රටේ පවතින විදුලි අර්බුදයෙහි ප්‍රධානතම වගඋත්තරකරුවා විදුලිබල මණ්ඩලය බවට චෝදනා නැගෙයි. එසේම විදුලි බල මණ්‍ඩලය රටේ ආර්ථිකය වනසන රාක්‍ෂයන් අතරින් එකකු බවට ද ඇත්තේ ප්‍රබල මතයකි. නැගෙන ඒ චෝදනාවලින් මණ්ඩලය ගලවාගන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි.

මේ සාකච්ඡාව සඳහා අද අප සම්බන්ධ කරගන්නේ මොරටුව විශ්‍ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ හිටපු ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය නිශාන්ත නානායක්කාරය. ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකර ඉන් නිපදවන විදුලිය මණ්ඩලයට විකුණන දේශීය සමාගමක හිමිකරුවකු වන ආචාර්ය නානායක්කාර රුවන්ඩා, බුරුන්ඩි, කෙන්යා, ටැන්සානියා වැනි රටවල් කිහිපයක ආණ්ඩුවල ආරාධනය මත ඒ රටවල ජල විදුලි බලාගාර ඉදිකළ විදුලි ඉංජිනේරුවෙකි. දැන් ජපන් ආණ්ඩුව සතු කුඩා ජල විදුලි ව්‍යාපෘති කිහිපයක් නවීකරණය කර දීමට ද ඉදිරිපත්ව සිටියි. ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයෙහි (Unido) හිටපු බලශක්ති උපදේශකයකු ද වන ආචාර්ය නානායක්කාර රටත්, ජනතාවත්, විදුලිබල මණ්ඩලයත් ගලවා ගැනීමට කළ යුතු දේවල් මෙසේ විග්‍රහ කරයි.

රටේ ජනතාව දැන් වැඩියෙන් කතා කරන්නේ විදුලිය කැපිල්ල ගැන නොව මණ්ඩලයේ පවතින අකාර්යක්‍ෂමතා සහ දූෂණ නිසා තමන්ටත් විඳවන්නට සිදුවී තිබීම පිළිබඳවය. විදුලි බල මණ්‍ඩලය තමනුත් රටත් රටේ ආර්ථිකයත් වනසන රාක්‍ෂයකු බව ජනතාවගේ නිගමනයයි. මණ්‍ඩලයේ ප්‍රශ්නයක් තිබෙන බව දැන් එහි ජ්‍යෙෂ්‍ඨ ඉංජිනේරුවෝ පවා පිළිගනිති. ඔවුන් අද පිළිගන්නා කරුණු අප රටට හෙළි කළේ වසර 2002 දී පමණ සිටය. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුරට ජ්‍යෙෂ්ඨතාවය මත පොල් පිත්තකට වුවද පත්විය හැකි බව අප රටට කී එක් කාරණයකි. ජ්‍යෙෂ්‍ඨ ඉංජිනේරුවෝ දැන් එය පිළිගනිති. විදුලි බල මණ්ඩලයේ කළමනාකාරීත්වය එනම් එහි ඉංජිනේරුවන් මෙතෙක් කාලයක් මණ්‍ඩලය පවත්වාගෙන ආවේ තමන්ගේ සුඛ විහරණය සඳහාම දැයි දැන් ජනතාවට සාධාරණ සහ යුක්ති සහගත සැකයක් මතු වී තිබේ.

ජනතාවට ඒ සැකය ඇති වී තිබෙන්නේ මණ්ඩලය නැත්තටම නැති වී ඉංජිනේරුවන් පමණක් ඉතිරි වී සිටින නිසාය. මණ්ඩලය පාඩු ලබද්දී බෝනස් ලබාගැනීම සහ මණ්ඩලයේ සේවකයන් සහ නිලධාරීන් තමන්ගේ මුදලින් ගෙවිය යුතු උපයනවිට බදු ජනතා මුදලින් ගෙවීම ඒ සම්බන්ධයෙන් ජනතාව දක්වන සරල උදාහරණ දෙකකි. 2010 සිට 2020 අතර කාලයේ දී එසේ ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් කෝටි 498ක් බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. මණ්‍ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකුගේ මුළු වැටුප රුපියල් ලක්‍ෂ දහය ඉක්මවන බවද කියැවෙයි. ජ්‍යෙෂ්‍ඨ ඉංජිනේරුවකුට ලක්‍ෂ හයක පමණ වැටුපක් ලැබෙන බවද දැන් අනාවරණය වී හමාරය. මේ නිසා ලංවිම ඉංජිනේරුවෝ රටේ මහ ජනතාවගේ පිළිකුලට ලක්ව සිටිති.

