IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කාලගුණය හැමදාමත් අභියෝගයක්ද?

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස ස්වාභාවික ආපදාවලට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ මෙම තත්වය අභියෝගාත්මක ලෙස වර්ධනය වෙමින් පවතී.

සෑම වසරකම දිවයින මෝසම් කාලවල දී ගංවතුරට මුහුණ දෙන අතර, මධ්‍යම කඳුකරය අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් නිතර නායයෑම්වලට ලක්වේ. අනෙක් අතට, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල වියළි ප්‍රදේශ කෘෂිකර්මාන්තයට හානි කරන, ජල සැපයුම අඩු කරන සහ ග්‍රාමීය දුෂ්කරතා තීව්‍ර කරන දිගුකාලීන නියඟවලට මුහුණ දෙන තත්ව නිරන්තරයෙන්ම වාර්තා වෙමින් පවතී.

ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය මගින් 2017 වසරේ බරපතළ කාලගුණික තත්වයෙන් වඩාත්ම බලපෑමට ලක්වූ රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද ශ්‍රේණිගත කර ඇත. මේ ආකාරයෙන් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති කරන මෙවැනි ව්‍යසන වඩාත් තීව්‍ර වෙමින් පවතින බැවින්, රටට ශක්තිමත් සහ කාර්යක්ෂම ආපදා කළමනාකරණ රාමුවක් තිබීම සහ එය මනා ලෙස ක්‍රියාත්මක කිරීම අතිශය තීරණාත්මක සාධකයකි. මෙම සියලු‍ පද්ධතිවල හදවත වන්නේ දත්තය. වර්ෂාපතන මිනුම්, ගංගා මට්ටම්, පාංශු තෙතමනය, චන්ද්‍රිකා ඡායාරූප සහ ජනගහන තොරතුරු වැනි විශ්වාසදායක දත්ත, ආපදා පුරෝකථනය කිරීමට, කාලෝචිත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට, ඉවත් කිරීම් සැලසුම් කිරීමට සහ ජීවිත බේරාගැනීමට උපකාරී වේ. සරලව කිවහොත්, දත්ත යනු ආපදා කළමනාකරණයේ කොඳු නාරටියයි.

නිවැරැදි හා කාලෝචිත දත්ත නොමැතිව, ශ්‍රී ලංකාවට හොඳින් සූදානම් වීමට, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට හෝ ස්වාභාවික උපද්‍රව නිසා සිදුවන හානිය අවම කිරීමට නොහැකි වී ඇත. “දිට්වා සුළි කුණාටුව” සමග රට තුළ ඇතිවී තිබෙන හදිසි ආපදාකාරී තත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය නිවැරැදි දත්ත සහ තොරතුරු නොමැතිකම ඉතා ගැටලු‍දායක අභියෝගයක් බව, රාජ්‍ය නායකත්වය ද විටින්විට පෙන්වා දී ඇති කරුණකි. මෙවන් පසුබිමක් යටතේ, මෙම ලිපිය මගින් ආපදා කළමනාකරණයේ දත්තවල ඇති වැදගත්කම සහ එයට අදාළ ආයතනවල වගකීම සහ එම ක්ෂේත්‍රයේ ඇති අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි.

