රජය මගින් පනවා තිබෙන පාලන මිලට අනුව කොන්දේසි විරහිතව වෙළෙඳ පොළට අවශ්‍ය සහල් තොග සැපයීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් ඇතුළු සහල් මෝල් හිමියන් එකඟ වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

සහල් මෝල් හිමියන් සහ වී තොග රැස් කරන්නන් අනිවාර්යයෙන්ම ඒවා වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවත්, එසේ නොකර සඟවා තබාගෙන සිටින අයට එරෙහිව පාරිභෝගික පනත අනුව නීති මගින් ක්‍රියා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

නිසි නියාමනයක් හා විද්‍යාත්මක විධිමත් සැලැස්මක් නොමැති හෙයින් ඉතා සංකීර්ණ තත්ත්වයට පත් වූ ප්‍රශ්නයකි. විශේෂයෙන්ම වෙළෙඳපොළ තුළ අලෙවි කරන භාණ්ඩයකට අදාළව පැන නැඟෙන, පැන නැඟිය හැකි අර්බුද සම්බන්ධයෙන් සවිඤ්ඤාණක වන්නේ නම් මෙම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නිර්මාණය කර ගත හැකිය.

පාරිභෝගික සේවා අධිකාරියට පොලොන්නරුවේ වී ගබඩා ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක නියැලීමට සිදුවූයේ වී සහ සහල් තොග සඟවාගෙන සිටින බවට පැතිර යන ආරංචි සහ ඇතැම් සහල් වර්ගවල හිඟයක් ඇති බවට පළවන වාර්තා නිසාය. මෙබඳු තත්ත්වයක් නිර්මාණය වූයේ කෙසේද යන්න විමසීම වැදගත්ය.

මේ රටේ ප්‍රධාන වී මෝල් සංඛ්‍යාව 4කි. එයට අමතරව කුඩා මෝල්  දෙදහසක් පමණ පවතී. වෙළෙඳපොළ ක්‍රමයට අනුව කුඩා මෝල් හිමියන් සහල් මිල තීරණය කරනු ලබන්නේ ප්‍රධාන මෝල් හතරෙහි සහල් මිලට අනුවය. මෙරට දිනක සහල් අවශ්‍යතාව කිලෝ ලක්ෂ 50කි. පෙර කී ප්‍රධාන වී මෝල් හතරෙන් නිෂ්පාදනය වන්නේ සහල් කිලෝ ලක්ෂ 8කි. ඉතිරි කිලෝ ලක්ෂ 42ම කුඩා මෝල්වලින් නිෂ්පාදනය වේ. එම කිලෝ ලක්ෂ හතළිස් දෙකෙහි මිල හාල් කිලෝ ලක්ෂ 8කට අනුව තීරණය වීමේ ගැටලුව පළමුව විසඳිය යුතුව තිබේ.

මෙම මැයි මාසය වනතුරු සහල් නිෂ්පාදකයන් වී කිලෝවක් මිලදී ගෙන තිබුණේ රුපියල් 50ටය. ඒ සහල් කිලෝවක් රුපියල් 98ට අලෙවි කිරීමේ රජයේ පාලන මිලට යටත්වය. එහෙත් රජය මෑතකදී නිකුත් කළ ගැසට් පත්‍රයකින් රුපියල් 98ට තිබූ සහල් කිලෝව රුපියල් 90 දක්වා අඩු කර තිබේ. ප්‍රධාන වී මෝල් හිමියන් පවසන්නේ රුපියල් 50ට ගත් වී කිලෝවක් රුපියල් 90ට සහල් කර වෙළෙඳපොළට නිකුත් කළ නොහැකි බවය. පොලොන්නරුව අරලිය සහල් නිෂ්පාදනයේ හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිට ප්‍රකාශ කළේ, එම මිලට සහල් නිකුත් කළ නොහැකි බවය. ‘‘එම තීරණය නිසා මට රුපියල් බිලියනයක් පාඩුයි. ඒ නිසා මම ඒ මිලට හාල් වෙළෙඳපොළට දාන්නේ නෑ. මම මෝල වහල හිරේ යනවා’’ ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

පාලන මිලක් පෙර නොතිබූ තත්ත්වය තුළ සහල් නිෂ්පාදකයන්ට හිතූ හිතූ මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළ හෙයින් ඒ ලැබූ ලාභය ද පදනම්ව අලුත් ගැසට් පත්‍රය නිකුත් වී ඇතැයි සිතිය හැකිය. මෙහිදී සියල්ලන්ටම පළමුව කළ යුතු වන්නේ අධික ලාභ ලැබීමේ අරමුණෙන් ඉවත්වීමය. වෙළෙඳපොළ සූත්‍රයට අනුව වෙළෙඳපොළෙහි භාණ්ඩ හිඟයක් ඇති වූ විට මිල ඉහළ යයි. ඇතැම් සහල් වර්ගවල හිඟයක් ඇතිවීමේ රහස ද එයයි. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට පොලොන්නරුව සහල් ගබඩා පර්යන්ත නිරීක්ෂණය කිරීමට සිදුවූයේ ද එයය.

සහල් මිල සම්බන්ධයෙන් සලකා බැලීමේදී අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි. මෙරට ප්‍රධාන ආහාරය බත්ය. ඒ අප කෘෂිකාර්මික රටක් වීමෙන් ලද උරුමය වේ. එහෙයින් රටේ ජනතාවට විශේෂ අපහසුතාවකින් තොරව සහල් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. එහිදී සහල් සුලභවීම මෙන්ම මිල පහසු හා සාධාරණ ද විය යුතුය. එමෙන්ම ගොවියාට ද සාධාරණ මිලක් හිමි විය යුතුය. මඩ සෝදාගත් ගොවියාට සිහසුන කරා යා හැකි වන්නේ එහෙයිනි. එසේ නොවන්නේ නම් ගොවියාට සිදුවන්නේ මඩ සෝදාගැනීමකින් තොරවම වස බී දිවි නසා ගැනීමටය.

සහල් වෙළෙන්දාට ද මෙයින් ලාභයක් ලැබිය යුතුය. එම නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී ජීවනෝපාය ගැටගසා ගන්නා පිරිස් ලක්ෂ ගණනකි. එමෙන්ම මහජනයා අතට අවශ්‍ය මට්ටමින් සහල් පත්කිරීමට තරම් අප රාජ්‍ය යාන්ත්‍රණය සවිමත් නැත. එය අබලදුබල වී සෑහෙන කල්ය. එහෙයින් පෞද්ගලික අංශය අමතක කර යා හැකි ගමනක් ද නැත.

මේ සියලු අංශ දෙස බලා සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීම වඩාත් ප්‍රශස්ත වන්නේ ඒ අර්ථයෙනි. ප්‍රශ්නය සොයා ගොස් එය විසඳීමට මැදිහත්වීම වැදගත්ය. දෙවනුව වැදගත් වන්නේ පසුවිපරමය. සියල්ල යහතින් සිදුවන්නේ දැයි පරීක්ෂා කළ යුතුය. වරින්වර මතුවන අර්බුදවලදී අගතියට පත්වන පාර්ශ්ව දෙස බලමින් සුදුසු විසඳුම් ක්‍රියාත්මක කළ යුතුය. එය පාලන මිල මතම තීරණය වන්නක් නොවන බව ද අවධාරණය විය යුතුය.