ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 12,000 ක අධික පිරිසක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 6000කට ආසන්න පිරිසක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. එහි ආදීනව ගැන විවිධ අය විවිධ කතා කියති. අවශ්‍ය තරමට ගුරුවරුන් නැතිකමෙන් පාඨමාලාවල ගුණාත්මකභාවය සේම ලංකාවේ විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තරයේ හිමි ස්ථානයද පහත වැටීමෙන් තිබෙන බව මහාචාර්ය මානවදේවි ගනේහේනේගේ කියයි. මේ ඇයගේ හඬයි.
උදාහරණයකින්ම ආරම්භ කළොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පාඨමාලාව ඇමෙරිකාව වැනි ලෝකයේ දියුණු රටවල විශාල පිළිගැනීමකට ලක්වූවකි. පේරාදෙණියෙන් ප්‍රථම උපාධිය හදාරා ආචාර්ය උපාධි සඳහා ඒ රටවලට යන අය ඒ රටවල විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හදාරණ අය අතරින් පළමු ශ්‍රේණියේ සාමාර්ථ ලබන බව ඒ දියුණු රටවල ආකල්පයයි. විශ්වාසයයි. රසායන විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන 30 සිට 35 අතර පිරිසක් සෑම වර්ෂයකම පේරාදෙණියෙන් පිටවෙති. ඒ 35 අතරින් උඩට සිටින 20 දෙනා පශ්චාත් උපාධි විශේෂයෙන්ම ආචාර්ය උපාධි සඳහා යන්නේ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවලටය. අපේ ප්‍රථම උපාධිධාරීන්ට පශ්චාත් උපාධි සඳහා ජාත්‍යන්තරයෙන් ඒ ඉල්ලුම සහ අවස්ථාව ලැබෙන්නේ ඉතා දක්ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ පාඨමාලාවක් හදාරන්නට ඉඩ කඩ ලැබෙන හෙයිනි. ඒ ගුණාත්මකභාවය ඇමෙරිකාව වැනි රටවල පවතින මට්ටමක පැවැති බව අපේ නිරීක්ෂණයයි.
එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතියි. අපේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ සිටිය යුතු සමස්ත ආචාර්යවරුන් සංඛ්‍යාව 29 කි. 2020 පෙර ඒ 29 දෙනා වෙනුවට 25 දෙනෙක් පමණ සිටියහ. ඒ 25 දෙනාගෙන් අපි අධ්‍යයන කටයුතු මැනවින් කරගෙන ගියෙමු. ඒ 25 දෙනාගෙන් පස් දෙනෙක් ඉල්ලා අස්වී රට ගියහ. හතර දෙනෙක් විශ්‍රාම ගියහ. තුන්දෙනෙක් අධ්‍යයන නිවාඩු ලබාගෙන සිටිති. දැන් මේ මොහොත වනවිට අපේ අධ්‍යයනාංශයේ සිටින්නේ ආචාර්යවරුන් 11 දෙනෙකි. 29ක් සිටිය යුතු තැන සිටින්නේ 11 කි. 25 දෙනා 11 දක්වා අඩු වූ කාලය පුරාම අපට අලුතින් බඳවා ගැනීමට හැකිවූයේ එක් අයකු පමණකි. ඊට හේතු වූයේ ආචාර්යවරුන් බඳවා නොගන්නා ලෙස මහා භාණ්ඩාගාරයෙන් පනවා තිබූ තහනම් කිරීම් සහ සීමා කිරීම්ය.
අධ්‍යයනාංශයේ දැනට සිටින ඒ ගුරුවරුන් 11 දෙනා ළමයින් 660 කට පමණ ඉගැන්විය යුතුය. ඒ ඉගැන්වීම පාසල් පන්ති කාමරයක ඉගැන්වීමට සමාන නොවෙයි. විශ්වවිද්‍යාලයක රසායන විද්‍යාව වැනි පාඨමාලාවක ඉගැන්වීම් කෙරෙන්නේ පර් යේෂණ සමගය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛ අනුව ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨයක සිටිය යුත්තේ ළමයින් 10 දෙනකුට එක ගුරුවරයෙකි. එහෙත් අපේ විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යා පීඨයේ අපේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් 660කට සිටින්නේ ගුරුවරුන් 11 කි. ඒ අනුව ළමයින් 60කට සිටින්නේ එක ගුරුවරයෙකි. පර් යේෂණ කරන ප්‍රථම උපාධි හදාරන දරුවන් සේම පශ්චාත් උපාධි හදාරන සිසුන්ද අධික්ෂණය කළ යුත්තේ ඒ ගුරුවරුන් 11 දෙනාය. පාසල්වලට විවිධ සේවා සැපයීම, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව වැනි තවත් බාහිර කටයුතු කළ යුත්තේද ඒ 11 දෙනාය. මට සරලව කිව හැක්කේ එක් ගුරුවරයකුට නිදාගැනීමට වේලාවක් නොලැබෙන තරමට වැඩ තිබෙන බවය.