මගේ දැක්ම අනුව නම් ලක්‍ෂ දහයක වැටුපක් නොව ලක්‍ෂ 20ක් ගත්තත් කමක් නැත. එහෙත් එතරම් ඉහළ වැටුප් ගත යුත්තේ ඒ ආයතනය රටට ලාබදායක ආයතනයක් නම් සහ ජනතාවට සුබදායක ආයතනයක් නම් පමණකි. මණ්ඩලය රටට බරක්ව තිබිය දී මහා පරිමාණයෙන් අලාබ ලබද්දී බෝනස් ගැනීම කිසිලෙසකින්වත් යුක්ති සහගත කළ නොහැකිය. පෞද්ගලික අංශයේ ආයතනයක් පාඩු ලබන්නේ නම් කරන්නේ වසා දැමීමය. එවිට සේවකයන්ට රැකියා ද නැති වෙයි. එහෙත් ලංවිම දිගින් දිගටම පාඩු ලබද්දී රටේ ආර්ථිකය අස්ථාවර කරද්දී පවත්වාගෙන ගොස් තිබේ. ඒ ඉතා ඉහළ වැටුප් සහ බෝනස් ලබාගනිමින් සහ තමන් ගෙවිය යුතු බදු ජනතා මුදල්වලින් ගෙවමිනි. ලංවිම ඉංජිනේරුවන් මණ්ඩලය පවත්වාගෙන ගොස් ඇත්තේ තමන් වෙනුවෙන්ය යන මතය සමාජගතවී තිබෙන්නේ එහෙයිනි.

2022 දී ලංවිම අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 25,000කි. 2022 දී අපේක්‍ෂිත වියදම රුපියල් කෝටි 75,000 කි. එවිට පාඩුව රුපියල් කෝටි 50,000කි. ඒ කෝටි 50,000 දිය යුත්තේ මහා භාණ්ඩාගාරයෙනි. භාණ්‍ඩාගාරයේ තිබෙන්නේ ජනතාවට අයිති මුදල්ය. ආණ්‍ඩුවේ බලපෑම මත රාජ්‍ය බැංකුවලින් ලංවිමට ණය දීම නිසා දැන් ඒ බැංකු ද බංකොලොත් වී තිබේ. මණ්‍ඩලය තවදුරටත් මෙසේ පවත්වාගෙන යා හැකිද? යා යුතුද? මණ්ඩලය මෙසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තිබෙන්නේ කාටද? යනාදී ප්‍රශ්න දැන් උද්ගතව තිබේ.

1996 වන තුරුත් ලංවිම ලාබ ලැබූ ආයතනයකි. ඒ වනවිටත් රටේ මුළු විදුලි අවශ්‍යතාවෙන් සියයට 85‌ක් පමණ සපුරා ගත්තේ ජල විදුලි බලයෙනි. මණ්ඩලයට කණ කොකා හඬන්නට පටන්ගත්තේ 1995න් පසුවය.

ඒ යුගයේ ආරම්භ වූ විදුලිය කැපිල්ලත් සමග පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම ආරම්භ විය. ලංවිම පාඩු ලබන ආයතනයක් බවට පත්වන්නේ 1997 සිටය.

ඊට මූලික හේතුව රටට අවාසි දායක ලෙස විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්ය. මණ්‍ඩලය ලබන පාඩුව 1997 සිට වැඩි වුණා මිස අඩු වූයේ නැත. ඊට වගකිව යුත්තේ ලංවිම ඉංජිනේරුවන් පමණක් ද යන්න ද ප්‍රශ්නයකි.

වියදමට සාපේක්‍ෂව විදුලිය ගාස්තුව තීරණය කරන්නට මණ්‍ඩලයට ඉඩ නොදී එය තීරණය කළේ බලයේ සිටි ආණ්ඩුමය. එසේම ලංවිම ඉංජිනේරුවන් සකස් කළ දිගු කාලීන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ ද බලයේ සිටි ආණ්ඩුය. ඒ නිසා පවතින අර්බුදයේ වගකීම ආණ්ඩු විසින් සේම ලංවිම ඉංජිනේරුවන් විසින් ද බාරගනු ලැබිය යුතුය.

ලංවිම මේ තත්ත්වයට පත්වීමට බලපෑ ප්‍රධාන කාරණය 2009 දී ඇති කළ සංශෝධන ක්‍රියාත්මක නොකිරීමය. 2009 දී ඇති කළ නීති සංශෝධන මගින් විදුලි බල මණ්ඩලය කොටස් අටකට බෙදා වෙන් කෙරිණි.

