IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබෑ අරමුණු

මේ දිනවල කාගේත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවය. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නව විෂය මාලාවක ආගමනය පිළිබඳව විවිධ කරුණු කාරණා සමාජය පුරා ප්‍රචාරණය වේ. ඒ අනුව අනිවාර්ය විෂයයන් 5ක්, දිනකට කාල පරිච්ඡේද 7ක් සහ මතභේදයට තුඩු දෙන කරුණ වන්නේ අනිවාර්ය විෂයයන් අතරින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයය ඉවත් කිරීම පිළිබඳවය. විවිධ වූ මතවාද ප්‍රතිචාර හමුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිකාව ඉදිරියට ගමන් කරනු ඇත.

වර්තමාන ඩිජිටල්කරණය වූ විශ්වීය ලෝකය තුළ මනුෂ්‍යයකු ලෙස නැගි සිටීමට සුවිශාල ශක්‍යතා ප්‍රමාණයක් අවශ්‍ය වේ. එනම් ඉහළ මනුෂ්‍ය ධාරිතාවක් අවශ්‍යය. එම ශක්‍යතා දෛනික ජීවන අත්දැකීම්, පවුල, ආගම හරහා පමණක් පූර්ණය නොවේ. ඒ සඳහා පවතින හොඳම සහ එකම අවිය වන්නේ විධිමත් අධ්‍යාපනයයි. අධ්‍යාපනය බිඳ වැටීම යනු සමාජය බිඳ වැටීමක් වැන්නකි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රධාන විෂයයන් ලෙස ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, ආගම නම් කර ඇත. දැනට පවතින අනිවාර්ය විෂයයන් වන සෞන්දර්ය සහ ඉතිහාසය විෂයයන් තෝරාගත හැකි ඛාණ්ඩ විෂයයන් බවට පත් කර තිබේ. මෙම නව ප්‍රතිසංස්කරණය කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න ගැටලු‍ පවතී.

ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදනය කරනු ලබන ගුරු මාර්ගෝපදේශ තුළ අධ්‍යාපනය හරහා සාක්ෂාත් කරගත යුතු ජාතික අරමුණු, මූලික නිපුණතා සහ විෂය අරමුණු මාලාවක් පවතී. යම් විෂය මාලාවක් සාර්ථකව ඉගැන් වූයේ නම් මෙම අරමුණු සාක්ෂාත් විය යුතුය. ජාතික අරමුණු 8 කි. එනම් මානව අභිමානයට ගරු කිරීමේ සංකල්පයක් මත පිහිටා ශ්‍රී ලාංකික බහු විධ සමාජයේ සංස්කෘතික විවිධත්වය අවබෝධ කර ගනිමින් ජාතික ඒකාබද්ධතාව, ජාතික සෘජු ගුණය. ජාතික සමගිය, එකමුතුකම සහ සාමය ප්‍රවර්ධනය කිරීමෙන් ජාතිය ගොඩ නැගීම සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කිරීම.

වෙනස් වන ලෝකයක අභියෝගවලට ප්‍රතිචාර දක්වන අතර ජාතික උරුමයේ මා හැඟි දායාද හඳුනා ගැනීම සහ සංරක්ෂණය කිරීම.

මානව අයිතිවාසිකම් ගරු කිරීම, යුතුකම් හා වගකීම් පිළිබඳ දැනුවත් වීම, හෘදයාංගම බැඳීමකින් යුතුව එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීම යන ගුණාංග ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන සමාජ සාධාරණත්ව සම්මත සහ ප්‍රජාතාන්ත්‍රික ජීවන රටාවක් ගැබ් වූ පරිසරයක් නිර්මාණ කිරීම සහ පවත්වාගෙන යාමට සහාය වීම.

පුද්ගලයන්ගේ මානසික හා ශාරීරික සුව සම්පත් සහ මානව අගයන්ට ගරු කිරීම මත පදනම් වූ තිරසාර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම.

සුසමාහිත වූ සමබර පෞරුෂයක් සඳහා නිර්මාපණ හැකියාව, ආරම්භක ශක්තිය, විචාරශීලී චින්තනය, වගකීම හා වගවීම ඇතුළු වෙනත් ධනාත්මක අංගලක්ෂණ සංවර්ධනය කිරීම.

පුද්ගලයාගේ සහ ජාතියේ ජීව ගුණය වැඩි දියුණු කෙරෙන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා දායක වන ඵලදායි කාර්යයන් සඳහා අධ්‍යාපනයෙන් මානව සම්පත් සංවර්ධනය කිරීම.

ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක් තුළ සිදුවන වෙනස්කම් අනුව හැඩ ගැසීමට හා ඒවා පාලනය කර ගැනීමට පුද්ගලයන් සූදානම් කිරීම සහ සංකීර්ණ හා අනපේක්ෂිත අවස්ථාවලට සාර්ථක ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම.

ජාත්‍යන්තර ප්‍රජාව අතර ගෞරවනීය ස්ථානයක් හිමිකර ගැනීමට දායක වන යුක්තිය, සමානත්වය සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ ආකල්ප හා කුසලතා පෝෂණය කිරීම.

මෙම අරමුණු අතරින් බොහෝ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා දායක වන්නේ ඉතිහාසය, සාහිත්‍යය සහ සෞන්දර්යය විෂයයන් ය. කරුණු කාරණා එලෙස පැවැතිය ද ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් අනුවිෂයයන් බවට පත් කිරීම ආන්දෝලනයට තුඩු දුන් හේතුව වේ.

අධ්‍යාපනයේ මූලික අරමුණු දෙකකි. එනම් රැකියා වෙළෙඳපොළේ රැකියාවක් කරා ගමන් කිරීම සහ සමාජය තුළ සහජීවනයෙන් යුක්තව යහපත් පුරවැසියකු බවට පත්වීමය. මෙම අරමුණු ද්විත්වයේම යථාර්ථයක් කරා ගමන් කිරීමට නම් අධ්‍යයන විෂයවල සමතුලිතකරණය වැදගත් වේ. එහෙත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එක් අරමුණක් පමණක් සාක්ෂාත් කිරීමට ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබයි. එනම් මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ වී ඇත්තේ අනාගත රැකියා වෙළෙඳපොළ කරා සිසුන් මෙහෙයවීමය. යහපත් පුරවැසියකු බවට සිසුවකු මෙහෙයවීමට නම් සාහිත්‍යය, සෞන්දර්යය මෙන්ම ඉතිහාසය යන විෂයයන් ප්‍රබල අවි ලෙස දායක වේ.

සෞන්දර්ය විෂයය පද්ධතිය හරහා දරාගැනීම, සහයෝගය, සහජීවනය, කලාත්මක හැකියා වර්ධනය, නිර්මාණශීලී චින්තනය ආදිය ප්‍රගුණ කරනු ඇත. ඉතිහාසය විෂය යනු වර්තමානය තුළ ජීවත්වීමට උපයෝගී වන යතුරක් වැනිය. එමෙන්ම ඉතිහාසය යනු ජාතීන්ගේ නැගීම හා වැටීම මෙන්ම මානව වර්ගයාගේ දේශපාලන තත්වය කෙරෙහි බලපෑ අනෙකුත් ශ්‍රේෂ්ඨ පරිවර්තන ද ඇතුළත් වූ මානව වර්ගයා අතර සිදුවීම්වල කතාන්දරයක් වැනි විෂය පද්ධතියකි. සිසුවකු අධ්‍යාපනය හැදෑරීමේ දී කාලය සහ අවකාශය පිළිබඳව අවබෝධය ඉතා වැදගත් වේ. ජීවිත පර්යාවලෝකනය ලබා දෙන ප්‍රමුඛ විෂයයකි ඉතිහාසය විෂයය. ඉතිහාසය විෂයය මගින් මොන යම් හෝ මොහොතක ජාතිවාදය පිළිබඳව ගැටලු‍ ඇති කිරීමට දායක නොවේ. ඉතිහාසය මගින් සිදු කරනුයේ මනුෂ්‍ය වර්ගයා මෙතෙක් කල් අත්පත් කරගත්තා වූ ඥාන සම්භාරය විවිධත්වයෙන් යුතුව අවතීරණ‍ය වීමට ශිෂ්‍යයන් නිරාවරණය කිරීමයි. අධ්‍යාපනය සහ පුද්ගල විනය ඒකාබද්ධ කරනු ලබන්නක් ලෙස ද මෙම ඉතිහාස විෂයය හැඳින්විය හැකිය. ඉතිහාසය ඉගෙනීමෙන් අත්පත් කරගන්නා විෂය අරමුණු අනෙක් විෂයයන් මගින් සාක්ෂාත් කරගත නොහැකි වේ. මෙවන් වැදගත් වන්නා වූ විෂයයන් ප්‍රධාන විෂය ධාරාවෙන් ඉවත් කර අනුවිෂයයන් බවට පත් කිරීම කනගාටුවට කරුණකි. සෑබෑ ලෙසම ජාතික අධ්‍යාපන අරමුණු සඳහා ආමන්ත්‍රණය කිරීමට නම් ඉතිහාසය, සෞන්දර්යය වැනි විෂයයන් කෙරෙහි ප්‍රමුඛත්වක් ලබාදිය යුතුය.

