IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උඩ බලාගෙන කෙළ ගැසීම

- දමින්ද විජේසූරිය

දූෂණ....! වංචා...!!, තරග පාවාදීම්....!!!, අල්ලස්...!!!!
අඳෝමැයි..මේ වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමග අත්වැල් බැඳගත් වචන කිහිපයකි. මේවා ගැන නිකම් දොඩවනවාට වඩා සිතා බලන්නට බොහෝ දේ තිබේ.

අලුත්ම තත්ත්වය නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ටත් අල්ලස් දීමට සූදානම් වූ අය ඇතැයි ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා බී.බී.සී. සිංහල සේවයට ප්‍රකාශ කිරීමයි.

“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා, ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා” යයි ක්‍රීඩා අමාත්‍යවරයා බී.බී.සී. සිංහල සේවයට කියා තිබේ.

“මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා.”

“මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න. මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා,” යයිද අමාත්‍යවරයා බී.බී.සී. සිංහල සේවයට පවසා තිබිණ.

ඇමතිවරයාගේ ප්‍රකාශය එක අතකින් නලලත රැළි නංවන්නක් වුවද තවත් අතකින් මුවගට සිනා නංවන්නකි. මක්නිසාද යත් ශ්‍රී ලංකාවේ නීතිය අනුව තමන්ට කිසිවකු අල්ලස් දීමට උත්සාහ කළේ නම් ඔහුගේ හෝ ඇයගේ පළමු පියවර විය යුත්තේ ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමයි. අනතුරුව එම පොලිස් පැමිණිල්ලේ පිටපතක් ඇතිව හෝ නැතිව අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකිව තිබිණ. ඒ සඳහා තමන්ගේ ජංගම දුරකතනය සාක්ෂියක් ලෙස යොදාගැනීමේ අවස්ථාවද හරීන් ප්‍රනාන්දු මහතාට තිබිණ.

අනෙක් අතට හරීන් ප්‍රනාන්දු යනු ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සර්ව බලධාරියාය. ජාතික කණ්ඩායම කුමක් හෝ වේවා තේරීම් කමිටුව විසින් තෝරාගන්නා ලද කණ්ඩායමට අවසන් අනුමැතිය දෙන තැනැත්තාය ඔහුය. එවන් බලපරාක්‍රමයක් සහිත ක්‍රීඩා ඇමතිවරයාටත්, ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කිසිවකු අල්ලස් දීමට ගන්නා උත්සාහයක් නිකම් ලිස්සා යාමට හරින්නේ ඇයි? ඒ සම්බන්ධයෙන්, එසැණින්ම, නිසි පියවර ගැනීමේ අවස්ථාව මෙන්ම පූර්ණ බලතලද ක්‍රීඩා ඇමතිවරයා සතුව තිබිණ.

තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ බවක් හරීන් ප්‍රනාන්දු මහතා මෙතෙක් ප්‍රකාශ කර නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂිත බවත්, අල්ලස සහ දූෂණය එහි රජකරන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවටම නිල වශයෙන් ප්‍රකාශ කරන ක්‍රීඩා ඇමතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය කල්දැමීමට කාල දිගුවක් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට වැටී තිබෙන අන්ධකාර අගාධයේ ගැඹුර අනුව එය කිසිසේත්ම නිලවරණයකින් ගොඩගත හැකි නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවට පොරකන අය වුවද මෙම යථාර්ථය හොඳින්ම දන්නා නමුත් ඔවුන්ගේ ඇති බල තණ්හාව නිසා ඔව්හු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි කීර්තිනාමය රැකගැනීම සම්බන්ධයෙන් සහමුලින්ම අන්ධව සිටිති. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය වසාගත් දූෂණ, වංචා, තරග පාවාදීම් හෝ අල්ලස් ගැන ඔවුනට වගේ වගක් නැත. ඔවුනට ඇත්තේ කෙසේ හෝ බලය ඇල්ලීමේ අරමුණ පමණි.

ඒ සඳහා ඕනෑතරම් කරුණු කාරණාද ඉදිරිපත් කළ හැකි නමුත් එය වෙනම කතාවකි.

