අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු එකකි. පාසල් විෂය මාලා යනු තවත් එකකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන විට විෂය මාලා සංශෝධනයත් ඊට ඇතුළත් වේ. ඊට අමතරව එය පාසල් නවීකරණය කිරීම, අධ්‍යයන කාර්යමණ්ඩලය පිළිබඳ ගැටලු විසඳීම්, අනධ්‍යයන කාර්යමණ්ඩලය පිළිබඳ ගැටලු විසඳීම් ආදි සංකීර්ණ කාර්යයකි.
මට පෙනෙන හැටියට මේ අවස්ථාවේ සිදු කරන්නට යන්නේ කුමක්දැයි එම විෂයය බාරව සිටින අයට ද හරි හමන් වැටහීමක් නැති බව පැහැදිලිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් කරන්නට යන්නේ කුමක් දැයි හරි හැටි දන්නා කෙනකු මේ තුන් ලෝකයේවත් සිටිනවා දැයි අප දන්නේ නැත. ඊට හේතුව රටේ කිසිදු සාකච්ඡාවකින් තොරව මේ කරන්නට යන කාර්යය අහසින් කඩාවැටුණු එකක් සේ පෙනෙන බැවිනි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී කළ යුත්තේ කුමක් ද යන වග මුලින්ම සමාජ සංවාදයකට භාජන විය යුතුය. රටේ ආර්ථික ප්‍රමුඛතාව අධ්‍යාපනයෙන් පෙනෙන්නට තිබිය යුතුය. ඉගෙන ගෙන රැකියාව හොයනු වෙනුවට රැකියාව ගැන ඉගෙනගත හැකි පරිසරයක් තිබිය යුතුය. සමාජය ගැන ඉගෙන ගැනීමට අවස්ථාව තිබිය යුතුය. පාසල හා ප්‍රජාව අතර සම්බන්ධතාව තිබිය යුත්තේ ඒ සඳහාය.
මෙය බැලූ බැල්මට නීති විරෝධි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකි. බැලූ බැල්මට පෙනෙන්නේ එය මාලිමා ආණ්ඩුවටත් හිත යහපත පිණිස පවතින්නක් නොවන බවය. මේ රටේ ඇතැම් ඇමැතිවරුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට ඇත්තේ පුදුමාකාර හදිසියකි. අපේ රටේ තරම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ රටවල් තව ඇතිදැයි සැක සහිතය. හිතුණු හිතුණු කෙනාට හිතුණු හිතුණු අන්දමින් ප්‍රතිසංස්කරණ කළ රටකි මෙය. ඇතැම් වේලාවට ආණ්ඩුවෙන් ආණ්ඩුවට පවා මේවා සිද්ධ විය. ඇතැම් වේලාවට එකම ආණ්ඩුවේ ඇමැතිවරුන් වෙනස් වන විට පවා මෙරටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කෙරිණ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඇත්තය. එහෙත්, එක් එක් අයගේ පෞද්ගලික වුවමනාවලට අධ්‍යාපනය එකතු කිරීම වැරැදිය. රටක අධ්‍යාපනය යනු, ඒ රටේ බුද්ධි මට්ටම තීරණය කරන වැඩපිළිවෙළය. ඒ රටේ සංවර්ධනය තීරණය කරන වැඩපිළිවෙළය. එවැන්නක් මොන තරම් සමාජ සාකච්ඡාවට ලක් විය යුතු ද? නිවැරැදි මතවාද ඉදිරිපත් වෙන්නේ එවන් සාකච්ඡාවකිනි. එහෙත්, මෙසේ සිදුවන ප්‍රතිසංස්කරණ බැලූ බැල්මට පෙනෙන්නේ සාකච්ඡාවෙන් තොර නියෝග ලෙසය. එසේ නම්, පාසල් විෂය මාලාවට එන්නේ එබඳු ඒකාධිපති නියෝග ද? අපේ අදහස නම්, ඒ ක්‍රමය රටට නොගැළපෙන එකක් බවය.
