IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ආර්ථිකයේ අනාගත අභියෝග

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තියුණු ජයග්‍රහණයක් අත් කරගෙන මේ වන විට වසරක් ගෙවී අවසන්ය. 2019 ජනාධිපතිවරණයේ දී සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමෙන් පසුව ඊළඟට එළැඹෙන පළමු මැතිවරණයෙන්ම ආන්දෝලනාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වීම සුවිශේෂි කාරණයකි.

මෙලෙස, මෙරට නව වැනි විධායක ජනාධිපති වශයෙන් තේරී පත් වන අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන උදෙසා ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වේ.

කවුරුත් දන්නා පරිදි වර්තමාන ජනාධිපතිවරයා බිහි වන්නේ මෙරට ආර්ථිකය ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුතම පසුබෑමෙන් පසුවය. ඒ අනුව, මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීම බෙහෙවින්ම අභියෝගාත්මක කාරණයක් බවත් නව රජයේ ආර්ථික ගමන් මග පිළිබඳ පුරෝකථන ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් තවම ගත නොවූ බවත් පළමු කොටම සඳහන් කළ යුතුය. කෙසේ වුවත් අප හඳුනාගත් යම් සාධනීය මෙන්ම සාධනීය නොවන ලක්ෂණ ද වර්තමාන රජයෙන් පිළිබිඹු වන බව කිව යුතුය.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරෙන් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ද මොහුය. ”‍පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්”‍ යනුවෙන් නම් කර තිබූ එහි අංශ කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන වෙනස්කම් සඳහන් කර තිබුණි. ඒ අතරින් මෙරට ආර්ථිකයට ඍජුව හෝ වක්‍රව බලපෑම් කළ හැකි අංශ කෙරේ මා විසින් මෙම ලිපියේ දී අවධානය යොමු කර ඇත.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබඳ පළමුවෙන් අවධානය යොමු කළහොත් මීට දින කිහිපයකට පෙර ගැසට් කරන ලද 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත නිරීක්ෂණයට ලක් කිරීම වැදගත් ය. මෙය වර්තමාන රජයේ දෙවැනි අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳ සංසන්දනාත්මකව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ 2026 වසරේ ඇස්තමේන්තු ගත රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් වන අතර එය පසුගිය අයවැය ලේඛනයේ රුපියල් බිලියන 4,218 ක් විය. ඉදිරි වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණය මුදල් අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර එම මුදල රුපියල් බිලියන 634 කි. එය පසුගිය අයවැයේ දී රුපියල් බිලියන 714 ක් විය. 2026 වසර තුළදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618 ක් වෙන් කර තිබීම සාධනීය කරුණකි. එසේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා ද රුපියල් බිලියන 596 ක වැය ශීර්ෂයක් වෙන් කර ඇත. සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 554 කි. එය පසුගිය අයවැය තුළ රුපියල් බිලියන 507 ක් විය. පසුගිය අයවැයේ රුපියල් බිලියන 2.8 ක් වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස වෙන් කර තිබූ මුදල මෙවර විසර්ජන පනත් කෙටුම්පත තුළ රුපියල් බිලියන 11 ක් දක්වා වර්ධනය වී ඇත. මූලික වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 8.29 ක මුදලක් වෙන් කර තිබීම මෙම වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී ඇත. කෙසේ වෙතත් මෙම වැය ශීර්ෂය යටතේ වෙන් කළ මුදල පසුගිය රජයේ අවසාන අයවැයේ සටහන් වූයේ රුපියල් බිලියන 35.2 ක් ලෙසය.