විදුලිය බෙදාහැරීම සඳහා සමාගම් හතරක් ද සම්ප්‍රේෂණය සහ ජනනය සඳහා තවත් සමාගම් කිහිපයක් ද ඇති කළේ 2009 නීති සංශෝධනයෙනි. ඒ සමාගම් සියල්ල රජයට අයිති සමාගම් විය. ඒ සමාගම් සියල්ල මහජන උපයෝගිතා කොමිසමේ අධීක්‍ෂණය යටතේ පැවැතිය යුතු බවද ඒ නීති සංශෝධනයෙන් කියැවිණි. ලංවිම ඉංජිනේරුවෝ ඊට කැමැති නොවූහ. අවසානයේ ඔවුන් කැමැති වූයේ ඉහළ තනතුරු සංඛ්‍යාව වැඩි කර ගැනීමට අවසර ලැබුණු නිසාය. දැන් මණ්ඩලයේ සිටින විදුලි ඉංජිනේරුවන් සංඛ්‍යාව 1000කට අධිකය.

එහෙත් එතරම් විශාල පිරිසක් කරන කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ ඉංජිනේරුවන් 200ක් පමණ පිරිසකි. 2013 දී යළි නීති සංශෝධනයක් මගින් 2009 දී කළ සංශෝධනය හකුළා දමා ලංවිම යළිත් තනි ආයතනයක් කෙරිණි. වර්තමාන අර්බුදයට මූලික හේතුව එයයි. ඒ නිසා යළිත් 2009 දී කළා සේ විදුලි බල මණ්‍ඩලයේ කටයුතු රජයට අයත් සමාගම් රැසකට භාර දිය යුතුය. එය එසේ නොකළොත් ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආණ්‍ඩුවට ණය නොලැබෙනු නිසැකය.

ඒ රාජ්‍ය සමාගම්වලට අවුරුදු දෙකක් පමණ ක්‍රියාත්මක වෙන්නට හැර ඉන් අනතුරුව ඒවා කොටස් වෙළෙඳපොළ සමාගම් බවට පත් කළ යුතුය. ඒ සමාගම් සියල්ල කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළ නොහැකි වූවත් සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළට යොමු කළ හැකිය.

1985 දී ආණ්ඩුව ලංවිමට පවරා දුන් ජල විදුලි බලාගාර සියල්ල ඇතුළත් එක් සමාගමක් බිහි කළ යුතුය. ඒ ජල විදුලි බලාගාරවල ධාරිතාව අවුරුද්දකට මෙගාවොට් 1,383කි. ඒ ජල විදුලි ව්‍යාපෘතිවලින් අවුරුද්දකට විදුලි ඒකක මිලියන 3000 සිට 6000 අතර ප්‍රමාණයක් නිපදවයි. එය අවුරුද්දකට යුනිට් මිලියන 4000ක් ලෙස ගණනය කරමු.

ඒ විදුලිය මණ්‍ඩලයට ලැබෙන්නේ නොමිලේය. ඒ බලාගාරවලට ගත් ණය ගෙවා අවසන්ය. වතුරත් නොමිලේ ලැබෙයි. ටර්බයින් කැරකෙයි. අවුරුද්දකට යුනිට් මිලියන 4000ක් නොමිලේ ලැබෙද්දීත් මණ්‍ඩලය අවුරුද්දකට රුපියල් කෝටි 50,000කින් අලාබ ලබන්නේ කොහොමද? එය යුක්ති සහගත කරන්නේ කොහොමද?

රජය සතු ජල විදුලි බලාගාර සියල්ල රජයට අයත් සමාගමක් යටතට පත්කර ඒ විදුලි ඒකකයක් රුපියල් 20 බැගින් සම්ප්‍රේෂණ සමාගමකට අලෙවි කළහොත් අවුරුද්දකට රුපියල් කෝටි 8000ක ආදායමක් ලැබෙයි. බලාගාර අයත් සමාගම කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළහොත් ඇමෙරිකන් ඩොලර් බිලියන තුනකට වැඩි ආදායමක් උපයා ගත හැකිය. ඒ ඩොලර් ටික රටේ ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ආනයනය කරගැනීමට ප්‍රමාණවත් වෙයි.

ගල් අඟුරු සහ තෙල්වලින් ක්‍රියාත්මක වන බලාගාර ද ලංවිම සතුව පවතී. ඒ බලාගාර අතරින් තෙල්වලින් ක්‍රියාත්මක වන බලාගාරවල ධාරිතාව මෙගාවොට් 654කි. ගල් අඟුරු බලාගාර දෙවර්ගයෙන් 2020 දී පමණක් විදුලිය යුනිට් මිලියන 7880ක් ජනනය කර තිබේ.