අධ්‍යාපන, අධ්‍යයන සහ පර් යේෂණ කටයුතු එසේ පෙළ ගැසෙද්දී පරිපාලන හා කළමනාකරණ කටයුතුවලටද සෑහෙන කාලයක් කැප කිරීමට සිදුවෙයි. ඒ හේතු සියල්ල සහ ඒ හේතු මගින් ඇතිකරන පීඩනය නිසා පාඨමාලාවේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නට සහ නඩත්තු කරන්නට නොහැකි වෙයි. ඇතැම් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට අධ්‍යාපන, අධ්‍යයන සහ පර් යේෂණ කටයුතුවලට අමතරව ලියන මහත්වරුන් සේ විවිධ වාර්තා ලියන්නටද සිදුවෙයි. පර් යේෂණ රැසක් කර නව සොයා ගැනීම් සහ නවෝත්පාදන කරන විද්වතා හා පර් යේෂකයා කැමැති වන්නේ ඒ කටයුතු කිරීමට මිස ඊට අදාළ නොවන පරිපාලන වාර්තා ලිවීමට නොවේ. බොහෝ ගුරුවරුන් රට හැරයාමට ඒ තත්ත්වයද බලපා තිබෙන බව බොහෝ දෙනා නොකියති. නොදනිති.
පර් යේෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නැතිකම තවත් ප්‍රශ්නයකි. මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට කරන ඉල්ලීම් අදාළ මණ්ඩල ඔස්සේ ගොස් අනුමැතිය ලැබෙන්නේ අවුරුදු ගණනාවකට පසුවය. මුදල් ලැබුණත් මිලදී ගැනීම සඳහා තවත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ නිසා අවුරුදු දෙකකින් කළ හැකි පශ්චාත් උපාධියක් නිම කිරීමට අවුරුදු හතරක් පහක් ගතවෙයි. එවැනි ප්‍රශ්න නිසා අවශ්‍යම රසායනික ද්‍රව්‍ය නැතිනම් ඒ සඳහා වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන පර් යේෂණ කිරීමට ද සිදුවී තිබේ. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා මත විදෙස් රටවලින්ද විවිධ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගනිති. එහෙත් කළ යුතු පර් යේෂණ කළ යුතු පිළිවෙළට කර ගැනීමට නොහැකි නිසා ඒ බොහෝ දෙනා සිටින්නේ බරපතළ කලකිරීම් මැදය. එහෙයින් නැතිවම බැරි ඒ මහාචාර්යවරුන්ද රට හැර යාමේ භයානක තත්ත්වයක් පවතියි.
පර් යේෂණ කරන ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන්ට පෞද්ගලික ජීවිතයක් ඇත්තේම නැත. ඔවුන් තම ජීවිත කාලයම කැප කරන්නේ පර් යේෂණ සඳහාය. නවෝත්පාදන සඳහාය. එහෙත් වගකිවයුතු තනතුරු දරන ඇතැම් දේශපාලකයන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පින්පඩිකාරයන් ගණනට දමා කරන කතා නිසාද බහුතරයක් සිටින්නේ දැඩි මානසික පීඩා මැදය. ඒ කිසිවෙක් එවැනි කතා ඇසිය යුතු අය නොවෙති. ඒ සියලු දෙනා ලංකාවේ ලබනවාට වඩා ඉහළ වැටුප් ලබමින් ඉහළ ජීවන තත්ත්වයකින් බටහිර දියුණු රටවල ජීවත්විය හැකි සහ පදිංචි විය හැකි විද්වතුන්ය. ඒ ඇතැමුන් ඒ සැප ජීවිත ගත කිරීමට හැකියාව තිබියදී ලංකාවට වී සැප අඩු ජීවිත ගත කරන්නේ රට කෙරෙහි තිබෙන ඇල්ම නිසාය. කළ යුත්තේ ඔවුන්ගේ ඒ කැප කිරීම් අගය කිරීමය. එහෙත් කරන්නේ අවලාද නැගීමය. නින්දා සහ අපහාස කිරීමය. ඒවා කරන්නේද සාමාන්‍ය මිනිසුන් නොව වගකිවයුතු තනතුරුධාරීන්ය. ඒ නිසා උගතුන් රට හැරයාමට බලපාන බොහෝ සාධක තිබෙන බව සමාජයේ කවුරුත් අවබෝධ කරගත යුතුය.