කෙසේ වුවත් ඉදිරි අයවැයේ ද අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සටහන් වන්නේ රුපියල් බිලියන 301 ක් ලෙසය. එය පසුගිය අයවැයේ රුපියල් බිලියන 271 ක් පමණක් විය. ඉන් පෙර වසරවලදී ද එය පිළිවෙළින් රුපියල් බිලියන 239 ක් හා රුපියල් බිලියන 232 ක් විය. වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීමේ දී ප්‍රධාන ප්‍රචාරණ මෙවලමක් ලෙස භාවිත කළ අධ්‍යාපනය කෙරේ ඔහු බලයට පැමිණීමෙන් පසු ද එවන් වටිනාකමක් ලබා දෙනවා දැයි යන ගැටලු‍ව මේ සමග මතු වේ. පෙර වසරවලට සාපේක්ෂව අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කළ ද එය පොදු මහජනතාව අපේක්ෂා කළ මට්ටමේ වර්ධනයක් නොවේ. 2025 අයවැය සහ 2026 විසර්ජන පනත් කෙටුම්පත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ සමාජ ආර්ථික වශයෙන් බලපෑමක් කෙරෙන සෙසු අංශ කෙරේ දක්වන අවධානය අධ්‍යාපනය කෙරේ වත්මන් රජය තුළ නොමැති බවයි. මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද රටම අවධානය යොමු කර ඇති නමුත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබඳ සැකයක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර පවතී. එමෙන්ම, පොරොන්දු වූ පරිදි ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා තවමත් ඉවත් කර නොමැති අතරම පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද තවමත් ගෙන නොමැත. මීට අමතරව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වනවිට පවත්නා ආචාර්යවරුන්ගේ හිඟය මෙරට මධ්‍ය හා දිගුකාලීන ආර්ථික සංවර්ධනය කෙරේ ප්‍රබල අභියෝගයකි. පසුගිය ආණ්ඩු ක්‍රියාත්මක කළ අදුරදර්ශි ප්‍රතිපත්ති හේතුවෙන් වර්ධනය වූ බුද්ධි ගලනයෙන් මෙරට තුළ වැඩිම පීඩනයට ලක් වූ ක්ෂේත්‍රය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රය යි.

නව රජය බලයට පැමිණීමත් සමග මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය යථා තත්වයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි විශ්වාසයක් පැවැතියත් මේ වන විට තත්වය තිබුණාටත් වඩා තීව්‍ර වී ඇත. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වසරින් වසර ඉහළ යද්දී ඔවුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ සේවය කරන ආචාර්යවරුන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී. මේ හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට පවතින්නේ විශාල අවදානමක බව පැහැදිලිය.

එමෙන්ම ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම කාලීන වශයෙන් ගත් වැදගත් තීරණයක් වන නමුත් එම තීරණය නිසි තාක්ෂණික ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක වී නොමැති බව පැහැදිලිය. නිසි අධ්‍යයනයකින් තොරව සිදු කරන ලද මූලික වැටුප් සංශෝධන හේතුවෙන් මේ වන විට රාජ්‍ය සේවය තුළ වැටුප් විෂමතා අලු‍තෙන් නිර්මාණය වී ඇත. එම විෂමතා ඉවත් කිරීමේ දී නැවතත් රාජ්‍ය මූල්‍ය මත අමතර පීඩනයක් ඇති වන බව සැබෑවක් නමුත් අදාළ ක්ෂේත්‍රවල සුමට ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට නම් එම අදාළ නිවැරැදි කිරීම් කඩිනමින් සිදු විය යුතුය.

රැකියා විරහිත උපාධිධාරීන් 35,000 කට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබාදෙන බවට වූ පොරොන්දුව තවමත් ඉටු වී නොමැත. අයවැය මත පීඩනය අවම වන අයුරින් ප්‍රමුඛතා පදනම මත අදාළ උපාධිධාරීන් පුරප්පාඩු සහිත ක්ෂේත්‍රවල සේවා නියුක්ත කළ යුතුය.

2026 විසර්ජන පනත් කෙටුම්පතෙන් හෙළිවන කරුණු එසේ සඳහන් කරන අතරම පසුගිය දා ලෝක බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ කරන ලද කරුණු දැක්වීමට අනුව මෙරට සිය ආර්ථිකය ස්ථාවර කිරීමේ දී කැපී පෙනෙන ප්‍රගතියක් ළඟා කරගෙන ඇත. 1980 සිට ලොව පුරා රටවල් ගත් මේ හා සමාන ප්‍රයත්න හා සසඳන විට ශ්‍රී ලංකාවේ ගමන්මග ඉතා වේගවත් එකක් බව ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නවතම ලෝක බැංකු සමාලෝචනයෙන් කියවෙන්නේ මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්වයට පත්ව ඇති බවයි.