 “දිට්වා සුළි කුණාටුව” නිසා ඇතිවූ මෑතකාලීන විනාශය, නිවැරැදි දත්ත විශ්ලේෂණයක් සහ පවතින තොරතුරු නොසලකා හැරීමේ ප්‍රතිවිපාක මනා ලෙස පෙන්නුම් කර ඇත. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී තිබෙන විනාශයෙහි තරම මේ වනවිටත් ගණනය කිරීමට අපොහොසත් වී ඇත. දැනට ඉදිරිපත්ව පවතින විවිධ වාර්තාවලට අනුව එහි බලපෑමෙහි තරම අතිමහත්ය. සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් අප අතරින් සමුගෙන ඇති බවට නිල වශයෙන් වාර්තාවන අතර 190කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ය. පවුල් 5,86,464 කට වැඩි පිරිසක් අවතැන්වූ අතර, රට පුරා මිලියන 2කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවට ප්‍රකාශ වෙයි. පූර්ණ නිවාස හානි 4000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වූ අතර, රටෙන් තුනෙන් එකකට ආසන්න පිරිසකට විදුලිය, ජලය සහ සන්නිවේදනය අහිමි විය. ඒ අනුව මෙම සුළිකුණාටුවෙහි බලපෑම් සමාජ ආර්ථීක සහ පාරිසරික යන සෑම ක්ෂේත්‍රයක්ම පුරා විහිදී යන බව දැක්විය හැකිය. මෙය 2016 වසරේ දී ගංවතුර සහ නායයෑම ආශ්‍රිතව ඇතිවූ හානියට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් ඉහළ මට්ටමක් ගෙන ඇති බවට අපේක්‍ෂා කරයි. මෙම ඛේදවාචකය හරහා අවධානයට ගත යුතු මූලික කරුණක් වන්නේ දශක ගණනාවක ගංවතුර, වර්ෂාපතනය සහ නායයෑම් දත්ත හරහා දැනටමත් අධි අවදානම් සහිත ප්‍රදේශවල විනාශයෙන් වැඩි ප්‍රමාණයක් සිදුවී තිබීමයි. කෙසේ නමුත් අවාසනාවන්ත කරුණ වන්නේ, මෙම සුළි කුණාටුව හරහා රට තුළ ඇතිවූ විනාශයෙහි සම්පූර්ණ තරම ද, එය කළමනාකරණය කිරීමට අවශ්‍ය වන මුදල් ඇස්තමේන්තු ද නිසි ලෙස ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කිසිවකුට හැකියාව ලැබී නොමැතිවීමයි. මෙයට ප්‍රධාන හේතුව වනුයේ, විනාශය සහ එය ඇති කර ඇති බලපෑම් නිවැරැදිව මැන ගැනීමට ප්‍රමාණවත් හා ගුණාත්මක දත්ත ලබාගැනීමට අපොහොසත්වීමයි. මෙය රටක් විදියට අප මුහුණ දෙන අවාසනාවන්ත තත්වයකි.

සංඛ්‍යානයෙහි දත්ත යනු පර්‌යේෂණ හෝ විශ්ලේෂණ ක්‍රියාවලි සඳහා ක්‍රමවත් ලෙස එකතු කරගන්නා අගය හෝ ප්‍රතිචාර ලෙස සරලව ගත හැකිය. දත්ත සංඛ්‍යාත්මක විශ්ලේෂණයේ මූලික පදනම වන අතර, එම දත්ත භාවිත කරමින් යම් යම් දෑ පිළිබඳව නිශ්චිත අවබෝධයක් ලබාගැනීමට හා යථාර්ථ නිගමන ගැනීමට ප්‍රමුඛ ලෙස උපකාරීවේ. ආපදා කළමනාකරණයේදී ද එය පොදුවේ. ආපදා කළමනාකරණයේ දී අවස්ථා තුනක් පිළිබඳව අවධානය යොමු කරයි. එනම්, පෙර ආපදා අවස්ථාව, ආපදා අවස්ථාව සහ පසු ආපදා අවස්ථාව ලෙසිනි. මෙම සෑම අවස්ථාවකදීම දත්ත තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. පෙර ආපදා අවස්ථාව තුළ ආපදා ඇතිවීමට පෙර ආපදාවේ ව්‍යාසනකාරී තත්වය පිළිබඳව පුරෝකථන කිරීමට අවස්ථාව පවතී. වර්ෂාපතනය, ගංගා මට්ටම්, පාංශු ස්ථායිතාව සහ කාලගුණික රටා පිළිබඳ නිවැරැදි දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඉදිරියේ දී ඇතිවීමට ඉඩ කඩක් පවතින ආපදා තත්වය එනම් ගංවතුර, නායයෑම් සහ කුණාටු පුරෝකථනය කිරීමට ඉඩ සලසයි.

