(වයඹ විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා)

ඕනෑම රජයක් ඊළඟ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායකි. ඉදිරි වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම් දැරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද සහ එම වියදම්වලට අවශ්‍ය මුදල් සොයාගන්නා විවිධ ප‍්‍රභව, මූලාශ‍්‍ර සඳහා අනුමැතිය ලබාගැනීම අයවැයේදී සිදුකෙරේ. අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටු මට්ටමේදී විවිධාකාරයෙන් සාකච්ඡා කර විවාදකර අනුමත කරගැනීම වැදගත් කොට සලකන්නේ ප‍්‍රධාන හේතුවක් නිසාය. ඒ ජනතාවගේ මුදල් ලබාගැනීම සහ එම මුදල් වියදම් කිරීම අයවැය හරහා ආණ්ඩුව කරන නිසාය. මේ අනුව අයවැයෙන් ආණ්ඩුව කරන්නේ ජනතාව වෙනුවෙන් තමන්ට ඇති වගවීම ඉටු කිරීමකි.

වසර 2018 වෙනුවෙන්ද අයවැය ඉදිරිපත්ව තිබේ. තමන්ගේ විවිධ වියදම්, ආදායම් මොනවාද යන්න එමගින් පෙන්නුම් කර තිබේ. ආණ්ඩුවේ වියදම් විශාල වශයෙන් වැඩිවී තිබීම මෙවර අයවැයේ විශේෂ ලක්ෂණයකි. පෙර වසරට සාපේක්ෂව එම වැඩිවීම සියයට හතලිස් හයක් පමණය. එම වියදමට අවශ්‍ය ආදායම් සොයාගන්නා මූලාශ‍්‍ර ගණනාවක්ද පෙන්නුම් කර තිබේ.

එහිදී ඉදිරි වසර සඳහා ආදායම් වියදම් පරතරය දළ වශයෙන් රුපියල් බිලියන 1895කට ආසන්නය. මේ මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ වගකීමක් රජයට තිබේ. ආදායමට වඩා වියදම වැඩිවූ විට අනිවාර්යයෙන්ම ණය ගැනීමට රජයට සිදුවනු ඇත. එනම් ඉදිරි වසර සඳහා රජයේ ණය ගැනීම රුපියල් බිලියන 1895කි.

ණය වශයෙන් ගන්නා මෙම මුදලෙන් රුපියල් බිලියන 1150ක්ම වියදම් කරන්නේ මීට පෙර ලබාගත් ණය සේවාකරණය සඳහාය. රට ණය වී නැත්නම් අද වනවිට කිසිදු ණය ගැනීමකින් තොරව වියදම් ආවරණය කරගැනීමට ශක්තිමත් ආදායම් පදනමක් දැනට තිබේ. එහෙත් දැන් පවත්නා තත්ත්වය අනුව ඉදිරි වසර වෙනුවෙන් රුපියල් බිලියන 745ක් පමණ අතිරේක ණය ගැනීමට සිදුව තිබේ. ඒ ලබාගෙන ඇති ණය පියවීමෙන් පසුවය.

මේ බරපතළ මූල්‍ය අර්බුදය තුළ ඉදිරිපත් කළ අයවැයෙන් රජයක් හැටියට දිය හැකි වරප‍්‍රසාද සැලකිය යුතු ප‍්‍රමාණයක් ලබාදී තිබේ. එහෙත් මැතිවරණයක් ආසන්නයේ මැතිවරණයක් ඉලක්ක කර ඉදිරිපත් වන අයවැයක් හේතුවෙන් ජනතාවට වැඩි වාසි ලැබෙන අයවැයක් ඉදිරිපත් කරාවි යැයි ජනතාව සිතුවා විය හැකිය. එයට ප‍්‍රධාන හේතුව මේ ආණ්ඩු බලයට පත්වූ පසු පවත්වන පළමු මැතිවරණය ඉදිරි පළාත් පාලන මැතිවරණය වීමය. ඒ වගේම පොදු විපක්ෂය හරහා ප‍්‍රභල දේශපාලන තර්ජනයක්, අභියෝගයක් ආණ්ඩුවට එල්ල වී ඇති බවද පිළිගත යුතුය.

අයවැය ඉදිරිපත් වන්නේ එම පසුබිමේය. එහෙත් මෙය මැතිවරණ අයවැයක් නොවන බව එහි ඇතුළත් කරුණු දෙස බලන විට පැහැදිලිව තහවුරු වන්නකි. හුදෙක් ආර්ථික වර්ධනය පදනම් කරගත් අයවැයකි. ඒ පිළිබඳ සතුටු විය යුතුය.