පර් යේෂණ සඳහා ඉල්ලා සිටින ප්‍රතිපාදන ලබාදීමට ලබාගන්නා කාලය අතිවිශාලය. අනුමැතිය ලබාදීම සඳහාම දිගුකාලයක් ගනියි. ඒ පරිපාලන යාන්ත්‍රණ කාර්යක්ෂම නැත. මා ඉදිරිපත් කළ පර් යේෂණ වාර්තාවකට ලක්ෂ 78ක ප්‍රතිපාදන ජාතික පර් යේෂණ සභාවෙන් අනුමත වූයේ 2014 දීය. එහෙත් ඒ ප්‍රතිපාදන අපට ලැබුණේ 2017 දීය. ඒ පර් යේෂණයට සහභාගි වන දරුවන්ගේ නම් පවා ඒ පර් යේෂණ වාර්තාවට ඇතුළත් කළ යුතුය. එසේ කළවිට ඒ දරුවන්ට වෙනත් තැනකට හෝ පිටරටකට හෝ යා නොහැකිය. පශ්චාත් උපාධි කරන වයසේ දරුවන් ආදායමක් නොලැබෙන ව්‍යාපෘතිවල රඳවාගත නොහැකිය. ඔවුන් රඳවා ගැනීමට අපට විවිධ දේ කිරීමට සිදුවෙයි. එහෙත් අරමුණු සියයට 100ක් ඉටු නොවෙයි. පර් යේෂණ සඳහා දෙන මුදල් අනුමත කිරීමට දිගු කාලයක් ගන්නා පරිපාලකයන්ට ඒ කිසිවක් ප්‍රශ්න නොවේ. එවැනි පරිපාලකයන් සිටීම රටේ ඉදිරි ගමනට බාධාවකි. ප්‍රතිපාදන අනුමත කළ දා සිට ප්‍රගති වාර්තා ඉල්ලයි. හැබැයි ඒ ප්‍රගති වාර්තා ඉල්ලන්නේ අවශ්‍ය මුදල් නිදහස් නොකරය. ඒ අපබ්‍රංසවලින් පීඩාවට පත්වීමට බොහෝ උගතුන් පර් යේෂකයන් කැමැති නැත. එහෙයින් ඔවුන් එවැනි හිරිහැර නැති රටවලට යාම සහේතුක මිස අහේතුක නොවේ. ඒ සියල්ල අවසානයේ බලපාන්නේ පාඨමාලාවල ගුණාත්මකභාවය ය. දැනට පවතින තත්ත්වය මෙලෙසින් දිග් ගැසුණොත් අනාගතය ඉතා භයානකය.
උගතුන් රට හැරයාමට ආසන්නතම හේතුව අසාධාරණ අයුක්ති සහගත සහ දරාගත නොහැකි බදු ය. පෞද්ගලිකව මා ද එහි ගොදුරකි. බදු ලෙස මගේ වැටුපෙන්ද රුපියල් 1,40,000ක් පමණ කැපෙයි. එහෙත් මේ බදු වැඩිවීමට පෙර මගේ වැටුපෙන් බදු ලෙස කැපුණේ රුපියල් 40,000 ක් තරම් ප්‍රමාණයකි. එය දරාගත හැකිය. දරාගත යුතුය. බදු ගෙවිය යුතුය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් දැන් බදු ලෙස අයකරගන්නා ප්‍රමාණය දරාගත නොහැකිය. එය දරාගත නොහැක්කේ පසුගිය කාලයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඩීසල්, පෙට්‍රල්, ගෑස්, විදුලි, ජල හා දුරකතන බිල් අධ්‍යාපන සහ සෞඛ්‍ය යනාදී සියලු වියදම් සියයට තුන් හාරසියකින් ඉහළ ගොස් තිබෙන නිසාය. වියදම් එසේ ඉහළ ගියාට වැටුප් හෝ ආදායම් ඉහළ ගියේ නැත. මා මේ කියන තත්ත්වයත් රටේ සියලු දෙනාට පොදුය. වියදම් ඉහළ ගොස් ආදායම් හා වැටුප් එලෙසම පැවතියදී බදු ඉහළ නැංවීම අසාධාරණය.