 ශ්‍රී ලංකාවේ සුළි කුණාටු, ගංවතුර, නායයෑම් ඇතිවීම යනු අලු‍ත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා රාජ්‍ය ආයතන පද්ධතියක් පිහිටුවා ඇත. ඒ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපද්‍රව තොරතුරු රැස්කිරීම සහ බෙදාහැරීම සඳහා වන වගකිවයුතු සම්බන්ධීකරණ ආයතනය ලෙස බොහෝ විට ක්‍රියාත්මක වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැසි, සුළි සුළං සහ මෝසම් කාලගුණය සඳහා කාලගුණ අනාවැකි සහ අනතුරු ඇඟවීම් නිකුත් කරයි. ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය නායයෑම් අවදානම් නිරීක්ෂණය කර භූ තාක්ෂණික තක්සේරු කිරීම් නිකුත් කරයි. මෙම රාජ්‍ය ආයතන පද්ධතිය හරහා සුවිශේෂ කාර්ය භාරයක් මේ වනවිටත් ඉටු කරමින් පවතී. ගංවතුර පුරෝකථන පද්ධති ගංගා පිටාර ගැලීම් ඇස්තමේන්තු කිරීම, අනතුරු ඇඟවීම් මගින් ආසන්න උපද්‍රව පිළිබඳව මහජනතාවට දැනුම් දීම යනාදිය ඒ අතර පවතී. මෙම ආයතන සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය යටතේ සුවිශේෂ කාර්යභාරයක් මේ වනවිටත් ඉටුකරමින් පවතී. එමගින් දශක ගණනාවකට පෙර හා සසඳනවිට ශ්‍රී ලංකාවේ ආපදා නිරීක්ෂණය කිරීමේ සහ පුරෝකථනය කිරීමේ හැකියාව ශක්තිමත් කර ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත්, මෙම දියුණුව තිබියදීත්, සැලකිය යුතු හිඩැස් රටේ ආපදා කළමනාකරණ ධාරිතාව දුර්වල කිරීමට හේතුවී තිබේ.

බොහෝ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල වර්ෂාපතනය, ගංගා මට්ටම් සහ පාංශු තෙතමනය සඳහා තත්‍යකාලීන දත්ත නොමැති අතර, පූර්ව අනතුරු ඇඟවීම් ද ප්‍රමාද කර ඇත. විවිධ ආයතන විසින් රැස් කරන ලද දත්ත බොහෝවිට වෙන් වෙන් පද්ධතිවල පවතින අතර, හදිසි අවස්ථාවලදී ඉක්මන් තොරතුරු බෙදාගැනීමට නොහැකිවීම යනාදිය මූලික ගැටලු‍වේ. සියලු‍ පාර්ශ්වකරුවන්ට කාර්යක්ෂමව ‍දත්තවලට ප්‍රවේශ විය හැකි තනි මධ්‍යගත ආපදා දත්ත වේදිකාවක් ශ්‍රී ලංකාවේ තවමත් නොමැත. සීමිත ආයෝජන, පුහුණුව සහ යටිතල පහසුකම් හේතුවෙන් කෘත්‍රිම බුද්ධිය (AI), ඩ්‍රෝන යානා, දුරස්ථ සංවේදනය සහ අන්තර්ජාල දත්ත වැනි උසස් තාක්ෂණයන් තවමත් භාවිතයේ නොමැත. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල, ජනගහනය සහ අවදානම් හඳුනාගත හැකි වන දත්ත අසම්පූර්ණ හෝ යල් පැනගිය ඒවා වන අතර, අවදානම් තක්සේරු කිරීමේ නිරවද්‍යතාව ඉතා අවම මට්ටමක පවතී.

