හෙනානිගල නම් වූ පර්වතය සෝබරව බලා සිටින්නේය. ඒ පර්වතය ඉදිරියෙන් ඉදිවූ හෙනානිගල වැවේ දිය දහර කඳුළු බිඳුසේ ඇළ මාර්ගයක් ඔස්සේ පහළට ගලා යන්නේය. මේ සංවේගය සිය පාරම්පරිකව වනබිම අහිමි වී දිවි ගැට ගසා ගැනීම සඳහා මහත් අරගලයක යෙදෙන වැදි පරපුරක් වෙනුවෙනි. අක්කර දහස් ගණනක් වූ වනබිමෙන් වැදි ජනයා ඉවත් කරනු ලැබුවේ ”මාදුරුඔය” අභය භූමිය සඳහාය. දඹාන ආශ‍්‍රිතව ජීවත්වූ මේ වැදිජනයා ”හෙනානිගල” පදිංචි වූහ. ”හෙනානිගල” වැදි පරපුරේ ආරම්භය ලෙස මෙය සැලකේ. තමාගේම පැල්පත තුළ මරා දැමුවත් ”දඹාන” හැර නොයන බව පවසා හිටපු වැදිනායක, ඌරුවරිගේ තිසාහාමි නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට නතු නොවූවද, දඹාන හැරදා ”හෙනානිගල”ට යාම සඳහා රැහේ පිරිසක් සංවිධානය කරන ලද්දේ, පසුගියදා මියගිය තලාවරිගේ සුදුබණ්ඩියා හෙවත් තැපැල් බණ්ඩියාය. පාරම්පරික උරුමය අනුව නායකයා වූයේ තලාවරිගේ කළුඅප්පු වන නමුදු ඔහුට වඩා කතාවෙන් ක‍්‍රියාවෙන් ඉදිරියෙන් සිටීම නිසාත්, කළුඅප්පු වයස්ගත වීම නිසාත් තැපැල් බණ්ඩියා ද නායකයකු ලෙස කටයුතු කළේය. ඔහු කළුඅප්පුගේ දියණිය සහේට ගත් බෑණාය. දඹාන හැරයාමට කළුඅප්පු අකමැති වුවද මේ ගමනට ඉතා ආයාසයෙන් ඔහු පොළඹවා ගත්තේද තැපැල් බණ්ඩියාය. තැපැල් බණ්ඩියා එසේ කළේ දේශපාලනඥයන් දුන් බොරු පොරොන්දු වලට රැවටීම නිසාය. පසුකලක තැපැල් බණ්ඩියා මේ රැවටීම පිළිබඳ දැඩි කලකිරීමට පත්ව සිටියේය. දඹාන හැරදා ”හෙනානිගල” වාසයට පැමිණි පවුල් සංඛ්‍යාව 121 කි. ඔවුන්ට ගොඩින් හා මඩින් ඉඩම් කැබැල්ල බැගින් ලැබිණ. ටික කලක් යනතෙක් වියළි ආහාර සලාකයක්ද ලැබිණ. දරුවන් ලොකු මහත් වනවිට ක‍්‍රමයෙන් ප‍්‍රශ්න මතුවෙන්නට පටන් ගත්තේය. ඔවුන් පෙළවහ කරගත්ත එම දරුවන්ද දරුවන් ලැබූහ. දෙවැනි, තෙවැනි පරම්පරාවලට නිවාස ප‍්‍රශ්නය හා ඉඩම් ප‍්‍රශ්නය දැඩිව දැනුණේය. කරකියාගත දෙයක් නොවූ තැන නව පරපුර යළි රජයේ ඉඩම් ආක‍්‍රමණය කර පැල්පත් ඉදිකරගත්හ. (ඒ මුවන්ගල කන්දේය). මුලදී පවුල් 121 ක්වූ හෙනානිගල වැදි පරපුර අද පවුල් 450 දක්වා පුළුල් වී තිබේ. ඔවුන්ගේ මැසිවිලි දුක්බරය. මේ ඉන් කීපයකි. ඌරුවරිගේ ඥානතිලක (20) - මම කවදාවත් ඉස්කෝලෙ ගිහින් නැහැ. ඒත් සිංහල භාෂාව කතා කරන්න, කියවන්න මට පුළුවන්. සිංහල අය සමග කතාකරන කොට මේ දැනුම ලැබුණා. විදේශීය සංචාරකයො ආවම පොඞ්ඩක් ඉංග‍්‍රීසිත් පුළුවන් වුණා. මෙහේ ගොඩක් ළමයි ඉස්කෝලෙ යන්නෙ නැහැ. ඉස්කෝලෙ යන අය සාමාන්‍ය පෙළින් එහාට යන්නෙ නැහැ. ආර්ථික ප‍්‍රශ්න බලපාල තියෙනවා. ඒ නිසා හුඟාක් ළමයි දෙමව්පියන් එක්ක කුලී වැඩට යනවා. වගා කරන්න ඉඩම් නැහැ. අපේ පවුල්වල වැඩිදෙනා පදිංචිවෙලා ඉන්නේ රජයේ ඉඩම්වල. ඒවාට බලපත‍්‍ර නැති නිසා ගෙයක් හදාගන්න ණයක්වත් ලබාගන්න බැහැ. සමෘද්ධි වගේ රාජ්‍ය දීමනා කිසිවක් අපට ලැබෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ මේ ප‍්‍රශ්න දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් ඉදිරිපත් කරනවා. ළඟදී දැනගන්න ලැබුණා පර්චස් 20 ගානෙ ඉඩම්වල අයිතිය දෙන්න කටයුතු කරගෙන යනවා කියල. ඒක කොහොමටවත් ප‍්‍රමාණවත් නැහැ. වගාවට ඉඩම් කෑල්ලක් අත්‍යාවශ්‍යයි. නැතිනම් ජීවත් වෙන්නෙ කොහොමද? ”වැදි ජනතාව කියන්නේ ගෞරවනීය පිරිසක්. කවදාවත් කාගේවත් වහල්ලූ නොවූ ස්වාධීන නිදහස් පිරිසක්. ඒත්, මේ අගහිඟකම් නිසා වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ කුලී වැඩකරලා. සමහරු පිට පළාත්වලට ගිහින් කුලී වැඩ කරනවා. සමහරු මේ ප‍්‍රදේශයේම කුලීවැඩට යනවා. ඒත් මාසෙකට දවස් 15ක් විතර තමයි වැඩ තියෙන්නේ. කුඹුරු වැඩ වලත් යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය වැඩිවෙන නිසා ඒ කුඹුරුවලදී ලැබුණ කුලී වැඩත් අඩුවෙලා. ”ගොයම් කපන කාලෙ ලැබුණු කුලීවැඩ නැත්තටම නැතිවෙලා. දැන් ගොයම් කපන්නේ සුනාමි යන්ත‍්‍රයෙන්. ”හෙනානිගල” වැවේ මසුන් මැරීමෙන් පවුල් 50 ක් පමණ ජීවත් වෙනවා. එම වැවේ ධාරිතාව අනුව ඊට වඩා වැඩි පිරිසකට ධීවර කටයුතු කරන්න බැහැ කියනවා. මාදුරුඔය ජලාශයේ සීමාවන් ඌව, නැගෙනහිර හා උතුරුමැද යන පළාත් දක්වා විහිදෙනවා. ඒ නමුත් මේ ප‍්‍රදේශය හැරදා එම ප‍්‍රදේශවලට ගිහින් ධීවර කර්මාන්තයේ යෙදෙන්න ඒ ප‍්‍රදේශවල අය ඉඩ දෙන්නේ නැහැ. එහෙම ගියපු අවස්ථාවල අපේ අයට නොයෙකුත් ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. තලාවරිගේ හීන් මැණිකා (50) - දරුවන් හා දරුවන්ගේ දරුවන්ට ඉඩම් ප‍්‍රශ්නය තදින්ම බලපානවා. මුලදි ලැබුණු ඉඩම් කෑල්ලෙ සමහරු පවුල් දෙක තුන පැල්පත් අටවාගෙන ජීවත් වෙනවා. තවත් සමහරු ආණ්ඩුවෙ ඉඩම්වල පදිංචිවෙලා. කැලෑව තහනම්වෙලා. කොහොමටත් අලූත් පරම්පරාව කැලෑවට යන්න කැමති නැහැ. ගෑනු ළමයි කීප දෙනෙක් පිටරට ගිහින්. තවත් සමහරු කොළඹ ඇඟලූම් කම්හල්වල වැඩකරනවා. ඒ ඇඟලූම් කම්හල්වල නියෝජිතයින් ඇවිත් මේ ළමයි එක්කරගෙන යනවා. ඒ ළමයින්ටත් පොඩි මුදලක් ලැබෙන්නේ. ගමේ ආවම ඒව ගෙදරට දෙනවා. යුද හමුදාවේ තරුණයෝ හය දෙනෙක් ඉන්නවා. ඌරුවරිගේ සිරිල් (17) - රජයේ රස්සාවක් කරන්න ආසයි. ඒත් අපට උගත්කමක් නැහැ. කම්කරු රස්සාවක් වගේ දේවල් කරන්න පුළුවන්. ස්ථීර ආදායමක් ලැබෙන ක‍්‍රමයක් නැතිව අපි අසරණ වෙලා. අම්මා තාත්තට බරක්වෙලා ඉන්නෙ. අපට වගාකරන්න පුළුවන්. මේ ප‍්‍රදේශවලින්ම