IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ආසියාවම හොල්ලන අරගල

නේපාලයේ පසුගිය 8 වැනිදා පුපුරා ගිය ජන අරගලය නිතැතින්ම සහ එක්වරම බොහෝ දෙනකුට ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් තුනක මෑත කාලයේ ඇතිවූ එවන් අරගල සිහිපත් කරන්නට ඇත.

විශේෂයෙන්ම නේපාලයේ තරුණ අරගලයට 2022 ශ්‍රී ලංකාවේ අරගලය හා පසුගිය වසරේ බංග්ලාදේශයේ ඇතිවූ ජනතා නැගිටීම සමග බොහෝ සමානකම් ඇත. දැනට ඉන්දුනීසියාවේ ඇති වී තිබෙන උද්ඝෝෂණය ද ඊට බොහෝ සෙයින් සමාන වුවද එහි ආණ්ඩුව මෙතෙක් බිඳ වැටුණේ නැත.

නේපාලයේ මුලින් ඇතිවූයේ නේපාල රජය හා බටහිර සමාජ මාධ්‍ය සමාගම් අතර ගැටලුවකි. මේ රටේ මෙන්ම ලොව බොහෝ රටවල සමාජ මාධ්‍ය බරපතළ ලෙස අවභාවිත කෙරේ. ඒ අනුව සමාජ මාධ්‍ය සමාගම් ලියාපදිංචි විය යුතු යැයි නේපාල රජය නියෝග කර තිබිණි. සමාගම් කිහිපයක් ඊට එකඟ වුවද ප්‍රධාන සමාගම් ඇතුළු සමාගම් 26 ක් ඊට එකඟ නොවීය. ඒ අනුව ඉකුත් 4 වැනිදා නේපාල රජය එම සමාගම් විසිහයේ කටයුතු නේපාලය තුළ තහනම් කළේය.

මෙයින් එරට  තරුණ පරපුර කෝපයට පත් විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම සමාජ මාධ්‍යයට දැඩිව ඇබ්බැහි වී සිටින ජෙන් සී හා ජෙන් සෙඩ් (Gen Z) යනුවෙන්  හැඳින්වෙන 1997 ත් 2012 ත් අතර ඉපදුණු පරම්පරාව මෙම තීන්දුවෙන් පිස්සු වැටිණි. ඔවුන් චෝදනා කළේ ආණ්ඩුවේ දූෂණ හෙළිදරව්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කළ බවය.

මෙම තර්කය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ. එවැනි අරමුණක්ද නේපාල ආණ්ඩුවට තිබෙන්නට ඇත. ව්‍යාජ පුවත් පැතිරවීම, ජාතිවාදය වැපිරීම  චරිත ඝාතනය කිරීම හා වෛරී ප්‍රකාශන ආදී සමාජ මාධ්‍යවල බහුලව සිදුවන අකටයුතුකම් වළකා ඒවා නියාමනය කිරීමට යැයි කියමින් ශ්‍රී ලංකාවේ පසුගිය ආණ්ඩුව ඉකුත් වසරේ ජනවාරි මාසයේ සම්මත කළ මාර්ගගත ආරක්ෂාව සඳහා වූ පනත සම්බන්ධයෙන් ද මෙවැනිම චෝදනා එල්ල වේ. ඒ ප්‍රධාන වශයෙන්ම එම පනත යටතේ පිහිටුවනු ලබන නියාමනය සඳහා වූ කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසාය. ඔහුට එමගින් සමාජ මාධ්‍ය පාලනය කරීමේ අනියම් බලයක් ලැබෙන නිසාය.

නේපාලයේ මෙම සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ජෙන් සී පරපුර ඉකුත් 8 වැනිදා වීදි බැස්සේය. එම උද්ඝෝෂකයන්ට පොලිසිය වෙඩි තැබීමෙන් 19 දෙනෙක් මුලින් මිය ගියහ. ඒ ගැටුම්වලදී උද්ඝෝෂකයෝ එරට පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුළු රාජ්‍ය සංකේතීය ආයතනවල ගොඩනැගිලි ගිනි තැබූහ. හිටපු අගමැතිවරුන් හා වත්මන් දේශපාලනඥයන් ආදීන්ගේ නිවෙස් ගිනි තැබූහ. හිටපු අගමැතිවරයකුගේ බිරිය පිළිස්සී මිය ගියාය.

දහනව දෙනකුගේ මරණයෙන් පසු රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කළේය. අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්විය. අරගලකරුවන්ගේ ඉල්ලීම පරිදි හිටපු අගවිනිසුරු හා දූෂණ විරෝධියකු ලෙස ප්‍රකට සුෂිලා කාර්කි අගමැති ධුරයට පත්කරනු ලැබුවාය.

ඇතැම් පිරිස් තර්ක කරන්නේ මෙහිදී සැබෑම ජයග්‍රාහකයා සමාජ මාධ්‍ය සමාගම් බවයි. නේපාල ආණ්ඩුව හා ඔවුන් අතර ඇතිවූ ගැටුමේදී ආණ්ඩුවේ අරමුණු කුමක් වුවද ආණ්ඩුවට පසු බසින්නට සිදු වූවා පමණක් නොව එය බිඳ වැටිණි. මෙරට මාධ්‍ය නීති සංසදයේ සභාපති ආචාර්ය විරක්ජන හේරත් මහතා මේ පිළිබඳ ෆේස්බුක් සටහනකින් පවසා තිබුණේ සමාජ මාධ්‍ය නියාමන ක්‍රියාවලියේදී ගෝලීය දකුණේ රාජ්‍ය පද්ධතිය අසරණ වී ඇති බවය. එසේම එය දැවැන්ත සමාගම් කිහිපයක් විසින් මෙහෙයවනු ලබන එක්තරා ආකාරයක ඩිජිටල් යටත් විජිතවාදයක් බවත්ය.

බංග්ලාදේශයේ තරුණ අරගලය නේපාලයේ මෙන් ක්ෂණික ආවේගය නිසා ඇති වූවක් නොවේ. ඊට වෙනත් පසුබිම් කතාවක් ඇත. නැගෙනහිර පාකිස්තානය යනුවෙන් කලෙක හැඳින්වුණු බංග්ලාදේශය 1971 දී පාකිස්තානයෙන් වෙන් වූයේ ඉන්දීය සහාය ඇතිව කරන ලද සන්නද්ධ අරගලයකිනි. මෙම අරගලයට සහභාගි වූවන්ගේ පවුල්වලට රජයේ රැකියාවලින් තුනෙන් පංගුවක් ලබා දීමේ වැඩපිළිවෙළක් 2018 දක්වා ක්‍රියාත්මක විය. පසු කාලයේදී විටින් විට මීට විරෝධය එල්ල විය.

පසුගිය වසරේ මෙම කෝටා ක්‍රමය යළිත් හඳුන්වා දීමත් සමග ජූලි මාසයේද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මෙම ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළහ. ආණ්ඩුව  ආරක්ෂක අංශ යොදා මෙම උද්ඝෝෂකයන්ට පහර දීමත් එහිදී සිසුන් පිරිසක් ඝාතනය වීමත් සමග ඒ වන විටත් දූෂණයට, විරැකියාවට හා ඉහළ යන ජීවන වියදමට එරෙහිව සිටි පිරිස් ද ඊට එක් වූහ. ජූලි 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය රැකියා කෝටා ක්‍රමය විශාල වශයෙන් වෙනස් කළද ඒ වන විට තත්වය පාලනය කළ නොහැකි විය. ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් අගමැතිනි ෂෙයික් හසීනා අගෝස්තු 5 වැනිදා ඉල්ලා අස්වී ඉන්දියාවට පළා ගියාය. ඒ 2022 ජූලි 9 වැනිදා මෙරට අරගලකරුවන් අති විශාල පිරිසක් කොළඹට ගෙන්වා ගත්තාක් මෙන් බංග්ලාදේශ අරගලකරුවන් ද පසුගිය වසරේ අගෝස්තු 5 වැනිදා අතිවිශාල පිරිසක් ධකා අගනුවරට ගෙන්වා ගැනීමත් සමගය.

ඉන්දුනීසියාවේද විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ සිසුන් අතරිනි. ඒ ඉකුත් පෙබරවාරි සහ මාර්තු මාසවලය. ආණ්ඩුවේ වියදම් කප්පාදු කිරීමේ ප්‍රතිපත්තියට හා හමුදාවට දේශපාලන කටයුතුවල දී එක්තරා දුරකට මැදිහත් වීමට ඉඩ දීමේ තීරණයට එරෙහිවය.

