IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි - මිනිස් ගැටුමට විකල්පය කුමක්ද?

ශ්‍රී ලංකාවේ, අලි - මිනිස් ගැටුම හේතුවෙන් 2024 දී පමණක් අලි ඇතුන් 386ක් සහ පුද්ගලයන් 154 දෙනකු මිය ගොස් ඇත. මෙය බරපතළ මෙන්ම දිගින් දිගටම වර්ධනය වන බව පෙනෙන අර්බුදයකි. 2019 සහ 2021 අතර අලි ප්‍රහාර වලින් මිනිස් මරණ සිදු වූ ස්ථාන පෙන්වන මෑතකාලීන සිතියම (රූපය 1) රටේ වියළි කලාපය පුරා පැතිරුණු මෙහි බලපෑම හෙළි කරයි.

(තක්සිල ඩී. ගුණවංශ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් විසින් 2023 දී සිදු කරන ලද අධ්‍යයනයක් මත පදනම්ව මෙම සිතියම සකස් කර ඇත.)

ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු කර ඇති 5500 - 6000 පමණ වන වන අලි ගහනයෙන් සියයට70 කට වඩා වැඩි සංඛ්‍යාවක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන අලි ඇතුන් සහ අනෙකුත් වන සතුන් සඳහා වෙන් කර ඇති ආරක්ෂිත වනාන්තර ප්‍රදේශ (Protected Areas) වලින් පිටත ජීවත් වන අතර එය ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 62 ක් ආවරණය කරයි. මේ අනුව වන අලි මෙම ප්‍රදේශවල ජීවත් වන මිනිස් ජනාවාස සමග මුසුවෙමින්, මෙම ගැටුම තව තවත් වර්ධනය වේ.

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 19 ක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 131 ක අලි - මිනිස් ගැටුම් වාර්තා වී ඇති අතර, වෙඩි තැබීම් සහ නීති විරෝධී විදුලි වැටවල් හේතුවෙන් මෑත සතිවල අලි ඇතුන් 25 දෙනකු මිය යාම මගින් පෙන්වන්නේ, මිනිසුන් සහ අලි ඇතුන් යන දෙකොට්ඨාසයම ආරක්ෂා කිරීම සඳහා ගන්නා වත්මන් පියවර අසාර්ථක වීමයි. අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව, එලදායී විසඳුමක් ඉල්ලා සිටින පරිසර සංරක්ෂණවේදීන් අනතුරු අඟවන්නේ ගැටලුව දිනෙන් දින තව තවත් උග්‍ර වන බවයි.

 

විශාල වනාන්තරවල ඇති අලිමංකඩ වෙන් කිරීමේ අවශ්‍යතාව

අලි - මිනිස් ගැටුම අවම කිරීමේදී බොහෝ විට නොසලකා හරින ප්‍රධාන සාධකයක් වී ඇත්තේ අලි ඇතුන් භාවිත කරන සාම්ප්‍රදායික අලිමංකඩ ආරක්ෂා නොකිරීමයි. එවැනි අලිමංකඩවල් බොහොමයක් අනවසරයෙන් අල්ලාගෙන නීති විරෝධී කෘෂිකාර්මික කටයුතු කිරීමෙන් අවහිර කර ඇත.

1980 දශකයේ දී, කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විශාල කෘෂිකාර්මික පද්ධති (H, B, සහ C) ඉදිකරන විට, වනාන්තරවල පැහැදිලිව තිබුණු අලිමංකඩ සංරක්ෂණය නොකර වනාන්තර එළි කරමින් මෙම කෘෂි පද්ධති ස්ථාපිත කර ඇති බව දැක ගන්නට තිබේ. මෙලෙස අවහිර වූ අලිමංකඩ දිගේ අලි - මිනිස් ගැටුම නිසා බොහෝ මිනිස් මරණ සිදුවී ඇති ආකාරය රූපය 1 පෙන්වා දෙයි.