අනෙක දැන් බදු අය කරන්නේ මූලික වැටුපෙන් පමණක් නොවේ. අපේ අධ්‍යයනාංශවල කටයුතු පවත්වාගෙන යාමට අපට විවිධ සාකච්ඡා සඳහා රැස්වීම් පැවැත්වීමට සිදුවෙයි. ඒවාට සහභාගිවන අයට සංග්‍රහ කිරීම සඳහා සුළු මුදලක් ලැබෙයි. ඒ මුදල වැයවන්නේ ඒ සංග්‍රහ සඳහාමය. එහෙත් දැන් ඒ දීමනාවෙන්ද බදු අය කරයි. කාර්යාල දුරකතනයට යම් මුදලක් ඇතුළත් කර එයටද බදු අය කරයි. නිල නිවාසවල සිටිනවාටද බදු අය කරයි. ඒ නිල නිවාස නඩත්තු කරන්නේත් ඒවායේ ජල හා විදුලි බිල් ගෙවන්නෙත් අපමය. එසේ තිබියදීත් ඒවායේ සිටිනවාටත් බදු අය කරයි. නිවාස කුලියක්ද වෙනම අය කරයි. මේ තත්ත්වයන් නිසා ඇතැම් ආචාර්යවරු දැන් නිල නිවාස පාවිච්චි නොකර කුලී නිවාසවල සිටිති. ඒ නිසා දැන් ඒ නිල නිවාස බොහොමයක් පාළුවට ගොසිනි. නිල රථ දී තිබෙන අයගෙන් ඒ වාහන සඳහාද බදු අය කරයි.
ආචාර්යවරුන් හැටියට අප නිතර පර් යේෂණ කළ යුතුය. ප්‍රකාශන කළ යුතුය. ඒවාටද සුළු දීමනාවක් ලැබෙයි. ඒ දීමනාවෙන්ද බදු අය කරයි. පශ්චාත් උපාධිධාරීන්ගේ නිබන්ධන බලනවාට එක නිබන්ධනයකට ගෙවන්නේ රුපියල් 1000 කි. ඒ රුපියල් 1000නුත් සියයට 36ක් බදු ලෙස අය කරයි. පශ්චාත් උපාධි ආයතනයේ ඉගැන්වීම් කටයුතු සඳහා ආචාර්යවරුන් සොයා ගැනීමද දුෂ්කරව පවතියි. පශ්චාත් උපාධි නිබන්ධනයක් තත්ත්වාකාරයෙන් පරීක්ෂා කරනවාට මාසයක් පමණ කාලයක් ගතවෙයි. ඒ මාසයටම ලැබෙන්නේ රුපියල් 1000කි. ඒ 1000න් 400ක් බදු ලෙස කපා ගනියි. එවිට අතට ලැබෙන්නේ රුපියල් 600කි. එහෙත් දැන් කුලී වැඩ කරන පුද්ගලයකුටත් දිනකට රුපියල් 2,500 සිට 3,000 අතර මුදලක් ගෙවයි. මා මේ තොරතුරු සඳහන් කළේ රටේ උගතුන්ට කෙතරම් නිහීන ලෙස සලකනවාද යන්න තේරුම් ගැනීම සඳහාය.
උගත් දක්ෂයන්ට දියුණු රටවලින් එන්නැයි අත වනන සහ ඒ රටවලට ගොස් මීට වඩා කරදර හිරිහැර අඩු සැපවත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හැකියාව, කැමැත්ත සහ වුවමනාව තිබෙන අය මේ නිහීන සැලකිලි දරා ගැනීමට කැමැති නැත. යම් පිරිසක් එය දරාගෙන සිටින්නේ රට ගැන තියෙන හැඟීම සහ පවුල් සමග තිබෙන බැඳීම් නිසාය. එහෙත් ඒ දරා ගැනීම්වල ද සීමාවක් පවතියි. සීමාව ඉක්මවා ගිය තැන ඒ පිරිසද රටෙන් පිටවෙති. එදාට ලංකාවේ විශ්වවිද්‍යාලවලට දැනට ලෝකයේ තිබෙන තැන සහ පිළිගැනීම් ද සුණුවිසුණු වී යනු නිසැකය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසායන විද්‍යාව ඔය හැටි අපට වටිනවාද? ලංකාවට වටිනා විෂයවලට වැඩි තැනක් දෙමු නේද...?
