IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


සිනිඳු සුදු මුතු තලාවේ - සෝමදාස ඇල්විටිගල නිර්මාණ රස මතක

ප්‍රවීණ සංගීතඥ සෝමදාස ඇල්විටිගල නම ඇසූ පමණින් අපගේ මතකයට එන සොඳුරු ගීතාවලිය සහ චිත්‍රපට සංගීතය මෙරට ගීත කලාවේත් සංගීත ක්ෂේත්‍රයේත් ස්වර්ණමය යුගයක මධුරතම ආවර්ජනයකි. මේ අනුව ගීතය, චිත්‍රපටය, වේදිකා නාට්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවල සංගීතමය දායකත්වය ලබාදෙමින් ඔහු කළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වේ.

අදත් හෙටත් අප ඒ ගැන කතා කරන්නේ ඒ මිහිර විඳින්නේ ඒ අමරණීයත්වය නිසාය. සෝමදාස ඇල්විටිගලයන්ගේ රස මතක ඇබින්දක් පාඨක ඔබ හමුවට රැගෙන එන්නට අප කල්පනා කළේ එබැවිනි. මේ යුගය දන්නා හඳුනන රසිකයන්ට එය රසවත් අත්දැකීමක් වනවා පමණක් නොව ඇල්විටිගල නම් මහා සංගීතවේදියාගේ නිර්මාණ පසුබිම නූතන රසික පරපුරට අධ්‍යයනය කිරීමට අවස්ථාවක් බවත් අපි කල්පනා කරමු.

ඇල්විටිගල සූරීන් උපත ලබන්නේ 1925 ඔක්තෝබර් මස 01 වැනි දින වේයන්ගොඩදීය. ඔහුගේ පියා වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. පියාණන්ගේ ගම් ප්‍රදේශය වන පන්නිපිටියට ඇල්විටිගල පවුල පදිංචියට පැමිණෙන අතර සෝමදාස පවුලේ එකම පිරිමි දරුවායි. නුගේගොඩ සාන්ත ජෝන්, කොළඹ ආනන්ද, පන්නිපිටිය ධර්මපාල යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබන ඇල්විටිගලයෝ ධර්මපාල විද්‍යාලයේ එවකට සංගීත ගුරුවරයා වූ දොන් වින්සන් පීරිස් මහතා යටතේ සංගීතය ඉගැනුමට අත් පොත් තබති.

සෝමදාස ඇල්විටිගල මතකය අවධි කිරීමේදී ඔහු සම්බන්ධ එදා මෙදා තුර කාලයේ තොරතුරු අප විමසා සිටි‍යේ එතුමන්ගේ ආදරණීය පුත් සුමේධ ඇල්විටිගල මහතාගෙනි. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරීක්ෂක (විදුලි) ලෙස ඔහු කටයුතු කරයි. සුමේධ මහතා තම පියාණන්ගේ ළමා විය පිළිබඳ මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි.

‘‘තාත්තා සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට ආවත් තාත්තගේ පරම්පරාවේ කවුරුවත් සංගීතයට සම්බන්ධ අය නොවෙයි. සීයාට ඕනෑකම තිබුණෙ තාත්තා නීතිඥයකු කරන්නයි. සමහර වෙලාවට තාත්තා සංගීතය පැත්තට යොමුවීම ගැන සීයාගේ යම් අප්‍රසාදයකුත් තියෙන්න ඇති. ඒත් තාත්තාගේ මව ඔහුගේ හැකියාවන් ආශාවන් තේරුම් අරගෙන උදවු කළා.”‍

මීට කලකට පෙර සෝමදාස ඇල්විටිගල මහතා සමග කළ ගුවන් විදුලි වැඩසටහනක හඬ පටයක් අපට රසවිඳින්නට අවස්ථාව සැලසුණි. ඇල්විටිගලයන්ගේ සංගීත ළැදියාවත් මවගේ උදවු උපකාර ආදියත් එහිදී සෝමදාස ඇල්විටිගල මහතා සිහි ගන්වයි. එය සුමේධ ඇල්විටිගලයන් අප සමග කී මතකය තහවුරු කරන්නකි.