 

අලි මිනිස් ගැටුම පාලනය

දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේද

විදුලි වැටවල් ඉදි කිරීම

බෝගවලට අලින්ගෙන් වන හානි වැළැක්වීම සහ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා භාවිත කරන ප්‍රධාන ක්‍රමවේදය වන්නේ විදුලිවැටවල් වලින් ආවරණය කිරීමයි. කෙසේ වෙතත් මෙම විදුලි වැටවල් බොහෝ විට අක්‍රමවත් අයුරින් ස්ථාපනය කර තිබේ. මෙම විදුලි වැටවල් අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ප්‍රජාවගේ ඉල්ලීම සහ දේශපාලන බලපෑම් හරහා ඉදිකර ඇත්තේ පාරිසරික සීමා ඔස්සේ නොවේ. මෙම වැටවල් සමහරක් නිශ්චිත තාක්ෂණික ක්‍රමවේදවලට අනුව සවි කර නොමැති අතර කෙටි කාලයක් තුළ විවිධ හේතු නිසා අකර්මණ්‍ය වී ඇත. තවද, ගම්වැසියන් බොහෝ විට විශ්වාස කරන්නේ රජය ඒවා නඩත්තු කළ යුතු බවයි. එහෙත් මෙය සිදුවන්නේ ද කලාතුරකිනි.

 

අලි සහ මිනිසුන් සහපැවතුම් (co-existence) සංකල්පය

2020 ක්‍රියාකාරී සැලැස්ම මගින් ඉදිරිපත් කෙරුණු “සහපැවතුම් ආකෘතිය” යටතේ ගම් වටා ස්ථිර වැටවල් සහ කුඹුරු සඳහා තාවකාලික වැටවල් යෝජනා කර තිබිණ. කෙසේ වෙතත්, අද වන විට මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා කැලෑ ප්‍රදේශ හරහා ගමන් කිරීම, අලි ගැවසෙන ප්‍රදේශ අවම කරමින් සහ අලිමංකඩ අවහිර කරමින් කෘෂිකාර්මික ඉඩම් වටා වැඩි වැඩියෙන් පෞද්ගලික විදුලි වැටවල් ඉදිකර තිබීම සහපැවතුම් ආකෘතියේ දිගුකාලීන සාර්ථකත්වයට තර්ජනයක් වී ඇත.

 

ආරක්ෂිත ප්‍රදේශවල ධාරිතාව වැඩි කිරීම

විශේෂිත වනාන්තර ප්‍රදේශයක අලි ඇතුන්ගේ ධාරිතාව නිර්වචනය කරනු ලබන්නේ ආතතියකින් තොරව එම වනාන්තර ප්‍රදේශයට දැරිය හැකි අලි සංඛ්‍යාව ලෙසය. අලි - මිනිස් ගැටුම් අඩු කිරීම සඳහා ප්‍රධාන සාධකය වන්නේ මෙයයි. මින්නේරිය, ගිරිතලේ සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වැනි උදාහරණ වලින් පෙන්නුම් කරන්නේ සමතුලිත පරිසර පද්ධතියකින්, ප්‍රජාව අසල සාමකාමීව ජීවත් වන විශාල අලි ගහනයකට (300-400) සහාය ලැබිය හැකි ආකාරයයි.

පහළ මහවැලි ද්‍රෝණියේ ආරක්ෂිත ප්‍රදේශ පරීක්ෂා කිරීමෙන් මෙම සමතුලිතතාව පවත්වා ගෙන යාම සඳහා ඉතා වැදගත් වන වනාන්තර, උද්‍යාන, අලිමංකඩ සහ ජල මූලාශ්‍ර පෙන්නුම් කරයි.

දැනට මෙම ආරක්ෂිත වනාන්තරවලට අලි ඇතුන් දරා ගැනීමට හැකි ධාරිතාව උපරිමයට පැමිණ ඇති අතර අමතර අලි ඇතුන්ට ඉඩ ලබා ගැනීම අපහසු වේ. එබැවින්, ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ එහි ඇති ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීම, අභ්‍යන්තර අලිමංකඩවල ඇති බාධක ඉවත් කිරීම, පවතින ආරක්ෂිත වනාන්තරවලට අලි ඇතුන් දරා ගැනීමේ ධාරිතාව වැඩි කිරීමත්ය.

 

වනාන්තර ප්‍රදේශවල “අලි ඇතුන් දරා ගැනීමේ ධාරිතාව” වැඩි කිරීමේ අවශ්‍යතාව

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන තුළ 300 - 400 පමණ වූ විශාල අලි එක්රැස්වීම්, වියළි කාලයේදී දැකිය හැකිය. මෙම ආකර්ෂණය ඇති වන්නේ වැව් ජලය බැස යන විට මතුවන තෘණ බිම් නිසාය. මහවැලි රක්ෂිත තුළ ඇති අනෙකුත් ප්‍රධාන වැව් වටා මේ සමාන ගතිකත්වයක් ඇති වේ. මීට අමතරව, මහවැලි පහළ ගංවතුරතැන්න වනාන්තර රක්ෂිතය පොහොසත් ජෛව විවිධත්වයක් ඇති අතර එය අලි ඇතුන් ආකර්ෂණය කර ගනු ලබයි.