අධ්‍යාපන ඇමැතිවරිය අධ්‍යාපනය සම්බන්ධයෙන් පළ කරන මත පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මේ ආණ්ඩුව කලබලෙන්ම යොමු වූයේ ඇයි දැයි තේරුම්ගත නොහැකිය. මේ ආණ්ඩුවේ බොහෝ දෙනා බලයට එන්නට පෙර අධ්‍යාපනය පිළිබඳව බරපතළ විවේචන ඉදිරිපත් කළේය. එහෙත්, මේ ප්‍රතිසංස්කරණය කලින් ආණ්ඩු හැදූ ඒ අයගේ වුවමනාව සඵල කරගත් එකක් බව පැහැදිලිය. එසේ නොමැතිව රටට ගැළපෙන රටට ඔරොත්තු දෙන එකක් හැටියට දැකීම අසීරුය. මේ ප්‍රතිසංස්කරණයට ගැළපුණත් පුනරුදයට ගැළපෙන්නේ නැත.
රටක තිබෙන අධ්‍යාපන විෂය මාලාවෙන් පෙනෙන්නේ, ඒ රටේ අනාගත අපේක්‍ෂාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. ගොවියා අන්දා බලයට පැමිණි මේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ගොවිතැන ගැන පළපුරුද්දක් ඇති කරවන, ගොවියා රජ කරවන අධ්‍යාපන ක්‍රමයකට දරුවන් කුඩා කල සිටම හුරු කරවීමය කළ යුත්තේ. අධ්‍යාපනය යනු රැකියාවම බව පෙන්වන ක්‍රමයක් සැකසිය යුතුය. රැකියාව කරන්නේ කෙසේ ද යන්න අධ්‍යාපනයෙන් ඉගැන්විය යුතුය. ඒ සඳහා මේ තුළ කිසිම සැලසුමක් ඇති බවක් පෙනෙන්නේ නැත. අද ලෝකය ගමන් කරන්නේ තාක්ෂණයට අනුවය. තාක්ෂණයට හුරු කරවන මිනිසුන් මෙන්ම ලෝකයට පිරිමැහෙන මිනිසුන් ලංකාවේ අධ්‍යාපනයෙන් ගොඩනැගිය යුතුය. ලංකාව යනු, ලෝකයට පිරිමැහෙන අධ්‍යාපනයක් තිබෙන රටක් විය යුතුය. හුදෙකලා වී මේ රට පමණක් ගොඩනගන්නට උත්සාහ දැරීම මුළාවකි. අද ලෝකයම එක ගම්මානයකි. මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවධාරණය විය යුත්තේ ස්වදේශිකත්වය තුළින් ලෝකයට යන්නේ කෙසේ ද යන කාරණයය. බලයට එන්නට පෙර තිබුණු අදහස්, බලයට ආ ගමන් වෙනස් වීම බොහෝ ආණ්ඩුවල ස්වභාවයයි. අද අධ්‍යාපන සංවර්ධනය ගැන කතා කරන්නන් කියන්නේ, පසුගිය ආණ්ඩුවලින් සැලසුම් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇතුළේ හිඳිමින්ය. තවමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ලංකාවට තියෙනවා ද? ආණ්ඩුව බලයට එන්නට පෙර කී අධ්‍යාපන අදහස් මේ ප්‍රතිසංස්කරණ තුළ දැකිය හැකි ද? බලයට එන්නට පෙර විවේචනය කරන, පස්සේ හොඳයි කියන තත්වයේ ඇත්තේ කුහකකම මිස වෙන කුමක් ද?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යනු, කුමර බඹසර කුමරි බඹසර අනුව ජීවිතය හදාගත් පිළිවෙළක් ඇති එකකි. එය එදා සිට සිංහල රටේ විදිහය. බලයට ආවායින් පසු සිංහල රටේ විධික්‍රම අමතක වී ගොස් තිබේ ද? මේ ආණ්ඩුවට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අවශ්‍ය කරන්නේ දරුවන්ගේ කුමරි බඹසරත් කුමර බඹසරත් කඩා දැමීමට ද?