ඔබ නිර්වාණය කළ කරුණු ඉතාමත් වැදගත්... එහෙත් කිසිම වගකිව යුතු කෙනෙක් මේවා ගැන කතාකරන්නේ නැහැ. ඔබ කතාකළ කරුණු ගැන වරෙක අප ගැන ආඩම්බරයක්ද? වරෙක අපගැන තකතීරු ගතියක්ද මැවේ. දැන්වත් දළාල බූරුවන්ගේ ඇස් ඇරේවා..! රටක් දියුණු වෙන්නේ උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් පමණක්ම බව කියා මේ මෝඩ, තකතීරු දේශපාලකයන්ට ඉක්මණින් අවබෝධ වේවා...!
රටේ විශ්ව විද්‍යාල වලින් මේ තාක්කල් බිහිවූ ඔය කියන ඉහළ ගණයේ උපාධිධාරීන්ගෙන් මේ රටට සේවයක් වුණා නම්, අද මේ රට සුර පුරයක් විය යුතුයි. නමුත් එවැන්නක් සිදුවුණු බවක් පෙනෙන්නට නැත. වර්තමානයේ බදු වැඩි කිරීමට හේතුව නම්, විශ්‍රාම වැටුප්, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි, මාර්ග නඩත්තුව වැනි වියදම් සඳහා රාජ්‍ය ආදායම මදි වීමයි. ඒ පරතරය අපට කිසිවෙක් පියවා දෙන්නේ නැහැ. පසුගිය වසර 10ක පමණ කාලයේදී රජය සිදුකළේ ණය මත ආර්ථිකය රඳවා සිටීමයි. අද ඒ ණය ගෙවා ගත නොහැකිව රට ණය අර්බුදයක පැටලී ඇත. එබැවින්, වර්තමාන තත්වයට රජයද වගකිව යුතුයි.
ඉහළ ගණයේ උපාධිධාරීන්ගෙන් වැඩක් ගන්න තරම් බුද්ධිමත් සහ රටට හිතැති දේශපාලකයෝ පත්කළානම් මේ රට සුරපුරයක් තමයි.
සමහරක් විශ්වවිද්‍යාලවල පාඨමාලා පට්ට අවුල්, අවුට් ඩේටඩ්... ලෙක්චර්ස් ගිරවා දාලා මිසක් ප්‍රායෝගික නෑ. පින්ලන්තයේ පාඨමාලා පට්ට ප්‍රායෝගිකයි. අනිවාර්යයෙන්ම අත්දැකීම් ඕනෑ... මෙහෙ ඒකෙ එහා පැත්ත. ගිරවා දාලා ක්ලාස් ගත්තාම නිකන්ම ආචාර්ය, මහාචාර්ය පොතේගුරාලා විතරයි...
මේ කතාවේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මෙයා කතා කරන්නේ පිටරටවල පශ්චාත් උපාධිවලට කීප දෙනෙක් යන හින්දා ලංකාවේ විශ්වවිද්‍යාල වලට ලොකු තැනක් තියෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම යන්න පුළුවන් අය යන්නේ යන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලින් පිරිනමන පශ්චාත් උපාධිවලට ලෝකේ කිසිම පිළිගැනීමක් නැති නිසා කියන එක කතා කරන්නේ නැතුව පුරසාරම් දොඩවනවා. මේ රට යන පිරිස ප්‍රතිශතයක් හැටියට ඉතාම සුළු පිරිසක්. අති බහුතරය උපාධිධාරීන් ඉන්නේ රාජ්‍ය සේවයේ. තවද රැකියා විරහිත උපාධිදාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම් වලින් තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වල නියම තත්වය බලන්න පුළුවන්. නැතුව පශ්චාත් උපාධි වලට රට යන 20දෙනාගෙන් නෙවෙයි. මේගොල්ලෝ හැමදාම කරන්නේ කොලේ වහලා, බොරු කියලා මිනිස්සුන්ව අන්දන එක.
