හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරුම මේ මස 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දකුණු සිරිලක හික්කඩුවේ හෙට්ටිගොඩ ගම් පියසෙහි ව්‍යවහාර වර්ෂයෙන් 1827 ජනවාරි 20 වැනිදා ගුණවර්ධන රාළහාමිගේ පවුලේ පස්වෙනි දරුවා ලෙස මෙලොව එළිය දුටු නිකුලස් දරුවා බෞද්ධ පවුලක උපන් නමුත් එදවස පැවැති පරාධීන මානසිකත්වය හේතුවෙන් බෞතීස්ම කරන ලදී. කෙසේ වෙතත් පූර්වකෘත පුණ්‍ය මහිමය වළකා ලන්නට කිසිවෙකුටත් නොහැකිය.

එතුමාණෝ උපතින් දහතුන්වන වියේ දී තොටගමුවේ ශ්‍රී විජයබා පිරිවෙනේ දී උතුම් පැවිදි ජීවිතයට ඇතුළත් වූහ. උන්වහන්සේ සිය ආචාර්ය පාදයන් වූ තොටගමු විහාරයේ රේවත හිමියන්ගෙන් හා ජෙතුත්තර හිමියන්ගෙන් මූලික ශබ්දශාස්ත්‍ර හදාරා වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඇසුරෙන් විෂයාන්තරයන් පිළිබඳ අද්විතීය දැනුමක් ලබාගත්හ. එපමණක් නොව ගිහි උගතෙකුගෙන් ගණිත දැනුමත්, කාශිනාථ විද්‍යාලංකාර නම් පඬිවරයාගෙන් තර්කය හා සංස්කෘත දැනුමත් තවත් ගුරුවරුන් ඇසුරෙන් ඉංග්‍රීසි භාෂා පටුත්වයත් සම්පූර්ණ කරගත්හ.

ශ්‍රී සුමංගල ස්වාමිපාදයන්ගේ අද්විතීය භාෂා හැකියාව හා ඤාණසම්භාරය විෂද වන එක් සුවිශේෂ අවස්ථාවක් ලෙස උන්වහන්සේගේ උපසම්පදා දිනය සටහන්ව ඇත. ඒ ස්වකීය පාලි භාෂා දැනුම ප්‍රකට කිරීම සඳහා රචනා කොට ගෙන ගිය උපසම්පදාෂ්ටකය පිළිබඳව එහි ඇති ගාම්භීරත්වය නිසාම සංඝ සභාව සැක පළ කළ අවස්ථාවේ ක්‍ෂණිකව නව පාලි පද්‍යබන්ධනයක් සිදුකළ අවස්ථාවයි.
මෙම සුවිශේෂී චරිතය ලක්දිව පහළ වන්නේ මිෂනාරී අධ්‍යාපනය විසින් සිරිලක අධ්‍යාපනය බිලිගෙන පැවැති, භික්‍ෂු නායකත්වය පවා මුළුමනින්ම පාහේ බ්‍රිතාන්‍ය පාලනයෙන් හෙම්බත්ව දුර්වලව පැවැති අවස්ථාවකය.

රට දැය සමය ආපදාවන්ට මුහුණදුන් සෑම අවස්ථාවකම ඉන් රට මුදවා ගැනීම පිණිස ශක්තිමත් මහා යතිවරුන් බිහිකිරීම ලක් මවගේ සිරිතයි. එය ලක් ඉතිහාසය පුරාම දක්නට ලැබෙන සුවිශේෂ ලක්‍ෂණයකි. නුවර යුගයේ ශාසන පුනරුදය වෙනුවෙන් උරදුන් වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජයන් වහන්සේ එබඳු යතිරුවනකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පිළිබඳව සිනිටුහන් වන්නේ ද සසුන රැකගත් යථෝක්ත යතිවර පවුරේ දහනව වැනි සියවසේ යතිරුවන ලෙසිනි. සිරිසුමඟුල් නාහිමියනට අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ආදර්ශය මෙන්ම විදේශ ආක්‍රමණයට එරෙහිව ජාතික නායකයකු බිහිකිරීමට මුල් වූ දික්සඳ සෙනෙවියා පිරිවෙන්පති මහානාම හිමියන්ගේ ද ආදර්ශය තිබූ බවට සැකයක් නැත.