එසේම වර්තමාන ජනාධිපතිවරයා විදේශ සමග පවත්වාගෙන යන සබඳතා ද ඉතා සාධනීය මට්ටමක පවතින බව කිව යුතුය. රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී, විවිධ අංශ ඔස්සේ විදේශ සමග ඇති කර ගන්නා ගිවිසුම් අතිශය වැදගත් සාධකයකි. පසුගිය දා ඉන්දියාව සහ මෙරට අතර හුවමාරු වූ අවබෝධතා ගිවිසුම් හරහා මෙරට විදේශ සබඳතාවල සාධනීය පැතිකඩ පෙන්නුම් කරන අතර එය මෙරට ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය උදෙසා ධනාත්මකව භාවිත කිරීම ඊළඟ අභියෝගය යි. මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් හතක් හුවමාරු කර ගැනුණි. එහිදී බලශක්ති හුවමාරු ගිවිසුම යටතේ මෙරට නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය ඉන්දියාවට අපනයනය කිරීමටත්, බිම්ස්ටෙක් කලාපයේ රටවල්වලට අපනයනය සඳහා ප්‍රවේශය ලබා ගැනීමටත් හැකිවීම මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ඔස්සේ ආර්ථික වශයෙන් ලාබ ඉපයීමේ මාර්ගයක් ලෙස හඳුනා ගත හැකිය.

එසේම එහිදී ඇති කරගත් ඩිජිටල් සහයෝගිතා ගිවිසුම හරහා මෙරට ඇති කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා සැලකිය යුතු සහයෝගයක් ලබා ගැනීමට හැකි වීම වැදගත් ය. එසේම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති කරගත් ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම ද වැදගත් ය. ඒ තුළින් දිරාපත් වෙමින් පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 85 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කර ගබඩා පහසුකම් ඇති කිරීමට අපේක්ෂා කරයි. මීට අමතරව නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සඳහා කෘෂි කාර්මික, අධ්‍යාපන, ධීවර, සෞඛ්‍ය ආදී ව්‍යාපෘති 33 කට රුපියල් කෝටි 240 කට ආසන්න ආධාර මුදලක් ද දීමට එකඟ වී ඇත.

ඖෂධ නියාමන සහයෝගිතාව, සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම සහ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම හරහා ද ඍජු මෙන්ම වක්‍ර ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගැනීමට මෙරටට හැකියාව පවතී. තවද සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් සංකේතාත්මකව ආරම්භ කළ අතර එය සාම්පුර්හි අක්කර 500 ක් පුරා පැතිරෙන මෙගාවොට් 50 ක විදුලිබලය නිෂ්පාදනය කෙරෙන ව්‍යාපෘතියකි.

සමස්තයක් ලෙස ගත් විට පෙනී යන්නේ වර්තමාන ජනාධිපතිවරයා තේරී පත් වී වසරක කාලයක් තුළ ආර්ථික වශයෙන් වැදගත් වන අභියෝගාත්මක විදේශ ගිවිසුම් කිහිපයකටම එළැඹ තිබීමත් රාජ්‍ය මූල්‍යකරණය තුළ ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට උත්සාහ දැරීමත් නාස්තිය අවම කිරීමත් වැනි සාධනීය ලක්ෂණ මෙන්ම, නිසි අධ්‍යයනයකින් සහ තාක්ෂණික ක්‍රියාවලියකින් තොරව ගනු ලබන තීරණ සහ අධ්‍යාපනය වැනි අතිශය සංවේදී ක්ෂේත්‍ර කෙරේ දක්වන අවම සැලකිල්ල හේතුවෙන් හටගත් ගැටලු‍ ආදී සාධනීය නොවන ලක්ෂණ ද හඳුනාගත හැකි බවයි.

(***)



අදහස් (0)

ආර්ථිකයේ අනාගත අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site