යුරෝපා අධ්‍යාපනය ඒ ඒ රටවලට ගැළපුණ ද එය අපට ගැළපෙන්නේ කෙසේ ද? යුරෝපයේ අධ්‍යාපනය සකස් වීයේ ඒ රටේ භූගෝලීය අවශ්‍යතා හා දේශපාලන අවශ්‍යතා සංවර්ධනයට ගැළපෙන පරිදිය. අපේ රටේ අධ්‍යාපනය සැකසිය යුත්තේ දියුණු වෙමින් පවතින ලෝකයට ගැළපෙන රට දියුණු වීමට බලපාන විදිහටය. පින්ලන්තයේ දියුණු අධ්‍යාපනයක් ඇතැයි කියා ඒ අධ්‍යාපනය අපේ රටට එහෙම පිටින්ම පැළ කරවීමට උත්සාහ ගත යුතු නැත. අධ්‍යාපන සංකල්ප හදාරන්නට අවශ්‍ය වන්නේ අපේ ආර්ථිකය අපේ දේශපාලනයට ගැළපෙන පරිදිය. දළ ජාතික නිෂ්පාදනය, සමාජය, ආචාර සමාචාර පිළිවෙත් කඩා බිඳ දමා අධ්‍යාපනයක් සැකසිය නොහැකිය. අපේ දරුවන්ගේ කුමර බඹසර කුමරි බඹසර කඩා දැමීමට බලධාරින්ට මේ තරම් උනන්දුවක් ඇති වී තිබෙන්නේ ඇයි? පොදුවේ රටකට බලපාන විදිහට නීති සකස් කරන්නේ නම් එතැන ඇති ගැළපීම මොකක් ද? ආණ්ඩුවක් හැටියට අධ්‍යාපනය වැනි විෂයයක් ගැන කතා කරන විට මීට වඩා බුද්ධිමත් විය යුතුය. යමක් කිරීම වැදගත් බව ඇත්තය. එය අර්ථවත් දෙයක් වීම එය කළ අයටත් ලාභයකි. අනර්ථයක් කළහොත් කළ අයටත් ඉන් හානියක් සිදු වේ. හරි හමන් රැකියාවක් නැති ජීවත් වන්නට ක්‍රමයක් නැති මිනිසුන් සිටින අපේ රටට දැන් අඩු වී තිබෙන්නේ ලිංගික අධ්‍යාපනය පමණ ද?
මේ මාලිමා ආණ්ඩුව ගෙන එන පනත් බොහෝ ඒවායේ ඇත්තේ වඳ පීදුණු අදහස් බවයි පෙනෙන්නේ. අලුත් අදහසක් සමාජගත කරන විට එහි සමාජ අවශ්‍යතාව ගැන විශේෂයෙන් සිතිය යුතුය. දරුවන්ට දඬුවම් කරන එක වැරැදි බව ඇත්තය. එය අපේ සංස්කෘතිය තුළ තිබුණි. දැනටත් ක්‍රියාත්මක නීති ඕනෑ තරම් තිබේ. එසේ නම්, මේ කරන්නේ නැති අවුලක් නිර්මාණය කිරීමය. ඒ අවුලෙන් සිදුවන්නේ හිපි සංස්කෘතියක් බිහි වීමය. හිපි සංස්කෘතිය තුළ හරියට ජාතියක් නැත. ජන්මයක් නැත. සහෝදරත්වයක් නැත. සංස්කෘතිය අඳුරන්නේ නැත. පිරිමියා ගැහැනිය හඳුනන්නේ නැත. පිරිමියා පිරිමියා හැටියටත්, ගැහැනිය ගැහැනිය හැටියටත් පවුල් ජීවිතය ගෙවන්නට ඔවුන්ට හැකිය. එහෙත්, හිපි සංකල්ප මේ රටට හරි යන්නේ නැත. එය මේ ආණ්ඩුව තේරුම් ගත්තේ නැති නම්, එය ඔවුන්ගේ අනාගත පැවැත්මට බලපානු ඇත.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැටියට ගෙනෙන මාලා සංශෝධනය ඇත්තටම මේ රටට ගැළපෙන්නේ නැත. අපේ රට බෞද්ධ රටකි. එසේම, රටේ ඉතිහාසය බෞද්ධ සංස්කෘතියකින් පෝෂණය වූවකි. ආගම ඉගෙන ගන්නවාටත් වඩා ඉතිහාසය ඉගෙන ගැනීම අපේ රටට වැදගත්ය. අපේ රටේ ඉතිහාසය නොදන්නා හිපියන් හදන්නට ආණ්ඩුවට ඇති අවශ්‍යතාව කුමක් ද? ජනතාව ඡන්දය ලබාදුන්නේ මොවුන් මේ රට හදනු ඇතැයි අපේක්‍ෂාවෙනි. අවුරුදු පහ ගත වන විටත් ඒ වැඩේ නැත්නම් ඔවුන්ට සිද්ධ වන්නේ අපට මෙය කළ නොහැකි යැයි කියා ඉවත් වීමය.