බැමිනිතියාසායෙන් පසු අනාගත සසුන් බිය දැක ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ යතිවරුන් මෙන්ම, මහපැරකුම්බාවන්ගේ අනුග්‍රහයෙන් ශාසනසුද්ධියක් කොට සසුන සුරක්‍ෂිත කළ දිඹුලාගල මහාකාශ්‍යප හිමියන් සේම අප නාහිමියන්ගේ ද ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ලේ දී ධර්ම සංගායනාවක් පැවැතිණි. එහි දී ත්‍රිපිටකය කියවා සුද්ධකොට අටුවා ටීකා සහිතව ලියන්නන් ලවා පුස්කොළ පුස්තකාරූඪ කොට සුරක්‍ෂිත කොට තැබීම පසු කලෙක ශ්‍රී සම්බුද්ධ ජයන්තියේ දී ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනය හා මුද්‍රණය සඳහා වූ ගමන්මගට මහඟු පිටුබලයක් විය.

ආගමික වශයෙන් මෙම යුගයේ විවිධ මතවාදී ගැටුම් රැසක් සංවර්ධනය වෙමින් පැවැතිණ. බෞද්ධයන්ට නිදහසේ ආගමික උත්සවයක් පෙරහරක් පවත්වා ගැනීමට පවා බාධා ඇති වූ යුගයක් ලෙස මෙම යුගයේ තොරතුරු වාර්තාගතව ඇත. පංචමහා වාදයන් ගොඩනැගෙන්නේ මෙම කාල වකවානුවෙහිය. එහි දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි භික්‍ෂු චරිතයන්ට ක්‍රෛස්තව ලබ්ධිය පරදා බුදුසමය ඔප්නංවන්නට අවශ්‍ය ධර්මඥානය පසුපෙළ සිට ලබා දුන්නෝ අප සිප්කඩුවේ සුමංගල නාහිමියෝය. එසේම අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික සංස්කෘතික පුනරුද ව්‍යාපාරයේ උපදේශාත්මක කාර්යභාරය ඉටුකළෝ අප නාහිමියෝය. එසේම භික්‍ෂූන් අතර පවා ඒකමතිකත්වයක් නොපැවැති පාරුපණවාදය, අධිමාසවාදය ආදියට නිසි මගපෙන්වීම් කරමින් ථේරවාදී සසුන රැකගත් උතුමෝ අප නාහිමියෝය.

අනුරාධපුර යුගය ප්‍රභාවත් කළ මහාවිහාරයට සම්බන්ධ පිරිවෙන් රැසක් පැවැතුණි. යාපනයේ පලග්ග පිරිවෙන දක්වා වූ පිරිවෙන් අතරින් යුගයෙන් යුගයට කියැවෙන ජාතික ඉතිහාසයේ මූල කඳවුර වූ මහා පිරිවෙන වූයේ දික්සඳ සෙනෙවියා පිරිවෙනයි. ජාතියේ මහා ලේඛක මහානාම හිමියන් බිහිවූයේ මහාවිහාර පරපුරට අයත් දික්සඳ සෙනෙවියා පිරිවෙනෙනි. එසේ වුවත් ටිබෙට් චීන ජපන් කොරියාදී රටවල වඩාත් ප්‍රකට වූයේ අභයගිරියට සම්බන්ධ පිරිවෙන්ය. ලොව විශාලතම චෛත්‍යය වන අභයගිරි දාගැබ ඇසුරේ පිරිවෙන් දොළහක් තිබූ බවත් තමන් වහන්සේ ඉන් එක් පිරිවෙනක දෙවසරක් අධ්‍යාපනය ලැබූ බවත් පාහියන් හිමියෝ ලියා තැබූහ. මේ ආරේ පිරිවෙන් අතර දහනවවෙනි විසිවෙනි සියවස් නියෝජනය කරන අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ විද්‍යෝදය පිරිවෙනයි. එය ථේරවාදී මහායාන දෙනිකාය තුළම ප්‍රකටව පවතී.