ඊට වෙනස්ව, හෙක්ටයාර 132,000 ක් පමණ වන විශාලතම පරිණත (matured) වනාන්තර රක්ෂිතය වන විල්පත්තු වන රක්ෂිතයේ, අලි ඇතුන් සඳහා ආහාර ලෙස තෘණ බිම් සහ විශාල ජල මූලාශ්‍ර නොමැති වීම හේතුවෙන් එහි වසන අලි ඇතුන් සංඛ්‍යාව බෙහෙවින් අඩුය. තවද, දැන් එහි ඇත්තේ ඝන වනාන්තරයක් වන නිසා අලි ඇතුන් සඳහා ප්‍රමාණවත් ආහාර සැපයෙන්නේ නැත. වියළි කාලයේ දී වනාන්තර ප්‍රදේශයේ ස්වාභාවිකව පවතින විල්ලු ද වියළී යන අතර මේ නිසා වර්ෂා කාලය නිමාවීමත් සමග, අලි ඇත්තු විල්පත්තු වන රක්ෂිතයෙන් අවට ගම්මාන වලට සංක්‍රමණය වේ.

ඉහත සඳහන් කාරණාවලින් පෙනී යන්නේ මෙම වනාන්තර ප්‍රදේශ වල, අලි ඇතුන් දරා ගැනීමේ ධාරිතාව හැකිතාක් වැඩි කිරීම, අලි - මිනිස් ගැටුම කළමනාකරණය කළ හැකි මට්ටමකට අවම කිරීම සඳහා ඇති ප්‍රධාන විසඳුමක් බවයි. මේ සඳහා එම වනාන්තර තුළ ජල ප්‍රභව සංවර්ධනය කිරීම සහ මෙම වන රක්ෂිත වලින් කොටසක් අලි ඇතුන් සඳහා නිවහනක් ලෙස පරිවර්තනය කිරීම සඳහා සුදුසු භෞතික මැදිහත්වීම් සහිත තෘණ බිම් ස්ථාපිත කිරීම සහ අලි ඇතුන් කෑමට ගන්නා අනිකුත් බෝග සුලභ කිරීම ද අවශ්‍ය වේ.

 

අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘෂි - ගම්මාන ආරක්ෂා කිරීමට ස්ථිර වැටවල් සහ කුඹුරු ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා තාවකාලික වැටවල් ඉදිකිරීම ආදී පසුගිය වසර 50 තුළ ගත් උත්සාහය බොහෝ දුරට ලබා දී ඇත්තේ තාවකාලික සහනයක් පමණකි.

ආරක්ෂිත වනාන්තර තුළ ආහාර නොමැතිකම නිසා, අලි ඇත්තු ආහාර සහ ජලය සොයා පිටතට ගමන් කරයි. වැදගත්ම සාධකය වන්නේ ආහාර වන අතර, එක් අලියකුට දිනකට ආහාර කිලෝග්‍රෑම් 250 -300 ක් පමණ අවශ්‍ය වේ. ජලය ද්විතියික සාධකය වන අතර, ඔවුන්ට දින කිහිපයක් ජලය නොමැතිව ජීවත් විය හැකිය. කෙසේ වෙතත් ජලය නොමැතිව ආරක්ෂිත වනාන්තර තුළ අලි ඇතුන් සහ අනෙකුත්

සතුන් සඳහා ආහාර නිෂ්පාදනය කළ නොහැක. එබැවින්, ආරක්ෂිත වනාන්තර තුළ ආහාර කිරීම වැඩි සඳහා මූලික අවශ්‍යතාව වන්නේ ඒවා තුළ ජල සම්පත් සංවර්ධනය කිරීමයි. 2020 ක්‍රියාකාරී සැලැස්මේ ඇති සහපැවතුම් ආකෘතිය කැලෑවලට මැදි වී සහ මායිම් වී ඇති ගම්මාන සඳහා ක්‍රියාත්මක විය හැකි නමුත්, එය ජාතික විසඳුමක් ලෙස ප්‍රමාණවත් නොවේ.

ඒ වෙනුවට, අලි ඇතුන් මිනිස් ජනාවාස වලින් ඈත් කර තැබීම සඳහා ආරක්ෂිත වනාන්තර තුළ ජෛව විවිධත්වය සහ ජල සම්පත් වැඩිදියුණු කිරීම මගින් අලි සංරක්ෂණය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අද වන විට, ආරක්ෂිත වනාන්තර තුළ ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි එතරම් අවධානයක් යොමු කර නොමැති අතර, ගැටුම ඵලදායි ලෙස කළමනා කරණය කිරීම සඳහා අලුත්ම සහ නව්‍ය (innovative) ප්‍රවේශයක හදිසි අවශ්‍යතාව ඉස්මතු කරයි.

