ජෙනරාල් ශ්‍රීමාත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ගුරු වෘත්තිය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එක්ව  පසුගිය  8 වැනිදා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ උද්ඝෝෂණයේ දී ගුරු වෘත්තිය සමිති නායකයන් හා දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යැවීම ආණ්ඩුව කොතරම් සාධාරණීකරණය කළ ද එම ක්‍රියාවලියට අදාළව නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් ඇත.

බලධාරීන්ගේ තර්කය වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයෙන් ඇප පිට නිදහස් කරනු ලැබීමෙන් පසු නිරෝධායනය සඳහා මුලතිව් හි හමුදා කඳවුරකට යොමු කරනු ලැබුවේ ඔවුන් උද්ඝෝෂණ පැවැති අවස්ථාවේ දී කොරෝනා රෝගය මර්දනය සඳහා පනවනු ලැබ තිබු මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම නිසා බවය.

මෙසේ එම පිරිස නිරෝධායනයට යොමු කිරීම නිසා ගුරු වෘත්තිය සමිති ගණනාවක් වෘත්තිය ක්‍රියා මාර්ගවලට යොමු වී තිබේ. ඒ අනුව ඔවුන් පසුගිය සඳුදා සිට ඔන්ලයින් පන්ති පැවැත්වීම වර්ජනය කොට ඇත. එසේම එම අත්අඩංගුවට ගැනීමට එරෙහිව හා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව මේ දිනවල දිනපතාම පාහේ උද්ඝෝෂණය පැවැත්වේ. එසේ වුවද 8 වැනිදා උද්ඝෝෂණ මර්දනය කිරීමට කටයුතු කළ බලධාරීන් ඉන් පසු කෙරෙන මෙම උද්ඝෝෂණ මර්දනයට පෙළඹුණු බවක් නොපෙනේ. 8 වැනි දා උද්ඝෝෂණය මර්දනය කිරීම සාධාරණ නොවන බව බලධාරීන්ගේ එම ප්‍රතිචාරයෙන්ම පෙනේ.

අට වැනිදා උද්ඝෝෂණය කළ පිරිස නිරෝධායනය කරන ලෙස තමන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව දැනුම් දී ඇතැයි පොලිසිය හා පොලිසිය භාර මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි. එය සැබෑවක් නම් රටේ කොරෝනා රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙයාකාරයකට කටයුතු කොට ඇති බවක් පෙනේ.

මේ රටේ කොරෝනා රෝගයේ තුන් වැනි රැල්ලේ බැරෑරුම් බව අඩු වී තත්ත්වය තරමක් හොඳ අතට හැරීම නිසා එතෙක් රට තුළ ක්‍රියාත්මක කරන ලද සංචරණ සීමා විශාල වශයෙන් ඉවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉකුත් 6 වැනිදා අලුත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේය. ඒ අනුව සම්භාහන ආයතන පවා විවෘත කිරීමට ඉඩ දෙනු ලැබ ඇත. පදික වෙළෙඳාම, විවාහ උත්සව හා ආගමික සිද්ධස්ථානවල පොදු කටයුතු ආදියට ද අනුමැතිය දෙනු ලැබ ඇත. එසේ තිබිය දී මෙතෙක් එකිනෙකාට ඈතින් සිට කරනු ලබන උද්ඝෝෂණ තහනම් කළ යුත්තේ කුමක් නිසාද? යන ප්‍රශ්නය ඕනෑම කෙනකු තුළ මතුවන්නකි.

අනෙක් ප්‍රශ්නය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ උද්ඝෝෂණ තහනම් කරන්නේ නම් ඔහු එය තම අලුත්ම මාර්ගෝපදේශ මාලාව මගින් නොකොට වෙනම ලියුමකින් පොලිසියට දැනුම් දෙන්නේ මන් ද යන්නයි.

වෘත්තිය අයිතීන් හෝ මානව අයිතීන් උදෙසා කළ ද උද්ඝෝෂණ ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගැනීමත් ඒ නිසාම දේශපාලන හැඩයක් ගැනීමත් වැළැක්විය නොහැකිය. ඒ අනුව උද්ඝෝෂණ සම්බන්ධයෙන් වූ මෙම තහනම දේශපාලන මර්දනයක් ලෙස කෙනකු දැකීම ද වැළැක්විය නොහැකිය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ එයයි.

මෙවැනිම තත්ත්වයක් පසුගිය වසරේ මැයි මාසයේ දී උතුරු පළාතේ දී ද ඇති විය. ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර ඇති වූ යුද්ධය අවසන් වූයේ මැයි මාසයකය. ඒ අනුව උතුරේ දෙමළ නායකයෝ සෑම වසරකම මැයි 17, 18 හා 19 යන දිනවල යුද්ධයේ අවසන් දිනවල මියගිය කොටි සාමාජිකයන් හා සාමාන්‍ය ජනතාව සමරති. ඔවුන් එය හඳුන්වන්නේ ‘මුල්ලිවායික්කාල් සැමරුම’ නමිනි.

