IMG-LOGO

උදව්වට ආවාම පහරදෙන අපේම අමනුස්ස මිනිස්සු

ගිරිඋල්ල පුස්කොළදෙණිය රිල්ඔලුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත 20 හැවිරිදි තරුණයකුගේ තොරතුරු සෙවීමට ඔහුගේ නිවෙසක ගිය දඹදෙණිය කලාප බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගසා පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම තරුණයාගේ පියා මෙම 17 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් බිරිඳගෙන් හා පුතුගෙන් වෙන්වී ජීවත්වන ඔහු කොරෝනා ආසාදිත පුතු බැලීමට එම නිවෙසට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අප පුවත්පත මුල් පුවතෙන් වාර්තා කර තිබුණේ කොරෝනා රෝගීන්ගෙන් වාට්ටු පිරී ඉතිරි ගොස් ඇති බවත් රෝගීන් ඇඳන් යටත් කොරිඩෝවලත් වැතිරී සිටින බවත්ය. එම නිසාම රෝහල් ගණනාවක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවය. රටේ හෙට දවස සම්බන්ධයෙන් බිහිසුණු චිත්‍රයක් එම පුවතෙන් දැකිය හැකිය. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සුනාමියක් මෙන් එකවරම මතුවීමේ අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

රට මුහුණ දී සිටින ඉරණමෙන් රට ගලවා ගැනීමේ වගකීම සෑම පුරවැසියකුම ඉදිරිපිට තිබේ. එහිදී සෑම පුරවැසියකුටම වෙන්වූ වගකීම් පංගුවක් තිබේ. එක් පුරවැසියකුගේ අවකල් ක්‍රියාවක් හේතුවෙන් මුළු රටම කොරෝනා වගුරක් බවට පත්විය හැකිය. එහෙයින් මෙම තත්ත්වය අමතක කර කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. එම වගකීම අමතක කර කටයුතු කරන යම් පුරවැසියකුවේ නම් සමූහ ඝාතන චෝදනාව යටතේ හෝ උපරිම දඬුවමකට යටත් කළ යුතුය.

අවධාරණය කළ යුතු ප්‍රධානම කාරණාවක් තිබේ. එනම් මෙම කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට මෙරට සෞඛ්‍ය අංශ අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන බවය. වෛද්‍යවරුන් හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදී ඉටු කරන කාර්යභාරය සමනොළ ගිරි හිසටත් ඉහළින්ය. විශේෂයෙන්ම මෙම කොරෝනා මාරාන්තික වයිරසය සියවසකට පමණ පසුව පැමිණි වසංගතයකි. එහෙයින් මේ සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් කිසිවකුට නැත. එහෙත් සෞඛ්‍ය අංශ මේ මොහොතේ දී නොබියව පසු නොබා නැගී සිටියහ. තමන්ගේ ජීවිතය ගැන නොසිතා අනුන්ගේ ජීවිත වෙනුවෙන් කැපවී සිටිති. මඝ මානවක පරපුරේ ඒ බෝසත් මිනිසුන්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

සෞඛ්‍ය අංශ එම කැපවීම සිදු කරනු ලබන්නේ ඒ සඳහා සකස් කළ සුමට මාර්ගයක යමින් නොවේ. දඹදෙණිය කලාප බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුහුණ දුන් ආකාරයේම සිදුවීමකට බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මෙයට පෙර අටුලුගම දී මුහුණ දුන්හ. ආසාදිතයා රෝහල කරා රැගෙන යෑමට පැමිණි එම නිලධාරීන්ට සිදු වූයේ එම ආසාදිතයාගේම  කෙළ ප්‍රහාරයකට ලක්වීමටය. විවිධ ත්‍රාඩයන්ගේ මැර ප්‍රහාරවලට ලක්වී රෝහල් ගත වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවීමේ අනුවේදනීය පුවත් ද වරින්වර වාර්තා විය. ඊයේ පෙරේදා වාර්තා වූයේ ‘‘මුහුණු ආවරණය පැළ ඳ ගන්නයි’’ උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එම පුද්ගලයා උදැල්ලකින් පහර දුන් බවය.

‘බල්ලෙකු අප සපා කෑ විට අප බල්ලා සපා නොකන්නේයි යනුවෙන් කියමනකි. ශිෂ්ටත්වය යනු එයය. එහෙයින් අශිෂ්ට පුරවැසියන්ගේ අවකල් ක්‍රියා ඉදිරිපිට ශිෂ්ට ජනයා කම්පා නොවෙති. කලබල නොවෙති. ඒ සියල්ල උපේක්ෂාවෙන් යුතුව දරා ඉවසති. එහෙත් අශිෂ්ටයන්ගේ අමනුස්සකම් අධමගති කිසිදු පැකිළීමකින් තොරව හෙළා දැකිය යුතුය.

සමාජයේ විවිධ පුද්ගලයෝ සිටිති. ඕනෑම සමාජයක ජීවත්වන සාමාජිකයකු එම සමාජයට ගැළපෙන ආකාරයට තම ඇවතුම් පැවතුම් සකස් කර ගත යුතුය. එම සමාජයේ පොදු සම්මතයන්ට නීති පද්ධතියට ආචාර ධර්මවලට යටත් විය යුතුය. සමාජානුයෝජනය යන්නෙන් දැක්වෙන්නේ ද එයයි. එහෙත් එසේ සමාජානුයෝජනය  නොවන පිරිස් සිටිති. සමාජයට නොගැළපෙන පොදුවේ ගර්හාවට පිළිකුලට ලක්වන ඇවතුම් පැවතුම් මතු වන්නේ එබන්දන්ගෙනි. එබන්දන් ස්වයං විනයට යටත් නොවන්නේ නම් අල්ලා දඬු කඳේ ගැසිය යුතුය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මේ මොහොතේ දුර්මුඛ වන්නේ නම් එහි ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ කොරෝනා මර්දන මෙහෙයුම් බිඳ වැටීමය. එවිට සිදුවන්නේ මුළු රටම කොරෝනා ආකරයක් බවට පත්වීමය. රට එබඳු තත්ත්වයකට පත් වුවහොත් එමගින් කිසිවකුට ගැලවුමක් නැත. රෝහල් ගණනාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වීමෙන් පැහැදිලි වන්නේ රට සෙමින් නමුත් එම බියකරු දිශාවට ගමන් කරමින් තිබෙන බවය. එය වළක්වා ගැනීමට නම් සියලුම පුරවැසියන් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටුකළ යුතුය.

(***)



අදහස් (0)

උදව්වට ආවාම පහරදෙන අපේම අමනුස්ස මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site