මෙතෙක් ගෙන ඇති පියවර විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ අලි - මිනිස් ගැටුම අඩු කිරීමට හොඳම ක්‍රමය වන්නේ ආරක්ෂිත වනාන්තරවලට අලි - ඇතුන් දැරිය හැකි ධාරිතාව වැඩි කිරීම සහ ඒවායේ පාරිසරික සීමා (ecological boundaries) ඔස්සේ විදුලි වැටවල් සවි කිරීමයි.

කෙටි කාලීන පියවරක් ලෙස, හොඳින් සකස් කරන ලද සහ සම්බන්ධීකරණය කරන ලද සැලැස්මක් යටතේ ආරක්ෂිත වනාන්තර තුළ සුදුසු ස්ථානවල අලි ඇතුන්ට ආහාර සහ ජලය සැපයිය හැකිය. අලි -මිනිස් ගැටුම මගින් බලපෑමට ලක් වූ අයට ප්‍රතිලාභ සැලසෙන පරිදි, අලි ඇතුන් සඳහා ආහාර ළඟම ඇති ප්‍රජාවන්ගෙන් නාමික අගයකට (nominal value) මිලදී ගත හැකිය. ආරක්ෂිත වනාන්තරවලින් පිටත සැරිසරන අලි ඇතුන් ආරක්ෂිත වනාන්තර තුළට ආකර්ෂණය කර ගැනීම සඳහා වනාන්තරවල ධාරිතාව වැඩි කිරීම සඳහා මෙම කෙටිකාලීන පියවර අවශ්‍ය වේ.

 

අලි-මිනිස් ගැටුම අවම කිරීමේ (යෝජිත) ව්‍යාපෘතිය

මේ අනුව, අලි - මිනිස් ගැටුම කළමනාකරණය කළ හැකි මට්ටම්වලට අඩු කිරීම සඳහා ව්‍යාපෘතියක ස්වරූපයෙන් නව ප්‍රවේශයක් සඳහා හදිසි අවශ්‍යතාවක් පවතී. ගැටලුව ඵලදායි ලෙස විසඳීම සඳහා ශක්තිමත් ඉංජිනේරු විසඳුම් සහ ප්‍රජා - හිතකාමී පියවරවල එකතුවක් අවශ්‍ය වේ.

දිගු කාලීන පියවරක් වන්නේ වියළි කලාපයේ ආරක්ෂිත වනාන්තර සහ යාබද වනාන්තර ප්‍රදේශ ඒවායේ පාරිසරික සීමා මත පදනම්ව “අලි කළමනාකරණ පරාස’’ (Elephant Management Ranges) ලෙස බෙදීමයි. අලි - මිනිස් ගැටුම අවම කිරීමේ උත්සාහය කළමනාකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම විධිමත් කිරීම සඳහා මෙවැනි අංශයක් වනජීවී දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

රටේ ජල සම්පත් සංවර්ධන සැලැස්මට අනුව, යෝජිත සැලසුමේ (රූපය 2) දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශ අලි කළමනාකරණ පරාස හතකට බෙදිය හැකිය. මෙම කළමනාකරණ පරාස දැක්වෙන සිතියමක් පහතින් දැක්වේ.

මෙම පියවර මඟින් එක් එක් අලි කළමනාකරණ පරාස සඳහා ජල සම්පත් සැලසුම් කිරීම සහ සංවර්ධනය සහ ඒවායේ ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම සඳහා ස්ථාන - නිශ්චිත සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇත. තවද, මෙම අලි කළමනාකරණ පරාස සංචාරක ආකර්ෂණ බවට පරිවර්තනය කළ හැකි අතර, අවශ්‍ය නිශ්චිත භෞතික මැදිහත්වීම සංවර්ධනය කිරීමට සහ නඩත්තු කිරීමට සහාය වීම සඳහා දේශීය ප්‍රජාවට ආදායම් මාර්ගයක් ලබා දීමෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දිය හැකිය.

 

අලි මිනිස් ගැටුම අවම කිරීමේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අලි කළමනාකරණ ප්‍රදේශවල ඇති ග්‍රාමීය සංවිධාන මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට දායක කරගත යුතු වේ.

