එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි අපගේ ලංකාදීපය පසුගියදා වාර්තා කර තිබිණි. ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නාස්තිය අවම කිරීම, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සහ රජයට ලාභ ලැබෙන පරිදි ආයතන සකස් කිරීම යන අරමුණු ඉටුකර ගැනීම මේ තීන්දුව ගැනීමට හේතු වී ඇතැයි ද සඳහන් ය.
මෙය රාජ්‍ය කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා හේතුවන සාධනීය පියවරක් වශයෙන් අපි දකිමු. අකාර්යක්ෂමතාව හේතුවෙන් රාජ්‍ය ආයතන බොහොමයක් ජනතාවගේ දැඩි විවේචනයට ලක්වී තිබෙන පසුබිමක එම දුර්වලතා මගහරවා ගැනීමට මෙවැනි පියවරක් ගැනීම ඒවායේ සේවාව ලබාගන්නා මහජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත. එහෙත් එසේ සිදුවීමට නම් මේ වෙනස්කම් ඇතිකිරීම දේශපාලන අරමුණුවලින් ඈත්ව සද්භාවයෙන් යුතුව සිදුකිරීම ද අවශ්‍ය ය. අප එසේ පවසන්නේ අමාත්‍යංශ විෂයන් වෙනස් කිරීමට යාමේ දී විවිධ ආණ්ඩුවල නායකයන් මීට පෙර අවස්ථාවල දී මුහුණ දී ඇති ගැටලු සැලකිල්ලට ගනිමිනි. ඒ ඇතැම් අවස්ථාවල දී සිදුවූයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මුල් තැනක් දීමට වඩා අදාළ අමාත්‍යවරුන්ගේ සිත් සැනසීම සඳහා විෂයන් වෙනස් කිරීමට ය. යෝජිත වෙනස්කම් ද එසේ සිදුවුවහොත් මේ තීරණයෙන් අරමුණු කරගත් ඉලක්ක සපුරා ගැනීමට ඉඩක් නොලැබෙනු ඇත.
මේ අතර අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් මාරුකිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ද සඳහන් වී තිබේ. රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පරිවර්තනය කිරීම සඳහා රජය ගෙන යන ආර්ථික හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා නොදී මන්දගාමී පිළිවෙත් අනුගමනය කරන අමාත්‍යාංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවී ඇති බව ද සඳහන් ය.
අමාත්‍යංශ දෙකකට බෙදී ගිය විෂයන් දෙකක් එකම අමාත්‍යංශයක් යටතට පත්කිරීමක් වශයෙන් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශ එකම අමාත්‍යවරයකු යටතට පත්කිරීම හඳුන්වා දී තිබේ. ඒ බව ප්‍රකාශ කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේ දී ය. මේ අනුවම යමින් ඉදිරි මාස දෙක ඇතුළත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත් කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන යන දෙපාර්තමේන්තු දෙක එක ආයතනයක් බවටත් ඒකාබද්ධ කිරීමක් පිළිබඳවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. මෙයින් පෙනී යන්නේ ජනාධිපතිවරයා තීරණය කර ඇති පරිදි එකම විෂයය විවිධ අමාත්‍යංශවලට වෙන් කිරීම වැළැක්වීම දැන් සිටම ක්‍රියාත්මක බව ය. තීරණය ක්‍රියාත්මක කිරීම ඉක්මන් වී ඇතිවා සේ ම එය නිවැරදිව ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය බවත් කිව යුතු ය.
ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉතාම වැදගත් වන ක්‍රමෝපායන් අතුරින් ඍජු විදෙස් ආයෝජන ඉහළින් ම සඳහන් වෙයි. විදෙස් ආයෝජන ප්‍රවර්ධනය සඳහාත් වෙනම අමාත්‍යංශයක් තිබීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දිය යුතු ය. කාලයක් තිස්සේ බොහොමයක් විදෙස් ආයෝජකයන්ගේ ප්‍රධානම පැමිණිල්ලක් වූයේ තමන්ගේ ආයෝජනයට සම්බන්ධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ ආයතනවලට යාමට සිදුවීමේ හිරිහැරයයි. එම තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බව සඳහන් වුව ද ඇතැම් ආයෝජකයන්ට සිදුකෙරෙන බලපෑම් සම්බන්ධයෙන් තවමත් චෝදනා එල්ල වෙයි. මේ කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුවීම අවශ්‍ය යැයි සඳහන් කළ යුතු ය.

(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම මාදිලියේ විෂයන් එකම අමාත්‍යංශයක් යටතට පත්කිරීමට ගෙන ඇති තීරණය ඉතාම කාලෝචිත තීරණයකි. එවිට ඉහළ සිට පහළ දක්වාම සේවකයින්ගේ ප්‍රමාණයද අඩුකිරීමට හැකියාවක් තිබේ. කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නාස්තිය අවම කිරීම, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සහ රජයට ලාබ ලැබෙන පරිදි ආයතන සකස් කිරීම, දූෂණය අවම කිරීමට හැකියාව පවතී. එමෙන්ම විදෙස් ආයෝජන ප්‍රවර්ධනය සඳහාත් වෙනම අමාත්‍යංශයක් ද එසේ නොමැති නම් විදේශ අමාත්‍යංශයේ වෙනමම අංශයක් පවත්වාගෙන යාමට හැකියාව පවතී. එවිට ලංකාවේ තිබෙන්නා වූ විදේශ දූත කණ්ඩායම්, තානාපති සහ මහකොමසාරිස්වරුන් සමග ඍජුවම සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට හැකියාව, සහ වෙනත් රටවල තිබෙන්නා වූ ලංකාවේ තානාපති අංශ සමග ඍජුවම ගනුදෙනු කිරීමේ හැකියාව තිබේ.
එකම ආයතනයක් තුල විදේශීය තානාපති / දුතසේවා කටයුතු සහ ඍජු විදෙස් ආයෝජන පිළිබඳව සේවා ලබාදීමට හැකියාවක් තිබේ. වෙනත් අමාත්‍යංශයක් ඇතිකළහොත් සෑම අවස්ථාවකදීම මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයද සම්බන්ධ කරගැනීමට සිදුවේ. එකම අමාත්‍යංශයක් යටතට පත්කිරීම තුළින් විදෙස් ආයෝජකයින්ට, විදේශ කටයුතු සම්බන්ධ නිලධාරීන්ට, ලංකාවේ තිබෙන්නාවූ විදේශ තානාපති අංශ සහ විදේශයන්හි තිබෙන්නා වූ ලංකාවේ තානාපති අංශ සමග එක්ව කටයුතු කිරීමේ හැකියාව තිබේ. එය රජයටත් පහසුවෙන් කළමනාකරණය කිරීමේ හැකියාව තිබේ. විදේශ යෝජනා ලංකාවට ගෙනඒමට නම් විදෙස් රටවල තිබෙන්නාවූ තානාපති අංශ වෙත දක්ෂ පුද්ගලයින් පත්කළ යුතුවේ.
රජයේ සේවයට පුද්ගලයින් බඳවා ගැනීමේදී contract based මත බඳවා ගැනීමට කටයුතු කළයුතුවේ.
ඔය ටික ඉගෙන ගන්නද වසර 50ක් හිටියේ...?
පිල්මාරු කරගෙන එහාට මෙහාට පනින එවුන්ගේ මනදොළ පුරවන්න එකම විෂය පථය පෙති කපලා බෙදලා දැන් කියෝනවා.. හරියට මහජනතාව කරපු දෙයක් වගේ..
රවි කරුනානායකට විදෙස් ඇමැතිකම දීලා ලොතරැයි මණ්ඩලේත් දුන්නේ ඒකද මහත්තයෝ...?