wegs

 

ඇය කෝටිපතියකුගේ දියණියකි. ඒනිසා ඇයට සැපසම්පත්වලින් කිසිම අඩුවක් පාඩුවක් නොවුනි. ගමන් බිමන් පවා ගියේ සිය පියාට අයත් බෙන්ස් රථයෙනි. අතට පයට ගෙදර වැඩකාරයින් සිට ඇත.

කෝටිපතියකුගේ දියණියක් වී බොහෝ සැප සම්පත් ඇතිව හැදුණු වැඩුණු දුකක් කියා දෙයක් හඳුනන්නේවත් නොමැතිව සිටි ඇය වසර 52 ක සිර දඬුවමක් අධිකරණයෙන් නියමවී වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි ගමන්මග ඇත්තෙන්ම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය.


වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී ඇයගේ ජීවිත ඉරණම ද විසඳී ඇත.
බිත්ති හතරකට මැදිවී ගෙවන ජීවිතය එපාවී ඇය කිහිපවරක්ම ජීවිතය නැතිකර ගැනීමට උත්සාහකර ඇතත් බන්ධනාගාර නිලධාරිනියන්ගේ මැදහත්වීම නිසා ඒ සෑම අවස්ථාවකදීම ඇයට ජීවත්වීමට වාසනාව උදාවී තිබිණි.

erhrh
කෝටිපතියකුගේ දියණියකවී සිටියත් සහෝදර සහෝදරියන් සිටියත් මියගිය පසු ඇයගේ සිරුර බාරගැනීමට ඒ කිසිම කෙනෙක් පැමිණ නැත.
ඇයගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ රජයේ වියදමිනි.


දුක, වේදනාව, සුසුම, කඳුළ කුමක්දැයි කියා නොදැන රෝස මල් යහනාවක ජීවිතය ගෙවමින් සිටි ඇයට බිත්ති හතරකට මැදිවී ගෙවන ජීවිතය කිසිසේත් ඔරොත්තු නොදෙන්නට ඇතිවා නිසැකය.සියලූම සැප සම්පත් විඳිමින් සිට සිපිරි ගෙයකට සපැමිණි ඇයගේ දුක්බර ශෝචනීය කතාව කියන්නට යන්නේ විශ‍්‍රාමික බන්ධනාගාර ජේලර්වරියක් වන කාන්ති පැස්කුවල් මහත්මිය වන්නීය.


වැලිකඩ බන්ධනාගාරයේ එවකට සේවය කරමින් සිටි කාන්ති පැස්කුවල් මහත්මිය සමග ඇයට අත්වූ ශෝචනීය ඉරණම ගැන කියා ඇත්තේ ඇයගේ හිතේ කාලයක් තිස්සේ සිට තෙරපෙමින් වද දුන් කතාව කියා හිත සැහැල්ලූ කරගැනීමේ අරමුණින් විය යුතුය.


අපේ මේ කතාවේ එන කථා නායිකාවගේ තාත්තා කෝටිපතියෙක්. ඔහුට තවත් දරුවන් ඉන්නවා. තාත්තා මියයාමට කලින් ඇයට සෑහෙන දේපොළක්ද ලියාදී තිබෙනවා. කුඩා කාලයේ ඉඳලම ඇය ගත කර තිබෙන්නේ සියලූ සැප සම්පත්වලින් පිරි ජීවිතයක්. ඇය විදේශීය රැුකියා නියෝජිත ආයතනයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා යැයි විශ‍්‍රාමික ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය කෝටිපතියකුගේ දියණියකට සිදුවූ අවාසනාවන්ත ඉරණමේ ශෝචනීය කතාවට මුලපුරමින් පැවසුවාය.


ඇය මියයාමට කලින් කී කතා යළි ආවර්ජනය කරමින් විශ‍්‍රාමික ජේලර්වරිය මෙසේද කීවාය.


විදේශීය රැුකියා නියෝජිත ආයතනයක හිමිකාරියක් වන ඇය එම ව්‍යාපාරය බොහොම හොඳට ලොකුවටම කරගෙන ගිහින් තිබෙනවා. ඔහොම ඉන්නා අතරවාරයේ මෙයා පවත්වපු සම්බන්ධතාවක ප‍්‍රතිඵලයක් විදිහට ගැබ්ගෙන තිබෙනවා. ඇය මේ බව පවුලේ කිසිම කෙනකුට ඥාති මිත‍්‍රාදියකුටවත් හාංකවිසියක්වත් දැනගැනීමට තියලා නැහැ. ඒ තරමටම ඇය මේ බව රහසක් වශයෙන් තබාගෙන ඉඳලා. දරු ගැබ මෝරාගෙන එන්න කලියෙන් ඇය යුරෝපීය රටකට ගොස් තිබෙනවා. ඇය එතෙක් කල් කරගෙන ආ විදේශ රැුකියා නියෝජිත ආයතනය ඥාතියකුට පවරා තමා රට ගොස් තිබෙන්නේ.