මෙම ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක කළ හැකිය:

අදියර 1: සියලුම පාර්ශවකරුවන් අතර එකඟතාවක් ලබා ගැනීම සඳහා මූලික සිතියම්ගත කිරීම සහ ව්‍යාපෘති සැලස්ම සකස් කිරීම. මීට අමතරව නියමු ව්‍යාපෘතියක් වශයෙන් විල්පත්තු දකුණ සහ උතුරු මැද පළාත් අලි කළමනාකරණ පරාසයන් ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම.

අදියර 2: අලි කළමනාකරණ පරාස තුළ ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීම. යටිතල පහසුකම් සහ ජෛව විවිධත්වය වර්ධනය කිරීම.

අදියර 3: මාර්ග වැඩිදියුණු කිරීම සහ දිගුකාලීන කළමනාකරණ පද්ධති ඇති කිරීම සමග අවසාන මායිම් වෙන් කිරීම සහ තාක්ෂණික වශයෙන් ශක්තිමත් විදුලි වැටවල් ස්ථාපනය කිරීම.

2 සහ 3 අදියර, විදුලි වැටවල් සහ එක් එක් අලි කළමනාකරණ පරාස නිම කිරීම සමග සමගාමීව ඉදිරියට යා හැකි අතර, එතෙක්, පවතින අලි වැටවල් සුදුසු වෙනස් කිරීම් සමග ශක්තිමත් කළ යුතුය.

බොහෝ අය තර්ක කරන්නේ රජයට වත්මන් අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා අරමුදල් ආයෝජනය කිරීමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, දිගුකාලීනව, අලි - මිනිස් ගැටුම අවම කිරීම, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජීවත් වන විශාල ගොවි ප්‍රජාවකට ප්‍රතිලාභ ලබා දෙන අතර සමස්තයක් ලෙස රටට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ ලබා දෙමින් ප්‍රදේශයේ පරිසර සංචාරක ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

මීට අමතරව යෝජිත භෞතික මැදිහත්වීම් සහ වාර්ෂික මෙහෙයුම් සහ නඩත්තු වියදම් සැලකිල්ලට ගනිමින්, පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණය තක්සේරු කිරීම සඳහා ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් සම්බන්ධ කර ගැනීමෙන් මෙය ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතියක් වශයෙන් සත්‍යාපනය කළ හැකිය.

හදිසි මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම සඳහා, රජයට අවශ්‍ය මුදල් දේශීය බැංකු වලින් ලැබෙන දායකත්වයන් සහ යාල, මින්නේරිය සහ වස්ගමුව වැනි ප්‍රධාන ජාතික වනෝද්‍යානවල සංචාරක බද්දක් සහ යෝජිත අලි කළමනා කරණ පරාසයන් මගින් අරමුදල් සපයන “ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සුරැකීම “ නමින් දේශීය අරමුදලක් ස්ථාපිත කළ හැකිය. මීට අමතරව විල්පත්තු දකුණ අලි කළමනාකරණ පරාසය සහ උතුරු මැද අලි කළමනාකරණ පරාසය ස්ථාපිත කිරීම නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ කිරීම සුදුසු බවට නිර්දේශ කරමි. උතුරු මැද අලි කළමනාකරණ පරාසය ස්ථාපනය සඳහා මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන යටතේ මුදල් ලබා ගැනීමේ හැකියාව ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 250 - 300 ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 5-7 දක්වා කාලයක් අවශ්‍ය වනු ඇත. UNDP වැනි සංවර්ධන ආයතනවල සහාය ඇතිව මනාව සැලසුම් කර සකස් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් හරිත දේශගුණික අරමුදල (Green Climate Fund) වැනි ගෝලීය අරමුදල් සපයන ආයතන වලින් සහ අනෙකුත් දේශගුණික විපර්යාස අවම කිරීමේ අරමුදල් වලින් ප්‍රදාන ආධාර ලබා ගැනීමට හැකියාව ඇත.

 

 

(***)

මෙම ලිපිය ලියූ ලේඛකයා Infotechs IDEAS (Pvt) Ltd හි

ප්‍රධාන විධායක නිලධාරියා වන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වාරිමාර්ග ඉංජිනේරුවෙකි.

පරිවතනය - ඉංජිනේරු ආනන්ද සෙල්ලහේවා

 

ඉංජිනේරු

පී.ඩබ්ලිව්.සී. දයාරත්න විසිනි

 



අදහස් (0)

අලි - මිනිස් ගැටුමට විකල්පය කුමක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site