IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එන දේට ඔට්ටුවෙන්න සූදානමත් අවශ්‍යයි

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 20000 ආසන්න පිරිසක් හමුවීම සහ ඉදිරියේදී යම් අවද‌ානම් තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි ඇඳන් 2000 ක් පමණ යෙදිය හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ සැකසීමට ගම්පහ කොරෝනා මර්දන කමිටුවේදී තීරණය කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

වැරැල්ලවත්ත ඇඟලුම් කම්හලක් මේ සඳහා වෙන්කර ඇති බවත් මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දීමට තීරණය කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. මෙම මධ්‍යස්ථානය සකස් කිරීමට නාවික හමුද‌ාවේ ශ්‍රම ද‌ායකත්වය ලබාගන්නා බවත් මෙම මධ්‍යස්ථානයට අමතරව අවශ්‍ය වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට වසා දමා ඇති ග්‍රාමීය රෝහල් යොද‌ා ගැනීමටත් තීරණය වූ බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

වසන්තය පිටුපසින් වසංගතය එන බව නොඇදහූ අවිචාරවත් පුරවැසියන් නිසා මුළු රටම කොරෝනා වගුරක් බවට පත්ව තිබේ. දිනකට දහස ඉක්ම වූ ආසාදිතයන් හඳුනා ගැනෙන තරමට තත්ත්වය භයානක වී තිබේ. අනාගතය විනිවිද දැකීමට සමත්කමක් තිබුණ ද එම සමත් බව අපතේ යැවීමේ තාර්කික වන්දිය මුළු රටම ගෙවා දමමින් සිටී. එළැඹ ඇත්තේ හෙට කුමක් වනු ඇද්දයි සිතා ගැනීමට නොහැකිව අවිනිශ්චිතව කල් ගෙවීමට සිදුව ඇති භයංකාර පැයකි.

ගම්පහ සූද‌ානම වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. සැබැවින්ම මෙම සූද‌ානම ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ සෑම දිස්ත්‍රික්කයකම තිබිය යුතුය. අනතුරු වළක්වා නොගත් රටට දැන් අනතුරට පිළියම් සෙවීමට සිදු වී තිබේ. තත්ත්වය තව තවත් භයානක නොකර ගැනීමේ වගකීම පමණක් පුරවැසියා ඉදිරිපිට තිබේ.

කොරෝනා මාරක වසංගතය යනු මිනිස් හැසිරීම් රටාවේ ප්‍රතිඵලය වේ. කොරෝනා මාරක වසංගතයේ වර්ධනය යනු මිනිස් නොසැලකිල්ලේ ප්‍රතිඵලය වේ. ඒ බව මනාව පසක් වන්නේ ඉන්දියාව දෙස බැලීමෙනි. තුන්ලක්ෂය ඉක්මවා ආසාදිතයන් හමුවන ඉන්දියාවේ දිනකට මිය යන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙදහසද ඉක්මවා තිබේ. ඔක්සිජන් නොමැතිවීම මාරාන්තික වී තිබෙන අතර මළ සිරුරු ආද‌ාහනය කිරීමට ආද‌ාහනාගාර ප්‍රමාණවත් නොවීම ද බරපතළ ප්‍රශ්නයකි. මෘත දේහ දවාලීමට අවශ්‍ය තරම් දර නොමැති බව වාර්තා වීම ඛේදවාචකයේ දිග පළල ප්‍රදර්ශනය කිරීමකි. ඒ අතරවාරයේ ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ පැවැත්වෙමින් තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පිරිස විසුරුවා හැරීමට බැටන් ප්‍රහාර එල්ල කරන ලදැයි අප පුවත්පත වාර්තා කළේ ඊයේය.

අවිචාරවත් බව රැගෙන ආ ජයග්‍රහණයක් නොමැති බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. එහෙයින් තවදුරටත් වගකීම් විරහිත හැසිරීමකට කිසිදු ඉඩක් නැත. අනෙකා කුමනාකාරයේ වරදක් කළ ද වැරැදි නොකර සිටීමේ කුසලතාව තමන් තුළ වර්ධනය කරගත යුතුය. අත්වැරැදිවලට කිසිදු ඉඩක් නොලැබෙන, අත්වැරැදිවලට කිසිදු සමාවක් නොලැබෙන ඉතිහාසයේ තීරණාත්මක පැයක දිවි ගෙවන පුරවැසියාට මෙම තත්ත්වය අමතක කර දමා අවිචාරවත් ලෙස කටයුතු කිරීමට කිසිදු අයිතියක් නැත.

 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුදහමුද‌ාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස තවත් ස්ථාන සූද‌ානම් කිරීමට කිරීමට යුද හමුද‌ාව සූද‌ානම් බවය. ‘දිනකට රෝගීන් දහසක් නොව දෙදහසක් වාර්තා වුණත් ඔවුන් රැක බලාගන්නා ආකාරය පිළිබඳව තමන් සෞඛ්‍ය ප්‍රවීණයන් සමග සාකච්ඡා කළේ යැයි ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුදහමුද‌ාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යයට පවසා තිබිණි.

 පැයෙන් පැය මොහොතින් මොහොත උග්‍ර වන වඩාත් අඳුරු සහ ගොරබිරම් පරිසරයක එම ප්‍රකාශ රටේ පුරවැසියන්ගේ පෙනහලුවලට අලුත් හුස්මක් රැගෙන ඒමකි. කවර දුෂ්කරතා හා අභියෝග මතු වුව ද අපට ඇති ශක්තිය ද එයමය. අප රට වූ කලී කවරාකාර අභියෝගයක් ඉදිරිපිට වුවද නොවැනී නොවැටී සිටිමින් එම අභියෝග පරාජය කළ රටකි.

ලොවම වසාගත් මාරක වසංගතය ඉදිරිපිට අපගේ සෞඛ්‍ය අංශ උපමා නැති මහා කැපවීමකින් කටයුතු කරති. ඔවුන්ගේ අධිෂ්ඨානශීලී කැපවීම නොවන්නට මෙරට තවත් ඉන්දියාවක් වීමට ඉඩ තිබිණි. ආරක්ෂක අංශ ද තම ජීවිත අනතුරේ හෙළා ගනිමින් මාරක වසංගතයට එරෙහි මෙහෙයුමේ පෙරමුණ ගෙන සිටිති. එහෙත් සෞඛ්‍ය අංශවලට මෙන්ම ආරක්ෂක අංශවලට සීමාවක් තිබේ. මෙම සීමාව ඉක්මවා යාම යනු මරණය පෙනෙන මානයට පැමිණීමකි. එම ගමන නතර කිරීමේ වගකීම ජනතාව සතුය.

(***)



අදහස් (1)

එන දේට ඔට්ටුවෙන්න සූදානමත් අවශ්‍යයි

MO77 Sunday, 02 May 2021 12:21 PM

අනිවාර්යෙන් සූදානම වැදගත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site