ඔන්න බලන්න අපේ රටේ සමහරු දන්නා තරම... රසායන විද්‍යාව ඔය හැටි අපට වටිනවාද කියලයි... මුල්ම කමෙන්ට් එකේ අහන්නේ? අපේ රටේ ලෝකෙම ප්‍රසිද්ධ පොස්පේට් නිධි වගේ ඛනිජ සම්පත් සාගර සම්පත් තියෙනවාද? ඒ වගේ සම්පත් ප්‍රයෝජනයට ගන්න නම් ඕනෑ කරන්නේ මොන විෂයයක් කරපු උදවියද? වෙන දියුණු වුණු රටවල්වලට තියෙන සම්පත් උපරිම කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගන්නවා. අපේ රටේ මොකද වෙන්නේ? දේශපාලුවන් තීරණ ගන්නවා සම්පත් පිට රටවලට විකුණනවා. රසායන විද්‍යාඥයින් කියලා තියා එවැනි විෂයක්වත් ලෝකේ තියෙනවාද? ඔය උන්දැලා දන්නේ නැහැ වගේ වැඩ කරන්නේ... රට බංකොලොත් කළේ දේශපාලුවෝ වුණාට උගත් මිනිස්සුන්ගේ පඩි පත් කපාගෙනයි. ඔවුන් රට ගොඩ ගන්නවයි කියලා කියන්නේ. ඔබට මතකද කලකට ඉහතදී ඔය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම දේශපාලුවන් එප්පාවල පොස්පේට් නිධිය විකුණලා කොමිස් ගහන්න දැඟලුවා. මතක තියාගන්න ජ'මනියට තිබුණාට වඩා හතර ගුණයකින් ආර්ථික වර්ධනයක් ළඟාකර දුන්නු චාන්සලර් ඇන්ජලා ම'කර් මහත්මිය රසායන විද්‍යා මහාචාර්යවරියක් බව...
රටක බදු අයකළ යුත්තේ ලබන අදායමට සාපේක්ෂවයි. දරණ තනතුරට සාපේක්ෂව නොවේ. ගොවියකු හෝ වේවා, දේශපාලකයකු හෝ වේවා මහාධිකරණ විනිසුරු වරයෙක් හෝ වේවා. විශේෂඥ වෛද්‍යවරයකු හෝ වේවා... ලබන ආදායමට සාපේක්ෂව බදු ගෙවිය යුතුමයි. මිනිසුන් ඉපදෙනුයේ විවිධ හැකියාවන් සමගිනි. අඩු අදායම් සහිතව දිවි ගෙවන විශේෂ හැකියාවන් රහිතව උපදින්නටද සමාජයේ හිමි විය යුත්තේ මහාචාර්ය වරයාට සමාජයේ හිමිවිය යුතු තැනමයි. තම තමන් දරන තනතුරු අනුව පුද්ගලිකව නිර්මාණය කර ගන්නාවූ තාවකාලික සමාජ තත්වයන් රටේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතුමයි. අප පියවරෙන් පියවර ඉදිරියට යා යුත්තේ දේශපාලුවන්ගේ නොමනා ක්‍රියාකාරකම් හෝ ඇමරිකාවේ පිළිගැනීම දෙස බලාගෙන නොව අපේම ලංකාවක් ගොඩනැගීමේ අභිලාෂයෙන් යුතුව කැප වීමෙකිනි...
මේ සීමිත ගැටළුවක් ලංකාවේම ප්‍රශ්නයක් විදිහට දාලා. මුලින්ම කියනවා 25ක් හිටියා.12 දෙනෙක් රට ගිහිල්ලා, නිවාඩු ගිහිල්ලා, විශ්‍රාම ගිහිල්ලා. එතකොට කොහොමද 11ක් වෙන්නේ? රසායන විද්‍යා ගණනය කිරිල්ලක්ද? අනික මේ ළමයි 10ට එක්කෙනෙක් කියන්නේ ඔක්කොම ළමයින්ට සාපේක්ෂව. එහෙම නැතුව මගේ දෙපාර්තමේන්තුවේ ඔක්කොම 660යි. ඒ නිසා 66ක් ඉන්න ඕන කියන එක නෙවෙයි. මේ දෙපාර්තමේන්තුවේ ඉන්න ළමයි වෙන විෂයනුත් හදාරනවා. එතකොට මේ කියන විදිහට ඒ ළමයි එතැනත් නැවත ගණනය කරන්න වෙනවා. අනික මෙයාට පඩි ගෙවන්නේ රජයේ මුදලින්. 140,000ක් බදු ගෙවනවා ඒත් ආදායම කියන්නේ නෑ. මේ දාලා තියෙන දීමනා පුද්ගලිකව අතට හෝ ගිණුමට දෙන සල්ලි නම් ඒක ආදායම තමයි. මොකද නිලරථ දීලා ඒ වියදම දරන්නේ රජය. ඒ රථයෙන් පුද්ගලික ගමන් යන්න බාධාවක් නෑ. ඒ නිසා තමයි ඒක ආදායමක් විදිහට ගන්නේ. ඔය කියන බලන නිබන්ධන ප්‍රකාශයට පත්වෙන කොට ඒ පත්‍රිකාවේ සුපරීක්ෂකගේ නමත් යනවා හා ඒක එතකොට සුපරීක්ෂකගේ ප්‍රකාශන ගොඩට වැටෙන කතාව කියලත් නෑ. විශ්ව විද්‍යාලයක ළමයි විදිහට ඉගෙන ගනිද්දී මුහුණපාන ප්‍රශ්න ගණනාවක් ලිපියේ හරියට දක්වලා නෑ...