මෙච්චර සල්ලි තියෙද්දිත් ඇය හදිසියේ රට යාම කාටත් ලොකු ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒත් ඇයට මෙහෙම දෙයක් වෙලා කියා කිසිම කෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ජීවිතයේ කිසියම් වෙනසකටත් එක්ක යනවා කියා තමා ඇය රට ගිහින් තියෙන්නේ.


රට ගියාට පස්සේ එහිදී ඇය දරුවකු ප‍්‍රසූත කරලා ඒ දරුවා හොඳින් හදාවඩාගෙන ලොකු මහත් කරලා තිබෙනවා. ඇයගේ පුතා ඒ රටේ පාසලකට යවලා හොඳ අධ්‍යාපනයක් පවා ලබාදී ඇති බව ඇය මා එක්ක කිව්වා. අවුරුදු ගාණකට පස්සේ ඇය පමණක් කෙටි නිවාඩුවක් ගත කිරීමට ලංකාවට ඇවිත් තිබෙනවා. ලංකාවට ආවට පස්සේ තමාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව ඇය මා සමග පැවසුවා.


ඇයගේ නමින් ලියාපදිංචිකර තිබූ විදේශ රැුකියා නියෝජිත ආයතනය ඇය රට ගිහින් සිටි කාලයේ කරගෙන ගිය ඥාතියා මිනිස්සු ගැහැනු රට යවනවා කියා ලක්ෂ ගණනින් මුදල් වංචා කරලා. ගොඩක් දෙනෙකුගෙන් මේ විදිහට මුදල් වංචා කරලා. ඇයගේ නමට ලියාපදිංචිකර තිබූ නිසා මේ වංචාවට ඇය පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව තමා ඇය මාත් එක්ක කියා තිබුණේ. මේ සම්බන්ධව ඇයට අධිකරණයේ නඩු විභාග කරලා දඬුවම් නියම කර තිබෙනවා.


ඇය තවත් අපූරු කතාවක් මාත් එක්ක කියා තිබෙනවා. නඩු විභාගය අවසානයේ තීන්දුව මුඞ්ලියර් විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අවුරුදු පනස් දෙකක සිර දඬුවමක් තමාට අධිකරණය විසින් නියම කර ඇති බව කියා තිබෙනවා. නමුත් තමාට ඇසුණේ අවුරුදු දෙකක සිරදඬුවමක් ලැබුණු බවයි. ඇය එහෙම හිතාගෙන තමා හිර ගෙදරට ඇවිත් තිබෙන්නේ.


අවුරුදු දෙකක හිර දඬුවම අවසන්වීමට ටික කාලයක් තියෙද්දී තමා ඇය දැනගෙන තිබෙන්නේ තමා අවුරුදු පනස් දෙකක සිර දඬුවමක් ලබා සිටින තැනැත්තියක් බව. මේ බව දැනගත්තාම ඇය හරියට ඇඬුවා. ඇය පුදුම වේදනාවකින් හිටියේ. මිස් මම අවුරුදු දෙකකින් නිදහස් වෙලා පුතා ඉන්න රටට යන්න හිතාගෙන හිටියා. දැන් ඒක සිහිනයක් වුණා. රට ඉන්න පුතා ගැන සිහිකරමින් ඇය පුදුම විදිහට ඇඬුවා.


ඇය හිරගෙදරට ආපු මුල් අවදියේ පැවසූ ඇතැම් කරුණු අනුව මේ සම්බන්ධව රට ඉන්න පුතාට කියා ලංකාවට ගෙන්වාගෙන ඇපිල් එකක් දාන්න කියා උපදෙස් දුන්නා. මේ ගැන පුතාට දැනගන්න තියන්න හොඳ නැහැ. අවුරුදු 2 කාලය ගෙවා දමා මම ආයෙත් රට යනවා කියා කිව්වා. ඇය බන්ධනාගාරයේ ඉඳගෙන පුතාට ලියුම් යැවීමට පටන්ගත්තේ අවුරුදු 52 ක හිර දඬුවමක් ලැබූ බව දැනගත්තට පස්සේ. එතකොට මේ ගැහැනු කෙනාගේ පුතාගේ වයස අවුරුදු 20 ක් විතර වෙනවා යැයි පැස්කුවල් මහත්මිය පවසන්නීය.


විශ‍්‍රාමික ජේලර් පැස්කුවල් මහත්මිය මෙසේද කීවාය.


