මෙරට ඉතිහාසය තුළ මහ බල පරාක‍්‍රමයක් විහිදූ රාවණා රජු දසිස් නමින් හඳුන්වති. හිස් දහයක් තිබුණු නිසා  දසිස් යැයි පැවසුනද රාවණා මහ රජුගේ ශිල්පීය දක්‍ෂතා නිසා දසිස් නමින් හුවා දැක්වීමට අපේ පැරැුන්නෝ උත්සාහ දරා ඇත. මේ ප‍්‍රතාපවත් රාවණා රජු දක්‍ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ  උයන හග්ගල කන්ද  ආශ‍්‍රිතව තිබු බව කියැවේ. රාමා සිතා කතාන්දරයේ සීතා දේවිය ස්තී‍්‍රපුර ගල්ලෙනක සඟවා සිටියදී මතුවූ අක්‍ෂි ආබාදයට ප‍්‍රතිකාර කළේ හග්ගල ඖෂධ උද්‍යානයේදී බව ඓතිහාසික තොරතුරු අපට කියයි. එදා සීතාවන් රෝගයෙන් සුවය ලැබූ තැන අද ”සීතාඑළිය” ලෙස  සලකුණු ලැබේ. අවුරුදු දහස් ගණනකට පෙර අති  දක්‍ෂ වෛද්‍යවරයෙකුගේව පැවති ඖෂධ උයන 1861 වසරේදී හග්ගල උද්භිද උද්‍යානය බවට පත්වූ අතර මෙම වසරට  අවුරුදු 150ක් සපිරේ. ඉංගී‍්‍රසි පාලකයන් නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 9ක් පමණ ගිය තැනදී ඇරඹු දෙවන උද්භිත උද්‍යානය ලෙස හග්ගල සැළකේ. මුහුදු මට්ටමෙන් මීටර් 2173ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව එදා 1861දී අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කර ඇත. ඉංගී‍්‍රසීහු තම යටත් විජිත රාජධානියේ සීඝ‍්‍රයෙන්  පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධයක් කොට සළකන ”ක්විනික්” නිෂ්පාදනය කිරීම සඳහා ”සින්කෝනා” නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගල දී සිදුකර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1861 වසරේදී මෙම හග්ගල උද්‍යානය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්‍යානයක් බවට පත්විය. නුවරඑළිය දිස්ති‍්‍රක්කය හා බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශි‍්‍රතව  පිහිටි හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2200වේ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ඉසව්වකි. සම මිශ‍්‍ර දේශගුණයකින් යුතු හග්ගල කඳුවැටිය පාමුල පිහිටවූ හග්ගල උද්භිද උද්‍යානය, සොබාදහමේ අපූරු දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශ‍්‍රිතව පිහිටා අති අතර 1861 වසරේදී අක්කර 500ක් පුරා තිබුණද අද අක්කර 68කට පමණක් සීමා  වී ඇත. සින්කෝනා වගාවෙන් ඇරඹු හග්ගල උද්භිද උද්‍යානය ආශි‍්‍රතව මෙරට ප‍්‍රධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියැවේ.  