ගුරුවරුන් පුහුණු කරන්නේ නැතිව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ප්‍රතිපත්තිවලින්ම පෙනෙන්නේ මෙය අවුල් ජාලයක් බවය. එක හමාරට ඇරෙන පාසල දෙක වනතුරු තබා ගැනීම නොවේ ගැටලුව. ගැටලුව වී ඇත්තේ, ප්‍රතිපත්තියක් නැතිව වරින් වරට වෙනස් කිරීමය. මේ රටේ අධ්‍යාපන සම අවස්ථා අවශ්‍ය වුව ද රාජකීය විද්‍යාලය ගැන පමණක් සිතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්නට යාම නිවැරැදි නොවේ. අපේ රටේ ඉතිහාසයේ යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැවැතිණි. අනුවණ පරිපාලකවරු ඒවා නැති කර දැමූහ. 1930 ගණන්වල තිබුණු හන්දෙස්ස අධ්‍යාපන ක්‍රමය යහපත් එකකි. පසුගිය කාලයේ තිබුණ අඛණ්ඩ ඇගැයීම් ක්‍රමයෙන් රට තොට ගැන, සමාජය ගැන, පන්සල පාසල ගැන දැනුම පුළුල් විය. අපේ රටේ සිටින අධ්‍යාපනඥයෝ බොහෝ දෙනා ලංකාව හැදෑරූවෝ නොවෙති. ඔවුහු පිටරට අධ්‍යාපන සංකල්ප හැදෑරූවෝය.
එහෙත්, ඔවුන් උගත් සංකල්ප ලංකාවේ පොළොවේ රෝපණය වෙන්නේ නැත. මඩ හෝදාගත් ගොවියා රජකමට සුදුසු බව කියන තත්වයේ අධ්‍යාපන ක්‍රමයක් එදා පැවැතිණ. එබැවින්, ගොවියා යහපත් ආර්ථික තත්වයකට ගෙනෙන්නට සහ සමාජ තත්වයකට ගෙනෙන්නට හැකියාව ලැබිණ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එබඳු දේවල් දැකිය නොහැකිය. එහෙත්, බලයට එන්නට පෙර ආණ්ඩුව කිව්වේ ඒවා කරන බවය. කිව්වේ එකකි, දැන් කරන්නේ තව එකකි. එදා තිබුණේ හොරකමය. අද තියෙන්නේ බොරුය. අධ්‍යාපනය යනු හොර බොරු නැති මිනිසුන් තැනීමය. මිනිස්සු ඡන්දය දුන්නේ බලය අරගෙන පැලැස්තර අලවන්නට නොවේ. රට ගැන සිතා අර්ථවත් වැඩපිළිවෙළක් හදනු ඇතැයි ජනතාව සිතූහ. ඔවුන් ඡන්දය ලබාදුන්නේ ක්‍රම වෙනසක් වෙනුවෙනි. ආගමික අධ්‍යාපනයත් දැන් බැහැර වෙමින් පවතියි. රටේ යම් යම් සිද්ධිවලින් එය පෙනෙන්නට තිබේ. අප මේ පෙන්වා දෙන අඩුපාඩු රට ගැන සිතා කරන ක්‍රියා මිසක පක්ෂ ගැන සිතා කරන දේවල් හැටියට නොසිතිය යුතුය. මොන ආණ්ඩුවක වුවත් වැරැද්ද, වැරැද්ද හැටියට දකින්නට හැකි මානසික තත්වයක් අප නිර්මාණය කළ යුතුය.
(***)
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අදුරේ අතගාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