මෙවන් තත්ත්වයකදී ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පොදු ජනයාගේ එකම බලාපොරොත්තුව අන් කිසිවකු නොව ක්‍රීඩා ඇමතිවරයායි. එහෙත් ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපයත් මේ ආකරයේ නම් කවුරුන් කවරකු කෙරේ බලාපොරොත්තු රඳවා ගන්නද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම හිටපු ක්‍රීඩකයන්ද තරග පාවාදීමට සම්බන්ධ යයි පසුගිය දිනවල බොහෝ කට කතා පැතිරිණ. හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාද ඒ සම්බන්ධයෙන් ඇතැම් ක්‍රීඩකයන් ගැන විවිධ ඉඟි පළකරමින් එළිපිටම චෝදනා කළේය. පොලීසියක්, අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසයක් මෙන්ම අල්ලස් කොමිසමක්ද තිබෙන නමුත් කිසිම ක්‍රීඩකයකුට හෝ හිටපු ක්‍රීඩකයකුට එරෙහිව පියවර නොගැනිණ.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණතම තණතීරු සකස් කරන්නකු වසර තුනකට පමණ ඉහතදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනමට ලක්වන තුරුම කිසිවකු ඒ ගැන දැන සිටියේ නැත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පරීක්‍ෂණ කමිටුවට මුහුණ දෙන තුරුම ඔහුට පැනවූ තහනම අදටත් ක්‍රියාත්මකව තිබේ.

ඉතාම මෑතකදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කිහිප දෙනෙක් මහ දවාලේ හදිසියේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කඩා වැදුණෝය. පසුව එහි වැඩමුළුවකට සහභාගි වෙමින් සිටි පුහුණු අංශයේ ප්‍රබල නිලධාරියකු සුපිරි මෝටර් රථයකට ඇද දමාගෙන කොහේ ගියාද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාවත් දැන සිටියේ නැත. අනතුරුව සිදුවූයේ නුවන් සොයිසාට, දිල්හාර ලොකුහෙට්ටිගේට සහ තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන නීති රීති අනුව චෝදනා පත්‍ර භාර දීමයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත පිළිතුරු සපයන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඔවුන්ට දැනුම් දී ඇතත් ඒ පිළිතුරු මොනවාද යන්නවත් ඔවුන් තිදෙනාගේ වත්මන් තත්ත්වය කෙබඳුද යන්නවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෙනසුරාදා (19 වැනිදා) රාත්‍රිය වන තුරුත් දැන සිටියේ නැත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු සිදුවන්නේ ශ්‍රී ලංකාවේ දූෂණ විමර්ශන කොමිසම් පත්කෙරෙන ආකාරයට හෝ ඒවායේ වැඩකටයුතු සිදුවන ආකාරයට නම් නෙවේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව හා ගනුදෙනු කිරීම අතිශය බැරෑරුම් කටයුත්තකි. එබැවින් තමන් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළිදරව් කිරීමට නැතහොත් ඉන් අනතුරුව මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ඉවසා දරා ගැනීමට ක්‍රීඩා ඇමතිවරයාට සිදුවන බව නොකියා නොහැක.

කෙසේ වෙතත් මේ කළු තීන්ත ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමය වසාගෙන වදින්නකි. බොහෝ විට එසේ සිදුවන්නේ එක් එක් අයගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ආරක්‍ෂා කිරීම හේතුවෙනි.

 

ක්‍රීඩා  පිටියේ සවිස්තර වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න



අදහස් (1)

උඩ බලාගෙන කෙළ ගැසීම

anura Monday, 21 January 2019 11:41 AM

තමා වගකිවයුතු පුද්ගලයෙකු බව තමාම නොදන්නා බව මෙයින් පෙනේ. ශ්‍රී ලංකාවේ නීති සාදන ප්‍රමුඛ ආයතනයේ සාමාජිකයෙක් බව වත් හෙතෙම නොදන්නා බව පෙනේ... යහළුවන් කට්ටියක් එකතුවූ විට අනෙකා පරයාමට නොයෙක් බේගල් ඇද බාන අවස්ථාද ඇත. තමන්ගේ තනතුර ගැන ඔහු සිතාගෙන ඉන්නේ මේ ආකාරයටද?

:       221       361

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2234 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site