ශ්‍රී සුමංගල මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා වෘක්‍ෂයක් නම් එහි අග්‍රඵලය විද්‍යෝදය පිරිවෙනයි. එය පෙරදිග ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායයේ කේන්ද්‍රස්ථානය වීමට වැඩි කලක් ගත නොවූයේ උන්වහන්සේ වෙත පැවැති භාෂා තර්ක ධර්ම න්‍යාය ගණිත නක්‍ෂත්‍රාදී විෂය පටුත්වයත්, ථේරවාදී යතිවරයකුට පැවැතිය යුතු සුපේෂල ශික්‍ෂාකාමී භික්‍ෂු පෞරුෂයත් නිසාවෙනි. යථෝක්ත ශක්ති කදම්බය භාවිත කොට ගෙන ලක්දිව නිල නොලත් විශ්විද්‍යාලය ඇති කිරීමට උන්වහන්සේ සමත් වූහ.

මෙහිලා අප අවධානය යොමු විය යුතු තැනක් ඇත. එනම්, මෙතෙක් සිරිලක ආරම්භ කළ එකම පිරිවෙන නොවෙතත් මෙය මෙපමණ වැදගත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූයේ කෙසේ ද යන්න පිළිබඳවයි. පිළිතුර නම් ආරම්භකයන්ගේ අධ්‍යාශයේ පාරිශුද්ධත්වයයි. නාහිමියන්ට තමන් වැජඹෙන ආයතනයක් නිර්මාණය කිරීමට ඇවැසි නොවීය. තමාගේ සන්තකයේ ආධිපත්‍යය පවත්වන ආයතනයක් ඇති කිරීම උන්වහන්සේගේ අරමුණ නොවීය. තමාගෙන් පසුව ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට හිමිවන ආකාරයේ ආයතනයක් නිර්මාණය කිරීම ද උන්වහන්සේට අභිමත නොවීය.

කොටින්ම කිවහොත් අද්විතීය ආයතනයක් සකස් කොට සමය ශාස්ත්‍රාන්තරයන්හි උන්නතිය පිණිස දැයට දායාද කිරීමම පමණක් උන්වහන්සේට අභිමත විය. මෙම යුගයේම රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙහි ශිෂ්‍යයන් ලෙස විද්‍යෝදයට සමගාමීව විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ රත්මලානේ ධම්මාලෝක හිමි, ධම්මාරාම හිමිවරුන්ගේ ප්‍රගතිශීලී ගමන් විලාසය ද මෙම පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වය දක්වා උසස් කිරීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බව මෙහිලා සිහි කළ යුතුය.

ශාසනය ආයතනයකි. එහි පාලකයා විනයයි. ධර්මය ගුරු තනතුරෙහි තබා විනයට පාලනය භාරදී පැවැති බැවින් සසුන වසර දෙදහස් හයසියයක් කල් පුද්ගල නායකයකුගෙන් තොරව පැවැත ආයේය. අදටත් ආයතනයක පාලකයා විය යුත්තේ පුද්ගලයකු නොව විනයයි. බොහෝ ආයතන පුද්ගලයෙක් නිසා බබලන්නේත් තවත් විටෙක පුද්ගලයකු නිසාම පිරිහෙන්නේත් මෙම යථාර්ථය අවබෝධ කොට නොගෙන ආයතන පරිපාලනය කෙරෙහි පුද්ගලයන් මත විශ්වාසය තබා ගන්නා නිසාවෙනි. සුමංගල නාහිමියෝ මෙම යථාර්ථය මැනවින් අවබෝධ කොට ආයතනයේ පැවැත්ම සඳහා දෙයාකාරයක සැලැස්මක් ඇති කළහ.