පසුගිය වසරේ මැයි 18 වැනිදා උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා තම හිතවතුන් පිරිසක් සමග එවැනි සැමරුමක් සඳහා චෙම්මනි ප්‍රදේශයට ගිය විට පොලිසිය ඔවුන්ට ඊට ඉඩ දුන්නේ නැත. ආණ්ඩුව සැමරුම් තහනම් කොට නැති බවත් තමන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම සැමරුමට සහභාගි වන බවත් ඒ අනුව තම ගමන නවත්වන්නට පොලිසියට නීතියෙන් බලයක් නැති බවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු වූ විග්නේශ්වරන් මහතා තර්ක කළේය.

එවිට එක් පොලිස් නිලධාරියකු පැවසුවේ ඔබතුමා ඔය වැඩේ කළොත් අපි ඔබතුමාව දවස් 14කට නිරෝධායනය කරනවා යනුවෙනි. එසේ කරන්නට ද නීතිමය පදනමක් නැති වුව ද මෙම ප්‍රකාශයෙන් පසුව පසුබැස ගිය විග්නේශ්වරන් මහතා තම දේශපාලන පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානයේ කාර්යාලයේ සැමරුම් උළෙලක් පැවැත්වීය.

මෙය අපූරු තත්ත්වයකි. නිරෝධායනය යනු රෝග පාලන උපක්‍රමයකි. දඬුවම් ක්‍රමයක්  හෝ රැඳවුම් ක්‍රමයක් නොවේ. එහෙත් මෙහි දී පොලිසිය පවසා ඇත්තේ අනුස්මරණ කටයුතු කළහොත් නිරෝධායනය කරන බවය. එහිදී විග්නේශ්වරන් මහතා හෝ ඔහු සමග සිටි පිරිස හෝ නිසි පරිදි මුව ආවරණ පැළඳ එකිනෙකාගෙන් නිසි පරිදි ඈත්ව සිටීම පොලිස් නිලධාරියාට වැදගත් නොවීය. ඔහු විග්නේශ්වරන් මහතා නිරෝධායනය කරන්නට ගියේ මළවුන් සැමරීම මුල්කොට ගෙනය.

වත්මන් ආණ්ඩුව ද උතුරේ මුල්ලිවායික්කාල් සැමරුම තහනම් කළේ නැත. තහනම් කළේ වුවද යමකු එම තහනම උල්ලංඝනය කළේ නම් කළ යුත්තේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම විනා නිරෝධායනයට යැවීම නොවේ.

එදිනම මෙම කාරණය යාපනයේ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා පොලිසියට ඉතා පැහැදිලිව තේරුම් කර දුන්නේය. මැයි 17 වැනිදා පැවැත්වුණු සැමරුම් උත්සව කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර  කුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු 10 දෙනකු 18 වැනිදා අධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙන විනිශ්චයකාරවරයා ඔවුන් නිරෝධායනයට යොමු කළේය.

පසුදින  (18 වැනිදා) පොන්නම්බලම් මහතාගේ නීතිඥයෝ මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් මෙහි දී නීතිය උල්ලංඝනය වීමක් සිදුවී නැති බවත් නිරෝධායනය නැමැති රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ගය මෙතැනට කොහෙත්ම අදාළ නැති බවත් කියා සිටියහ. යමකු නිරෝධායනය කළ යුත්තේ ඔහු රෝගියකු වශයෙන් හෝ රෝගියකුගේ ආශ්‍රිතයකු වශයෙන් හෝ රෝග වාහකයකුවීමේ හැකියාවක් ඇත්නම් පමණකියි, යන්න ඔවුන්ගේ තර්කය විය.

මෙම තර්කය පිළිගත් විනිශ්චයකාරවරයා මෙම පුද්ගලයන් හෝ ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් හෝ රෝගී වී සිටින බවට පීසීආර් වාර්තා ඉදිරිපත් කරන  ලෙසට පොලිසියට නියෝග කළේය. පොලිසිය ඊට අසමත් වූයෙන් විනිශ්චයකාරවරයා එදිනම ඔවුන් නිදහස් කොට සෞඛ්‍යමය හේතු මත විනා වෙනත් හේතු මත පුද්ගලයන් නිරෝධායනය කළ නොහැකි බව පොලිසියට දැනුම් දුන්නේය.

මෙය අධිකරණ තීන්දුවක් වන හෙයින්ද පොලිසිය එය පිළිගත් හෙයින්ද එය එක්තරා දුරකට හෝ පූර්වාදර්ශයක් වේ. එහෙයින් එය ස්ටාලින් මහතාගේත් නාගමුව මහතාගේත් ඔවුන් සමග අත්අඩංගුවට ගනු ලැබූ පිරිසගේත් ප්‍රශ්නයට ද අදාළය.

අනෙක් අතට මුඛ ආවරණ පැළඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට අදාළ උපදෙස් කෙනකු නොපිළිපැද්ද ද ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නීතියෙන් නිශ්චය කරනු ලැබ ඇති දඬුවමක් දෙනවා විනා ඔහු රෝග වාහකයකු ලෙස සලකා නිරෝධායනය කරන්නට පොලීසියට තබා සෞඛ්‍ය බලධාරීන්ට හෝ නොහැකිය.