ඉතිහාසය විෂයය 9 ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයයකි. එහෙත් 10- 11 ශ්‍රේණිවල දී ඉතිහාසය යනු තෝරාගත යුතු විෂයයකි. එනම් සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයයක් නොවේ. මෙයින් 6-9 ශ්‍රේණිවලදී ඉතිහාසය විෂයය අනිවාර්ය වුව ද සිසුන් එය සාමාන්‍ය පෙළ අනිවාර්ය විෂයයක් නොවන නිසා යොදවන අවධානයේ අඩුවීමක් සිදු වීමට පවතින අවකාශය ඉතා ඉහළය. එය කනගාටුවට කරුණකි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන පදනමක් යටතේ කවුරුන් විසින්, කෙලෙස සම්පාදනය කළේ ද යන්න ගැටලු‍ පවතී. එහි පාරද්‍රශ්‍යභාවයෙහි ගැටලු‍ පවතී. මෙම නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගිකභාවය පිළිබඳව ද ගැටලු‍ පවතී. ඉතිහාසය වැනි විෂයයන් අනුවිෂයයක් බවට පත්කර ආගම වැනි විෂයයන් ප්‍රධාන විෂයයක් බවට පත් කළේ කුමන පදනමින් ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඉතිහාසය වැනි විෂයයක් නොමැතිව මෙරට පමණක් නොව අනෙක් රටවල් පිළිබඳ දැනුම අවබෝධය ද සිසුන්ට අහිමි වේ. මේ ලෝකය පිළිබඳව අවබෝධය අත්‍යවශ්‍යම කාලයකි. එවන් සමයක ඉතිහාසය අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් විය යුතුය. එසේ නොමැතිවීම විශාල හානියකි.

නව ප්‍රතිසංස්කරණ මගින් විෂයයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට බලපෑ එක හේතුවක් වූයේ සිසුන්ගේ අධ්‍යාපන පීඩනය අවම කිරීම වේ. එය වැරැදි අවබෝධයකි. මන්ද සිසුන් තුළ පීඩනයක් නිර්මාණය වන්නේ විෂයයන් සංඛ්‍යාව මත නොව වර්තමානයේ නිර්මාණය වී තිබෙන තරගකාරිත්වය හේතුවෙනි. විෂයයන් අඩු කළ ද මෙම පවතින තරගකාරිත්වය මත පීඩනය අඩු වීමක් සිදු නොවේ.

ඉතිහාසය විෂයය ඉගැන්වීම පිළිබඳව පවතින ප්‍රමුඛ ගැටලු‍ව වන්නේ බොහෝ පාසල්වල ඉතිහාසය විෂය උගන්වනු ලබන්නේ ක්ෂේත්‍ර ප්‍රවීණ පුහුණු ගුරුවරුන් නොවීමයි. ඒ තුළින් ඉතිහාසය විෂය අරමුණු සාක්ෂාත් කරගත නොහැකිය. ඉතිහාසය විෂයය දැනුම නිසි පරිදි දරුවන් වෙත ලබා දීමට පුහුණුව අවශ්‍ය වේ. ඉතිහාසය පර්යාවලෝකනය පිළිබඳව පුළුල් දැක්මක් අවශ්‍ය වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පැවැත්වූ සාකච්ඡා ප්‍රමාණවත් නොවේ. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය නැවත ආරම්භ කළ යුතුය. මෙම ප්‍රතිසංස්කරණ සඳහා සුසමාදර්ශී විවිධත්වයක් අවශ්‍ය වේ. ජාතික අධ්‍යාපන කොමිසම සහ විද්වතුන් සමග මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක අවශ්‍යතාවක් පවතී. අධ්‍යාපනය සීමා කිරීමක් ප්‍රතිසංස්කරණ හරහා සිදු නොවිය යුතුය. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු‍ අභියෝග පිළිබඳව පූර්ව තක්සේරුවක් කළේ ද යන්න ගැටලු‍වකි. අධ්‍යාපනය වෙළෙඳපොළකරණය වීම වැළැක්විය යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය නොවේ. මින් පෙර පැවැති ආණ්ඩු මගින් ද විවිධ අවස්ථාවල විවිධ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්න ද ඒ කිසිවකින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුද වළක්වාලිය නොහැකි විය. බොහෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සහ මහ පොළොවේ යථාර්ථය අතර විශාල පරතරයක් පැවතුණි. මෙවර ප්‍රතිසංස්කරණවල කනගාටුවට කරුණ වන්නේ පුළුල් සාකච්ඡාවකින් තොරව නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ නොහැකි වීමය. එමෙන්ම මෙම නව ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුළුල් පරිවර්තනයක් කිරීමට පවතින අවකාශය සීමා සහිත වීමය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය නිර්මාණය වී තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පදනම් කර ගනිමිනි. වර්තමානයේ අධ්‍යාපන ක්‍රමවේදය පාසල් තුළින් බැහැර වී උපකාරක පන්ති මත පදනම් වීමක් බහුලව දැකගත හැකිය. එය එක් ගැටලු‍වකි. අනෙක් ගැටලු‍ව වන්නේ පාසල් පද්ධතියේ පවතින විෂමතාවයි. එනම් නාගරික පාසල් තුළ ගුරුවන් අතිරික්තයක් සිටිද් දී භෞතික සම්පත් ද ඕනෑ තරම් පවතිද්දී ග්‍රාමීය පාසල්වල ගුරු හිඟය තවමත් පවතී. බොහෝ ග්‍රාමීය පාසල් තුළ භෞතික සම්පත් හිඟය ද පවතී. එමෙන්ම ගුරු වෘත්තීයේ ද ගැටලු‍ පවතී. එනම් පුහුණු ගුරුවරුන් ප්‍රමාණවත් නොවීම, ගුරු වැටුප් ආදි ගැටලු‍ පවතී. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ කිසිදු ගැටලු‍වකට පිළිතුරු නොලැබේ. අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍ර මග හැරී ඇත. විසඳුම් ලැබිය යුතු ගැටලු‍ එසේම තිබිය දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පසුපස හඹා යෑම යථාර්ථවා දී ද යන්න ප්‍රශ්නාර්ථයකි.

