IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ෆේස් බුක් පෙම්වතා නිසා මිනීමැරුමකට කොටුවූ පෙම්වතිය

දිලාන් මධුසංඛ සිය ගැබිනි බිරිඳ රාගම රෝහලට කැඳවාගෙන යමින් සිටියේ ඔහුට අයත් ත්‍රිරෝද රථයෙනි. ත්‍රිරෝද රථයේ ඔවුන්ගේ මිතුරියක්ද සිටියාය. ඇය රෝහලට යාමට ස්ව කැමැත්තෙන්ම ආවේ මධුසංඛ ගේ ගැබිනි බිරිඳට යම් උදව්වක් අවශ්‍ය වුවහොත් ඒ ඉටුකර දීමටය. නවගමුව, රණාල, වලව්වත්තේ සිට ඔවුන්ට ඒමට ලැබුණේ දෙල්ගොඩ, සියඹලාපේවත්ත ප්‍රදේශය දක්වා පමණකි.

02_PAGE_07_T
ත්‍රිරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් මග හරස් කර නැවැත්තුවේ මධුසංඛ ඔහුගේ ගැබිනි බිරිඳ සහ මිතුරිය ගමන්ගත් ත්‍රිරෝද රථයට පොඞ්ඩක්වත් ඉස්සරහට ගැනීමට නොහැකි වන අන්දමිනි. 


මග හරස්කර නැවැත්වූ ත්‍රිරෝද රථයෙන් ආ කිහිප දෙනෙක් කඩු අමෝරාගෙන මධුසංඛ සිටි ත්‍රිරෝද රථය දෙසට දිව ආවේ යමපල්ලන් මෙන්ය.


වැඬේ වරදින්න එන බව දැනගත් මධුසංඛ ජීවිතය බේරා ගැනීමට ත්‍රිරෝද රථයෙන් එළියට පැනගෙන පලා යද්දි මන්නා පිහියාවලින් සන්නද්ධ කල්ලිය ඔහු හඹාඑමින් දිගට හරහට කඩුවලින් පහර දෙද්දිත් ලේ පෙරාගෙන දිවගොස් ඇත.


වැඩි දුරක් මධුසංඛට දිව යාමට නොහැකි විය. අප්‍රාණිකවූ ඔහු බිම ඇද වැටී ඇත්තේ කපා හෙලූ කෙසෙල් ගසක් මෙනි. සිරුරේ ප්‍රාණය තවම නිරුද්ධවී නොමැති බව තේරුම්ගත් සාහසිකයන් බිම වැටී සිටි මධු සංඛට කඩුවලින් කොටා ඇත්තේ ඔහු ජීවිත දානය ඉල්ලා බැගෑපත් වෙද්දීය. 


මධුසංඛව අමානුෂික ලෙස කපා කොටා ඇත්තේ ඔහුගේ ගැබිනි බිරිඳගේ ඇස් පනා පිටය.


ඇය සැමියා මරා නොදමන ලෙස කෑ මොර දුන්නත් ලේ පිපාසිත සාහසිකයන්ට ඒ හඬට කන් දෙන්නට තරම් හිතක් පපුවක් තිබුණේ නැත.


පැමිණි කාරණය සිත් සේ ඉටු කරගත් සාහසිකයන් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන් පලා ගියේ පවනට බඳු වේගයෙනි. රාගම රෝහලට මධු සංඛව රැගෙන යන විටත් ඔහු මියගොස් තිබිණි.


පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මධුසංඛගේ කැපුම් කෙටුම් තුවාල 80ක් පමණ තිබුණු බවය. මධුසංඛ සමඟ කිසියම් කරුණක් නිසා තදබල වෛරයකින් පසුවූ පිරිසක් අමානුෂික විදිහට ඔහු මරා දමන්නට පෙළෙඹෙන්ට ඇතැයි පොලිසිය සැක කර තිබේ.


මීගහවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මුලින්ම සැකපිට අත්අඩංගුවට ගත්තේ මධුසංඛ සහ ඔහුගේ ගැබිනි බිරිය සමඟ පැමිණි මිතුරිය සහ සාහසිකයින් ආ ත්‍රිරෝද රථයේ හිමිකරුය. මේ දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මේ සාහසික අපරාධය කිරීමට ආ හතර දෙනෙක් ගැන අනාවරණය විය.


ඒ වනවිටත් ඔවුන් හතර දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි. අත්අඩංගුවට ගැනීමට සොයන හතර දෙනා අතරේ ත්‍රිරෝද රථයේ අයිතිකරුගේ සහෝදරයාද සිටියි.


ඔහු “මුතූ” යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන අයෙකි. 


රණාල, මහවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඔහුව දන්නේ “මුතූ” යන නමින්ය. 