උද්‍යානයේ පර්යේෂණ සඳහා සිටවූ  කෝපි ආදර්ශන නොවූවත් අඩි 15ක් උසට විහිදුණු තේ ගස් අපට අදද හග්ගල උද්භිද උද්‍යානයේදී නෙත ගැටේ. වසර 150ක් පිරුණු මේ අභිමානවත් සොබාදහමේ තිළිණයක් බදු හග්ගල උද්භිද උද්‍යානයේ  සිරි අසිරිය ගැන සොයන්නට   කියන්නට ඉකුත්දා අප ඒ වෙත පියවර නැගුවෙමි. උද්‍යානය සංරක්‍ෂක එම්.එම්.ඞී.ජේ. සේනාරත්න මහතා හදිසි  අවශ්‍යතාවකට නුවරඑළියට පිටව ගොස් සිටි අතර ඔහුගේ උපදෙස් මත උද්‍යාන සහකාර බී. මැද්දේගොඩ මහතා අපගේ සහායට එක්වූයේ ඉතා ලෙන්ගතුවය. අඩි 100-200ක්  උසැති  විවිධ වර්ගයේ ගහකොළ හෙවත් යටින් නෙක උයන් තුළින් මැද්දේගොඩ මහතා හග්ගල උද්භිද උද්‍යානයේ පිහිටි කුඩා කාර්යාලය අසල සිට හග්ගල කාඳුපාමුල දක්වා වූ උද්‍යානයේ ඉහළ ඉසව්වට අප කැඳවා ගෙන ගියේය. ”මේ තියෙන්නේ 1861 වසරේ සින්කෝනා වගාව ආරම්භ කළ  ස්ථානය. අද මේ තියෙන්නේ ආදර්ශයක් ලෙස සිටවූ ගසක්, ශ්‍රී ලංකාවට ආවේනික හා උද්‍යානයට ආවේනික ගස්වැල්වලට අමතරව විදේශයෙන් ගෙන්වා සිටවූ ශාකද  ඕනෑ තරම් මේ උද්‍යානයේදී දැක ගන්න පුළුවන්. මේ මුළු උද්‍යානයම ගහ කොළවලින් පිරුණු එකක් නිසා මහත්වූ සිසිල් බවක් උද්‍යානය පුරාම තියෙනවා”. ගසින් ගසට විස්තර කරමින් උද්‍යාන සහකාර මැද්දේගොඩ මහතා අපට ඉතා මනස්කාන්ත වූ අපුරු හැඩතලයකින් යුත් ගස් පද්ධතියක් තුළට කැඳවාගෙන ගියහ. ඒ 1883 දී සිටවූ ලොත්සුඹුල් ශාක එකතුවටය. ඉන් අනතුරුව අප නැරඹූ 1893 වසරේ දී චීනයෙන් ගෙන්වා මේ උද්‍යානයේ රෝපණය කළ කපුරු ශාක පද්ධතියද සැබැවින්ම  ගෙනදෙන්නේ මහත්වූ සුවදායක පරිසරයකි. කපුරු ගසකින් කොළ කීපයක් කඩා පොඩිකර අප නාසයට  ළංකල මැද්දේගොඩ මහතා ”දැනෙනවද කපුරු සුවඳ” සැබවින්ම දෙවියන් මුවේ දල්වන කපුරු පෙතිවල ඇති සුවඳ අප නාස්පුඩු ඔස්සේ ඇදි ගියේය. ”දැක්කද අන්න ඉන්නවා මේ නුවරඑළිය ප‍්‍රදේශයට ආවේණික කළු වඳුරෝ. අපේ උද්‍යානයේ රංචුවක් ඉන්නවා.” කළුපාට විශාල වඳුරන් කීපදෙනකු රිලවුන් රංචුවකට බයේ ගසින් ගසට පැන ගියේ ආත්ම ආරක්‍ෂාවට විය යුතුය. 1867  වසරේදී පර්යේෂණ සඳහා ඇසමයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ තේ ප‍්‍රභේද සිටවූ තේ වගාවේ පුරාණය හග්ගල උද්භිද උද්‍යානයේ ඉහළ  මායිමේදී අපට දැකගත හැකිය. ඒවා අඩි 15ක් පමණ උස් ගස් බවට පත්වී ඇති අයුරු අපුරුය. හග්ගල  උද්‍යානයේ අපූරු නිරමාණයකි. ස්වභාවික ගිරි උයන එය 1921 දී ස්ථාපිත කළ ඉතා ආකර්ශනීය සිරි ගන්වන්නකි. විවිධවූ  ගල්කුළු වලින් පිහිටි අයුරින්ම ස්ථාපිත කරන ලද ගිරි උයන උද්‍යානයට මහත්වූ ආභරණයක් වි ඇත.  