මේ කාන්තාව මැහුම් ගෙතුම් රෙදි පින්තාරු කිරීම හා මල් සැකසුම් කිරීම ගැන ඉගෙන ගැනීමට යොමුකළා. ඒ සඳහා ඇයට අවශ්‍ය මගපෙන්වීම නිරන්තරයෙන් ලබාදුන්නේ එවකට බන්ධනාගාර නියාමකවරියක්ව සිටි තුෂාරි එදිරිසිංහ මහත්මියයි. තුෂාරි දැන් විශ‍්‍රාම ගොස් සිටිනවා. කාන්තාව මැහුම් ගෙතුම් රෙදි පින්තාරු කිරීම හා මල් සකස්කිරීම හොඳට ඉගෙන ගත්තා. ඇයට හරිම ලස්සනට සිත්ගන්නාසුළු ආකාරයට මල් කළඹ සකස්කරන්න පුදුම හැකියාවක් තිබුණා මට හොඳට මතකයි.


හිරේට නියම වෙලා බන්ධනාගාරයට ආපු මුල් කාලයේ ඥාතියෙක් ඇය බලන්න හිරගෙදරට ආවා. මේ ඥාතියා ඇවිත් තියෙන්නේ බෙන්ස් රථයකින්. උඹ තමා මාව මේ තත්ත්වයට පත්කරලා මගේ ජීවිතය නැති කළේ කියා ඇය ඒ ඥාතියාට බැනලා පන්නාගෙන තිබෙනවා. එදායින් පස්සේ ඒ ඥාතියා තියා පවුලේ කිසිම කෙනෙක් ඇය බලන්න ආවේ නැහැ. ඒ ගැන ඇයට කිසිම දුකක් වේදනාවක් තිබුණේ නැහැ.


තමාගේ හිර දඬුවම අවුරුදු පනස් දෙකක් බව දැනගත්තු දවසේ ඉඳලා තමා ඇය හරිම වේදනාවකට පත්වුණේ. හරිම හිත් කලකිරීමකින් හිටියේ. ඇය දෙතුන්වරක්ම සියදිවිනසා ගැනීමට තැත්කළා යැයි පැවසූ විශ‍්‍රාමික ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය ඒ ගැනද තොරතුරු හෙළි කළාය.


එක දවසක් මෙයා කොණ්ඩයට ගහන කටුවගයක් ගිල දමා සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. තවත් වරක් බෙල්ලෙ වැල දමාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. සබන් වතුර හා අළු එකට මිශ‍්‍ර කර පානය කිරීමටත් තැත් කළා. ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාර නිලධාරිනියන් මැදිහත්වී ඇය ගලවාගෙන රෝහල්ගත කර වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදී ජීවිතය බේරාගත්තා. ඇයි මිස් මම වගේ කාලකන්නි ගැහැනියකගේ ජීවිතය බේරාගත්තේ කියා ඇය විමසුවා.


බන්ධනාගාර නිලධාරිනියක් හා නියාමකවරියක් කරුණු කාරණා පහදාදී ඇයගේ හිත හැදුවා. ඇයගේ පවුලට ලොකු දේශපාලන සම්බන්ධයක් තිබෙන බවත් බොහොම වැදගත් පවුල් පෙළපතකින් තමා පැවත එන බවත් ඇය නිතරම කිව්වා. ඇය ඒ ගැන බොහොම ආඩම්බරයෙන් කතා කළ බව මට මතකයි.
සිර දඬුවම් විඳිමින් සිටි ඇයට අත්වූ ඉරණම ගැන විශ‍්‍රාමික ජේලර්වරිය පැවසුවේ මෙවැනි කතාවකි.


මේ කාන්තාව අධික රුධිර පීඩනයට වෛද්‍ය ප‍්‍රතිකාර කාලයක ඉඳලා ලබාගත්තා. ඇයගේ රෝග තත්ත්වය උත්සන්නවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගනිමින් සිටි අතරවාරයේ ඇය මියගියා. සිරුර භාර ගන්නවත් ඇයගේ පවුලේ කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ නිසා අන්තිමේදී රජයේ වියදමින් ඇයගේ අවසන් කටයුතු කළ බව විශ‍්‍රාමික ජේලර්වරිය අවසාන වශයෙන් පැවසුවාය.


මිහිපිට සිටි දෙවඟනක් ලෙස සියලූ සැප සම්පත් මැද ජීවත්වූ ඇය අවසානයේ සිපිරිගෙය තුළ කටුක ජීවිතයක් ගත කර මහපොළොවට යටවූයේ කාත්කවුරුත් නොමැති අසරණියක් ලෙසය.


m