IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සම්ප්‍රදායත් නවීනත්වයත් එකට යා කළ අපේ පොඩි හාමුදුරුවෝ

පොඩි හාමුදුරුවෝ නමින් රටක් කතා කරන්නේ ගංගාරාමේ නායක ස්වාමීන් වහන්සේ ගැනය. නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ විට එම පුවත ඇති කළේ මහත් ධර්ම සංවේගයකි. පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බහු විධ හැකියාවෙන් පිරිපුන් නායක ස්වාමීන් වහන්සේ නමකි. ප්‍රායෝගිකය, කඩිසරය, වීර්යසම්පන්නය. එමෙන්ම නායක හාමුදුරුවන් වහන්සේ පෞරුෂයෙන් පිරීගිය චරිතයකි. අගනුවරට බෞද්ධ පුනරුදය ස්ථාපිත කළේ ගංගාරාමේ ලොකු හාමුදුරුවන් වහන්සේ වූ පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හාමුදුරුවන්ය.

එමෙන්ම දහස් ගණනාවක තරුණ පරපුරක් වෘත්තීය කාර්මික දැනුමෙන් යුතු පිරිසක් බවට පත්කළ පුරෝගාමී චරිතය ද නායක හාමුදුරුවන් විය. නායක හාමුදුරුවන්ගේ චරිතයේ ඇති සුවිශේෂීත්වය වන්නේ නවීන ලෝකයට බිය නොවීමය. ලෝකය පුරා ගෝලීය සමාජ හා සංවර්ධන ආර්ථික ක්‍රමයක් ඇතිවිය. එවිට නායක හාමුදුරුවන් වහන්සේ එම නවලෝක තත්වයට නිර්භයව මුහුණ දෙන මාවත ඇති කළහ. බුදු දහමේ ශාන්තිදායක ධර්ම මාවත නව ලොවට රැගෙන යන නවීකාරක පිවිසුමක් ඇති කිරීමට නායක හාමුදුරුවන්ට හැකි විය. මෙම තත්වය නායක ස්වාමීන් වහන්සේගේ දියුණු දැකීම පෙන්වයි. එමෙන්ම දෙස් විදෙස් හැම ජාලයකටම සමීප විය හැකි චරිතයක් නායක හාමුදුරුවන් තුළ විය. ප්‍රාචීන භාෂාවෙන් නායක හාමුදුරුවෝ පෝෂිතව සිටියහ. ජාත්‍යන්තර භාෂා දැනුමෙන් පිරිපුන්ව සිටියහ.  එම නිසා පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ සම්ප්‍රදාය හා නවීනත්වය එකට යා කළ භික්ෂු චරිතයක් ලෙස ද මම දකින්නෙමි.

විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වැදගත් කාරණාවක් වේ. එනම් නායක ස්වාමීන් වහන්සේ මගේ චරිතය වෙත කළ මාර්ගෝපදේශකත්වයයි. අප පරම්පරාවේ ධර්ම කේන්ද්‍රස්ථානය ලෙස හුණුපිටිය ගංගාරාමය සුපුරුදුය. එහෙත් ඒ සුපුරුදු බව හුරුපුරුදු වූයේ නායක හිමිපාණන් නිසාය. උන්වහන්සේගේ ප්‍රියශීලී සෙනෙහෙබර දයාබරත්වය කුඩාවියේ පටන් සමීපය. ඒ වගේම උත්තුංග බව හා පෞරුෂය නිසා නායක හිමියන් කෙරෙහි අවනතව අර්ථ ධර්ම අවවාද ග්‍රහණය කර ගැනීමට හැකිවිය. අනික නායක හාමුදුරුවන් තුළ වූ ප්‍රායෝගික යුහුසුළු කාර්යශූරත්වය අප පුදුම කළේය. සන්සුන්ව හා තිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කිරීමට ජීවිතයට ලබාදුන් උපදෙස් කිසිදා අමතක නොවන ළයාන්විත ආමන්ත්‍රණයකි.

හුණුපිටිය ගංගාරාමය ලංකාවේ පතළ මහා විහාරයක් බවට පත්කළ නායක හාමුදුරුවෝ තම විහාරස්ථ පිරිවෙන භික්ෂු අධ්‍යාපනයෙහි විශේෂ විද්‍යාස්ථානයක් බවට පත් කළහ. එමෙන්ම ධර්ම පුස්තක මුද්‍රණය කරමින් කළ මෙහෙවර සදාතනිකය. නවම් මහ පෙරහැර අගනුවරට ධර්ම ආනන්දය වගේම කලාත්මක හැඩහුරුවක් එක් කළ සංස්කෘතික මංගල්‍යයක් විය. ඒ වගේම නායක හිමියන් ඇති කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය හා සති පිරිත ද තවත් සුවිශේෂි කාර්යයන්ය.

ගංගාරාමේ නායක හිමියන් තුළ අප දුටුවේ මැදහත් බවය. උන්වහන්සේ තුළ අගතිය අන්තගාමීත්වය හා වාදභේද නොවීය. නායක හාමුදුරුවන් වහන්සේ තුල ජාති, ආගම්, කුල, පන්ති, නිකාය භේද නැත. පටු බව ඉක්මවා ගිය පුළුල් මානසිකත්වයකින් යුතුව බුදුන් වහන්සේ වදාල මහා කාරුණික බව පිළිඹිබු විය. සමාජ දේශපාලන ගැටලු හමුවේ තීක්ෂණ දැකීමෙන් ගත යුතු මග මාවත කියාදීමට තරම් පරිණත විය.