එය සති කිහිපයකින් යටපත් වුවද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුපට අමතරව ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ නවයක පමණ) මාසික නිවාස දීමනාවක් දීමට ආණ්ඩුව ගත් තීරණය හෙළිදරව් වීමත් සමග ඉකුත් අගෝස්තු 25 වැනිදා සිසුන් පමණක් නොව වෙනත් පිරිස් ද දේශපාලනඥයන්ගේ දූෂණයට එරෙහිව උද්ඝෝෂණයක් ආරම්භ කළහ. හිටපු ජනාධිපති ජොකොව් විඩෝඩෝගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පවත්වන ලෙස ද ජොකොවිගේ පුත් ගිබ්රාන් රකබුමිං උප ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස ද පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසටද උද්ඝෝෂකයෝ බලකළහ.

ඉකුත් අගෝස්තු 28 වැනිදා ජකර්තා නගරයේදී පොලිස් සන්නද්ධ රථයක් ආහාර බෙදා හරින ටැක්සි රියදුරකු යටකර පලා යාමත් සමග උද්ඝෝෂණ ප්‍රචණ්ඩ අතට හැරිණි. මුදල් ඇමැතිනියගේ නිවස ඇතුළු දේශපාලනඥයන් ගණනාවකගේ නිවාස ප්‍රහාරයට  ලක්විය. කොල්ලකෑම් ගිනිතැබීම් විශාල වශයෙන් සිදුවිය. උද්ඝෝෂණය යටපත් කිරීමට ඉන්දුනීසියාවේ වසන චීන ප්‍රජාවට එරෙහිව ජාතිවාදය ඇවිළවීමට බලධාරීන් කළ උත්සාහය අසාර්ථක විය.

අවසානයේ දී මුලින් අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස  හැඳින්වූ ජනාධිපති පුබොවෝ සුබියන්කෝ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන්නටත් විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉවත් කිරීමටත් අගෝස්තු 31 වැනිදා පොරොන්දු විය. එහෙත් එරට ප්‍රාන්ත 32 ක තවමත් උද්ඝෝෂණ පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ 2022 ‘අරගලය’, 2024 බංග්ලාදේශ විරෝධතා මේ වසරේ ඉන්දුනීසියා හා නේපාල විරෝධතා ව්‍යාපාර යන හතරේම බොහෝ සමානතා ඇත. මේ හතරම තරුණ තරුණියන්ගේ අරගලයි. ඒවායින් බංග්ලාදේශයේ හා නේපාලයේ අරගල ආරම්භ වූයේ ළාබාල තරුණයන්ගේ විරෝධතා ලෙසයි.

මෙම දකුණු ආසියානු රටවල් හතරේම විරෝධතාවලට මූලික වශයෙන්ම බලපෑවේ දේශපාලනඥයන්ගේ දූෂණ හා ආර්ථික වශයෙන් ඇති වූ පීඩාවයි. ඒවා නිසා  ජනතාව යටපත් කරගෙන සිටි කෝපය පුපුරා ගොස් තිබුණේ අරගලයේ ආරම්භකයන්ට සමීපව දැනුණු කාරණා නිසාය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් වසරක් තුළදී තුන් ගුණයකින් බඩු මිල ඉහළ ගොස් පීඩා විඳිමින් සිටි ජනතාවට විශේෂයෙන්ම නාගරික මධ්‍යම පන්තිය පැය 13ක් විදුලි කප්පාදුව නිසා වියරු තත්වයට පත් විය. අරගලය පුපුරා ගියේ එතැනිනි.

පසුගිය වසරවල බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය පිළිබඳ බොහෝ වාර්තා පළ වුවද ඉන් ප්‍රතිලාභ ලැබුවේ සමාජයේ එක් කොටසකි. විරැකියාව සාමාන්‍ය සෑම පවුලකටම තදින් දැනුණු අතර 2018 දී අහෝසි කරන ලද රැකියා කෝටා ක්‍රමය යළිත් හඳුන්වා දීම තරුණ කෝපය පුපුරා හරින්නට සමත්විය. ශ්‍රී ලංකාවේ දී මෙන්ම මෙසේ අරගලය ආරම්භ වූ පසු යටපත්ව තිබූ දූෂණය හා සමාජ අසමානතාව ඉදිරියට විත් අරගලයේ ප්‍රධාන තේමාව  බවට පත්විය. කෝටා ක්‍රමය විශාල වශයෙන් වෙනස් කිරීම නිසා ප්‍රයෝජනයක් ඇති නොවීය.

පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ ද විරෝධතා පුපුරා ගියේ මන්ත්‍රීවරුන්ගේ අදහාගත නොහැකි නිවාස දීමනා නිසාය. එම දීමනා විශාල වශයෙන් අඩු කර ඇතත් දූෂණය රාජ්‍ය හා වියදම් කප්පාදුව ප්‍රධාන මාතෘකාව බවට පත්වී අරගලය ඉදිරියට ඇදගෙන යයි.

නේපාලයේ ගිනි පුපුර වූයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමයි. තහනම ඉවත් කරනු ලැබුවද  ඒ වන විටත් දූෂණය හා සමාජ අසමානතාව කරළියට පැමිණ ආණ්ඩුවේ අවසානය ඉල්ලා සිටින්නට විය. රටවල් හතරේම දේශපාලනඥයන්ගේ නිත්‍යනුකූල සම්පත් කොල්ලය දැඩි ලෙස විවේචනයට ලක්විය.

රටවල් හතරේම අරගලකරුවෝ අරගලය කැඳවීමටත් පැතිරවීමටත් සටන් පාඨ ගොඩ නඟා ගැනීමටත් සමාජ මාධ්‍ය යොදා ගත්හ. වෙනෙකක් තබා නේපාලයේ උද්ඝෝෂකයෝ අන්තර්කාලීන අගමැති වශයෙන් සුෂිලා කාර්ති පත්කර ගැනීමේ දී ඩිස්කෝඩ් නමැති යෙදවුම ඔස්සේ ඔවුන් අතර ඡන්ද විමසීමක් කළ බවද එක් වාර්තාවක පළවිය. මෙහිදී සමාජ මාධ්‍ය සන්නිවේදයකු, ප්‍රචාරකයකු හා සංවිධායකුගේ කාර්ය භාරය ඉටු කර ඇත.

රටවල් හතරේම අරගලවල කේන්ද්‍රිය නායකත්වයක් දක්නට නොලැබිණි. ඊට ප්‍රධාන හේතුව වූයේ ඒවා විධිමත් සංවිධානයකින් සංවිධානය කෙරෙන්නේ නැතිව ස්වයං සිද්ධව පැන නැඟීම නිසාය. ඒ නිසාම මෙම අරගල හතරම මූලික වශයෙන් නිර්දේශපාලනික විය. එතුළ විවිධ දේශපාලන දහරාවන් ක්‍රියාත්මක විය.

යම් නිශ්චිත සිද්ධියක් හෝ ප්‍රශ්නයකින් ස්වයං සිද්ධව පැන නැගුණ මෙම අරගල දූෂණ විරෝධි අරගලයක් බවට පත්ව ඉන්පසු රාජ්‍ය පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තැනට වර්ධනය විය. ඉන් රටවල් තුනක (ඉන්දුනීසියාව හැර) ඒ පාලන වෙනස සිදු වී ඇත. එයින්ද ස්ථාවරව මැතිවරණයකින් බලය වෙනස් වූයේ ශ්‍රී ලංකාවේ පමණි. බංග්ලාදේශයේ හා නේපාලයේ පත් වූයේ අන්තර්කාලීන නායකත්වයකි.

රටවල් හතරේම අරගලකරුවන්ට නිශ්චිත දේශපාලන ඉලක්කයක් නොවීය. එහෙයින් පාලකයා ඉවත්විය යුතු යැයි බල කර ඔහු හෝ ඇය ඉවත් වූ පසු කරන්නේ කුමක්දැයි ඔවුන් තුළ අවබෝධයක් නොවීය.

ශ්‍රී ලංකාවේ පමණක් අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් අරගලයෙන් වසර දෙකකට පසු හිටපු පාලකයන්ට වඩා වෙනස් යැයි සිතිය හැකි පාලනයක් බිහිව ඇත. බංග්ලාදේශයේ හා නේපාලයේ බලය වෙනස් වුවද ඉදිරිය පැහැදිලි නැත. ඉන්දුනීසියාවේ බලය වෙනස් වේද යන්න ද තවමත් පැහැදිලි නැත.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

ආසියාවම හොල්ලන අරගල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 769 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 335 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site