IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ආණ්ඩුව ඇතුළේ ගැටුම්වලින් රටට ජනතාවට පළක් නෑ

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ආණ්ඩුව ඇතුළේ රැඳී සිටිමින් ආණ්ඩුවේ තීරණයකට එරෙහිව එළිපිට සටනකට අරඅඳින බව මේ දිනවල මාධ්‍යවලින් කියවෙයි. එම හවුල්කාර පක්ෂ දහයේ නායකයන් විසින් තම විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක්ද සංවිධානය කර ඇත. එය සිකුරාදා සවස් භාගයේ පැවැත්විණි.

ආණ්ඩුව ඇතුළේ පක්ෂ 10ක් මේ ආකාරයට අභ්‍යන්තර යුද ප්‍රකාශ කිරීමක නිරතව සිටින්නේ කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි. මේ තීරණය පිළිබඳව පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය බ්‍රහස්පතින්දා (28) පැවති රැස්වීමද එකඟතාවකින් තොරව අවසන් වී තිබිණි. එහිදී ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම විසඳාගන්නා ලෙස ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.
පක්ෂ ගණනාවකින් යුත් හවුල් ආණ්ඩුවක මතභේද හටගැනීම අමුත්තක් නොවේ. එය ස්වාභාවික සංසිද්ධියකි. එහෙත් එම මතභේද ආණ්ඩුව ඇතුළේ සාමූහික වගකීමේ රැහැන් කඩා බිඳ දමමින් එළිපිට ගැටුම් ඇතිවීම ආණ්ඩුවේම ප්‍රතිරූපයට කැළලකි. එය ආණ්ඩුව පිළිබඳ මහජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ දැමීමකි. මේ ආකාරයේ අවිනිශ්චිතභාවයක් හටගැනීම ආණ්ඩුවේ පැවැත්ම බරපතළ අභියෝගයකට ඇද දැමීමක් බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

කැබිනට් මණ්ඩලයක් තුළදී සාකච්ඡා විය යුතු කරුණු එළිපිට මහජන සභාවලදී මුළු දෙන විට ඕනෑම ආණ්ඩුවක රෙදි ගැලවෙන බව සියලු දෙනා විසින් අවබෝධ කරගත යුතුය. වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් හිමිය. එවැනි බලවත් ආණ්ඩුවක් ඇතුළේ කැබිනට් ඇමැතිවරුන් තිදෙනෙකුද ඇතුළු පක්ෂ නායකයන් 10 දෙනකු ආණ්ඩුවේ තීරණයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම රටේ ජනතාව තුළ ඇති කරන්නේ බලවත් අවිනිශ්චිතභාවයකි. ජීවන වියදමේ බරින් මිරිකෙමින් සිටියදී මෙවැනි ගැටලු ඇතිවීම රටේ ජනතාව රුස්සන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ කල්ලිගැසීම් පිළිබඳ නාට්‍ය දර්ශන නැරඹීමට නොව තමන්ගේ ගැටලුවලට පිළිතුරු සෙවීමට උනන්දු වන ආණ්ඩුවකි. මහ මැතිවරණයේදී බලය ලබාගත්තේ ජනතාවගේ ගැටලු විසඳීම පැත්තකට දමා තමන්ගේ ගැටලු විසඳා ගැනීමට නොවන බව ආණ්ඩුවේ නායකයන් සේම හවුල්කාර පක්ෂවල නායකයන්ද දැනගැනීම වැදගත්ය.

ආණ්ඩුව ඇතුළේ මෙවැනි ප්‍රතිවිරෝධී තත්ත්වයක් හටගත්තේ ඉහළම බලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණවලදී සෙසු අයගේ අදහස්වලට කන්නොදීම හේතුවෙන්දැයි යන සැකයද මෙහිදී හටගනියි. විශේෂයෙන් කැබිනට් මණ්ඩලය ඇතුළේ ආණ්ඩුවේ සියලු යෝජනා සාකච්ඡා කොට තීරණවලට එළඹීම සිදුවිය යුත්තකි. එහෙත් යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය එසේ සාකච්ඡා නොවූ බවත් තමන් ඒ සම්බන්ධයෙන් සිටින්නේ අඳුරේ බවත් හවුල්කාර පක්ෂ 10ක නායකයන්ගේ මතය වී තිබිණි. ඔවුන් එළිපිට සටනට අවතීර්ණ වී සිටින්නේ ඒ හේතුවෙන් බව සිතාගැනීම අපහසු නැත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ නායකයන් පමණක් නොව සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර වැනි රාජ්‍ය ඇමැතිවරුන්ද පසුගිය දිනවල ආණ්ඩුවේ ඇතැම් තීන්දු සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි. සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති විවාදයකදී තදින් කතා කරමින් ජනතාව තමන් පත් කර ඇත්තේ සිග්නල් කණු වීමට නොවන බව ප්‍රකාශ කළේය. ඔහු එහිදී මතුකර තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙනි. එම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදුවීම ඔහුගේ විරෝධයට හේතු වී තිබිණි. නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් නිසි පරිදි දැනුවත් නොකර ඇති බවත් මේ කතාවෙන්ද ගම්‍ය වෙයි.

මේ රටේ බොහොමයක් විෂය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති නොතිබීම මේ වැනි ආණ්ඩු ඇතුලේ ගැටුම් ඇතිවීමට මූලික හේතුවකි. විදෙස් ආයෝජන සම්බන්ධයෙන් දේශපාලනයෙන් තොර ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් රටට තිබුණා නම් යුගදනවි හෝ වරායේ පර්යන්ත හෝ විදෙස් ආයෝජකයන් සමග ගිවිසුම්ගත වන විටදී ඒවා ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව සිදුවීදැයි යන්න පරීක්ෂා කර බැලීම ආණ්ඩුවේ සියලු හවුල්කාර පක්ෂවලට අපහසුවක් වන්නේ නැත. එහෙත් රටේ සංවර්ධනයට අවශ්‍යම වන ගිවිසුම්වලට පවා ජාතික ප්‍රතිපත්තියක් හෝ නොමැති තත්ත්වයක් තුළ කැබිනට් මණ්ඩලයද නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව තීන්දු ගැනීම් සිදුවන්නේ නම් මෙවැනි පරස්පරතා ඇතිවීම කිසිම ආණ්ඩුවකට වළක්වාගත නොහැකි වනු ඇත.

(***)

 



අදහස් (0)

ආණ්ඩුව ඇතුළේ ගැටුම්වලින් රටට ජනතාවට පළක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site