සියලු‍ නිකායික මහා සංඝයා වහන්සේලාගේ ගෞරවය දිනා ගත් නායක හාමුදුරුවෝ පොදු ජනතාවගේ චරිතයකි. මහජන දුක අභියස අතිශය සංවේදී විය. ගහකොළ පරිසරයට ආදරය කරමින් පරිසර සංරක්ෂකයෙක් ද විය. බිය නොවීය. සෘජුව කතා කළේය. අභීත සංඝ නායකයකු සේ විරාජමාන විය. කවර ප්‍රශ්නයක් ඉදිරියේ දී වුවද නොසැලු‍ණු අකම්පිත චරිතයක්මය. ශ්‍රී ලංකාවේ අනාගතය ගැනද එහි දියුණුව ගැනද අවබෝධයක් සහිත විය. සංඝ සමාජය දෙස දයාවෙන් පිරුණු කරුණාබර පීතෘවරයෙක්ම විය. දුගී ආරාම වෙනුවෙන් උන්වහන්සේ කළ කැපවීම අති විශාලය. සියලු‍ ජාතීන්ගේ ගෞරවය ලැබු නායක හිමියන් සියලු‍ ජනයාට ආදරය සෙනෙහස සම සිතින් පිදු මානව දයාර්ද්‍ර සංඝ නේතෘන්වහනසේ නමකි. ආධුනිකයන්ට මග කියා දෙන්නට සිටි ගුරුදේවයන් කෙනෙකි.

එමෙන්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ස්වකීය සඟ පරපුරෙහි අඛණ්ඩ උරුම සිරිත මතු පරපුරටද දායාද කළ ගුරුදේවාචාරයාණන් වහන්සේ නමක සේ සුවිශේෂි වේ. ඒ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා නිසාය. වියත් බවත් සීල ඤාණ ධර්මාවබෝධයෙන් යුතුව ථේරවාද සම්ප්‍රදායේ සඟ සෝබන ගුණයෙන් යුතු නායක හිමිපාණන් වහන්සේ ශිෂ්‍යවරයේ වහන්සේලා දෙස් විදෙස් සුපතළ ධර්මධරයන් වහන්සේලා සේ පැසසුමට පාත්‍රව වැඩවසන්නෝය වෙසසින්ම පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන්ගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා අතර විදෙස් සම්භවතාව පාත්‍ර වූ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් සේ එක්සත් රාජධානියේ බර්මින්හැම් බෞද්ධ විහාරය, ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරය, ස්ටොක් ඔන්ට්‍රනේඩ් බෞද්ධ විහාරය යන විහාරයන්හි අධිපති වූ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා බ්‍රිතාන්‍යයෙහි උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම ශ්‍රී වාචිස්සර ආචාර්ය පූජ්‍ය විහාරන්දෙණියේ කස්සප හිමිපාණන් වහන්සේ ලෝක ශාසනික සේවයේ නිමග්න වූ ස්වාමීන්වහන්සේ නමකි. එමෙන්ම ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ සුපේශල ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා බෞද්ධ විහාරාධිපති පුජ්‍ය සියඹලාගොඩ ආනන්ද හිමිපාණන් වහන්සේ මහත් ශාසනික මෙහෙවරක නිරතව වැඩ වාසය කරති. අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරාධිපති සුධර්මාරාම පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේනාධිපති ශාස්ත්‍රචාර්ය පූජ්‍ය දේවාලේගම සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ද භික්ෂු අධ්‍යාපනයේ මහා පරිචයක් සහිත නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැෆඩ් අයිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ද, රාජකීය පණ්ඩිත ආචාර්ය කිරින්ද අස්සජි ස්වාමීන් වහන්සේ හා රාජකීය පණ්ඩිත ආචාර්ය පල්ලේගම රතනසාර හිමිපාණන් වහන්සේ ද පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ථේරවාද බුද්ධ ශාසනයට දායාද කළ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයන්ය. මෙවන් ශිෂ්‍ය භික්ෂුන් පිරිසක් බිහි කිරීම නායක හාමුදුරුවන්ගේ ප්‍රතිරාවය මතු යුගයේ පැතිර යාමට නිමිත්තක්ම වනු ඇත.

ශ්‍රී ලාංකික භික්ෂු පරපුරෙහි වැඩ වාසය කළ ප්‍රායෝගිකත්වයේ හා නවීනත්වයේ භික්ෂු චරිතය අද ජාතියෙන් සමුගෙන වඩින්නේය. ඒ ස්වකීය සඟ සිරිත ලංකා ඉතිහාසයට ආදර්ශවත් කළාවූ මහා තෙර නමක සේය. අති පූජ්‍ය ගල්බොඩ ඥාණිස්සර සංඝ පීතෘන් වහන්සේ ජාතියේ හරසර මැද දැයෙන් සමු ගනිති. සසුනට රටට ඉමහත් මෙහෙයක් කළ මහ සඟ මිණිපහනක් වූ ගංගාරාමයේ අපේ නායක හාමුදුරුවන්ට උතුම් නිර්වාණය ලැබේවා.

 

(***)

රුවන් විජයවර්ධන



අදහස් (0)

සම්ප්‍රදායත් නවීනත්වයත් එකට යා කළ අපේ පොඩි හාමුදුරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 199 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1063 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site