(*** සටහන -ශෂිකා අබේරත්න)



අදහස් (2)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබෑ අරමුණු

PGPTHILAK Tuesday, 05 August 2025 11:45 PM

මෙතුමා ඉතිහාසය කතා කරන්නේ මං පොර සංකල්පය මත වේ. එළාර දුටුගැමුණු යුද්ධ උගන්වන ඉතිහාසය පුරවැසියකු තුළ ගොඩනගා ගත යුතු සමාජ ඒකාබද්ධතාවයට තර්ජනයක්! තවත් එවැනි කතා බොහෝයි! එවැනි ඉතිහාසයයක් නැවතත් වෛරී පුරවැසියන් බිහිවීමට රුකුලකි!

:       4       8

බද්රානි Wednesday, 06 August 2025 03:12 PM

මහාචාර්යවරයාගේ මතයට විකල්ප මතයක් මා දැරුවත්, ප්‍රබුද්ධ සංවාදයකට මඟපෙන්වන, හරවත් ලිපියක් බව මාගේ අදහසයි.නව වන වසර දක්වා පමණක් ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් හැදෑරීම සහජීවනයට හා නිර්මාණශීලිත්වයට බාධාවක් යයි පැවසීම නම් මුසාවක්..යමෙකුට ගැඹුරින් මේ විෂයන් හැදෑරීමට අවශ්‍ය හා දක්ෂතාවයක් ඇත්නම්, ඒ සඳහා අවස්තාව ලබාදී තිබෙනවා.ඉතිහාසය තලු මරමින්, වර්තමාන පරපුර නොමග යවන ප්‍රබන්ද වලට වඩා ප්‍රායෝගික ලෝකයට පිවිසීමයි අධ්‍යාපනය තුලින් සිදුවිය යුත්තේ. ඉතිහාසය දඩමීමා කරගෙන, විවිධ දේශපාලන අධිකාරීන් යහපත් චින්තනය වෙනුවට, ගෝත්‍රික ආකල්ප ඉස්මතු කිරීමෙන් බලයේ රැදී සිටීම තමයි මෙතෙක් සිදුවුයේ. ඉතිහාස නටබුන් සංරක්ෂණය කිරීම වෙනුවට, "ඉතිහාස පම්පෝරිය" තමයි ලංකාවේ සිදුවන්නේ. සෞන්දර්ය විෂයන් පිළිබද කැමැත්තක් හා හැකියාවක් නොමැති මම, වානිජ්‍ය හා ගිණුම් විෂයයි සාමාන්‍ය පෙලට මීට දශක කිහිපයකට කලින් කලේ..සමාජඅධ්‍යනය විෂය තුලින් ප්‍රමාණවත් ඉතිහාස දැනුමක් ලැබුනා. වර්තමානයේ ලෝකෙට අතපාමින් ජීවිතය ගැටගහ ගන්න අපිට, ඉතිහාසය තලු මරනවට වඩා, නවීන තාක්ෂණයට අවතීර්ණ වෙමින් ලෝකය දෙසට ගමන් කිරීමයි අවශ්‍ය වන්නේ..

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 620 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site