IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අපනයන ප‍්‍රවර්ධනයේ අගනා අවස්ථාවක් අපතේ යයි

(විනීතා එම් ගමගේ යුනාන් හි එකස්පෝ 2019 වෙළඳපොළ සංචාරයකින් පසු)
 
චීනයේ, දකුණු හා අග්නිදිග ආසියාතික රටවල ආයෝජකයන් නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් මුණගස්වන දැවැන්ත වෙළඳ  ප‍්‍රදර්ශනය වන චීනය හා දකුණු ආසියා එක්ස්පෝ ප‍්‍රදර්ශනය චීනයේ කුන්මින් නගරයේ ඩැන්චි අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ හා වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. 

  යුනාන් ප‍්‍රාන්තය සමග සාක් වෙළඳ මණ්ඩලය හා තවත් එකමුතු කිහිපයක් එක්ව මෙම  ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබිණි. 

නිරිත දිග චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ විශාලතම හා ප‍්‍රධාන නගරය වන කුන්මින් නගරය මුහුදු මට්ටමේ සිට අඩි 6230 ක් පමණ උසින් පිහිටි සුන්දර නගරයකි. හතලිස් පන් ලක්ෂයකට ආසන්න ජනගහනයකින් යුත් එම නගරය දැවැන්ත වේගයකින් සංවර්ධනය කරා යන බව එහි සංචාරය කරන්නෙකුට පෙනීයන දෙයකි. 
 

මලින් බර ගහකොළ නිතර දැකිය හැකි කුන්මින් හි සියලු දේ සඳහා මල් මූලිකත්වය ගනියි. එමෙන්ම වැඩිපුරම වගා කරන්නේ ද මල් වර්ග වේ. යුනාන් ප‍්‍රාන්තය නිරිතදිග චීනයේ මායිම් පළාතක් වන අතර අග්නිදිග ආසියාවට සහ දකුණු ආසියාවට පිවිසෙන දොරටුවකි. 
 
එහි ඇරඹුණු එක්ස්පෝ 2019 ප‍්‍රදර්ශනයේ මෙවර ප‍්‍රධාන ආරාධිත රට වී තිබුණේ කාම්බෝජය වන අතර තේමාව වී තිබුණේ ශ්‍රී ලංකාවයි. 
 

ප‍්‍රදර්ශනයේ තේමාව වන රටට වඩාත් වැදගත් අවස්ථා හිමිවේ. ඒ අනුව තේමාව වන රටට වැඩි අවධානයක් යොමු වන අතර එහි දී තේමාව ලෙස ගැනෙන රටේ ආයෝජකයන් හා ව්‍යාපාරිකයන්ට වැඩි අවස්ථා ලැබෙයි. මෙම අවස්ථාව ලැබෙන්නේ වසර 6කට වරක් වීම සුවිශේෂී තත්ත්වයකි.

රටවල් හා කලාප 87 කින් ආයෝජකයෝ 3800 කට වැඩි සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මේ සුවිසල් අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නට සංවිධායකයන් සැළසුම් කර තිබු බව එහි කළ සංචාරයේ දී පෙනී ගියේය.  
 
ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ කලාප හයේ පිහිටි කුටිවලින්  50‍% පමණ වෙන්වී තිබුණේ චීනය වෙනුවෙනි. අනෙක් ප‍්‍රමාණයෙන් ද ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් ලබා දී තිබු අතර කුටි 100 කට වැඩි සංඛ්‍යාවක් වෙන් කර තිබිණි.  ඉතිරිය අනෙක් කලාපිය රටවල් 73 ක් වෙනුවෙනි. 

ප‍්‍රධාන වේදිකාව ආසන්න ස්ථානයක ශ්‍රී ලංකාව වෙනුවෙන් කුටිවෙන් කර තිබිණි. ඒ ආසන්නයේ තවත් ආසියාතික රටවල් කිහිපයකට කුටි වෙන් කර තිබිණි. 
 
ආයෝජකයෝ මෙන්ම ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් ප‍්‍රදර්ශනයේ පළමු දිනයේ සිට එහි සහභාගි වී සිටිනු දැකිය හැකි විය. විශේෂයෙන් තායිලන්තය වියට්නාමය නේපාලය වැනි රටවල් මෙම ප‍්‍රදර්ශනයෙන් උපරිම අවස්ථා ලබා ගන්නා අන්දම පෙනී ගියේ ඔවුන්ට වෙන්කළ වෙළඳ කුටි ව්‍යාපාරිකයන්ගෙන් පිරී ගොස් තිබු විලාසයෙනි.


