IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අයවැයෙන් අමතක වූ අඩකෝටිය

ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස ඉකුත් සිකුරාදා (නොවැම්බර් 7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන අයවැය යෝජනා අතුරින් “අංක 32 - රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීම” යටතේ (පිටු 42-43) සඳහන් කර තිබූ උපුටනයකි මෙය.

“කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදු නොවන ආයතන 33ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. එසේම, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනා ගෙන ඇති අතර, ඒවා වසා දැමීමට සූදානම් කරනවා. රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කරගනිමින් ආයතන 21ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්‌යේෂණ ක්ෂේත්‍රයේ ඇති ආයතන 14ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණ වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ.

ආයතන 33ක් වසා දැමීමටත්, ආයතන 13ක් ඈවර කිරීමටත් තීන්දු කළ පසුබිමෙහි කී දහසකගේ රැකියා අස්ථාවර වන්නේ දැයි නැති නම් අහෝසි වන්නේ දැයි නොකියවණු නමුත්, මෙහි පහතින් ඇත්තේ රාජ්‍ය සේවයට අලු‍තින් බඳවා ගැනීම් ගැන “අංක 32.1” යටතේ සඳහන් කෙරෙන අයවැය යෝජනාව වන්නේය. (පිටුව 43)

“වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදු කළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරින්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරින්, ආදායම් නිලධාරින් වැනි තනතුරු, මීට ඇතුළත් වෙනවා.”

 

මේ යෝජනා දෙක එකට ගත් විට ඇත්තේ කවර ආකාරයේ ප්‍රකාශනයක් ද?

පළමුවෙන්ම කිව යුත්තේ, අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද කමිටුව යොදා ගනු ලබන්නේ, මේ ක්‍රියාත්මක කෙරෙන්නේ ජනාධිපති වික්‍රමසිංහ, 2023 මාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් රජයට අයත් ව්‍යාපාරික ආයතන අලෙවි කිරීමේ එකඟතාව නොවේ යැයි කීමටය. මේ ක්‍රියාත්මක කෙරෙන්නේ තමන්ගේ සොයාබැලීම් සමග වන යෝජනා යැයි කීමටය. රටට ජනතාවට හා අනාගතයට අදාළ වන රජයට අයත් වාණිජමය හා වාණිජමය නොවන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී හා ඇතැම් ඒවා වසා දැමීම පිළිබඳවත් රාජ්‍ය සේවයට අලු‍තින් බඳවා ගැනීම සම්බන්ධවත් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැතියේ යැයි කියන්නා වූ “රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටු” වාර්තාව, ජනතාවට වග කියන්නා වූ, පාරදෘශ්‍ය ආණ්ඩු පාලනයක් සමග ජනතා ආණ්ඩුවක් පොරොන්දු වූ ජනාධිපති අනුර කුමාර සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත්තේ ද රාජ්‍ය ආයතන අලෙවි කිරීමේ කතා වසා තබන්නට යැයි කිව යුතුය.

දෙවැනුව කිව යුත්තේ, “රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබෙනවා” යැයි වන ජනාධිපති අනුර කුමාරගේ නිගමනයෙහි හරය, අර්ධ සත්‍යයෙනුත් අර්ධයකට වඩා අඩු බවය. රාජ්‍ය සේවාව බිඳවැටී ඇත්තේ ප්‍රධාන වශයෙන් එහි ඉහළ නිලධර ස්ථරය දේශපාලනයට නතු වීමත් සමග මහා පරිමාණ දූෂණවල ඔවුන් ද පංගුකාරයන් වීමෙනි. ඔවුන් නොමැතිව කිසිදු අමාත්‍යාංශයක, රාජ්‍ය ආයතනයක ඇමැතිවරුන්ට තනිව දූෂණ වංචාවල නිරත විය නොහැකිය. ඉහළ ස්ථරය එවැනි දූෂිත රාජ්‍ය නිලධර ස්ථරයක් වූ පසු පහළ සේවක පිරිස් වැඩි වන ජීවන වියදම හා තරගකාරි වෙළෙඳපොළෙහි තේරීම් සඳහා අමතර ආදායම් සෙවීමේ පහසු ක්‍රමයක් ලෙස “නැති අතිකාල” වාර්තා කිරීමත් සමග සිල්ලර දූෂණවලට හවුල් වීමත් වැළකිය නොහැකිය. එබැවින් “අංක 32.1” යටතේ අගමැතිනියගේ සමාලෝචන කමිටුව හරහා සිදු කළ විධිමත් අධ්‍යයනයකින් පසුව “75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට” අනුමැතිය දීමෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂම, පිරිසුදු ජනතා සේවාවක් වන්නේ නැත.

