IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර දර්ශනයට යළි පණ දෙමු

අද 23 වැනිදාට යෙදෙන කන්නන්ගර දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.

මම සහ මධ්‍ය විද්‍යාලය.

මම මධ්‍ය විද්‍යාල ශිෂ්‍යයකු වීම ගැන නිරන්තරව ම කන්නන්ගර ශ්‍රීමතාණන්ට මගේ හද පිරි බුහුමන පිරිනමන්නෙමි.  1972 වසරේ ප්‍රේමදාස උඩගම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අකුරැස්ස, පෝරතොට ප්‍රාථමික විද්‍යාලයේ සිට ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ පරීක්ෂණයෙන් සමත්ව මම තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමි.  එය මා ලද පෙර පිනක් සේ සලකන අතර  කීර්තිමත් ගුරු මඬුල්ලක් යටතේ සියලු දියුණු පහසුකම් යටතේ අප එකල මෙම පාසලෙහි ගතකළ ජීවිතය ජීවිතයේ සොඳුරුතම කාලයක් සේ කල්පනා කරමි.  සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය විසින් පළකරනු ලබන කන්නන්ගර සමරු කලාපයට කෙටි සටහනක් එකතු කරන්නේ එතුමාණන් පිළිබඳ මහත් බැතියෙනි.

 

නිදහස් අධ්‍යාපනයේ ආරම්භය

ලංකාවේ සම්භව්‍ය අධ්‍යාපනයේ ආරම්භය පුරාණ යුගය දක්වා දිවෙනු ඇත.  මහින්දාගමනය එහි සුවිශේෂී සන්ධිස්ථානයයි.  ඉන්පසු ඇති වූ මහා විහාරය ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයකි.  එහි අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයයි.  ගුරු භවතුන් උගත් ධර්මධර යතිවරයන් වහන්සේලා වූ අතර මේ අධ්‍යාපනය කෙතරම් උසස් මට්ටමේ පැවතියා ද යන්න පෙන්වා දෙන ප්‍රධාන නිදසුන් දෙකක් පමණක් දක්වමි.

 

1.  හෙළටුවා සාහිත්‍යය

2.  බුද්ධඝෝෂ හිමියන් ගේ ලංකාගමනය

හෙළටුවා යනු පාලි ධර්මය වෙනුවෙන් දේශීය භාෂාවෙන් සකස් වූ අර්ථ වර්ණනා ය.  මේවා අපේ අදීන සාහිත්‍ය මාර්ගය පෙන්වා දෙන නිදසුන් ය.  බුද්ධ වචන පහදන්නට එකල උගතුන් භාවිත කළ විශ්ලේෂණ ක්‍රමවේද අතිශයින් දියුණු විය.  ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය ග්‍රන්ථයෙහි දක්වා හෙළටුවා ග්‍රන්ථ 23ක් පැවති බවත් ඒවා සාරගර්භ සාහිත්‍යයක් විය හැකි බවත්ය.  එවන් අදීන නිර්මාණ බිහි වීමට පැරණි ලංකාවේ පැවැති නිදහස් අධ්‍යාපනය හේතු විය.

දෙවනුව එවකට ඉංදියාවේ විසූ බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ මෙම හෙළටුවා සොයා අනුරාධපුර මහා විහාරයට පැමිණීමත් ඒවා පාලි භාෂාවට පරිවර්තනය වීමත්,  එම පාලි අටුවාවන් ලෝකයේ වෙනත් රටවලට හඳුන්වා දීමත් පෙන්වා දෙන්නේ පුරාණ අනුරාධපුර කාලයේ ම ශාස්ත්‍රීය අංශයෙන් අප ලබා තිබූ දියුණුවයි. 

මේ හැර සීගිරි කුරුටු ගී ලියූ කවියන් බිහි වූයේ ද, සකු බසින් පැවැති කාව්‍යාදර්ශය සියබස්ලකර ලෙස සිංහලයට සකස් කිරීමට දක්ෂ II වන සේන වැනි රාෂ්ට්‍ර පාලක බහුශ්‍රැතයන් වාසය කළේත් මෙම යුගයේ පැවැති නිදහස් අධ්‍යාපනයේ මහිමය නිසාය.  අබා සලමෙවන් මහ කසුප් රජාණන් පාලි ධම්ම පදට්ඨ කථාව ඇසුරින් දම්පිය අටුවා ගැටපදය ලියන්නට දැනුම නිෂ්පාදනය වූයේ අපේ ම අධ්‍යාපනයෙනි.  අමාවතුර, බුත්සරණ ලියන්නට මනරම් බසක් භාවිත කරන්නට ගුරුළුගෝමීට, විද්‍යාචක්‍රවර්තීන්ට හැකි වූයේ ඔවුන් අදීන උගතුන් වූ නිසාවෙනි.  විසුද්ධිමාර්ග සන්නස, කව් සිළුමිණ ලියන්න දෙ වන පණ්ඩිත පරාක්‍රමබාහු මෙහෙය වූ බලවේගය කවරක් ද, දියුණු අධ්‍යාපනයක මහිමයයි.  