 
කර්මාන්ත ඇඟළුම් හා ඇදුම් පැළඳුම් ඛණිජ ද්‍රව්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ, උපකරණ, ආභරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය සැරසිලි මෘදුකාංග හස්ත කර්මාන්ත, සංචාරක ආදී අංශ රැසක ව්‍යාපාරික ප‍්‍රජාව ප‍්‍රදර්ශන කුටි  ලබා ගෙන තිබූ බැවින් විවිධාංග රැසක් එහි වූයෙන් ඒ කරා ඇදී එන පිරිස ද විශාල විය. 
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන කුටි කරා ගිය ගමනේ දී ශ්‍රී ලංකාවෙන් ඒ ස`දහා ආයෝජකයන් යවා තිබූ අන්දම ගැන ඇති වූයේ කනගාටුවකි. 

ප‍්‍රදර්ශනයේ සමාරම්භක උළෙල අවසන්ව ප‍්‍රදර්ශනය නරඹන්නට යද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආයෝජකයෝ සහභාගී කරන්නට රජය කටයුතු කර තිබූ නොසැලකිලිමත් ස්වභාවය ගැන කනගාටුවක් ඇති වූයේ මෙවැනි දැවැන්ත ප‍්‍රදර්ශනයකට ලැබී තිබූ අවස්ථාව අපතේ යන අන්දම ගැන පෙනී යාමෙනි. 
 

ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන කුටිවල තිබුණේ මැණික් ව්‍යාපාරිකයන් 30 දෙනෙකුගේ කුටි පමණි. ඒ හැරුණු විට එකක් හෝ දෙකක් අත්කම්භාණ්ඩ ප‍්‍රදර්ශන කුටි ද විය. 
 
ශ්‍රී ලංකාවේ අපනයන ප‍්‍රවර්ධනයට මෙහි තවත් කොයිතරම් පාරිභෝගික භාණ්ඩ ප‍්‍රදර්ශනය කළ හැකිව තිබුණේ දැයි රට ගැන තරමක් හෝ දන්නා කෙනෙකුට එම ප‍්‍රදර්ශන කුටි දෙස බලද්දී පහළ වන සාමාන්‍ය සිතුවිල්ලයි. 
 
මෙවර ප‍්‍රදර්ශනය සදහා ආයෝජකයන් හා අපනයනකරුවන් සොයා යවන ලද්දේ වාණිජ දෙපාර්තමේන්තුව හා තානාපති කාර්යාලය එක්ව යැයි එහි දී හමුවූ රජයේ නිලධාරියෙක් කීවේය. එහෙත් ඉකුත් වසරේ දී අපනයනකරුවන් හා ආයෝජකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණි බවත් එම වසරේ දී ඔවුන් තෝරා එවන ලද්දේ ශ්‍රී ලංකා අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය වුවත් ප‍්‍රදර්ශනයෙන් පසු පැමිණි විවේචන හේතුවෙන් එම ආයතනය ඉවත් වී ඇතැයි පෙනී යන බව ද හෙතෙම සඳහන් කළේය. 
 


ශ්‍රී ලංකාවේ සමහර කුටියක දෙපස හිස් කුටි තිබිණි. එවැනි කුටියක සිටි අපනයන කටයුතුවල යෙදෙන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික කාන්තාවක් කීවේ තමන්ගේ කුටියට කිසිවෙකු නොඑන බවය. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ තමන් ගේ කුටි දෙපස අනෙක් කුටි හිස් බැවින් කිසිවෙකු තනි කුටියක් වෙනුවෙන් නොඑන බවය. 

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගන්නට නම් අපනයන අවස්ථා වැඩි දියුණු කළ යුතුම යැයි පුන පුනා කියන ආණ්ඩුවක් ඇති රටක මෙවැනි දේ සිදුවන්නේ කෙසේ ද යන්නත් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන කුටි දෙස බලද්දී සිතේ. 
 
අති දක්ෂ නිර්මාණකරුවන්, නිෂ්පාදකයින් මෙන්ම ව්‍යාපාරිකයින් දසිටින රටක ප‍්‍රදර්ශන කුටි දෙස බලද්දී පෙනී යන්නේ ශ්‍රී ලංකාව මැණික් පමණක් අපනයනය කරන රටක් බවය. 
 

කෙසේ වෙතත් මේ විවේචනය නිසා ලබන වසරේ එක්ස්පෝ ප‍්‍රදර්ශනය කරට නොගන්නට තානාපති කාර්යාලය  හා වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු නැත. සිදුවිය යුත්තේ විවේචනවලින් නිවැරදි හා වඩාත් සංවිධානාත්මක වීමය. ලබන වසරේ එසේ සිදුවේදැයි බලා හිඳිමු.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අපනයන ප‍්‍රවර්ධනයේ අගනා අවස්ථාවක් අපතේ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 646 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site