IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය හිටපු ජනපති ලොවට දුන් ආදර්ශය

රාජ්‍ය මුදල් අවභාවිතය මේ රටේ බොහොමයක් ආණ්ඩුවලට එරෙහිව නැඟෙන චෝදනාවකි. විශේෂයෙන් රජයේ මුදලින් සිදු කරන ඥාති සංග්‍රහ පිළිබඳව විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දීමට ප්‍රථමව ඒ තරම් ලොකු කතාබහක් නොතිබිණි. එහෙත් මෙරට දේශපාලනය උඩු යටිකුරු කළ විධායක ජනාධිපති ක්‍රමයට රට අනුගත වීමෙන් පසුව රාජ්‍ය මුදල් අවභාවිතය, ඥාති සංග්‍රහ සුලබ මාතෘකා බවට පත් විය. ඇතැම් දේශපාලන නායකයන් එවැනි ක්‍රියාවලට එරෙහිව තදින් පියවර ගැනීමට පසුබට නොවූවත් බහුලව අප දැක ඇත්තේ එහි ප්‍රතිවිරැද්ධ ක්‍රියාවලියයි. බොහෝ දුරට මැතිවරණ කාලසීමා තුළදී රාජ්‍ය මුදල් අවභාවිතය සිදුවන ආකාරය බලා සිටින කෙනකුට ලජ්ජා සිතෙන මට්ටමක පැවැති බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

අපට මේ කරුණු පෙන්වා දීමට උත්තේජනය සැපයුණේ පසුගිය බ්‍රහස්පතින්දා (05) අපගේ ලංකාදීප පුවත්පතේ ‘රජ වීදිය’ අතිරේකයේ පළ වූ ඉන්දියාවේ 11 වැනි ජනාධිපති ධුරය හෙබවූ ලෝක ප්‍රසිද්ධ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ විද්‍යාඥයකු වූ ආචාර්ය අබ්දුල් කලාම් පිළිබඳ ලිපියෙනි. ‘ඥාති අමුත්තන් සංග්‍රහයට රජයේ මුදල් නොගත් කලාම්’ සිරස්තලයෙන් පළ වූ එම ලිපියේ කලාම් ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවද කිසිම අවස්ථාවක මහජන මුදල්, මහජන දේපළ පෞද්ගලික පරිහරණයට යොදවා ගත් අයකු නොවූ බව සඳහන්ය. කල දුටු කල වල ඉහගන්නා තාලයේ බඩගෝස්තරවාදී මෙරට දේශපාලනඥයන් පිළිබඳ අසන්නට ලැබෙන කතාවලින් හෙම්බත්ව, එවැනි දේශපාලනඥයන් එපා වී, පිළිකුල් වී සිටින අවස්ථාවක මෙරට පොදු මහජනතාවට එතුමන් පිළිබඳ එක් කතාවක් සඳහන් කිරීම පවා මහත් අස්වැසිල්ලක් වශයෙන් අපි සලකමු.

තමිල්නාඩු වැසියකු වූ අබ්දුල් කලාම් මහතා කුඩා කාලයේ පටන්ම ඉතා දිළිඳු පවුලකට අයත්ව සිටිමින් විශාල දුෂ්කරතා මැද ජීවිතය ජයගත් විද්‍යාඥයෙකි. මහජන ඡන්දයෙන් නොව චාරිත්‍රානුකූල පත් කරනු ලබන ඉන්දියාවේ ජනාධිපති ධුරයට කලාම් මහතා පත් කරනු ලැබුවේ ඔහු විසින් භාරත දේශය වෙනුවෙන් ඉටුකරන ලද විශිෂ්ට සේවයට සැලකීමක් වශයෙනි. ජනාධිපති ධුරයට පත් වී රාෂ්ට්‍රප්‍රතිභවන් මන්දිරයේ වාසයට පැමිණි කලාම් මහතාට සුබ පැතීමට වරක් ඔහුගේ ඥාති මිත්‍රාදීහු ජනාධිපති මන්දිරයට පැමිණියහ. රසකැවිලි පොදි බැඳගෙන බස් රථ ගණනාවකින් පැමිණි එම පිරිසේ සමීප ඥාතීන් 54 දෙනකුද සිටි බවද සඳහන්ය.

තමන් හමුවට පැමිණ සුබ පතා රාෂ්ට්‍රප්‍රතිභවන සහ නවදිල්ලි නගරයේ සිරි නරඹමින් රවුමක්ද ගැසූ එම පිරිසට නවාතැන් ගැනීමට, ආහාර ගැනීමට සහ නවදිල්ලි චාරිකාවට වැය වූ සියලු‍ මුදල් ප්‍රමාණය සටහන් කර ගන්නැයි තම ලේකම්වරයාට දැනුම් දී තිබූ අබ්දුල් කලාම් මහතා එම සියලු‍ මුදල් ගෙවා දැම්මේ තමන්ගේ සාක්කුවෙනි. එසේ ගෙවන ලද මුදල ඉන්දීය රුපියල් තුන්ලක්ෂ හාරදාස් නවසිය අනූ හතරක් වූ බවද සඳහන් විය. තම ඥාතීන්ට සංග්‍රහ කිරීමට ඒ මහතා රජයේ මුදලින් රුපියලක්වත් වැය කළේ නැත.