මේ අයවැය ඉදිරිපත් කිරීමට ප‍්‍රථමව ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගණනාවක් එළිදැක්වූවේය. විවිධ අවස්ථාවල ආණ්ඩුව ඉදිරිපත් කර ඇති එවන් ප‍්‍රකාශන ගණන හතරක් පහක් පමණය. ‘බලගතු ශ්‍රී ලංකාවක්’ එවන් එක් මධ්‍ය කාලීන වැඩපිළිවෙළකි. ‘පොහොසත් රටක්’ තේමාව යටතේ ‘විෂන් 2025’ ආර්ථික දර්ශනය මෑත කාලයේ ඉදිරිපත් වුණි. මේ ආර්ථික දර්ශන සහ අයවැය අතර සම්බන්ධය කොතරම්ද යන්න අවධානයට ගත යුත්තකි.

මේ ආණ්ඩුව මුල් අවස්ථාවේ ඉදිරිපත් කළ අයවැය විශේෂයෙන්ම 2016 සඳහා ඉදිරිපත් කළ අයවැය සහ එම වසරට ඉදිරිපත් කළ ආර්ථික දර්ශනය අතර විශාල වෙනසක් තිබුණි. එම වෙනස නිසා අයවැය ක‍්‍රියාත්මක වූයේ නැත. රටේ සංවර්ධනය සිදුවුණේද නැත. මේ දෙක ගමන් කළේ ප‍්‍රතිවිරුද්ධ මාර්ග දෙකකය. රජය ඉදිරිපත් කළ සංවර්ධන සැලැස්මට කොතරම් අනුකූලව මෙවර අයවැය ඉදිරිපත් වේදැයි අපි බලා සිටියෙමු. මෙවර අයවැය නිවැරැදි ලෙස සංවර්ධන ප‍්‍රතිපත්ති ඉලක්ක ගත කරගෙන තිබීම පිළිබඳ සතුටු විය යුතුය.

ලේඛනයක් වශයෙන් ගතහොත් එක් පැත්තකින් නිර්දේශපාලනීකරණයවීමත් රටේ සංවර්ධනය පදනම් කරගෙන අයවැය ඉදිරිපත් කිරීමත් යන කාරණා දෙක ඔස්සේ මෙවර අයවැය සාපේක්ෂව සාර්ථක අයවැයක් හැටියට පොදු නිගමනයකට එළැඹීමට පුළුවන.

2020 දී රජය ළඟා කරගන්නා අරමුණු සහ 2025 දී රට ගමන් කරන ස්ථානය ‘විෂන් 2025’ අඩංගු කරුණුය. මෙරට අද වනවිට පවතින ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 5000 දක්වා වැඩි කරගන්නා ආකාරය මෙහිදී කතා වනු ඇත. අද වනවිට ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියනයට වඩා අඩුවී තිබේ. එය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 600කට 700කට අඩුවී තිබේ. මෙම මුදල ඩොලර් බිලියන පහක් දක්වා නැතිනම් මිලියන 5000ක් දක්වා වැඩි කරගැනීම රජයේ මූලික බලාපොරොත්තුවය. ඒ වගේම ආනයන අපනයන පරතරය විශාල වශයෙන් වැඩිවී තිබේ.

රුපියල් සියයක අපනයනය කරන විට රුපියල් දෙසීයක ආනයනකරණ තත්ත්වයට පත්වුණි. මේ පරතරය පියවන්නේ කෙසේද? රටේ දුප්පත්කම අඩු කරන්නේ කෙසේද? රැකියා වර්ධනය කරන්නේ කෙසේද? යනාදී ප‍්‍රධාන ඉලක්ක ගණනාවක් ‘විෂන් 2025’ ඇතුළත්ය. මෙවර අයවැයෙන්ද එකී කාරණා පැහැදිලිව ඉලක්ක ගත කරගෙන තිබේ. අයවැය ඉදිරිපත් කිරීමේදී විශ්වවිද්‍යාල, තරුණයන්, ගොවීන්, ධීවර කාර්මිකයන්, තාක්ෂණික නිලධාරීන්, වෘත්තිකයන් යනාදී වශයෙන් සෑම අංශයක් කෙරෙහිම රජයේ අවධානය යොමුව තිබේ. එහිදී ජනතාවට විශාල බදු පීඩනයක් නොදී සාධාරණ අයවැයක් ඉදිරිපත් කර තිබේ. ඒ වගේම ජනතාවට විශාල වරප‍්‍රසාද මේ අයවැයෙන් ලැබී නැති බවද කිව යුතුය.