උණුසුම් වු තැනක සිට වායු සමනය කළ කාමරයකට ඇතුළු වූවා ලෙස සුවයක් ගෙන දෙන මීවන උයන තුළ ඇති සිසිල හා නෙත් පිනවන පරිසරය සොබා දහමේ අපූරුව කියන්නක් වැනිය. මීවන උයන පුරාම දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සැදුනු ලයිකන් වර්ග හා විවිධ පාසි වර්ගද මීවන උයනට සැරසිල්ලක් බඳුය. හග්ගල උද්භිද උද්‍යානයේ විශාල භූමි පරාසයක් වසාගෙන ඇති වනෝද්‍යානය තුළ ඉතා ඉහළට විහිදී ගිය දේශීය මෙන්ම උප ඝර්ම කලාපීය රටවලින් හඳුන්වා දුන් රූස්ස වෘක්ෂ ලතා දැක ගත හැක. එම සෑම ශාකයකම උද්භිද  විද්‍යාත්මක නාමය කුලය හා සම්භවය දක්වන නාම පුවරුද දැක ගන්නට පුළුවන. අක්කර 68 ක් පුරා විහිද ගිය හග්ගල උද්‍යානයේ අසිරිමත් තැන් කරා ගිය අපට මැද්දේගොඩ මහතා උද්‍යානයේ ශාකාගාරයේ  දොරගුළු විවෘත කර දුන්නේය. ”මෙම ශාකාගාරයේ වසර 100ක වඩා පැරණි ශාකවල නිදර්ශන බලා ගන්න පුළුවන්. කඳුකර වනාන්තර හා කඳුකර ප‍්‍රදේශයේ ශාකවල වියළි නිදර්ශන  ශාක කුලවලට විශේෂ වලට අනුකූලව වෙන් වෙන් වශයෙන් ආරක්‍ෂිතව තැන්පත් කර තිබෙනවා. 1000ක  පමණ නිදර්ශන දැකගන්න පුළුවන්. ශාක පිළිබඳ පර්යේෂණ කරන  ඕනෑම කෙනෙකුට මේ ශාකාගාර තුළින් බොහෝ දැනුම එකතු කර ගන්න පුළුවන්” මැද්දේගොඩ මහතා ඉන්පසු අප කැඳවාගෙන ගියේ උද්‍යානයේ සලකුණු ලෙස සලකන නොක් ගිම්හාන නිවාසය වෙතය. නොක් ගිම්හාන නිවහන 1904-1909 දක්වා හග්ගල උද්භිද උද්‍යානය පාලනය කළ උද්‍යාන ආරක්‍ෂක ජේ.කේ. නොක්ස් මහතා සිහිවීම පිණිස 1912 දී ඔහුගේ මිතුරන් විසින් ඉදිකළ සිහිවටනයකි. හග්ගල උද්භිද උද්‍යානයේ අවුරුදු 150ක ඉතිහාසය තුළ 1882-1940 දක්වා නොක්ස් පවුලේ සාමාජිකයන් තිදෙනකු අවුරුදු 58ක් කාලයක් පාලනය කර තිබීම විශේෂ සිද්ධියක් කොට සැලකිය යුතුය. 1881 වසරේදී හග්ගල  සින්කෝනා වගාවේ පාලනයට පැමිණි විලියම් නොක් 1882 සිට 1904 දක්වා උද්‍යානයේ අධිකාරිවරයා ලෙස කටයුතු කර ඇත. සින්කෝනා වගාව ඇරඹූ හග්ගල උද්‍යානය උද්භිද උද්‍යානය උද්භිද උද්‍යානයක් ලෙස පරිවර්තනය කළ විලියම් නොක් 1904  ජූලි 18 වසරේ විශ‍්‍රාම ගියේ තම පුතු වු ජේ.කේ. නොක් උද්‍යාන අධිකාරි ලෙසට පත් කරය. ජේ.