“මුතූ කියන තරුණයෙක් එක්ක මම මාස තුන හතරක විතර කාලයක ඉඳලා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මම මුතූව මුලින්ම දැන හඳුනා ගත්තේ ෆේස් බුක් එකෙන්. ඊට කලින් මම එයාව දැකලවත් තිබුණ කෙනෙක් නෙවේ. ෆේස් බුක් එකෙන් ටික කාලයක් ආශ්‍රය කරලා පස්සේ අපි දෙන්නා බොරැල්ලේ තැනකට ඇවිත් මුලින්ම කතා බහ කළා. ඊට පස්සේ කිහිප වතාවක්ම මම එයාව හම්බවෙලා තිබුණා. අපි දෙන්නා පෙම්වතුන් වුණා. එයා ගැන වැඩි විස්තරයක් කියන්න මම දැනගෙන හිටියේ නැහැ. විස්තර හොයා බලන්න ගියෙත් නැහැ. දිගටම ආශ්‍රය කළා.


දවසක් මට එයාව හම්බවුන වෙලාවේ ගැහැනු කෙනෙකුගේ හා පිරිමි කෙනෙකුගේ නමක් කියලා ඒ දෙන්නා එක්ක කොහොම හරි හොඳ හිතවත්කමක් ඇති කරගන්න කිව්වා. මමත් ඒ ගැන එච්චර ප්‍රශ්න කරන්න ගියේ නැහැ. මුතූ කියන විදිහට වැඬේ කළා. ඒ ගැහැනු කෙනා ටික කාලයක් යද්දි මගේ හොඳම යෙහෙළිය බවට පත්වුණා. මුතූ දවසක් මට කිව්වා ඒ දෙන්නා ගමනක් යද්දී මට කතා කරලා ඉක්මනට කියන්න කියා. මගේ යෙහෙළියට බබෙක් හම්බවෙන්න හිටියේ. මාත් එක්ක ත්‍රිවිල් එකේ ඒ දෙන්නා ගෙදරින් පිටත්වෙන්න කලින් මුතූ කිව්ව විදිහට මම කෝල් කරලා කිව්වා. හැබැයි මුතු මෙහෙම දෙයක් කරන්න යන බව මම හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ බවක් දැනගෙන හිටියානම් මම මේ වැඬේ කරන්නේ නැහැ.


මුතූ නමැත්තා ක්‍රියාත්මකවී ඇත්තේ සිය පෙම්වතියගෙන් ලැබුණු ඒ ඇමතුමත් සමඟමය.


මුතූ කියන තරුණයාගේ පෙම්වතිය පොලිස් නිලධාරින් හමුවේ ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ පවසා ඇතැයි කියන්නේ එහෙම කතාවකි.


සැකකාර තරුණිය සහ ත්‍රිරෝද රථයේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වික්‍රමසිංහ, පොලිස් පරීක්ෂක ඔලිවර් ජී. චන්ද්‍රලාල්, පොලිස් පරීක්ෂක කුමාරසේන, සැරයන් කුලරත්න (18145) සහ කොස්තාපල් කුමාර (88790) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.


තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්නේ යැයි කියමිනි.


මධුසංඛගේ ඝාතනයට කෙළින්ම හවුල්වූ බව කියන මුතූ නමැත්තා ඇතුළු හතර දෙනා අත්අඩංගුවට ගැනීමට මීගහවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටි අතරවාරයේ මේ හතර දෙනාම මල්වාන ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක සැඟව සිටින බවට ඔත්තුවක් ලැබී ඇත්තේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතය.  පොලිස් කණ්ඩායමක් මල්වාන ප්‍රදේශයේ පිහිටි ඒ නිවස වටලා මධුසංඛගේ ඝාතනයට අවශ්‍යව සිටි මුතූ ඇතුළු හතර දෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ.


අත්අඩංගුවට ගත් මේ හතර දෙනාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ ගිය පොලිසිය නවගමුව, රණාල මාර්ගයේ බෝක්කුවක් යට සඟවා තිබූ ලොකු මන්නා පිහි හතරක් සොයා ගෙන ඇත.


මධුසංඛ නමැත්තාව ඝාතනය කිරීමට යොදාගෙන ඇත්තේ මෙම මන්නා පිහි බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිය. ත්‍රිරෝද රථයේ නැගී පලා යන අවස්ථාවේ සැකකරුවන් මේවා බෝක්කුව යට සඟවා ගොස් තිබේ.


මුතූ නමැති තරුණයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර මරා දමන බවට තර්ජනය කිරීම සහ ඔහුගේ පියා කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමට පළිගැනීමට සිතා මධුසංඛ නමැත්තාව මෙසේ ඝාතනය කිරීමට හේතුවී ඇති බවද පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය විය. 


මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් මධුසංඛ නමැත්තා කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට ඇතැයි පොලිසිය කියයි. 

m



අදහස් (0)

ෆේස් බුක් පෙම්වතා නිසා මිනීමැරුමකට කොටුවූ පෙම්වතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site