මේ අයවැය ඉදිරිපත් කිරීමේදී අපට යම් ගැටලූවක් මතුවූ තැනක් තිබුණි. ආණ්ඩවු වඩා තාර්කික ක‍්‍රමවේදයකට ගමන් කරාවි යන බලාපොරොත්තුව අපට තිබුණි. අයවැය ඉදිරිපත් කිරීමේදී මේ රටේ දැනට පවතින ආර්ථික ප‍්‍රශ්න හඳුනා ගැනීමට රජයට හැකියාවක් තිබුණා නම් එය අතිශය වැදගත් වනු ඇත. මේ රටේ කෘෂිකාර්මික අංශයේ කඩා වැටීමක් තිබේ. එම කඩා වැටීම නිසා ආර්ථික වර්ධන වේගය අද වනවිට සියයට හතරක් හෝ හතර හමාරක මට්ටමට අඩුවී තිබේ. පළමු කාර්තුවේ රටේ පැවැති නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තය සියයට 3.2 කින් පමණ පහළ ගිය බව ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවක් දක්වා තිබේ.

දෙවැනි කාර්තුවේ අධික ගංවතුර සහ වැස්ස හේතුවෙන් තවත් සියයට 2.9කින් මේ වර්ධනය පහළ ගිය බවද එම වාර්තාව පෙන්නා දෙන්නකි. වැස්සත් පෑව්වත් ලංකාවේ කෘෂිකර්මාන්තයට අහිතකරව බලපෑම් ඇතිවූ බව මෙයින් පැහැදිලිය. රටේ සංවර්ධනයට කෘෂි අංශය අනිවාර්යයෙන් නගාසිටුවිය යුතු බවද මෙයින් තහවුරුවන්නකි. මෙලෙස රටේ පවතින හරිත ගැටලූව නිවැරැදිව මෙවර හඳුනා ගනීවි යැයි බලාපොරොත්තුවක් තිබුණි. කෘෂි අංශයේ කඩා වැටීමට තවත් සාධක බලපා තිබේ. මෙලෙස රටේ සැබෑ ආර්ථික ප‍්‍රශ්නය නිරූපනය වන ආකාරයට විශ්ලේෂණයක් කර ඒ හරහා මේ ගැටලූ ඉවත් කරගන්නේ කෙසේදැයි බැලිය යුතුව තිබුණි.

රටේ ප‍්‍රශ්නවලට විෂන් 2025 හරහා රටේ ප‍්‍රශ්නයට උත්තර දෙන්නේ කෙසේදැයි බැලිය යුතුය. එය ජනතාවට සන්නිවේදනය කර ‘විෂන් 2025’ හි ඉලක්ක එකිනෙක ගෙන ඒවා සාක්ෂාත් කරගන්නා ආකාරය සවිස්තරාත්මකව එළිදැක්වීම අයවැයෙන් වුණා නම් මේ අයවැය ජනතාවට තේරුම් ගත හැකි අයවැයක් වීමට ඉඩ තිබුණි.

ක්ෂේත‍්‍රයේ සිටින අය අයවැය පිළිබඳව නොයෙක් ආකාරයෙන් කතා කළද සාමාන්‍ය ජනතාවට මෙය තවත් එක් ලියැවිල්ලක් පමණි. මේ ලියැවිල්ලේ ඇති වැදගත්කම තේරුම් ගැනීමට නම් රටේ ප‍්‍රශ්නවලට අයවැයෙන් පිළිතුරු සපයන ආකාරය නිවැරැදිව සන්නිවේදනය කළ යුතුව තිබුණි. එසේ කළා නම් මේ අය වැය මීට වඩා ජනතාවට දැනෙන අයවැයක් බවට පත්කර ගැනීමට තිබුණි. මේ රජය මීට පෙර ඉදිරිපත් කළ අයවැය තුනම ලංකා ඉතිහාසයේ වැඩිම හාස්‍යයට ලක්වූ අයවැය ලේඛනයයි.

ඇතැම් තැන්වලදී විපක්ෂය අයවැය ගැන කතා කළේ විහිළු සහගතවය. මහා ලොකු බලාපොරොත්තු ඇතිව ඉදිරිපත් කළද ඒවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් රජයට තිබුණි. මෙවර අයවැය දෙස බලන්නේද එම පදනමේ පිහිටාය. අයවැයෙන් කියන දේවල් කිරීමට මේ ආණ්ඩුවට හැකිද නැති නම් මේ අයවැයත් පසුගිය අයවැය මෙන් බොරු ලියැවිල්ලක් පමණක්ද යන සාධාරණ සැකය ජනතාවට තිබේ.