කේ. නොක්ට හග්ගල උද්‍යානය පාලනය  කරන්න හැකිවූයේ අවුරුදු 5 මාස 3ක් පමණි. තම පියා  සේම ජේ.කේ. නොක්ද  උද්‍යානයට ඉමහත් සේවයක් ඉටුකළ අයෙකි. කෙටි කාලයක් උද්‍යානය පාලනය කළ ජේ.කේ. නොක් මහතා නිවාඩුවක් ගත කිරීමට බි‍්‍රතාන්‍ය බලා නැවකින් ගමන් ගනිද්දී 1909 දෙසැම්බර් 13 දින ගමන්ගත් නැව අනතුරට ලක්වීම නිසා ඒ මහතා මියගිය අතර ඔහුගේ නෑදෑ හිත මිතුරන් නොක් මහතා සිහිවීම පිණිස මෙම ගිම්හාන  නිවෙස  1912දී ඉදිකළ බවට ගිම්හාන නිවහන තුළ පිහිටි සිහිවටන  ඵලය අපට කරුණු කියයි. මේ අපූරු මිනිසා භාවිත කළ හිස් වැසුම අදද හග්ගල උද්‍යානයේ ඇති අපූරු මතක සලකුණකි. හග්ගල උද්‍යානයේ අසිරිමත් තැන් ස්පර්ශ කරමින් අප මැද්දේගොඩ මහතා සමග රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, ඉහළ පුෂ්ප උයන, අධ්‍යයන හා ව්‍යාප්තිය, රෝස උයන පැළ විකුණුම්  හල බල්බ උයන හා මධ්‍යම පොකුණ ආදි දැන් කෙරෙහිද නෙත් යොමු කළෙමු. අක්කර 68ක් තුළ ඉතා අරපරිස්සමින් හෝරා කීපයක් ඇවිද අවුරුදු 150ක් සපිරි හග්ගල උද්‍යානයේ අසිරිය සොයා ගිය අප ඉස්පහසුවක් ගනිද්දී වර්තමාන හග්ගල උද්‍යාන සංරක්‍ෂක එම්.එම්.ඞී.ජේ. සේනාරත්න මහතා උද්‍යානයේ කුඩා කාර්යාලයේදී අපට හමුවිය. අපේ මේ උද්‍යානය තුළ ශාක 20,000ක් පමණ පවතින අතර ඒවා දේශීය විදේශීය හා ආවේණික වශයෙන් අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණද අප උද්‍යානයේ තිබෙනවා. අද උද්‍යානය තුළ තිබෙන ගස් අවුරුදු 100 ට වඩා පැරණි ඒවා ඒ නිසාමයි උද්‍යානයේ වටිනාකම ගොඩනැගෙන්නේ. 1860 සිට මේ උද්‍යානය භාරව පාලකයන් ලෙස 19 දෙනකු කටයුතු කර තිබෙනවා. ඒ අතර මේ උද්‍යානයේ 1984-1989 දක්වා උද්‍යානයේ සංරක්‍ෂක වශයෙන් කටයුතු කළ අචාර්ය ඞී.එස්.ඒ. විජේසුන්දර මහතා අද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් මේ උද්‍යානය සංවර්ධනය කිරීමට අපට නිතරම අතහිත දී කටයුතු  කිරීම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. අවුරුදු 30ක් රට තුළ තිබූ යුද්ධය අවසන්වීමත් සමඟ අති විශාල පිරිසක් උද්‍යානය බලන්න එනවා. 