මණ්‍ඩලය සතු ගල් අඟුරු හා තෙල් බලාගාර ඇතුළත් තවත් රාජ්‍ය සමාගම් දෙකක් ගොඩ නැගිය යුතුය. අවුරුදු දෙකකට පමණ පසුව ඒවා ද කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළ යුතුය.

එමඟින් ඩොලර් මිලියන 8000කට ආසන්න ආදායමක් උපයාගත හැකිය. ජල විදුලි බලාගාර ඇතුළත් සමාගම කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කිරීමෙන් ඩොලර් මිලියන 3000කට වැඩි ආදායමක් උපයා ගත හැකි බව ඉහත ද කීවෙමි. ඒ දෙකෙහි එකතුව ඩොලර් මිලියන 11,000කි. රටට අත්‍යවශ්‍ය ඩොලර් නෑ නෑ කියමින් කෙකර ගාන්නේ ඩොලර් උපයා ගැනීමට අවශ්‍ය සම්පත් අප සතුව තිබිය දී බව රටේ පාලකයෝ අවබෝධ කරගත යුත්තෝය. ඒ සමාගම් තුන කොටස් වෙළෙඳපොළට යොමු කිරීමෙන් රටට අවශ්‍ය ඩොලර් ලැබෙනවාට අමතරව ඒවා ලාබ ලබන කාර්යක්‍ෂම ආයතන බවට ද පත්වෙයි.

ලංවිම දැන් අන්ත අකාර්යක්‍ෂමය. එය කාර්යක්‍ෂමවීමට නම් සමාගම් කිහිපයකට බෙදා වෙන් කළ යුතුමය. ඒ සඳහා මුදලක් වැය නොවෙයි. කළ යුත්තේ 2009 දී හඳුන්වා දුන් නීතිය යළි බලගැන්වීම පමණකි.

ඒ සමාගම් මුල දී රජය සතු විය යුතුය. වෙන වෙනම සමාගම් වූ විට ඒ සෑම එකකින්ම ශේෂ පත්‍රයක් නිකුත් වෙයි. ආදායම් වියදම් ලාබ පාඩු ප්‍රකාශයට පත් වෙයි. අවුරුදු දෙකකින් පමණ පසු ඒ සමාගම් සියල්ල කොටස් වෙළෙඳපොළට යොමු කළ යුතුය. එමඟින් රටට ඩොලර් උපයා ගත හැකිය. මා යළිත් කියන්නේ ඩොලර් ඉපයිය හැකි සම්පත් රට ඇතුළේ ඕනෑ තරම් තිබෙන බවය. ප්‍රශ්නයකට තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒවා නොපෙනීමය. එසේම දන්නා මිනිසුන්ගෙන් ඒවා දැන ගැනීමට ඉගෙන ගැනීමට වුවමනාවක් නැති කමය. කෙටියෙන් කිවහොත් ඔවුන්ට රට ගැන හැඟීමක් නැති කමය.

ලංකාවේ ක්‍රියාත්මක සෑම තේ කම්හලකම කිලෝ වොට් 200 සිට 400 අතර ඩීසල් ජෙනරේටර් පවතී. රටේ තේ කම්හල් 450ක් තිබෙන අතර ඉන් 400ක් මැනවින් ක්‍රියාත්මක වෙයි. එසේම කොළඹ තිබෙන සෑම තට්ටු නිවාස සංකීර්ණයකම විදුලිය ජනන යන්ත්‍ර තිබේ. කර්මාන්ත ශාලාවල ද විවිධ පරිමාණයේ විදුලිය ජනන යන්ත්‍ර තිබේ. ඒ ජනන යන්ත්‍රවලින් මෙගාවේට් 300ක විදුලියක් ඕනෑම වෙලාවක පද්ධතියට සම්බන්ධ කළ හැකිය. අධික මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය නොගෙන මා ඉහත කී තැන්වල තිබෙන ජනන යන්ත්‍රවලින් නිපදවන විදුලිය අවශ්‍ය වෙලාවට ගත හැකිය. එමඟින් පෞද්ගලික බලාගාර හිමියන්ට ජනතා මුදල් පොම්ප කිරීම නවත දැමිය හැකිය. එය ලංවිමටත් රජයටත් සහනයකි.

සුළං බලයෙන් විදුලිය මෙගාවොට් 500ක් නිපදවීමට නියමිතය. එය ඉන්දියානු සමාගමකට භාරදීමට එරෙහිව කෑ ගැසීම නිරර්ථකය.

