IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අස්ගිරි මහ වෙහෙරේ ප්‍රබුද්ධයාණෝ

ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද 24 වැනිදා පස්වරු 2.30ට මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර අස්ගිරි මහා විහාරයීය අවිච්චින්න භික්ෂු පරපුරේ තිස්තුන් වැනි අනුනායක මාහිමිපාණන් වහන්සේ වූයේ අධ්‍යාපනපති අතිගෞරවාර්හ ආණමඩුවේ ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන අනුනාහිමිපාණන් වහන්සේය.

උන්වහන්සේ මෙකල සම්බුදු සසුනත් බෞද්ධ අධ්‍යාපනයත් ඒකාලෝකවත් කළ සුපේශල ශික්ෂාකාමී ව්‍යාක්ත විශාරද බහුශ්‍රැත සංඝ නේතෘන් වහන්සේ කෙනෙක් වූහ. කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ධුරයත් ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධුරයත් ආණමඩුවේ ධම්ම දස්සි නායක මාහිමිපාණන් වහන්සේ විසින් දරන ලද ඉතාම උතුම් තනතුරු වෙයි.

මේ සියල්ලට වඩා දස වසක් පුරා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උතුම් අනුනාහිමි පදවියක් හොබවමින් සම්බුද්ධ ශාසනයට ඉටුකළ මහා නිහතමානී මෙහෙවර මේ මොහොතේ ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. එවන් උතුම් යතිවරයන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව ශ්‍රී සම්බුද්ධ ශාසනයට දරාගත නොහැකි පාඩුවකි පිරවිය නොහැකි හිඩැසකි. මෙවැනි ධර්මධර වියත් මහ යතිවරුන් අකාලයේ නික්ම යෑමෙන් සම්බුද්ධ ශාසනයට සිදුවන්නේ සුවිශාල මහා පාඩුවකි. .එය කිසිදා පිරිමැසිය නොහැකි වන්නේ නායකයන් එක දවසින් නිර්මාණය කළ නොහැකි බැවිනි.

කීර්තිමත් මහා යතිවරයකු වූ අපේ ආනමඩුවේ නාහිමියන්ට ජන්මලාභය ලබන්නට පසුබිම සැපයූයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව නම් දුෂ්කර ගම් ප්‍රදේශයයි.

මෙහි විසූ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණා පියාණන් වහන්සේට දාව අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේ මෑණියන් 1958 සැප්තැම්බර් තුන්වැනිදා උන්වහන්සේ මෙලොවට බිහි කළාය.

 ගිහි නම වූයේ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණාය. ආණමඩුව මහා විද්‍යාලයෙන්ද කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය සපුරා ගත් උන්වහන්සේ තම පියාගෙන් ලද බලපෑම ද පදනම් කර 1976 මැයි 19 දා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ සිටි උඩුගම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ සහ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතන ජෝති මාහිමියන්ගේ. ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වී වදාළහ.

මූලික භික්ෂු අධ්‍යාපනය කොළඹ හුණුපිටියේ ගංගාරාම පිරිවෙනින් ලද අප නාහිමියෝ. 1979 මැයි 20 වැනිදා උපසම්පදාව ලැබූහ. අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අප නාහිමියන් වහන්සේ පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධියද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද සම්පූර්ණ කොට වදාළහ.

 අනතුරුව අධ්‍යාපනපති උපාධියද සම්පූර්ණ කළ උන්වහන්සේ 1986 දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් ගුරු අධ්‍යාපන සේවය ඇරඹූ අතර ඉන් අනතුරුව නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු ලෙසද සේවය කළහ. මෙම තම අධ්‍යාපනික මෙහෙවර වඩාත් විසඳ කරලනු පිණිස අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පත්ව දිගුකලක් එහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ධර්මාධ්‍යාපන ඥානය දියුණු කරනු වස් විශාල මෙහෙවරක නිරත වී වදාළහ. මේ අතරෙහි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයකට ද පත්ව ඉන්පසු එහි ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයට ද අනතුරුව එහි අනුනායක ධූරයට ද පිදුම් ලබන්නට උන්වහන්සේ වාසනාවන්ත වූහ.