මේ යෝජනා මගින් බොහෝ විට සිදු විය හැක්කේ, රජයට අයත් වාණිජමය හා වාණිජමය නොවන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රැකියා අහිමි වන සේවක සේවිකාවන්ට වඩා වැඩි සංඛ්‍යාවක් අලු‍තින් බඳවා ගැනීම නිසා ජනතාවට වැඩි බරක් දරන්නට සිදු වීමය. එබැවින්, අයවැයෙන් පසු ඉතිරි විය හැක්කේ, මැතිවරණ වේදිකාවල කියූ කතා ආණ්ඩු බලය ලැබුණු පසු සුන්දර ප්‍රබන්ධ ලෙස ඉතිරි වූ අයුරු ඉතිරි වන හිස් කතා ලෙසිනි.

ඒ සමග, තවත් බරපතළ දේශපාලන පරස්පරයක් ගැන සඳහනක් තැබිය යුතුය. ලෝකයේ වෙනත් රටවල් ගැන කතා නොකළත්, මේ රටේ අපනයන නිෂ්පාදනයට පූර්ණ දායකත්වය දෙනු ලබන්නේ පෞද්ගලික අංශය වන්නේය. රජයේ සේවා අත්‍යවශ්‍ය සේවා යැයි හදිසි නීතිය යටතේ ආණ්ඩු විසින් විටින් විට ගැසට් කරනු ලැබුව ද මේ අත්‍යවශ්‍ය සේවා විදේශ විනිමය ඉපැයීමකට හවුල් වන්නේ නැත. එබැවින්, මේ රටේ සියලු‍ අත්‍යවශ්‍ය භාණ්ඩ - ආහාර, ඉන්ධන, ඖෂධ, වෛද්‍ය උපකරණ, කෘෂි වගාවට පෙහොර සහ කෘමි-වල් නාශක වගේම අපනයන නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දෙන්නෝ වැවිලිකරයේත්, ඇඟලු‍ම් කර්මාන්තයේත්, රබර් සහ සම් භාණ්ඩ වැනි වෙනත් නිෂ්පාදනයේත් යෙදෙන මිලියන 2ක පමණ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයෝය. ඔවුන්ගේ අවම වැටුප රුපියල් 21,000 සිට 27,000 දක්වා ඉකුත් අයවැයෙන් වැඩි කළ නමුත් මේ අයවැයෙහි ඔවුන් ගැන කිසිදු සඳහනක් නැත.

රටේ ජනතාවගේ අවශ්‍යතා සඳහා විදේශ විනිමය උපයා දෙන දුප්පත් පෞද්ගලික අංශයට සැලකීම එසේ වුවත්, ඒ විදේශ විනිමය වැය කරන්නට හවුල් වන රජයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා, ණය පහසුකම් සියල්ල මේ ආණ්ඩුව හොඳින් සලකා බලා ඇත. ඉකුත් අයවැයෙන් රුපියල් 24,250ක අවම වැටුප රුපියල් 40,000 දක්වා වැඩි කරනු ලැබූ රජයේ සේවකයන්ට වැඩි කළ වැටුපේ දෙවැනි අදියර යැයි 2026 සිට වැටුප් වැඩි කිරීමට, රුපියල් බිලියන 110ක් වෙන් කර ඇත. රජයේ සේවකයන්ට ලබා දී ඇති දේපළ ණය ක්‍රමය යටතේ ලබා ගන්නා නිවාස ණය රුපියල් ලක්ෂ 50 දක්වා වැඩි කරන බවට පොරොන්දු වන්නේය. අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ තව වැඩි කර ඇත. උත්සව අත්තිකාරම් රුපියල් 10,000 සිට 15,000 දක්වා වැඩි කර ඇත. රජයේ සේවකයන්ට ලබාගත හැකි ආපදා ණය අත්තිකාරම් මුදල රුපියල් ලක්ෂ 4 දක්වා වැඩි කර ඇත.