එනිසා මේ අයවැය ක‍්‍රියාත්මක කරවන මට්ටමට ගෙන එන්නේ කෙසේද කියා ආණ්ඩුව ජනතාවට සන්නිවේදනය කළ යුතුය. ඒ වගේම මේ අයවැය ක‍්‍රියාත්මක කිරීම හරහා 2020 හෝ 2025 සංවර්ධන ඉලක්කවලට මේ රට ගෙනයන්නේ කෙසේදැයි ජනතාවට පැහැදිලි කළ යුතුය.

අයවැය ඉදිරිපත් කිරීමේ ව්‍යුහයේ ප‍්‍රශ්න තිබුණද තැනින් තැන ගෙන බැලූවහොත් ඉතා වැදගත් කරුණු ගණනාවක් මෙහි අන්තර්ගතවී තිබේ. අධ්‍යාපනයට කරන ආයෝජනය විශේෂිතය. මේ ආණ්ඩුවේ මූලික සංවර්ධන පදනම වී ඇත්තේ අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ඉහළ මධ්‍යම ආදායම් ලාභී රටක් බවට පත්කිරීමය. එනිසා අධ්‍යාපනය සංවර්ධනයට විශ්වවිද්‍යාලවලට, තාක්ෂණික අධ්‍යාපනයට ආදියට කර තිබෙන වෙන්කිරීම් දෙස බලන විට අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ලබාගත හැකිය. ඒ මේ අයවැය කොන්දේසි හරිහැටි ක‍්‍රියාත්මක කළහොත්ය.

මේ රටේ විරැකියාව, ව්‍යවසායකත්වය ගැනද අයවැයේ කතා කර තිබේ. අපේ හැකියාව සංවර්ධනයට දායක කරගන්නා ආකාරය එහිදී අවධානයට ගෙන තිබේ. ව්‍යවසායකත්වය ශක්තිමත් කරගතහොත් රජය අපේක්ෂා කරන පරිදි අපනයන වර්ධනය කරගැනීම, නව රැකියා නිර්මාණය, රුපියලේ අගය ශක්තිමත් කිරීම, ඒක පුද්ගල ආදායම වැඩිකිරීම යනාදී සියල්ලටම බලපානු ඇත. එනිසා ව්‍යවසායකත්වය නගා සිටුවීමට රජය කරන යෝජනා සියල්ල වැදගත්ය.

ඍජු විදේශ ආයෝජන ආකර්ශනයට රජය කරන යෝජනාද එලෙසම වැදගත්ය. පෞද්ගලික ව්‍යවසාය රජයට පවරා ගැනීමට පසුගිය රජය ගෙනා පනත මේ අයවැයෙන් ඉවත් කර තිබේ. ඒ හරහා ආයෝජක විශ්වසනීයත්වය වර්ධනය කළ හැකිය. විදේශ සමාගම්වලට දේපල ගැනීමේ සීමාකාරී සාධක ඉවත් කිරීම හරහා විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමට පුළුවන. එනිසා එම යෝජනාද වැදගත්ය. මේ ආකාරයට සියලූම පැති සඳහා සාධාරණ යෝජනා ගණනාවක් ගෙන ඒමට ආණ්ඩුවට හැකි වී තිබේ.

සමස්තයක් ලෙස ගෙන බලන විට යම් ප‍්‍රශ්නයක්ද තිබේ. මෙතරම් සංවර්ධන යෝජනා ක‍්‍රම සහ නව යෝජනා ඉදිරිපත් කර 2020 වන තෙක් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ සියයට පහක සංවර්ධන වේගයකි. මේ කාලයේ සාර්ක් කලාපයේ තිබෙන දළ සංවර්ධන වේගය සියයට 7.2කට ආසන්නය. එහෙත් ලංකාවේ එම අගය සියයට 4.5කි. අද වනවිට අපි ආසියාවේ සාමාන්‍යයට වඩා සෑහෙන පිටුපසිනි.

සියයට පහක සංවර්ධන වේගයක් ඉලක්ක කරගෙන රට ඉදිරියට ගෙනයාමට උත්සාහ කළත් ආසියාවේ අනෙකුත් රාජ්‍ය දියුණු වන වේගය වැඩි නිසා අපට ආසියාවේ තරගකාරී රටක් හැටියට හිස එසවිය හැකිද යන සැකය අපට තිබේ. එනිසා සියයට පහේ ඉලක්කය ගැන එතරම් පැහැදීමක් නැත. අවම වශයෙන් සියයට 8ක සංවර්ධන වේගයකටවත් ගමන් කළ යුතුය. එසේ නැතිව තිබෙන ආර්ථික අර්බුදවලින් මිදිය නොහැක. එනිසා රජය නැවත වරක් මේ පිළිබඳ සිතිය යුතුය.