ඉඩම් ලබාදුන්නොත් කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්. නැතිනම් ධීවර රස්සාවට අපි කැමතියි. තැපැල් බණ්ඩියා මියයාමෙන් පසු ”හෙනානිගල” නායකත්වයට පැමිණ ඇත්තේ ඔහුගේ පුත‍්‍රයාය. තලාවරිගේ ”ගුණබණ්ඩියා” නම් වන ඔහු අදහස් දැක්වූයේ මෙසේය. ”අපේ උරුමය වූ කැලෑබිම රජයට පවරාගෙන අද අපි වහල්ලූ කරල තියෙනවා. අපේ රැුහේ උදවියට ගෙයක් හදාගන්න තැනක් නැහැ. වගාවක් කරන්න තැනක් නැහැ. ජීවත් වෙන්න ගෙයක් අටවගත්ත ගමන් ඒක නීති විරෝධියි කියනවා. අවුරුදු පහලොව විස්ස ජීවත්වන ඉඩම්වලට පවා ඉඩම් බලපත‍්‍ර දෙන්නෙ නැහැ. දැන් හැදෙන පරපුර සතුන් දඩයමට කැමති නැහැ. දඩමස් කන අයත් හුඟාක් අඩුයි. අපි ඔක්කොම පන්සල් යන බෞද්ධයෝ. මාළු මරණ රස්සාවට හුඟාක් තරුණයො කැමතියි. ඒත් බොහෝ දෙනෙකුට අවසර නැහැ. ඉඩම් බලපත‍්‍ර නැති නිසා දුගී අයට දෙන කිසිම වරප‍්‍රසාදයක් අපේ අයට ලැබෙන්නෙත් නැහැ. නායකයා හැටියට මේ ප‍්‍රශ්න නිසා මාත් දැඩි සේ අසරණව සිටිනවා යැයිද ඔහු කීවේය. ”හෙනානිගල” වැව පෙනෙන ඉසව්වේ පාරම්පරික නායකයාගේ පැල්පත පිහිටා තිබේ. ඔහු වයසට යත්ම නායකකම බෑණාටත් බෑණා මියගිය පසු මුණුබුරා (වත්මන් නායක) ටත් බාරදී පැල්පතටම වී ජීවත් වේ. ඔහුගේ වයස අවුරුදු (108) ක් පමණ වන බව දැනගන්නට ලැබිණ. තලාවරිගේ කළුඅප්පුල ඇත්තෝ නම් වූ ඔහු බැහැ දකින්නට ගියෙමි. ඔහු ඇඳේ වාඩිවී සිටියේය. කන්ඇසීම, ඇස්පෙනීම අඩුවක් නැතිව තිබෙන නමුත් ගතේ වාරු ක‍්‍රමයෙන් අඩුවන බව ඔහු කීවේය. පරපුර වැටී සිටින ඛේදජනක ඉරණම ගැන ඔහු කතා කරද්දී කඳුළු බිඳු වැටෙනු දුටුවෙමි. මේ නායකයාගේ බිරිඳට වයස අවුරුදු 90කි. ඇය මේ නායකයාගේ සෙවනැල්ල සේ හැමදා සිටි බව අසන්නට ලැබුණි. ඇය තම සැමියාගේ රාත‍්‍රී ආහාරය සූදානම් කරමින් සිටියාය. ”කොස් ඇට” මාළුවක් සහ බතක් රාත‍්‍රී ආහාරයට සූදානම් කරන බව ඇය කීවාය. මේ විශේෂාංගයේ අවසානයට මේ අඹුසැමි සෙනෙහස සටහන් කරන්නට සිදුවුවත් මෙය කියවන නව පරපුරේ අඹුසැමියන් වඩාත් සිතේ තබාගත යුතු වන්නේ එය යැයි මට සිතේ.... මුළු ලොවම වෙනස් වුවද, අඹු සැමියන් මරණ මංචකය දක්වා නොවෙනස්ව සිටිය යුතුය යන ආදර්ශයයි. මේ ”වැදි යුවළ” අද සමාජයට පෙන්වා දෙන්නේය. එය කොතරම්ම සොඳුරුද?
බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 වැදි රැහේ ජීවිතය-9 වැදි රැහේ ජීවිතය-10 වැදි රැහේ ජීවිතය-11 වැදි රැහේ ජීවිතය-12   විශ‍්‍රාමික වැදිනායක (හෙනානිගල) තලාවරිගේ කළුඅප්පුල ඇත්තෝ  කළුඅප්පුල ඇත්තන්ගේ බිරිඳ හීන් මැණිකා කුලීවැඩට ගොස් අනවසර නිවසට යන තලාවරිගේ පුංචි වත්මන් නායක තලාවරිගේ ගුණබණ්ඩියා ඌරුවරිගේ ඥානතිලක