පළමු කරුණ අධ්‍යාපන පරිපාලනයයි. එහිලා විෂය නිර්දේශය ඉතා වැදගත් කාර්යයක් ඉටුකරයි. පරිපූර්ණ විද්වතකු ඇති කිරීම පිණිස ඇවැසි මගධ, සකු, ප්‍රාකෘත, සිංහල, ඉංග්‍රීසි, තර්ක, න්‍යාය, ගණිත, විද්‍යා, ධර්ම, ජ්‍යෝතිර්, වාස්තුවිද්‍යා, සෞන්දර්ය කලා ආදිය යථෝක්ත විෂය නිර්දේශයෙන් ආවර්ණිතය. දෙවැන්න නම් ආයතනය සුරක්‍ෂිත කිරීම පිණිස ගිහි පැවිදි පාලක මණ්ඩලයක් ඇති කිරීමයි. මෙකරුණෙහි ලා විද්‍යාධාර සභාව පිහිටවූ අතර විද්‍යාධාර සභාවේම ආරාධනයෙන් පරිවෙණාධිපතීන් වහන්සේ පවා තෝරා පත් කරගැනීමට අණපනත් සකසන ලදී. විද්‍යෝදයේ අදටත් පවත්නා පාලන ව්‍යුහය මෙය වෙයි. ඒ අනුව ආයතනය තුළ පෞද්ගලිකත්වයට කිසිදු ඉඩක් නැත.

නිර්මාතෘන්ගේ සමාරම්භක අරමුණම ඉදිරියට ගලා යාමේ රහස වන්නේ එයයි. නාහිමියන්ගේ බහුශ්‍රැත භාවයට අතිරේකව පෙරදිග අධ්‍යාපනයේ කේන්ද්‍රය බවට විද්‍යෝදය පැමිණීමට බලපෑ හේතුව වූයේ මෙම කාරණායි.

පසු කාලීනව ආණ්ඩුවට සිදු වූයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ඇති කිරීම නොව විශ්වවිද්‍යාල තත්ත්වයේ පැවැති පිරිවෙනට විශ්වවිද්‍යාල නාමය ලබාදීම පමණකි. විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් එහි පැවැති අධ්‍යාපන ක්‍රමවේදය හා අධ්‍යාපන බර හෑල්ලුවට ලක් වූ බවට ප්‍රතික්‍ෂේප කළ නොහැකි විවේචනයක් දිගින් දිගටම පවතී. එම විවේචනයෙන් විශ්වවිද්‍යාලය සහ එහි ආදිකර්තෘන් බේරා ගැනීම අප සියල්ලන්ගේ වගකීම බව මෙහිලා සටහන් කොට තබමි.

ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අධ්‍යාපන පටිපාටිය හා විචක්‍ෂණ නුවණ පිළිබඳ කිතුගොස ආසියාවේ පමණක් නොව බටහිර ලෝකයේ පවා පැතිරී ගොස් පැවැතුණි. එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ජර්මනිය, සියම, කාම්බෝජය, මියන්මාරය, ජපානය, ටිබෙටය, භාරතය ආදී බොහෝ දේශයන්ගෙන් අධ්‍යාපනය පිණිස බොහෝ විද්‍යාර්ථීහු විදුදයට සැපත් වූහ. කොජින් ගුණරතන නමින් නාහිමියන් වෙත පැමිණ අධ්‍යාපනය ලද ජපන් භික්‍ෂුව පෙරළා සියරට වැඩ ජපානයේ බුදුසමය ව්‍යාප්ත කිරීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකළේය. කොජිමා කොණ්ඩඤ්ඤ නම් ජපන් හිමිනමත්, සතො නම් ජපන් විද්වතාත් බුදුසමය හා පාලි භාෂාව හදාරා ජපන් රටට ගොස් බුදුසමය විෂයෙහි අනභිභවනීය සේවාවක් ඉටුකළහ.