මේ රටේ කොරෝනා රෝගයේ දෙවැනි රැල්ල ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම නිසා 49,499 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ඔවුන්ගෙන්  41,000කට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග  ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉකුත් 12 වැනිදා ප්‍රකාශ කොට තිබිණි.

අධිකරණය ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කළහොත් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනතේ  ප්‍රතිපාදන අනුව ඔවුනට මාස හයක සිර දඬුවමකට හෝ රුපියල් 10,000ක දඩයකට හෝ ඒ දෙකටම හෝ යටත්වීමට සිදුවන ඇතැයිද ඔහු පවසා තිබිණි. එනම් නීතිය  අනුව ඔවුන් නිරෝධායනය කිරීමක් නොකෙරේ.

 මෙසේම පසුගිය වසරේ මැයි මාසය වනවිට තවත් 50.000කට ආසන්න පිරිසක් මේ හේතුව නිසාම අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.  ඒ කිසිවකු නිරෝධායනයට යොමු කෙරුණේ නැත. එසේ කෙරෙන්නේ නම් එතැන ඇත්තේ සෞඛ්‍යමය හේතු නොව දේශපාලන වැනි වෙනත් හේතුය.

ගෝලීය වසංගතයක් පවතින අවස්ථාවක උද්ඝෝෂණ කිරීම් පිළිගත නොහැකි යැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා තිබිණි. ඒ අනුව මේ කන්නයේ තම වගා පොහොර හිඟය නිසා පාළුවන බව පාරට බැස රටට ඇසෙන්නට කියන්නට ගොවීන් මේ රටෙන් කොරෝනා රෝගය මුළුමනින්ම තුරන් වී යනතුරු බලා සිටිය යුතුය.  කොතලාවල පනත මඟින් නිදහස් අධ්‍යාපනයට හානිවන බව විශ්වාස කරනවුන් ද එය රටට  කියන්නට වසංගතය අවසන් වනතුරු සිටිය යුතුය.

මෙම තර්කය යුද්ධය පැවැති කාලයේදී ද විවිධ  ආණ්ඩුවල නායකයෝ ඉදිරිපත් කළහ. එහෙත් ජනඝෝෂා, පාද යාත්‍රා වැනි උද්ඝෝෂණ පැවැත්වුණේ යුද්ධය පැවැති කාලයේදීය. යුද්ධය අවසාන වන තෙක් ඒ සඳහා බලා සිටියේ නම් 1994 දී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය බලයට පත් නොවන්නට ඉඩ තිබිණි.

අනවශ්‍ය ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා එ.ජා. සංවිධානයේ ආයතන අවුස්සා ඔවුන් වෙතින් පීඩනය එල්ල වනවිට අඩියක් පස්සට ගැනීමට ආණ්ඩුව පෙළඹෙන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා රටවල් 180ක අත්දැකීම් නොතකා ආණ්ඩුව පසුගිය වසරේ කොරෝනා රෝගයෙන් මිය යන්නන්ගේ මෘතදේහ  ආදාහනය කිරීම අනිවාර්ය කොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයත් වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානත් අවුස්සා ගත්තේය.

පසුව පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට අහිතකර මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වීමට නියමිත බව දැනගත් විට එතෙක් ඉදිරිපත් කළ සියලු තර්ක ඉවතලා ආණ්ඩුව පෙබරවාරි මාසයේ දී එම මෘතදේහ භූමදානය කරන්නට අනුමැතිය දුන්නේය.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා අනුව පසුගිය රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විදේශ බලපෑම් මත එය සකස් කොට ඇතැයි කියමින් වත්මන් ආණ්ඩුව පසුගිය  ජනවාරි මස එය ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෝෂ දර්ශනයට ලක් කරමින් හා ශ්‍රී ලංකාවට දෙන ජී.එස්.පී. සහන ඉවත් කරන්නට යෝජනා කරමින් ඉකුත් ජූනි 10වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළ විට ‘‘ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන්’’ අධ්‍යාපනය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය ජුනි 25 වැනිදා යුරෝපා සංගමයට දැනුම් දුන්නේය.

ස්ටාලින් හා නාගමුව ඇතුළු පිරිස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කෙරුණු විට ‘‘රැස්වීමේ නිදහසට උද්ඝෝෂණ නිදහස ද ඇතුළත් බවත් වසංගතයට එරෙහිව සීමා කිරීම් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම ඉක්මවා නොයෑම වැදගත්’’ බවත් කියමින් මෙරට සිටින එ.ජා. නේවාසික සම්බන්ධීකාරිණී  හැනා සිංගර් පසුගිය 11 වැනිදා සිය ට්විටර් ගිණුමේ සටහන් කළාය. ඒ නිසාදෝ දැන් දිනපතාම පාහේ උද්ඝෝෂණ කෙරුණ ද ඒවා මර්දනය නොකෙරේ.

(*** එම්.එස්.එම්. අයුබ්)