IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන් 133 දෙනකු සහභාගී වූ එම රහස් ඡන්ද විමසුම පසුගිය 7 වැනිදා සවස ආරම්භ වූයේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේදීය.

පළමු දින ඡන්ද විමසුම අවසන් වූයේ සිස්ටීන් දෙව්මැදුරේ චිමිනියෙන් කළු දුමාරයක් නංවමිනි. එයින් සංකේතවත් කෙරුණේ පාප්තුමකු තෝරා ගැනීමට ඡන්ද විමසුමට සහභාගී වුණු කාදිනල්වරුන්ට නොහැකි වුණු බවය.

මෙය අතීතයේ සිට පැවැතෙන සම්ප්‍රදායයි. ඡන්ද විමසුමෙන් පසු දෙව්මැදුරේ චිමිනියෙන් කළු දුමාරයක් නැගෙන්නේ නම්, එයින් අදහස් වන්නේ පාප්තුමකු තෝරා ගැනීමට අපොහොසත් වී ඇති බවය. සුදු දුමක් නැගෙන්නේ නම්, එයින් අදහස් වන්නේ පාප්තුමකු තෝරා ගැනීමය. කළු දුම සහ සුදු දුම නිකුත් කිරීම සිදුවන්නේ ඡන්ද පත්‍රිකා පිළිස්සීමෙනි. පාප්තුමන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී දුම මගින් පණිවුඩ යැවීමේ ක්‍රමය වතිකානයේ තවමත් සම්ප්‍රදායයි.

පසුගිය දින කීපයේ ලෝකයේ සියලු‍ම රූපවාහිනී නාළිකා, වෙබ් ප්‍රවෘත්ති නාළිකා ආදියේ අවධානය යොමු වූයේ සිස්ටීන් දෙව්මැදුරේ චිමිනිය කෙරෙහිය. මුල් වටයේ පැවැති ඡන්ද විමසුම්වලදී සිස්ටීන්​චිමිනියෙන් නිකුත් වූයේ කළු දුමාරය පමණි. අවසානයේ, සියලු‍ බලාපොරොත්තු සඵල කරමින්, පෙරේදා (8) රාත්‍රියේ, ශ්‍රී ලංකා​වේ වේලාවෙන් රාත්‍රී 9.40 ට පමණ, සිස්ටීන් දෙව්මැදුරේ චිමිනියෙන් සුදු දුමාරය නැගුණි.

වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව ඉදිරියේ, සාන්ත පීතර චතුරස්‍රයට එක්වී සිටි මහා ජන ගංගාව එකහඬින් ප්‍රීති ඝෝෂා කරන්න වූ අතර, ඝාන්ඨාර නාද කෙරුණි. නව පාප්තුමා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් සහ නව පාප්තුමා කුමන රටක කාදිනල්වරයකුදැයි යන්න සම්බන්ධයෙන් කා අතරේත් ඇතිවූයේ දැඩි කුතුහලයකි.

රැස්ව සිටි සියලු‍දෙනාගේ දෑස් ශාන්ත පීතර බැසිලිකාවේ සඳලු‍තලය වෙත යොමු විය. ‘පාප්තුමා දිනේවා’ යනුවෙන් සාන්ත පීතර චතුරස්‍රයට රැස්වුණු පිරිස කෑ කෝ ගසන්න වූහ. මිනිත්තු 60 කට පසු, වතිකාන පූජකතුමකු නව පාප්තුමන් හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ ලතින් බසිනි. ‘රොබර්ටෝ’ යන වදන එහිදී ප්‍රකාශයට පත් විය. ඒ අනුව, නව පාප්තුමා ලෙස ඇමෙරිකන් කාදිනල්වරයකු වන රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් තෝරාගෙන ඇති බව තහවුරු විය. කාදිනල් රොබට් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් වූයේ 14 වැනි ලියෝ යන නාමයෙනි.