සුළං බලයෙන් මෙගාවොට් 500ක් නොව 10,000ක් පමණ නිපදවිය හැකි තත්ත්වයක් රටේ පවතී.

ඒ සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ යුතුය. එය මේ වනවිටත් නිම වී තිබිය යුත්තකි. එසේම එය කිරීම රජයේ වගකීමකි.

එවැන්නක් කරන්නත් බැරිනම් රටට ආණ්ඩුවක් කුමකටද? මෙගාවොට් පහකට වැඩි සුළං බලාගාරවලට පමණක් අනුමැතිය දෙන බව ආණ්ඩුව කියයි. මෙගාවොට් පහක බලාගාරයක සුළං කණුවක උස මීටර් 118ක් පමණ වෙයි. සුළං පෙත්තක දිග මීටර් 40ක් පමණ වෙයි. එවැනි බලාගාර සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ යුතුමය. පාරිසරික අධ්‍යයනවලින් පසු මෙගාවොට් 5000ක බලාගාර ඉදිකළත් ලංකාවේ විදුලිය පිළිබඳ ප්‍රශ්න විසඳාගැනීමට හැකි වෙයි.

අවසාන වශයෙන් කිව යුතු වෙනත් කාරණයක් ද තිබේ. වර්ධනය හා පෝෂණය කළ යුත්තේ පෞද්ගලික ව්‍යවසායිකයන් මිස රාජ්‍ය ව්‍යාපාර නොවේ. රජයට ව්‍යාපාර කළ නොහැකි බව එයාර් ලංකා, ලංවිම, තෙල් සංස්ථාව, සතොස වැනි ආයතන මගින් මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. එසේම ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැතිව සිටි යුගයේ හඳුන්වා දුන් මුදල් රෙගුලාසිවලින් දැන් රටක් කරවිය නොහැකිය.

අප්‍රිකාවේ කෙන්යාව වැනි රටවලවත් දැන් විනිමය පාලනය නොකරයි. විනිමය පාලන පනත් හෝ දෙපාර්තමේන්තු ද ඒ රටවල නැත. අපේ රටේ විනාශයට විනිමය පාලනය ද ප්‍රබල හේතුවකි.

විනිමය පාලනය කිරීම හොඳ ප්‍රතිපත්තියක් නම් රටේ විදේශ විනිමය හිඟයක් ඇති වෙන්නේ ඇයි? ඒ හිඟය විසින් පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ විනිමය පාලනය අසාර්ථක බවය. විනිමය පාලනය කිරීම පිටරටවලට ගොස් ව්‍යාපෘති කරන අප වැනි අයට බරපතළ ප්‍රශ්නයකි. මහ බැංකුව අප අධීක්‍ෂණය කරන්නේ ඔවුන්ගෙන් ඩොලර් ඉල්ලාගෙන ගොස් ව්‍යාපෘති කරන්නා සේය. මේ විනිමය පාලනය සහමුලින්ම නැති කළ යුතුය.

විනිමය පාලනය නැති කළහොත් පෞද්ගලික අංශය රටට ඩොලර් ගෙනෙනු නිසැකය. දැනට කිසිවකු රටට ඩොලර් ගෙනෙන්නේ නැත්තේ ඒවා යළිත් එළියට රැගෙන යා නොහැකි නිසාය. පවතින නීති යටතේ ඩොලර් රැගෙන යා නොහැකිය. ඒ නිසා කිසිවකු රටට ඩොලර් රැගෙන එන්නේ නැත. මා මේ කියන්නේ ලාංකික ව්‍යවසායකයන් හැටියට අප ප්‍රායෝගිකව විඳවන දේවල් ගැනය.

මේ ප්‍රශ්නය අපනයන සමාගම්වලටද පවතී. ඒ නිසා ඒ සමාගම් ද තමන් සතු ඩොලර් වැඩි ප්‍රමාණයක් ලංකාවට නොගෙනෙයි. යල් පැනපු නීතිවලින් නූතන ලෝකයේ ආණ්‍ඩු කළ නොහැකි බවත් රට හා ජනතාව සුඛිත මුදිත කළ නොහැකි බවත් මැති ඇමැතිවරුන් රජයේ නිලධරයනුත් විශේෂයෙන් මහ බැංකුවේ නිලධරයනුත් තේරුම් ගෙන කටයුතු කළහොත් පමණක් රටටත් ජනතාවටත් සහනයක් සැලසෙයි. නැතිනම් පවතින පීඩා තවත් දැඩි වෙයි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)