IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනන්ත බුදු ගුණ බලයෙන් ලොව සැමට සැනසීම අත්වේවා!


ලොව පහළ වූ අසමසම ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වානය සිහිපත් කරන අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය හෙට උදා වේ. ඒ මහා ශාන්ති නායකයාණන්ගේ අනන්ත බුදු ගුණ බලයෙන් හා ආශිර්වාදයෙන් රටෙන් හා ලොවෙන් කොරෝනා මාරාන්තික උවදුර දුරින් දුරු වී ගොස් සියලු සිත් සතන් නිවී සැනසීම් බවට පත් වේවායි ‘ලංකාදීප’ය මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කර සිටී.

බුද්ධත්වයේ පදනම මහා ප්‍රඥාව හා මහා කරුණාවය. නිසරු සසරේ යථා ස්වභාවය හඳුනා ගනු ලබන්නේ මහා ප්‍රඥාව මගිනි. එම මහා ප්‍රඥාව පසක් කරගනිමින් ඉමක් කොනක් පරක් තෙරක් අගක් මුලක් නැති සසර කතරේ අතරමංව සිටින සකල සත්වගට එම දුකෙන් මිදීමේ විමුක්තිය මාවත පෙන්වා දෙනු ලැබුවේ මහා කරුණාවේ මහිමයෙනි.

මේ මොහොත යනු ලොවට බුදුවරයකු නිර්මාණය කළ ඒ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් තමන් තුළින් මතු කරගත යුතු මොහොතකි. ප්‍රඥාව ඇවැසි වන්නේ ඇති තතු ඇති ආකාරයෙන් අවබෝධ කරගැනීමටය. කරුණාව ඇවැසි වන්නේ තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතාරක්ෂාවටය. මේ මොහොතේ විමුක්තිය රැඳී තිබෙන්නේ ඒ ප්‍රඥාවත් කරුණාවත් තුළ පමණකි යන ගැඹුරු සත්‍යය යෝනිසෝ මනසිකාරයෙන් සිහිකටයුතුය.

වෙසක් මංගල්‍යය යනු බෞද්ධයාට තවත් එක් දිනයක් නොවේ. බෞද්ධ ජනයාගේ පරම පූජනීය ආගමික දිනය වෙසක් මංගල්‍යය වේ. එම වෙසක් මංගල්‍යය දුරාතීතයේ සිටම අපි උත්කර්ෂවත් ලෙස සැමරුවෙමු. ආමිෂ පූජාවන්ට හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අසමසම ශාස්තෘවරයාණන්ගේ අනන්තාපරිමාණ මහා ගුණ කඳ සැමරුවෙමු. වෙසක් පහන් කූඩු දල්වමින්, වෙසක් තොරණ ඉදිකරමින්, දන්සල් පවත්වමින් හා නොයෙක් ආකාරයේ විවිධ විචිත්‍ර සැරැසිලි පවත්වමින් බොදුනු නොබොදුනු ජනයා වෙසක් මංගල්‍යය අපි සැමරුවෙමු.

‘න නිච්චං අනිච්චං’ යනුවෙන් බුදු පියාණෝ දේශනා කළහ. එයින් කියැවෙන්නේ නිත්‍ය නොවන දේ අනිත්‍ය බවය. ලොව කිසිවක් සදාකාලික නැත. සියල්ලම තාවකාලිකය. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීම පමණි. නිස්සර සංසාරයේ යථාර්ථය එයය. එහෙයින් ලොව කිසිවක් ‘මමය, මටය, මාගේය’ යනුවෙන් ග්‍රහණය කර නොගන්නැයි බුදු පියාණෝ ඔවදන් දුන්හ.

‘දුක්ඛො ලෝකෝ පතිට්ඨිතෝ’ යනුවෙන් ලෝකය පිහිටා තිබෙන්නේ දුක මත යැයි බුදු පියාණෝ දේශනා කළහ. දුක නොපිහිටා ඇති ලෝකය තුළ සැපක් නැත. තිත්ත ඇත්ත එයය. යථාර්ථය එයමය.

අපට මෙවර වෙසක් සඳ පායා ආවේ ලොව බියකරු යථාර්ථය ද සමගය. මුළු ලොවම භයංකාර මාරක වසංගතයකට ගොදුරු වී තිබේ. දුප්පත් පොහොසත් කුඩා විශාල ආදී ප්‍රබේදයන්ගෙන් තොරව මුළු ලෝකයම කොරෝනා මාරයා ඉදිරිපිට අසරණ වී සිටී. අප රට ද නොසිතූ නොපැතූ ලෙස වේගයෙන් කොරෝනා අඳුරු අගාධය දෙසට තල්ලු වී යමින් තිබේ. දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්දහස් පන්සියයේ සීමාව ඉක්මවා ගියේය. කොරෝනා මරණ සංඛ්‍යාව දහස පැන්නේය. ඉදිරි තෙසතිය තීරණාත්මක බවත්, ඒ අනුව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා යනු අැති බවත් සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

අපට වෙසක් මංගල්‍යය සැමරීමට සිදු වී තිබෙන්නේ මෙම ශාපලත් පරිසරය මැදය. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉල්ලා සිටියේ මෙවර වෙසක් මංගල්‍යය නිවෙසේ සිටම සමරන ලෙසය. රජයත්, සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශත් එම ඉල්ලීම කරති. ඒ එළැඹ ඇති භයානක තත්ත්වයට වෙනත් විසඳුමක් නොමැති හෙයිනි. එමෙන්ම පැමිණීමට නියමිත වසංගත තත්ත්වය පාලනය කරගැනීමට වෙනත් මගක් නොමැති හෙයිනි.

වෙසක් මංගල්‍යය අපට අහිමිව ගියේ තෙවැනි වරටය. 2019 දී සහරාන් නමැති උම්මත්තකයාගේ රුධිර පිපාසය නිසා අපට වෙසක් අහිමි විය. 2020 දී කොරෝනා නිසා අහිමි විය. මෙවර ද එය එසේමය. ඇති තතු ඇති සැටියෙන් දැන හඳුනාගෙන කිසිවකින් කම්පා නොවන අකම්පිත මනසින් යුතුව හා සියල්ල උපේක්ෂාවෙන් දරා සිටීමේ ගුණයෙන් යුතුව මේ මොහොත ගෙවා දමන්නේ නම් එළැඹෙන වසරේ වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් ලෙස සැමරීමේ භාග්‍යය ඔබටත් අපටත් සියල්ලන්ටමත් හිමිවනු ඇත.

(***)



අදහස් (0)

අනන්ත බුදු ගුණ බලයෙන් ලොව සැමට සැනසීම අත්වේවා!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site