පසු කාලයේ ඔසකා විශ්වවිද්‍යාලයේ පාලි මහාචාර්ය ධුරයට පත් තචිබානා හිමියන් ද සුමංගල නාහිමියන්ගේ අතවැසියෙකි. උත්තර භාරතයේ පාලි භාෂා ශාස්ත්‍ර ව්‍යාප්ත කිරීමෙහි නියැළි ඛේරවදාසයන් ද, අසහාය සංස්කෘත විශාරදයකු ලෙස මුළු මහත් භාරතයේම සම්භාවනාවට පැමිණි කෝසම්බික ධම්මානන්දයන් ද විදුදයෙන් උගෙන අධ්‍යාපනය විෂයෙහි උදාර සේවාවක් ඉටුකළ විද්‍යාර්ථීහුය. පාලි ග්‍රන්ථ දේවනාගරී අකුරින් පළ කරවූ ගුජරාටි ජාතික එන්.කේ. භගවාන්, බුදුසමය ද්‍රාවිඪ සමාජයේ ව්‍යාප්ත කරවූ ද්‍රාවිඪ විමලබුද්ධි හිමියන් මෙන්ම පෝල් ඩාල්කේ වැනි වියුතුන් ද ඕල්කට්තුමන් වැනි ප්‍රභූන් ද බුදුසමය හා භාෂා ශාස්ත්‍ර පිළිබඳ ඇවැසි දැනුම උපයා ගත්තේ නාහිමියන් ඇසුරෙනි.

අප කතානායකයාණන් වහන්සේ අද්විතීය අධ්‍යාපන ආයතනයක්, සම්භාවනීය විද්වත් ශිෂ්‍ය පිරිසක් බිහිකළා පමණක් නොව ඉතා වැදගත් කෘතීන් රැසක් ද ශාස්ත්‍රීය ලෝකයට දායාද කළහ. වර්ණරීතිය, බ්‍රහ්මධර්මය නම් අනුශාසනා සංග්‍රහය, සංදේශකථා, සිදත්සඟරා සන්නය, කච්චායන වණ්ණනා, සීමා විභාගය, සුබෝධාලංකාරය, සත්‍යසංග්‍රහය, ගඩලාදෙණි සන්නය, කාව්‍යශේඛර සන්නය, සන්ධි සංග්‍රහය, බාලාවතාර සුබෝධිනී ටීකාව ආදිය ඉන් කෘති කිහිපයකි.

එදා ආණ්ඩුවේ ද සහයෝගය ද පිට පැවැති බෞද්ධ විරෝධී ව්‍යාපාරයට නාහිමියන් මුහුණ දුන්නේ අභීත කේසර සිංහයෙකු මෙනි. වරක් විද්‍යෝදයෙහි බණ පිරිත් පින්කමකට දේවාල තල්පත වැඩමවීමේ පෙරහරට අවසර නොදීමට ආණ්ඩුව ක්‍රියා කළ අතර නාහිමියන් අවසර නැතිවම පෙරහර කිරීමට සූදානම් වනවිට අවසර පත්‍රය රැගෙන පොලිස් නිලධාරියකු පැමිණ ඇත. එහි දී එම අවසරය ප්‍රතික්‍ෂේප කළ නාහිමියන් වෙත දෙවැනි දින ද ඇසකු පිට පොලිස් නිලධාරියෙක් පැමිණියේය. ඔහු අමතා නාහිමියෝ, “මේ රටේ, මේ බෞද්ධ රටේ අපට ආගමික කටයුත්තක් සඳහා යුෂ්මතුන්ලා වෙත පැමිණ අවසර ඉල්ලන්නට සිදු වී තිබේ. වරක් දිය නොහැකි අවසරය නැවත දෙන්නට යුෂ්මතුන්ලාට හැකිවන්නේ කෙසේ දැයි නොදනිමි. එයින් පෙනෙන්නේ අවසරය දීමත් නොදීමත් නීතියක් අනුව නොව යුෂ්මතුන්ලාගේ බලය අනුව කරන බවය. එවැනි පෞද්ගලික බලයක් යටතේ පෙරහරක් පැවැත්වීමට අපට ඕනෑ නැත. මම බෞද්ධයන් ලවා පෙරහර කරවමි. යුෂ්මතුන් ස්වකීය බලයෙන් ඒ ගැන කළ හැකි දෙයක් කළ යුතුයි” යනුවෙන් පැවැසූහ. මෙසේ අධිරාජ්‍ය බලය ඉදිරියේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අභිමානය වෙනුවෙන් සිය භික්‍ෂු පෞරුෂය භාවිත කළ අවස්ථා බොහෝය.