‘‘පාසල් අධ්‍යාපනය ලබන කාලයේ සිටම සංගීතයට මගේ ලොකු ආශාවක් ඇල්මක් තිබුණා. සමහර අවස්ථාවල්දී අපේ ගමේ නාඩගම්, කෝලම් තියෙනකොට රාත්‍රියේ ගෙදරට හොරා පවා මම ගිහින් ඒවා නරඹලා උදේට ගෙදරින් බැනුම් අහලත් තියනවා. සංගීතයට මගේ තිබුණු ඇල්ම නිසාම පිටකොටුවේ ජපන් සාප්පුවකින් ජපන් මැඩ්ලින් එකක් අපේ අම්මා මට අරගෙන දුන්නා. ඒකෙ මිල ඒ කාලෙ රුපියල් 2.50 යි. ඒක තමයි මම මුලින්ම වාදනය කළේ. කාගෙන්වත් ඉගනගෙන නෙවෙයි. මට කනට ඇහෙන ගීත මම ඒකෙන් වාදනය කරන්න පටන් ගත්තා.”‍

තවදුරටත් සංගීතය ඉගැනීම පිණිස සූර්යසංකර් මොල්ලිගොඩ ගුරුවරයා වෙත ගිය ඇල්විටිගලයෝ ඔහු යටතේ ජලතරංග වාදනයත්, එස්රාජ් වාදනයත් මැනැවින් ප්‍රගුණ කළහ. එහිදී ආනන්ද සමරකෝන් මහතාගේ නිර්මාණ සඳහා දායකත්වය ලබා දෙන්නටත් එවකට සිටි මහා සංගීතඥයන් වන එච්.ඩබ්ලිව්. රූපසිංහ, ජේ. සාදිරිස් මාස්ටර් වැන්නන් හමුවී සංගීතය පිළිබඳ උපදෙස් ලබා ගන්නටත් ඇල්විටිගලයන්ට හැකි විය. ඇල්විටිගලයන් දහ අට වැනි වියේ පසුවෙද්දී ඔහුගේ පියා හදිසියේම අභාවයට පත්වීමත් ඉන් තෙමසකට පසු මවද මිය පරලොව යෑමත් ඔහුට දරාගත නොහැකි කරුණක් විය. නෑදෑ හිතවතුන්ගේ විරෝධයද නොතකා පාසල් අධ්‍යාපනයට සමුදෙන ඔහු තවදුරටත් සංගීතය උගැනීම සඳහා ඉන්දියාවට ගියේය.

සෝමදාස ඇල්විටිගල මහතා ඒ සම්බන්ධයෙන් කියා තිබුණේ මෙවැන්නකි.

“මම ඉන්දියාවට ගියේ සහතිකයක්වත් මොකක්වත් ගන්න බලාගෙන නොවෙයි. සංගීතය ඉගෙන ගන්නා අදහසින්. ඊට තිබුණු ආසාව නිසයි. මට එහිදී හොඳ ගුරුවරු හමු වුණා.

තමන් ප්‍රිය කළ විෂය ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රගුණ කිරීමට ඇල්විටිගල මහතා තුළ පැවැති දිරිය හා අනන්ත කැප කිරීම මෙයින් ප්‍රකට නොවන්නේද? එය නූතන සමාජයටද මහඟු පාඩමක් කියා දෙන්නකි.

සිනමා සංගීතය පිළිබඳ වඩා ප්‍රියතාවක් ඇතිවීමටත් එය ගැඹුරින් අධ්‍යයනය කිරීමටත් ඔහු ඉන්දියාවේ ගත කළ කාලය ඉතාම තීරණාත්මක විය. ඉන්දියාවේ බොම්බාය වෙත ගිය ඔහු සරෝද් වාදනය මැනැවින් උගත්තේ එවකට ඉන්දියානු මහා සංගීත ආචාර්යවරයකු වූ උස්තාද් අලි අක්බාර් ඛාන් ගෙනි. ඔහු දෙවතාවක්ම ඉන්දියාවට ගොස් සරෝද් සහ එස්රාජ් වාදනය මැනැවින් උගත්තේය.

ලංකාවට පැමිණි පසු සෝමදාස ඇල්විටිගල මහතාගේ සංගීතමය දායකත්වය සුමේධ ඇල්විටිගලයන් සිහිපත් කළේ මෙසේය.

 “තාත්තා ලංකාවට ආවට පස්සෙ චිත්‍රසේන කලායතනය ඇසුරේ බොහෝ නිර්මාණවලට දායක වුණා. පස්සෙ එවකට රජයේ ලලිතකලායතනයේ (වත්මන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය) අධිපති වූ ලයනල් එදිරිසිංහ මහතාගේ ආරාධනය මත එහි ආචාර්ය මණ්ඩලයට ඇතුළත් වුණා. එහිදී ඇතිවූ දැන හඳුනාගැනීමක් මත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පබාවතී නාට්‍යයට සංගීතය සැපයීමේ අවස්ථාව තාත්තාට ලැබෙනවා. ”‍

 “ලලිත කලායතනයෙන් ඉවත් වෙලා ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට එකතුවීම තාත්තාගේ ජීවිතයේ තවත් වැදගත් කාල පරිච්ඡේදයක්. 1969 වසරේදී ඔහු එම වාදක මණ්ඩලයේ නායක තනතුරට පත්වුණා. මේ කාලෙදි තමයි තාත්තගෙ හැකියාවන් ගැන තවත් පැහැදිලා සරච්චන්ද්‍ර මහත්තයා කදාවළලු‍ නාට්‍යයේ සංගීතය සඳහා තාත්තව දායක කරගත්තෙ. ”‍

සෝමදාස ඇල්විටිගල කළ විවිධ සංගීත නිර්මාණවලදී ලැබූ රසවත් අත්දැකීම් ඔහු සිය ගුවන් විදුලි සාකච්ඡාවේදී සිහිපත් කරයි.