2011 වසරේ නොවැම්බර් මස අවසානය වනවිට උද්‍යානය නැරඹූ පිරිස 460.000ක් පමණ වෙනවා. විදේශිකයන් 10,000ක් පමණ මේ වසරේදී අපේ උද්‍යානයට පැමිණ තිබෙනවා. අද වනවිට අපේ උද්‍යානයට දැඩි ලෙස බලපාන ප‍්‍රශ්නයක් තමයි රිලවුන්ගෙන්  මතුවී ඇති ගැටලූව. ඒ විතරක් නොවේ. ගෝන්නු, ඌරෝ ශාකවලට හානි කරනවා. ඒ නිසා උද්‍යානයට ආරක්‍ෂිත  වැටක අවශ්‍යතාවයක්  තිබෙනවා. උද්‍යානයේ තිබෙන සංචාරක විවේකාගාර මදි ඇතැම් විට බස්රථ 10-12 පිරිස් උද්‍යානයට ඇතුල් වෙනවා. සමහර විට වර්ෂාව ඇදහැලූනම මේ එන පිරිසට වැස්සෙන් බේරී ඉන්න තැනක් නැහැ. දවල් ආහාර ගන්න සුදුසු ස්ථානයක් නැහැ. ඒ පිළිබඳ විවිධ පැමිණිලි අපට ලැබෙනවා. අදට වඩා හොඳ වැසිකිළි හා කැසිකිළි පද්ධතියක අවශ්‍යතාවයක් මතුවී තිබෙනවා. විශේෂයෙන් විදේශ සංචාරකයෝ නිතර ඒ පිළිබඳව අපට පැමිණිලි ඉදිරිපත් කරනවා. උද්‍යානයේ  පිවිසුමේ සිට කිලෝ මීටරයක් පමණ ඇතුළට  මාර්ගය කාපට් ඇතිරීම් කළ යුතුයි. අප උද්‍යානයේ මුළු කාර්ය මණ්ඩලය 78 දෙනකු පමණයි සිටින්නේ. අක්කර 68ක උද්‍යානය රැකබලා ගැනීමට උපරිම අයුරින් අපේ කණ්ඩායම සේවය කරනවා. ඒත් උද්‍යානය නැරඹීමට එන ඇතැම් අය ඉතා නොසැලිකිල්ලකින් ගහ කොලට හානි කරන අවස්ථා තිබෙනවා. එසේ නොකරන ලෙස අපි ඉතා වගකීමෙන් ඉල්ලීමක්  කරනවා. අවුරුදු 150ක් පැරණි මේ උද්‍යානය අපේ රටේ මහඟු දායාදයක් ලෙස සලකන්න  ඕනි. ඒ නිසා උද්‍යානය තුළ හැසිරීම හා උද්‍යානයට  ගෙන එන පොලිතින් හා පාවිච්චි කළ ඉවත දමන දේ යළිත් ඒ එන සංචාරකයින් රැගෙන යනවානම් වටිනවා” මෙම හග්ගල උද්භිද උද්‍යානයට වසර 150ක් පිරෙන මේ මොහොතේදී සමරු සටහනක් ලෙස එදා සිට මේ දක්වා උද්‍යානය පාලනය කළ අය පිළිබඳ කරුණු ගෙනහැර දැක්විය යුතුමය. 1860-1866 දක්වා ඩබ්. මැක්නිකෝල්, 1868-1881 දක්වා ඊ.ජේ. ක්වෙයිට්ස්, 1882-1904 දක්වා ඩබ්. නොක්, 1094-1909 දක්වා ජේ.කේ. නොක්, 1911-1940 දක්වා ජේ.ජේ. නොක්, 1940-1947 දක්වා ඊ. පෙරේරා, 1947x1956 දක්වා ඞී.එන්.ඩබ්. රණසිංහ හා ජෝර්ඞ් රණසිංහ, 1956-1960 දක්වා ඞී.ටී. ඒකනායක, 1960-1971 දක්වා එස්.බී. තෙන්නකෝන්, 1971-1976 දක්වා රාජා අත්තනායක, 1976-1979 දක්වා ඞී.බී. සුමිත‍්‍රආරච්චි, 1979-1980 දක්වා ඒ.එම්. අබේරත්න, 1980-1982 දක්වා ඩි.එස්.ඒ. විජේසුන්දර 1982-1984 දක්වා ඞී.එම්.යු.බී. ධනසේකර,  1984-1989 දක්වා ඞී.එස්.ඒ. විජේසුන්දර, 1989-1991 ඩි.එම්.යු.බී. ධනසේකර, 1991 අපේ‍්‍රල් 1991-1991 නොවැම්බර් දක්වා කේ.එන්. යාපා, 1991-1995 දක්වා ඞී.එච්.පී. පෙරමුණගම, 1995-2003 දක්වා  කේ.එන්. යාපා යන මහතුන් වේ.
ඡායාරූප සහ සටහන - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
උද්‍යාන සහකාර බී. මැද්දෙගොඩ උද්‍යාන සංරක්ෂක සේනාරත්න