  තම නිකායෙහි තමනට පැවරුණු මෙම ඉහළම රාජකාරින් ඉතා වගකීමෙන් සහ කාර්යක්ෂමව ඉටුකරන්නට කැප වූ උන්වහන්සේ භික්ෂු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ධුරයෙන් ඉවත්ව ලෝක සාසනික මෙහෙවරටම කැපවී වදාළහ. අස්ගිරි මහා විහාරය වෙත අනුශාසනා ලබන්නට එන සියලු‍ රාජ්‍ය නායක කාරකාදීන් හට ඉතා නිර්භයව අදහස් දක්වමින් නිවැරදි කර ගන්නට උන්වහන්සේ අව්‍යාජ ලෙස කැපවූහ.

සෘජු අදහස් දැක්වීමෙහිලා උන්වහන්සේ සතුව තිබූ එඩිතර ගුණය සඟ ගුණයෙහි එන සුපටිපන්න උජුපටිපන්න ආදී විශිෂ්ට ගුණ සමුදායන් වඩ වඩාත් ප්‍රකට කළේ විශිෂ්ට සංඝ සෝබන යතිවර ගතිගුණය. අස්ගිරි විහාර භික්‍ෂූන් සමග පමණක් නොව ලංකාවේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා සමඟම ප්‍රියමනාප ඇසුරක් පැවැත් වූ උන්වහන්සේ ඒ හැමදෙනාටම නායකයන් වහන්සේ වූහ.

උන්වහන්සේ හමුවීමට දුරකතන ඇමතුමකින් පවා ඕනෑම කෙනකුට පහසුවීම උන්වහන්සේගේ චරිතයේ පැවැති නිහතමානී සාඩම්බර ගුණයක් ලෙස අපි ඔසවා තබමු. රට පුරා ඕනෑම විහාරයකින් ලද ඕනෑම ආරාධනාවකට කිසිදා බැහැ නොකියා වැඩම කළ උන්වහන්සේ එහි බැබළීමක් ඇති කළ යතිවරයෙකි. තැනට ඔබින ලෙස දෙසුම් පැවැත් වූ අප නාහිමියන් වහන්සේ ත්‍රිපිටක මූලාශ්‍ර නිවැරැදිව භාවිත කරමින් අවශ්‍ය තැන ඒවා උපුටා ගනිමින් අදහස් දැක්වීම උන්වහන්සේගේ චරිතයෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විය.

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් තේවාව පැවැත්වීමේ උතුම් ගාම්භීර කාර්ය පවා නිසි ලෙස ඉටු කරන්නට කැප වූ උන්වහන්සේ ලොව පුරා බොහෝ රටවල් වෙත වැඩම කරමින් බෞද්ධ උත්සව සම්මේලන සම්මන්ත්‍රණයන්හි මුලසුන් හොබවමින් ලෝකයට බුදු දහම ඉදිරිපත් කළහ.

සංයමශීලී පෞරුෂයකින් මෙන්ම ශ්‍රද්ධා ශීලාදී ගුණවලින් යුත් සෘජු මෘදු ලක්ෂණවලින් ස්වකීය දිවිය ආලෝක කර කර ගත් අප නායක මාහිමිපාණන් වහන්සේ රටේ ජාතියේ සංවර්ධනය උදෙසා තම දැනුම නායකකාරකාදීන් ඉදිරියේ පැහැදිලි ලෙස දක්වමින් ඉටු කළ කාර්යභාරය ඉතා ඉක්මනින් නිහඬ කරලීම ජාතියේ අවාසනාවක් ලෙස සලකමු.

හැට හත් වන වියේදී උන්වහන්සේගේම නික්මයාම උන්වහන්සේට සුවදායක ගමනක් විය හැකි මුත් අස්ගිරි පාර්ශ්වයට මතු නොව සමස්ත භික්ෂු සමාජයට සම්බුද්ධ ශාසනයට රටට ජාතියට සුවිශාල පාඩුවක් වූ බව දක්වන්නේ අතිශය සංවේගයෙනි.

උන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව ලැබේවා.

 

(***)
මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ
ප්‍රධාන අධිකරණ සංඝනායක.
මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි



අදහස් (0)

අස්ගිරි මහ වෙහෙරේ ප්‍රබුද්ධයාණෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site