2003, 2016 සහ 2017 ගංවතුර, කොස්ලන්ද නායයෑම සහ දිට්වා සුළිකුණාටුව වැනි ප්‍රධාන සිදුවීම්වලින් පසු එකතු කරන ලද පෙර හානිය පිළිබඳව දත්ත සංසන්දනය කිරීමේ දී, නැවත නැවතත් එම විනාශයම සිදු වෙමින් පවතින බව පැහැදිලි කරුණකි. අවදානමට ලක්වූ නිවාස ගොඩනැගිලි, මාර්ග, සන්නිවේදනය, විදුලිය ඇතුළු යටිතල පහසුකම්වලින් ඇතිවූ හානිය සහ අහිමිවූ ජීවිත ආදී තොරතුරු පැහැදිලිව හඳුනාගෙන තිබේ. අද පීඩාවට පත්වන ප්‍රජාවම වසර ගණනාවකට පෙරදීත් පීඩාවට පත්වූවන් වන අතර, සංවර්ධන සැලසුම් සහ ඉඩම් පරිහරණ තීරණ පවතින විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ දත්ත නොසලකා හැරීමේ ප්‍රතිඵල බව පැහැදිලිය. නාගරික සැලසුම්කරණයට පෙර ආපදා දත්ත ඒකාබද්ධ කිරීමට අපොහොසත් වීමෙන් බිලියන ගණනක හානිය නැවත නැවතත් සිදු වෙමින් පවතී. මෙම තත්වය ජාතියක් ලෙස අපි මුහුණ දෙන අවාසනාවන්තම තත්වයකි. වඩාත් ඵලදායී, දත්ත මත පදනම් වූ ආපදා කළමනාකරණ ප්‍රවේශයක් වත්මන් පද්ධතියට තීරණාත්මක කාර්යයක් ඉටු කරන කරුණක් බව පැහැදිලිය.

ගංවතුර සිතියම් සහ නායයෑම් දත්ත, අවදානම් සහිත ප්‍රදේශවල ස්ථිර “ඉදිකිරීම් තහනම්”‍ කලාප බලාත්මක කිරීම සඳහා භාවිත කළ හැකි අතර, එමඟින් අවදානම් කලාපවල පවුල් නැවත ගොඩ නැගීම වළක්වයි. යටිතල පහසුකම් සංවර්ධනය මගින් උස් මාර්ග ඉදිකිරීම, බෑවුම් ශක්තිමත් කිරීම, ජලාපවහන පද්ධති විශාල කිරීම සහ අවදානම් සහිත ප්‍රදේශවලින් පිටත තීරණාත්මක පහසුකම් ස්ථාන ගතකිරීම ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. ඒකාබද්ධ ජාතික ආපදා දත්ත සමුදායක් මගින් පෙර දත්ත තත්‍යකාලීන අධීක්ෂණ පද්ධති සමග ඒකාබද්ධ කරනු ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට උපද්‍රව සිතියම්, හානි තක්සේරු කිරීම්, වර්ෂාපතන රටා සහ ජනගහන දත්ත වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දෙනු ඇත. මෙය වේගවත් තීරණ ගැනීම, දෙපාර්තමේන්තු අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ හදිසි අවස්ථාවල දී වඩාත් ඵලදායී සම්පත් වෙන් කිරීම සඳහා ඉඩ සලසයි. ආපදා අවස්ථාව සහ පසු ආපදා අවස්ථාවට පසු තීරණ ගැනීමේ දී සැලසුම් සකස් කිරීමේ දී දත්ත තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන බව මේ අනුව පැහැදිලිය.

අනාගතයේ ඇතිවන ආපදා තත්වය නිවැරැදිව කළමනාකරණය කිරීම සඳහා වර්ෂාපතනය, ගංගා මට්ටම් සහ පාංශු තෙතමනය නිරීක්ෂණය කිරීමට දිවයින පුරා තවත් සංවේදක ස්ථාපනය කිරීමෙන් ශ්‍රී ලංකාව එහි තත්‍යකාලීන දත්ත ජාල ශක්තිමත් කළ යුතුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන ආයතන සහ හදිසි ප්‍රතිචාර දක්වන්නන් වෙත තොරතුරු ඉක්මනින් ගලා යන පරිදි ආයතනික සම්බන්ධීකරණය වැඩිදියුණු කළ යුතුය. කෘත්‍රිම බුද්ධිය මත පදනම්වූ පුරෝකථනය, චන්ද්‍රිකා නිරීක්ෂණ සහ වැඩි දියුණු කළ භූගෝලීය තොරතුරු පද්ධති වැනි උසස් තාක්ෂණයේ ආයෝජනය උපද්‍රව අනාවැකිවල නිරවද්‍යතාව වැඩි දියුණු කර ගත හැකිය. රජයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ආපදා ආශ්‍රිත දත්ත රැස්කිරීම, අර්ථ නිරූපණය කිරීම සහ යෙදීම සම්බන්ධයෙන් පුහුණු කිරීම ද ඒ හා සමානව වැදගත්වේ. එසේම දත්ත පද්ධති හරහා ප්‍රජාව බලගැන්වීමෙන් පුරවැසියන් උපද්‍රව ක්‍රියාකාරීව වාර්තා කරන, කාලෝචිත අනතුරු ඇඟවීම් ලබාගන්නා සහ අවදානම් අඩු කිරීමට සහභාගීවන වගකීම් සංස්කෘතියක් නිර්මාණය කළ හැකිය.