දුම්රියෙහි නුවරට වැඩමකරමින් සිටි අවස්ථාවක උන්වහන්සේට නොතේරෙතැයි ඉංග්‍රීසියෙන් කතා කරමින් උන්වහන්සේට අඩංතේට්ටම් කිරීමට සූදානම් වූ මාන්නක්කාර ඉංග්‍රීසි ජාතිකයන් පිරිසකට ඉතා ව්‍යක්ත ඉංග්‍රීසියෙන් පිළිතුරු දී ඔවුන් ලජ්ජාවට හා පසුතැවීමට පත්කළ අවස්ථාව අදටත් අප ගැන නැවත සිතන්නට පොලඹවයි.

“ආණ්ඩුව නුඹලා සතු වූ නමුත් මේ රට නුඹලාගේ නොව අපේය. නුඹලා මෙහි පැමිණ සිටින්නේ අපේ පොළොවෙන් යමක් සපයාගෙන සිය රටේ හෝ මේ රටේම හෝ පදිංචිව කා බී ප්‍රීතිමත් වීමටය. අප මේ රටේ ඉපිද සිටින්නේ අවුරුදු දෙදහසකට වඩා පැරැණි ඉතිහාසයකට අයත් ධර්මයත්, ශාස්ත්‍රයත්, ජනතාවත් සඳහාය.”

පෘතුගීසි කාලතුවක්කු හඬින් පරිසරය දෙදරුම් කනවිට ජාති දේශමාමක භික්‍ෂූන් වහන්සේ බුදුගුණ කියමින් ජනතාව දිරි ගැන්වූහ. අවුරුදු විස්සක දී ලංකාව මෙන් හැත්තෑ දෙගුණයක් විශාල බ්‍රසීලය යටත් කොට කතෝලික ආගම අදහන පෘතුගීසි බස කතා කරන ලොකුම රාජධානිය බිහිකිරීමට පරංගින්ට හැකි වුවත් අවුරුදු සියයකට වැඩි විනාශකාරී ප්‍රහාර මාලාවකිනුදු සිංහල ජනයාගෙන් සියයට පහක්වත් කතෝලික කරන්නට පෘතුගීසීන්ට නොහැකි වූයේ පිරිවෙන්වලට මුල් වූ මහා සංඝරත්නය නිසාවෙනි.

විදේශ ආක්‍රමණයන්ගෙන් සිංහල ජනගහනයෙන් තුනෙන් පංගුවක් විනාශ කළ හැකි වුවත් බෞද්ධ උරුමය විනාශ කළ නොහැකි වූයේ තද් යුගයේ මහ තෙරවරුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා මගපෙන්වීම නිසාවෙනි. හැත්තෑ එකේ හා අසූ නවයේ කැරැලි හේතුවෙන් සිය ගණනක් අපවත් වී දහස් ගණනක් සිවුරු හැරයන්නට සිදුවුවත් විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් මගින් ඇතිකළ ශක්තිමත් පදනම නිසාම බෞද්ධ උරුමය දෙදරවාලිය නොහැකි විය. සිරිසුමගුල් නාහිමියන්ගේ සේවයට කැපවූ උතුම් ආදර්ශය මේ වනවිට පරම්පරා ගණනාවකට භාෂා ශාස්ත්‍ර හා ධර්ම ශාස්ත්‍ර සුරැකීමට මෙන්ම ජාතික බලය සුරක්‍ෂිත කිරීමට ශක්තියක් වූවා සේම, මතුවට ද ශක්තියක් වනු නොඅනුමානය. අධිරාජ්‍යවාදී හා අධිපතිවාදී බලවේග පරාජය කරමින් යුක්තිධර්මය රජකරන දැවෙන ලොව නිවා සනහන මහා ශාන්තිදායක බලවේගයක් හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදර්ශය ඔස්සේ ඉදිරියට ඇදෙනු නිසැකය. ඒ සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල පරමාදර්ශය සුරක්‍ෂිත කොට පැවැත්විය යුතුය. එය විදුදයේ අනන්‍යතාව සුරක්‍ෂිත කොට මතු පරපුරට දායාද කිරීමේ වත්මනෙහි අප සතු වගකීම වන්නේය.


(***)
මහාචාර්ය රාජකීය පණ්ඩිත
මැදගොඩ අභයතිස්ස හිමි