ලංකාවේ රාජ්‍ය වියදම් ඉතාමත්ම වැඩියි. අනික් ඔක්කොම ආසියානු රටවල්වල මුළු ජනගහනයෙන් 250ට එකක් රජයේ සේවකයෝ ඉන්නකොට ලංකාවේ 15ට එකක් ඉන්නවා. මොනතරම් විශාල අනවශ්‍ය වියදමක්ද? එම වියදම් පාලනය කරන්නේ නැතිව බදුපිට බදු ගහලා වැඩක් නැහැ. රට අගාධයටම යනවා. අනවශ්‍ය අයට පින්පඩි විශ්‍රාම දෙන්න බදු ගෙවන මිනිස්සු පළි නැහැ.
ඉහළ ගණයේ උපාධිධාරීයාට, දේශපාලකයින් ඇඟිල්ලෙන් ඇන වැඩ කළයුතු බව කිවයුතුද?
140,000 ක් බදු ගෙවීමට, 400,000 ට ආසන්න වැටුපක් ලැබිය යුතුයි.
බදු බියෙන් පිටරට පනින උගතුන්ට ඒ රටවල බදුගහන හැටි දැක්කාම දුවන්න පාරවල් මදිවෙයි.. ලෝකයේ වැඩිපුරම බදු අයකරන්නේ සංවර්ධිත රටවල කියලා මේ උගත්තු දන්නවද දන්නේ නැහැ. වැටුපට සරිලන නිසි බදු නොගෙවා නූගත් දුප්පතා ගෙවන වක්‍ර බදු ගැන කිසිඳු තැකීමක් නැතිව සියලුම වරප්‍රසාද භුක්ති විඳින මේ අයට මෙච්චර මේ රටේ ජීවත් වෙන්න අමාරු නම් රටේ අනෙක් ජනතාව ගැන කවර කතාද..? වෙනත් රටවල් දියුණු කරන්න දායක වූයේ ඒ රටවල උගත් බුද්ධිමතුන්... ඔවුන් තමයි නිවැරැදි නායකයින් තෝරා ගන්න ඒ රටේ ජනතාවට වක්‍රාකාරයෙන් පෙළඹවූයේ... ඒකටත් එක්ක මේ රටේ උගත් යයි කියාගන්න මෝඩයින් තක්කඩි දේශපාලකයින්ගේ කෛරාටිකකම්වලට හා වෙනත් සුළු වරප්‍රසාදවලට රැවටී මේ රටේ සමස්ත ජනතාවම ප්‍රපාතයට හෙළුවා. මේ අමන උගතුන් කවද්ද මේ රටේ නූගත් ජනතාවට අනුකම්පා කළේ..? උපකාර කළේ? පිටරටවලට ගිහින් බලාපල්ලා ඒ රටවල සැබෑ උගත්තුයි, මහලොකුවට උගත් යයි සිතාගෙන සිටින ලංකාවේ උගත් මෝඩයින් අතර වෙනස... ආකල්පමය අතින් ඒ රටක මහාමාර්ගය පවිත්‍ර කරන "නෝනලා මහත්වරු" අතර, "නුඹලා කැලිකසල" ලෙසයි මම නම් දකින්නේ...!