ඉන්දියාවේ දේශපාලන භූමිකාව තුළ ආචාර්ය අබ්දුල් කලාම් ගත කළේ වසර 05ක කාලයක් පමණි. එම සුළු කාලය තුළදී පවා රජයේ මුදලින් එක රුපියලක් හෝ තම පෞද්ගලික වැඩකට වියදම් නොකළ ඔහු පිළිබඳ වරින් වර ඉන්දීය දේශපාලන කතිකාවලදී සඳහන් වෙයි. ඒ කරුණු සමහරක් අප රටේ දේශපාලනයටද ඉතා හොඳින් ගැලපෙන බැවින් ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීම සුදුසු යැයි අපි සිතමු.
එක් කථිකයකුට අනුව එතුමා දේශපාලන ලෝකයේ සැබෑ නායකයෙකි.

නායකත්වය යනු කුමක්ද? නායකත්වය දෙන්නේ කෙසේද යන්න කියා දුන්නේද එතුමා බවත් ජනාධිපති කලාම් සැබෑ නායකයකු ලෙස වගකීමෙන් කටයුතු කළ බවත් සඳහන් කරන ඔහු ඉහත සඳහන් සිද්ධිය ඊට උදාහරණයක් වශයෙන් පෙන්වා දෙමින් සැබෑ ජන නායකයන් කියන්නේ මෙවැනි චරිතවලට බව ප්‍රකාශ කරයි.

අබ්දුල් කලාම් හිටපු ජනාධිපතිවරයා එසේ කළත් ඉන්දීය දේශපාලනය තුළ රජයේ මුදල් තමන්ට අවශ්‍ය පරිදි වියදම් කරමින් සුර සැප විඳින දේශපාලනඥයන් හිඟ නැත. එරට පමණක් නොව ජනතා සේවය අමතක කොට තමන්ගේ බඩ කට පුරවාගෙන පරම්පරාවම ගොඩ දා ගන්නා දේශපාලනඥයන් ලෝකයේද මේ රටේද හිඟ නැති බව මෙරට ජනතාවට රහසක් නොවේ. තැපැල් නයින්ටි බයිසිකලෙන් තමන්ගේ දේශපාලනය ආරම්භ කර මාලිගාවල් වැනි නිවාස තනාගෙන විශාල ව්‍යාපාර ආරම්භ කර නැව් පවා මිලට ගත් දේශපාලන නායකයෝ මෙරට වෙසෙති.

කන බොන දේ පමණක් නොව වතුර බෝතලේ පවා පිටරටින් ගෙන්වා ගන්නා දේශපාලනඥයෝද වෙති. සමහරුන්ගේ සමීප ඥාතීන් පවා ගමන් බිමන් යන්නේ මෙරට වැඩිම වටිනාකමකට ගෙන්වා ගනු ලබන යාන වාහන වලිනි. තමන්ගේ ඥාතීන්ට කෑම බීම සඳහා වැය වූ අන්තිම රුපියල පවා තමන්ගේ සාක්කුවෙන් ගෙවා දැමූ අබ්දුල් කලාම් වැනි චරිත, තමන්ගේ පමණක් නොව තම ඥාති මිත්‍රාදීන් ඇතුළු හැත්ත බුරුත්තම රජයේ මුදලින් නඩත්තු කරන එනම් මෙරට ජනතාවගේ බදු මුදලින් පෝෂණය කරන දේශපාලන බොල් පිළිම අතරේ අයෝමය යුග පුරුෂයන් වශයෙන් සැලකිය හැකිය.

අපේ රට තුළ වෙසෙන දේශපාලනඥයන් කලාම් ගිය මඟ අනුගමනය කරන්නේ නම් රටට සිදුවනු ඇත්තේ විශාල යහපතකි. රජයේ මුදලින් ඥාති මිත්‍රාදීන්ට සලකනවාට වඩා, ඔවුන්ගේ බඩ කට පුරවා දෙනවාට වඩා කළ යුතු බොහෝ දේ තිබෙන බව මෙරට දේශපාලනඥයන්ට අවබෝධ වන දවසට මේ රටේද සැබෑ නායකයන් සිටින බව අපට ආඩම්බරයෙන් පැවසීමට ඉඩක් ලැබෙනු ඇත. ප්‍රශ්නය ඇත්තේ එය ඉටුවන දවස කවදාද යන්නය.

(***)



අදහස් (1)

ඉන්දීය හිටපු ජනපති ලොවට දුන් ආදර්ශය

සොඳුරු දේශපාලනය Tuesday, 10 August 2021 12:20 PM

මෙවැනි සොඳුරු දේශපාලකයින් බිහිවී අප රට දූෂිත යැයි හැඟවෙන ජාත්‍යන්තර අංකයෙන් උඩට ගනීවිදැයි සැකයි. විජය රජුගෙන් පැවතෙන නිසාදෝ හෘද සාක්ෂිය බොරුවට හැඩ ගැහුණු බොහෝ දෙනෙක් ලැජ්ජාව නමැති කොටස ගලවා දමා බොරුව ආවඩන බව එන සෑම දේශපාලකයෙක්ම දනියි...

:       0       85

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 64 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 248 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 493 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 363 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 954 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 218 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1436 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site