ඇමෙරිකාවෙන්, පාප් ධුරයට තේරී පත් වුණු පළමු පාප්වරයා ලෙස 14 වැනි ලියෝ සැලකෙයි. පාප්ධුරයට පත් වුණු කාදිනල් රොබට් ප්‍රෙවොස්ට්, පසුගිය වසර කීපයේ වතිකානයේ ඉතා වැදගත් කාර්යයක් සිදු කළ අයෙකි. ඇමෙරිකාව සඳහා රදගුරුවරු තේරීමේ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ද කාදිනල් ප්‍රෙවොස්ට්ය. 2023 දී ප්‍රෙවොස්ට්, අගරදගුරු ලෙස පත් වූ අතර, මාස කිහිපයක් ඇතුළත ෆ්‍රැන්සිස් පාප්තුමා ඔහු කාදිනල්වරයකු ලෙස උසස් කළේය. එහෙයින් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් අලු‍ත් කාදිනල්වරයෙකි. ‘කොන්ක්ලේව්’ ඡන්ද විමසුමට සහභගී වූ කාදිනල්වරුන් 133 දෙනාගෙන්, සියයට 80 ක පිරිසක්, මෑත කාලීනව, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් පත් කරනු ලැබූ කාදිනල්වරුන් බව වතිකානය පැහැදිලි කර ඇත. ෆ්‍රැන්සිස් පාප්තුමාට සමීපව සිටි, චරිතයක් ලෙස ද කාදිනල් ප්‍රෙවොස්ට් සැලකෙයි.

69 හැවිරිදි රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට්, 267 වැනි පාප්තුමාය. මොහු උපත ලැබුවේ, ඇමෙරිකාවේ චිකාගෝ නුවරදීය. ඒ, 1955 වසරේදීය. ප්‍රෙවොස්ට්ගේ මවුපියන් ස්පාඤ්ඤ සහ ෆ්‍රැන්කෝ-ඉතාලි සම්භවයක් ඇති අය යැයි පැවැසෙයි. ප්‍රෙවොස්ට් කුඩා කාලයේ පූජාසනයේ සහායකයකු ලෙස සේවය කළ අතර, 1982 දී පූජකවරයකු බවට පත්විය. ඇමරිකානු ජාතිකයකු වුව ද, ප්‍රෙවොස්ට්, වසර ගණනාවක් පේරු රාජ්‍යයේ මිෂනාරිවරයකු ලෙස සේවය කළ බැවින්, ඔහු ලතින් ඇමරිකාවේ කාර්දිනල්වරයකු ලෙස සැලකෙයි. එහෙයින්, ඇමෙරිකානුවන් සේම පේරු වැසියේ ද ප්‍රෙවොස්ට්, පාප්ධුරයට පත්වීම ගැන ආඩම්බරයෙන් කතා කරති. ප්‍රෙවොස්ට්ට ඇමෙරිකන් පුරවැසිභාවයත්, පේරු පුරවැසිභාවයත් හිමිය. ප්‍රෙවොස්ට් වයඹදිග පේරු හි ටෘහිලෝ හි දේවධර්ම ගුරුවරයකු ලෙසත් සේවය කළේය. 2014 දී ෆ්‍රැන්සිස් පාප්තුමා ඔහුව පේරු හි චික්ලායෝ හි බිෂොප්වරයා ලෙස පත් කළේය.

ශාන්ත පීතර බැසිලිකාවේ සඳලු‍තලයේ සිට ජනතාවට අතවනමින්, රැස්ව සිටි පිරිසට ආශිර්වාද කරද්දී, 14 වැනි ලියෝ පාප්තුමන්, එතුමන්ගේ පුරෝගාමියා ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්තුමා ආදරයෙන් සිහිපත් කිරීම විශේෂත්වයකි. 14 වැනි ලියෝ පාප්තුමන් මධ්‍යස්ථමතධාරියෙකි. ‘අප සැවොම, දෙවියන් වහන්සේ සමඟ අත්වැල් බැඳගෙන එකමුතුව ඉදිරියට යා යුතුයි’ යැයි සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රීති ඝෝෂා පැවැත්වූ ජන ගංගාව අමතමින් ලියෝ පාප්තුමන් පැහැදිලි කළේය.

 

(***)
ලු‍සිත ජයමාන්න
බීබීසී ඇසුරිනි



අදහස් (0)

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site