මෙලෙස 1505 නැතහොත් 15 වැනි සියවස දක්වා ම ලංකාව පුරා පැවැති පාරිවේණික ජාතික අධ්‍යාපන ආයතන, අධ්‍යාපන සංකල්ප, විශිෂ්ට ගුරු භූමිකා ආදිය පෙන්වා දෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පරම අයිතිය බුක්ති විඳි ලොව ඉපැරණි ම ජාතිය ශ්‍රී ලාංකේය  සිංහලයන් බවයි.  එහි වැදගත්කම වන්නේ එම අධ්‍යාපනය නව දැනුම නිෂ්පාදනය කිරීමත් එම දැනුමින් විස්මිත නිර්මාණ කරන්නට පුරාණ හෙළයන්ට ලද ශික්ෂණයයි.  වැව් අමුණු වෙහෙර විහාර අපට පෙන්වා දෙන්නේ ඒ උරුමයයි.

ජාතික අධ්‍යාපනය විජාතික වීම

15 වැනි සියවසින් පසු අප මුහුණ දුන් විජාතිකකරණයේ බිහිසුණුම විනාශය ඇති කළේ‘ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළය.  බටහිරයන් ගේ අවශ්‍යතා සපුරන ඔවුන්ගේ ආගමික, වෘත්තික, සාමාජික අවශ්‍යතා ඉටුකර ගන්නා පරගැති අධ්‍යාපන ක්‍රමයක් 16 වැනි සියවසින් පසු ලංකාවේ ඇති වූ ආකාරය අපට දැකිය හැකිය.  පල්ලිය කේන්ද්‍ර කළ මෙම මිෂනාරි අධ්‍යාපනය  උතුරු පළාත කේන්ද්‍ර කරමින් ලංකාවේ සියලු ප්‍රධාන නගර ආශ්‍රිතව ව්‍යාප්ත කළේය.  රජයේ තනතුරු ලබා ගැනීම අරමුණින් මිෂනාරි අධ්‍යාපනයට යොමු වූ ජනතාව නිසා පාරිවේණික අධ්‍යාපන ක්‍රමය මුළුමණින් ම බිඳ වැටුණි. 

මිෂනාරි පාසල් ආගමික සංවිධාන විසින් පවත්වා ගෙන ගිය අතර එහි අධ්‍යාපනය මුළුමණින් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු විය.  ඒවායේ ප්‍රධානීන් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලීය උගතුන් වීම නිසා එංගලන්තයේ පාසල් ආකෘතියට අනුව එම පාසල් සහ ඉගැන්වීමේ ක්‍රම සංවිධානය විය.  විභාග ක්‍රමය කේම්බ්‍රිජ් විභාග කේන්ද්‍ර කොට සැකසුණි.  ක්‍රීඩා ආදී විවිධ විෂයයන්ට මෙහි ප්‍රධාන පහසුකම් සංවර්ධනය කෙරිණි.  ක්‍රිකට් වැනි ආගන්තුක ක්‍රීඩා සමාජගත වූයේ මෙම පසුබිමේ ය. නීතිය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු ශිල්පය හා රාජ්‍ය පරිපාලනය වැනි විෂය ක්ෂේත්‍ර ද අධ්‍යාපනයට එකතු වීය. 

එහෙත් වෝල්ටර් සෙන්ඩල්, රොබර්ට් බ්‍රිජ් ඇතුළු ඉංග්‍රීසි අධ්‍යාපනඥයන් ගේ මතය වූයේ බැහැරින් එක් වූ මෙම අධ්‍යාපනය ලංකාවට නොගැළපෙන බවයි.  වෝල්ටර් සෙන්ඩල් ගේ අදහස වූයේ කාර්යාල දොරටු අසල රැකියා බලාපොරොත්තුවෙන් රැඳී සිටින පුහුණු කළ පිරිසක් මෙම අධ්‍යාපනයෙන් ගොඩ නැගෙන බවයි.  අධ්‍යාපන පටිපාටිය ලාංකේය දරුවාගේ අධ්‍යාපනික අවශ්‍යතාවලට අනුකූල වන පරිදි සකස් කිරීම වැදගත් බව රොබර්ට් බ්‍රිජ් පෙන්වා දුන්නේය.  ලංකාවේ සිංහල හා දෙමළ දරුවන් බුද්ධි හීනයන් බවට මෙම අධ්‍යාපනයෙන් පත්වන බව ද ප්‍රකාශ වී තිබුණි.

බර දරාගත නොහැකි දෙමාපියෝ දරුවන් බිහිකිරීම පවා වළකා එක දරුවෙකු වෙනුවෙන් ජීවිතයේ සියල්ල කැප කරති. එයින් ජාතියද වඳ වීමේ බරපතළ කුමන්ත්‍රණයක අපි පැටලී සිටිමු.

මේ සියල්ල තුළින් ජාතියත් මෙම උතුම් දේශයත් බේරා ගැනීමේ පිළිරූ තනා වඳින කන්නන්ගර ශ්‍රීමතාණන්ට එයින් මිදී ජීවය ලබා නැගිටින්නට අපි ප්‍රාර්ථනා කරමු.

 

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ

සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන

මහාචාර්ය අගලකඩ

සිරිසුමන නාහිමි



අදහස් (0)

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර දර්ශනයට යළි පණ දෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site