දිට්වා සුළි කුණාටුව නැවත වරක් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ යාවත්කලින දත්ත පද්ධතියක අවශ්‍යතාව සහ නිවැරැදි දත්ත විශ්ලේෂණය සහ පුරෝකථනවලින් අවදානම් අවම කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවයි. දත්ත යනු තාක්ෂණික සම්පතක් පමණක් නොවේ. එය ජීවිතාරක්ෂක මෙවලමකි. ඵලදායී ලෙස භාවිත කරන විට, එය ජීවිත ආරක්ෂා කරයි. යටිතල පහසුකම් ආරක්ෂා කරයි. ආර්ථිකය ශක්තිමත් කරයි. ආරක්ෂිත අනාගතයක් ගොඩ නගයි. ශ්‍රී ලංකාව මිල අධික ආපදා චක්‍රයකට දිගින් දිගටම මුහුණදෙමින් සිටින අතර මෙම චක්‍රය බිඳ දැමිය හැකි ක්‍රියාශීලී, දත්ත මත පදනම් වූ උපාය මාර්ගයක් කරා කඩිනමින් යොමුවීමේ අවශ්‍යතාව පවතී. එහිදී රටේ සමාජ ආර්ථික තත්වය මත ප්‍රජාපාදක දත්ත පද්ධති ප්‍රවර්ධනය කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීම් ලබාගැනීම සඳහා ක්‍රියාකාරී සහභාගිත්ව වැඩසටහනක් හඳුන්වාදීමෙන් ඉහළ ප්‍රතිඵල අත්පත් කරගැනීමේ හැකියාවක් ද පවතී. මෙවැනි දත්ත පදනම් වූ විවිධ උපක්‍රම හරහා ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලට වඩාත් ඔරොත්තු දීමේ හැකියාව තිරසාර ලෙස වර්ධනය කරනු ඇති බව අවසන් වශයෙන් දක්වනු කැමැත්තෙමි.

(***)



අදහස් (1)

කාලගුණය හැමදාමත් අභියෝගයක්ද?

sam Tuesday, 09 December 2025 05:45 PM

අඩුම ගානේ දැන්වත් , එක දිගටම යටවෙන කැළණි ගඟ දිගට තියෙන ප්‍රදේශ, මහවැලිය දිගේ තියෙන ප්‍රදේශ, ආදී සියලුම ප්‍රධාන ගංගා ආශ්‍රිත ප්‍රදේශ, තව අවුරුදු 100කට වත් වහින වැස්ස සලකලා, වල ඇති සියලුම ඉදිකිරීම් ඉවත් කරන්න පටන්ගන්න ඕනේ. ගංවතුරට යන්න ඉඩ හදලා දෙන්න ඕනේ, රටෙන් 1/3 ක් මුහුදු මට්ටමෙන් යට තියෙන නෙදර්ලන්තේ මේ වැඩේ කොච්චර ලස්සනට කරගෙන යනවාද මෙහෙම නැතිව හැමදාම අවුරුද්දකට සැරයක් යටවන ප්‍රදේශ නිසා කොච්චර විශාල මුදල් ප්‍රමාණයක් විනාශ කරගන්නවාද? පාර්ලිමේන්තුවම එකතුවෙලා මේ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ කඳු උඩ ගෙවල් හදන එක. ඇයි නතර කරන්න බැරි? රජයකට හැමදාම මේ විනාශ වලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 410 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 448 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site