IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


අපේ මහා නළු සුමින්ද සිරිසේන

සම්මානනීය ප්‍රවීණ රංගධරයකු වූ කලාකීර්ති සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට 7 වැනිදා පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මහා නළු සුමින්ද සිරිසේන මිතුරා හඳුනා ගත්තේ කෝලාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි කාලයේදීය. එ කල එම විද්‍යාලයේ ආචාර්යවරුන් ලෙස ආචාර්ය ආරියවංශ රණවීර හා මහා නළු දයා අල්විස් මහතා සේවය කළහ. ඔවුන් දෙදෙනා එකතුව ‘ගිරිකුළු’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළහ.

එහි ප්‍රධාන නළුවා ලෙස 1970 දශකයේ මුල භාගයේදී සුමින්ද සිරිසේන මිතුරා රඟපෑවේය. එය එකල පාසල් නාට්‍ය උළෙලට ඉදිරිපත් කරන ලදුව එහි රඟපෑ සුමින්ද සිරිසේන විශිෂ්ට නළුවා ලෙස තේරුණේය. එම විද්වත් විනිශ්චය මණ්ඩලයේ මම ද සිටි බව නිහතමානීව පවසමි.

අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසුව සුමින්ද මිතුරා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමාණ ගණන් බලන්නා ලෙස සේවය කළේය. ඔහු වෙනත් නාට්‍ය හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ මෙම කාලයේදීය. එම කටයුතු කරමින් සිටි කාලයේ ඔහු ඩුබායි රටේ වසර ගණනක් රැකියාවකට ගොස් ආපසු ඔහු නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවේම            සේවයට පෙරළා පැමිණියේය.

මෙම කාලයේදී මැක්සිම් ගෝර්කි ගේ ලෝවර් ඩෙප්ත්ස් නාට්‍ය (හිරු නැති ලොව) නමින් මා නිෂ්පාදනය කළ අතර එහි මාස්ටර්ගේ චරිතය ඔහු විශිෂ්ට ලෙස නිරූපණය කළේය. එය ගම් දනව් සිසාරා සියක් වරකට අධිකව වේදිකාගත විය. දිවංගත ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ සූරීහු මෙම නාට්‍ය පිළිබඳ විචාරයක් ලියා පළ කළේය. එම නාට්‍යයේ මුහුන්දිරම් ගේ චරිතය නිරූපණය කළ ආචාර්ය ජයලත් මනෝරත්න මෙන්ම සුමින්ද ද ඉතාමත් විනයධර නළුවෙක් විය. සුමින්දයෝ නියමිත වේලාවට පුහුණුවීම්වලට පැමිණ වෙනත් නළුවන් සමඟ ඕපාදූප කතාවල නිරත නොවී පසකට වී ඉතාමත් භාවනානුයෝගී ලෙස පිටපත කියවා ගත්තෝය. පුහුණුවීම් තුන හතරකට පසුව මනෝරත්න මෙන්ම ඔහු ද කටපාඩමින් දෙබස උච්චාරණය කිරීමට සමත් විය.

සුමින්ද මිතුරා රඟපෑ මගේ දෙවැනි නාට්‍යය වූයේ ෆියදෝර් දෝස්තෝව්ස්කිගේ ජීවිතයේ එක්තරා දුක්බර වකවානුවක් පසුබිම් කර මා ලියූ ‘මේඝ’ නමැති ස්වතන්තර නාට්‍යයයි. එහි මයිකා නමැති කවියාගේ චරිතය නිරූපණය කළ සුමින්ද වේදිකාව ඉදිරිපසට පැමිණ මා හැම්ලට් නාට්‍යයේ රඟපෑවේ මෙසේ යයි කියමින් ඉතා විශිෂ්ටව එම භූමිකාව නිරූපණය කෙළේය. එම නාට්‍යයේම සතින්ගේ භූමිකාව නිරූපණය කළ නීල් අලස් නමැති ප්‍රකට නළුවා ‘සිංදුවත් කාලා දැම්මා මෝඩයා...’ කියමින් නාට්‍යය කෙළවර කරත් ම ප්‍රේක්ෂකයෝ රඟහල දෙවනත් වන සේ අත්පොළසන් කළහ. රසිකයෝ නාට්‍ය නැරඹීමෙන් පසුව වේදිකාව මතට පැමිණ ඔවුන්ගේ සතුට පළ කොට රසිකයන් දෙන සමරු පොත් අත්සන් කර ගනිති.

ඉන් පසුව ඔහු රඟපෑ බොහෝ ටෙලිනාට්‍යය මම නොවරදවාම නැරැඹූ අතර ඔහු සිඟන්නෙකු ලෙස භූමිකාව නිරූපණය කළ ආචාර්ය සෝමරත්න දිසානායකගේ ටෙලිනාට්‍යයේ බෙරයක් වයමින් රඟපෑ භූමිකාව අතිවිශිෂ්ට විය.

ඔහු රෝගාතුර වූ බව අසා මම කොළඹ මහ රෝහල වෙත ගොස් කිහිප වරක්ම ඔහු හා කතා බස් කළෙමි. ඔහු නිවසේ ගත කළ දීර්ඝ කාලය තුළ දී මා ආචාර්ය ආරියවංශ රණවීරයන් සමග කිහිපවරක්ම ගම්පහ පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමි. ඉතා වටිනා ශාස්ත්‍රීය කාරණා ගැන ඔහු සමග කතා කරමින් පැය කිහිපයක්ම අල්ලාප සල්ලාප කර පසුව ගෙදර ආවෙමි.

සුමින්ද නවකතා, කෙටිකතා මෙන්ම විචාර ග්‍රන්ථ ද ඉතා ආශාවෙන් කියෙව්වේය. කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කිගේ ‘ඇන්ඩ් ඇක්ට ප්‍රිපෙයාස්’ යන ග්‍රන්ථය කියෙව්වේද ඔහුගේ පිටපත ඉල්ලාගෙනය. පසුව මම ස්ටැනිස්ලාව්ස්කිගේ ‘රූපණ විධි ක්‍රමය’ නමැති අගනා ග්‍රන්ථය ලීවෙමි.

ටික දිනකට පෙර උදෑසන ප්‍රවෘත්ති නරඹන විට සුමින්ද සිරිසේනගේ අභාවය ගැන අසා මම මහත් සේ ශෝකයට පත් වුණෙමි. සුමින්ද සිරිසේන මිතුරාට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

(***)
ආචාර්ය
රන්ජිත් ධර්මකීර්ති



අදහස් (2)

අපේ මහා නළු සුමින්ද සිරිසේන

ලලිත් - අම්බලන්ගොඩ Wednesday, 06 December 2023 08:24 PM

ඔබේ චරිතය මට නම් කිසිදා අමතක නොවේ. ඔබ විශිෂ්ඨතම නලුවෙකි. ඔබට අමාමහ නිවන් සුව පතමි...

:       0       4

බටගොඩ දොන් සිමන් Thursday, 14 December 2023 02:11 AM

වචනයේ පරිසමාප්ත අර්ථය්ර්න්ම විශිෂ්ඨ රංගධරයෙක්. රඟපෑ සෑම චරිතයකටම සාධාරණයක් ඉටුකළ, දශක ගණනක් පුරා අපට හරවත් වින්දනයක් ලබා දුන් ඔබට ස්වර්ග සැපත, අමා මහ නිවන් සුව...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 2498 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 196 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 176 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site