විදුලියෙන් ක‍්‍රියාත්මක වන වාහනවලට බදු සහන ලබාදීම ආදියෙහි හොඳ පැති තිබේ. මේ වනවිට කතා කරන්නේ පරිසරය සුරකින අතර කරන සංවර්ධනයකි. එහිදී විදුලි බලයෙන් ක‍්‍රියාත්මක කරන වාහන, සූර්ය බලය යොදාගැනීම හොඳය. එහෙත් එක් විදුලි ඒකකයක් නිපදවීමට රජය විශාල වියදමක් දරනු ඇත. ඒවා ජනතාවට දෙන්නේ වට්ටම් කළ මිලකටය. ඒ අනුව සෑම විදුලි ඒකකයකටම රජය වැය බරක් දරනු ඇත. අඛණ්ඩව විදුලි සැපයුමක් කළ නොහැකි පරිසරයක විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වාහන ගෙන්වීම හරහා විදුලි ඉල්ලූම වැඩි කළොත් එයින් ආර්ථිකයට වන බලපෑම ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණි.

මෙවැන්නක් හරහා විදුලි ඉල්ලූම ඉහළ ගියහොත් රජයට දැරීමට සිදුවන අතිරේක පාඩුවද වැඩිවනු ඇත. මේ පාඩුව පියවීමට සාමාන්‍ය ජනයාගෙන් බදු අයකර ගැනීමට රජයට සිදුවනු ඇත. එවිට පාපැදියක්වත් නැති අහිංසකයාත් විදුලි මෝටර් රථ වෙනුවෙන් බදු ගෙවිය යුතුය. එනිසා මෙවැනි කරුණු ගැන මීට වඩා ප‍්‍රායෝගික සහ යථාර්ථවාදී වූවා නම් වඩා හොඳය.

බියර් මිල අඩු කිරීම තවත් විවේචනාත්මක මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් රජය ගෙනෙන තර්කය නිවැරැුදි විය හැකිය. නීතිවිරෝධී මත්පැන් අඩු කළ යුත්තේ තවත් බීමක් දීමෙන් නොවේ. වෙනත් ක‍්‍රියාමාර්ග හරහාය. බැංකු වෙනුවෙන් රජය ගෙනෙන යෝජනා ගැනද විවේචන තිබේ. බැංකුවලින් ගන්නා ණයවලින් රුපියල් 1000කට ශත 20ක පොලියක් ගැනීමට යෝජනා වී තිබේ. මීට පෙරද අයවැය යෝජනා කීපයක් හරහා බැංකු ගනුදෙනුවලින් අතිරේක මුදලක් ගැනීමට උත්සාහ කළේය.

ඒ සෑමවිටම එය විශාල අර්බුදයක් වුණි. එනිසා මෙවර යෝජනාවද නිසි ලෙස සන්නිවේදනය නොවුවහොත් ජනතාව අතර බියක් ඇතිවිය හැකිය. රජය කියන ආකාරයට මෙම ශත 20 ගෙවන්නේ බැංකුවය. බැංකුවෙන් මෙවන් මුදලක් ගැනීමෙන්ද බැංකුවේ පිරිවැය වැඩිවනු ඇත. බැංකු පොලී අනුපාතයට එය බලපානු ඇත. අදටත් ණය පොලී ඉහළය. එවැනි පරිසරයක ව්‍යාපාර දිරිගැන්වීම අපහසුය. එවන් පරිසරයකට තවත් පීඩනයක් එල්ල කිරීම සාධාරණ නැත. මෙවන් නොගැලපීම් ගණනාවක්ද මේ අයවැයේ තිබේ.

පොදුවේ ගත්විට මේ රජය ඉදිරිපත් කළ අයවැය අතරින් සාපේක්ෂව සමබර, සමතුලිත සහ සාධනීය කරුණු රාශියක් ඇති සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් ලෙස මේ අයවැය පිළිගත හැකිය. ඇතැම් විට අයවැය විවාදයේදී සාධනීය නොවන කරුණු නිවැරැ දිවීමේ ඉඩකඩද වැඩිය. එයට හේතුව ආණ්ඩුව ඇතුළෙන්ම ඒවාට විරෝධය මතුවෙමින් තිබීමය. එනිසා රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මේ යෝජනාවල අහිතකර බවට පිළියම් යොදා මේ අයවැය වඩා හොඳ අයවැයක් බවට පරිවර්තනය කරාවි යැයි විශ්වාස කළ හැකිය.

 

සටහන - චමින්ද මුණසිංහ