ජනාධිපති අනුර කුමාර අයවැය කතාවේ කියා සිටියේ, “දෙකෝටියකට වැඩි පුරවැසි පරම්පරාවට හුස්ම ගන්න තියෙන නිවහන මේ රටයි. ඒ වගේම, මතු උපදින පරම්පරා ගණනාවකට ජීවත් වීමට තියෙන්නේත් මේ රටයි. අපි නිර්මාණය කරන්නේ ශිෂ්ට සම්පන්න රටක්. සතා සීපාවාට පවා ආදරය කරන රටක්. මනුෂ්‍යත්වය පිරුණු රටක්” යැයි කියාය.

එලෙසින් නිර්මාණය කෙරෙන මනුෂ්‍යත්වය පිරුණු ලංකාවේ නම්, රජයේ සේවකයන්ට ලැබෙන ආදරය, පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන්නේ නැත. එතරම්වත් අනුකම්පාවක් නොලබන තවත් විශාල පිරිසක් උඩරට වැවිලිකරයෙන් හා දුප්පත් ග්‍රාමීය සමාජයෙන් කොළඹ සහ ප්‍රධාන නගර දෙක තුනකට ගාල් වී ඇත. ආර්ථික විශේෂඥයෝ ද අයවැය විශ්ලේෂකයෝ ද රටේ ආර්ථිකයේ හැසිරීම් ගැන කතා කිරීමේදී මේ පිරිස් ආර්ථිකයෙහි ස්ථානගත කෙරෙන්නේ කොතැන දැයි කතා නොකරති. එහෙත්, ඔවුන් අමතක කර රටක ආර්ථිකයක් ගැන කතා කිරීමට නොහැකිය.

ලෝක බැංකුවේ මාණ්ඩලිකයන් බාහිර විශේෂඥ කණ්ඩායමක් ද සමග දකුණු ආසියාවේ “Poverty and Equity Global Practice” නම් විශේෂඥ එකතුවක් ලෙස “ශ්‍රී ලංකාවේ අවිධිමත් බව, රැකියාවේ ගුණාත්මක බව සහ සුබසාධනය” මැයෙන් දීර්ඝ අධ්‍යයනයක් 2020 දී පළ කර ඇත. එහි මූලික අවධානය ඇත්තේ අවිධිමත් ආර්ථිකය නැති නම් “අවිධිමත් ක්ෂේත්‍රය” යැයි හඳුන්වනු ලබන, නිශ්චිත නෛතික පදනමක් නොමැති නිල ආර්ථිකයට පිටතින් වුවත් නිල ආර්ථිකයට ද දායක වන අසංවිධිත ආර්ථිකයක යැපෙන, සියල්ලන් විසින් අමතක කරන ලද පුද්ගල පිරිස් වෙතය. ඔවුන්ගේ අධ්‍යයනයට අනුව, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් සමස්ත ශ්‍රමික සංඛ්‍යාව වන මිලියන 8.2කින් මිලියන 5.6ක් ප්‍රධාන නගරවල අවිධිමත් ආර්ථිකයෙහි ජීවිත ගැටගසා ගන්නෝ වෙති. එහෙත්, සේවා කොන්දේසි නොමැති, නිශ්චිත වැටුප් ක්‍රමයක් නැති, නිවාඩු අතිකාල කිසිත් හිමි නැති, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ගැන ද කිසිත් නොදන්නා, සංවිධානාත්මක සාමූහික හඬක් නැගීමට ද නොහැකි මිලියන 5.6ක් වන මේ ශ්‍රමිකයන් නොමැතිව ලාංකීය ආර්ථිකයට පවතින්නට ද නොහැකිය.

අවාසනාව නම්, අයවැය විශ්ලේෂකයන් ද මේ අවිධිමත් ආර්ථිකය ගැන කතා නොකිරීමට අමතරව, පින්බර දෙකෝටියක් ලාංකිකයන් ගැන කතා කරන ජනාධිපති අනුර කුමාරට මේ අහිංසකයන් සහ පෞද්ගලික අංශය ද ගත් විට අඩ කෝටියකට බෙහෙවින් වැඩි පුරවැසියන් මතක් නොවීමය. රටේ සංවර්ධනය යනු, මේ අඩ කෝටිය ද ඇතුළත් විය යුතු සංවර්ධනයකි.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

අයවැයෙන් අමතක වූ අඩකෝටිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site