‍රසීලය ලබාගත් ගෝල 5-2 ජයග්‍රහණය වෙනුවෙන් ගෝල දෙකක් ලබාගත් පේලේ නැවත ක්‍රීඩාගාරයට ආවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ කර මතිනි.

වසර 30 ක පමණ කාලයක්, බ්‍රසීලයේ සැන්ටොස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එක දිගට ක්‍රීඩා කළ පේලේ 1972 දී වෘත්තීය පාපන්දු ක්‍රීඩාවෙන් අර්ධ වශයෙන් සමුගත්තේය. ඒ අවස්ථාවේදී යුරෝපයේ ධනවත් ක්‍රීඩා සමාජ පේලේ මිලදී ගැනීමට සූදානම් වූවත් බ්‍රසීල රජය ඊට මැදිහත් වී, පේලේ ජාතික වීරයෙක් ලෙසින් නම්කරමින්, තමන්ගේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා විකිණීමෙන් බේරා ගත්තේය.

පේලේ 1975 දී උතුරු ඇමරිකානු පාපන්දු ලීගයට ක්‍රීඩා කළ කොස්මෝස් පිලට එක්විය. ඒ වනවිටත් 34 හැවිරිදි වියේ සිටි, පාපන්දු ක්‍රීඩාවේ සෞභාග්‍ය සමය අවසන් කර සිටි ක්‍රීඩකයකු වූවද, වසර තුනකදී කොස්මොස් පිල වෙනුවෙන් ගෝල 64 ක් ලබාගත් පේලේ, 1977 දී කොස්මෝස් පාපන්දු සමාජය ලීග් ශූරතාව කරා කැඳවාගෙන ගියේය.

1977 ඔක්තෝබර් 01 වැනිදා, ඇමරිකාවේ නිව් ජර්සි නුවරදී ප්‍රදර්ශන පාපන්දු තරගයක් පැවැත්විණ.  ඇමරිකාවේ කොස්මෝස් පාපන්දු සමාජයත්, පේලේ වසර 30 ක් ක්‍රීඩා කළ බ්‍රසීල පාපන්දු සමාජය වන සැන්ටොස් පාපන්දු ක්‍රීඩා සමාජයත් අතර පැවැති මෙම තරගය නැරඹීමට 77,000 ක් පැමිණ සිටියහ.

තරගයේ එක් අර්ධයත් කොස්මෝස් පිල වෙනුවෙන්ද, අනෙක් අර්ධය සැන්ටොස් පිල වෙනුවෙන්ද ක්‍රීඩා කළ පේලේගේ අවසන් තරගය දැකබලා ගැනීමට බොක්සිං ක්‍රීඩාවේ ‘ශ්‍රේෂ්ඨයා’ වන මොහොමඩ් අලී ද පැමිණ සිටියේය.

තුන් වතාවක් විවාහ වූ පේලේ දරුවන් පස් දෙනෙකි. ව්‍යාපාරික කාන්තාවක් වූ මාසියා සිබෙල් ඕකි සමගන් පේලේ අවසන් වරට විවාහ විය.

පේලේ දිවි රඟමඬලින් බැස ගියද, ඔහු විසින් නිර්මාණය කරන ලද “අලංකාර ක්‍රීඩාව” කෙරේ ආසක්ත වූ ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ඔහු සදාතනිකව ම ලැගුම්ගෙන සිටිනු නිසැකය.

 

- 213

 



අදහස් (1)

කළු ජාතිකයන්ගේ අභිමානය - පේලේ - සමුගනී

randil Saturday, 31 December 2022 09:02 AM

පාපන්දුවේ අභිමානය මහ පොලොවේ වීරයෙක්.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site