මෙයා දන්නැතුව ඇති අනිත් රටවල්වල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තියෙන වැඩ. ලංකාවේ සතියට දේශන පැය හතරක්වත් කරන්නැති ආචාර්යවරු කීයක් ඉන්නවාද? කී දෙනෙක් ආචාර්ය උපාධි හා පශ්චාත් උපාධි සිසුන් පුහුණු කරනවාද? ලෝකයේ ඉහළ මට්ටමේ journal වල වසරකට පරීක්ෂණ නිබන්ධන කීයක් පල කරනවද? මට එකක්වත් නැතුව ලක්ෂ 5 ක විතර පින් පඩියක්නේ ගන්නේ.... හැම දෙනාවම නිදහස් අධ්‍යාපනය ලබපු අය. ජාති උපාධි හා ආචාර්ය උපාධි සඳහාත් වියදම කළේ ශ්‍රී ලංකාවේ රජය. අනිත් රටවල විශ්වවිද්‍යාල බඳවා ගන්නේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයින් ඒ රටවල් වලින් ඒ සඳහා වියදම් කරන්නේ නෑ අඩුම ගානේ ඔවුන්ගේ පළමු උපාධියටවත් වියදම් කරන්නේ නෑ. දියුණු රටවල් වල ක්‍රමවේදයම ලංකාවේත් අනුගමනය කරනවා නම් ඔය තියෙන ප්‍රශ්න එකක්වත් නෑ. හම්බ කරන විදිහට බදුගෙවන්න වෙනවා රැකියාව අදාල නෑ. බදුනැති වාහන හා නිකුත් දිමනා ඒ රටවල් දෙන්නෙත් නෑ..
හරමානිස් මහතාගේ අදහස මමත් අනුමත කරමි. පශ්චාත් උපාධි කරන බොහෝ දෙනෙක් රට යන්නේ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන පශ්චාත් උපාධි ලෝකයේ කිසිම රටක පිළිගැනීමක් නොමැති නිසා බව සියලු දෙනාම පිළිගත යුතු කරුණක්. ලංකාවේ රජය පවා මේක පිළි අරන් පශ්චාත් උපාධි සඳහා විදේශගතවන සමහරුන්ගේ වියදම් පවා දරනවා. මේ සියල්ලටම විසඳුම ලෝකයේ නමක් ඇති අන්තර්ජාතික විශ්ව විද්‍යාල සමග එකතුවෙලා රජය ප්‍රමිතියක් ඇති විශ්ව විද්‍යාල පද්ධතියක් රටේ ඇති කිරීමට වහාම පියවර ගැනීම... මෙමගින් අධ්‍යාපනය විදේශ රටවලට ඇදී යන විශාල ධනස්කන්ධයක් රටේ ඉතුරු වෙනවා. අධ්‍යාපන සුදුසුකම් ඇති ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා උසස් අධ්‍යාලනය ලැබීමේ ඉඩකඩ සලසා දෙන්න ඕනේ. මේක 100%ක් සමාජවාදී රටක් නොවේ. එහෙමනම් මන්ත්‍රීවරු ප්‍රාඩෝවල යන ගමන් මිනිස්සු බස් නැතිව පැය ගණන් මග රස්තියාදු වෙන්න බැහැ.
සියලුදෙනාම උපයන වැටුපට සරිලන ලෙස බදු ගෙවන්න ඕනේ.. විශ්ව විද්‍යාල ආචාර්යවරු, නඩු කාරයෝ, දොස්තරලා කියලා විශේෂයක් කරන්න බැහැ. සංවර්ධිත රටවල වැඩියෙන් උපයන පුද්ගලයන් වැඩියෙන් බදු ගෙවනවා. ලංකාවේ තර්කයක් තිබෙනවා අපි ගෙවන බදුවලින් අපට නිසිලෙස සේවයක් සිදුනොවෙන නිසා අපි බදු ගෙවන්න කැමැති නැහැ කියලා... නමුත් ලංකාවේ නඩුකාරයෝ, ප්‍රාදේශීය ලේකම්වරු, අමාත්‍යංශ ලේකම්වරු, දොස්තරවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු වැනි පුද්ගලයින්ට සමාජයේ අනෙක් පුද්ගලයින්ට නොමැති විශාල බලයක්, විශාල දැනුමක් සහ සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. අවශ්‍ය නම් මේ සියලු දෙනාටම එකතුවෙලා පුළුවන් අපි ගෙවන බදුවලින් උපරිම ප්‍රෙයා්ජනයක් සමාජයේ සියලුම දෙනාටම ලැබෙන ලෙස ක්‍රම සම්පාදනය කර ක්‍රියාත්මක කරන්න. රජයට බල කරන්න.. නමුත් ඔවුන් එහෙම කරන්නේ නැහැ. ඒකට එක හේතුවක් ඔවුන්ගෙන් බහුතරයක් ලොකු පොඩි වශයෙන් මෙම හොරකම්වල කොටස්කරුවන් වීම...