එදා සිට මේ දක්වා රසික පරම්පරා කිහිපයක් තුළ යළි යළි අලු‍ත් වෙමින් මෙරට ගීත කලාවෙහි අමරණීය සලකුණක් තබන්නට සමත්වූ සිනිදු සුදු මුතු තලාවේ ගීතයේ සංගීතය නිර්මාණය කළෝ සෝමදාස ඇල්විටිගලයෝය. එය මහගම සේකරයන්ගේ රචනයකි. ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ මේ ගීතය ගායනා කරති. ගීතය ඇතුළත් වූයේ සත්සමුදුර චිත්‍රපටයටයි. සෝමදාස ඇල්විටිගලයන් මේ සොඳුරු මතකය අප පෙර කී ගුවන්විදුලි වැඩසටහනේ දී සිහිපත් කළේ මෙසේයි.

 “රොබින් තම්පො මහත්තයාගේ සුදෝ සුදු චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළාට පස්සෙ මට අවස්ථාව ලැබුණා ආචාර්ය සිරි ගුනසිංහගේ සත්සමුදුර චිත්‍රපටයට සංගීතය සපයන්නට. සත්සමුදුර චිත්‍රපටයේ එන සිනිදු සුදු මුතු තලාවේ ගීතය මහගම සේකර ලියලා මට දුන්නට පස්සෙ සති තුනක් විතර මගෙ අතේ තිබුණා. ඒක හොඳ අවස්ථාවක්. මටත් පුදුමයි ඒ තනුව නිර්මාණය වුණේ කොහොමද කියන එක. සත්සමුදුර චිත්‍රපටය නිෂ්පාදනය කළේ දොස්තර ලීනස් දිසානායක. ඒ මහත්තයා මගෙන් හැම තිස්සෙම අහනවා දැන් කොහොමද ගීතය අපි පටිගත කරන්නේ කවදාද ලෑස්තිද කියලා. ලෑස්තියි මම දිනයක් කියන්නම් කිය කියා හිටියත් කිසිම තනුවක් මගෙ හිතට ඇවිත් තිබුණේ නෑ. දවසක් මම ගුවන්විදුලියේ සේවය නිම කරලා හවස හතර හමාරට විතර පයින්ම ගියා ගාලු‍ මුවදොරට. ගිහින් ඉවරවෙලා මුහුදු වෙරළෙ ගලක් උඩ වාඩිවෙලා මුහුද දිහා බලාගෙන මේ තනුව ගැන කල්පනා කළා. මට මේ ගීතයේ වචනත් මතක තිබුණා. එතකොට පොඩි නාදාවලියක් මගේ හිතට ආවා. ඒ නාදාවලිය තමයි ගෙදර ඇවිල්ලා ප්‍රගුණ කරලා මේ තත්වෙට ගෙනාවෙ. හොඳම සංගීත අධ්‍යක්ෂණයට ඒ වසරේ සම්මානත් මට ලැබුණා. සත්සමුදුරෙන් පස්සෙ චිත්‍රපට ගණනාවක සංගීතය අධ්‍යක්ෂණය කරන්නට මට අවස්ථාව ලැබුණා.”‍

සුමේධ ඇල්විටිගල මහතාත් තම පියාගේ මේ අත්දැකීම සිහිපත් කළේ බොහෝ රුචියෙන්. ඔහු අප සමග ප්‍රකාශ කළේ මේ ගීතයේ වචන ස්වල්පය ඇතුළෙ මුළු මහත් සාගරයම තිබෙන බවයි. ඔහු අප සමග ප්‍රකාශ කළේ නිර්මාණයක් ආයාසයෙන් බිහි වන්නක් නොව නිරායාසයෙන් බිහිවන්නක් බවයි. මේ උදාහරණය ඊට ඉතාම හොඳ නිදර්ශනයක්. ඒ බව තවදුරටත් ඔප්පු කරන්නට සුමේධ ඇල්විටිගල තම පියා සහ මහගම සේකරයන් අතර තවත් ඉතාම රසවත් අත්දැකීමක් අප සමග පැවසුවේය.

‘‘වෙස්ගත්තෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ වසන්ත ඔබේසේකර මහත්තයා. මේ චිත්‍රපටයට ගීතයක් ලියාගන්න කියල දවසක් තාත්තා මහගම සේකර මහත්තයාගෙ ගෙදර ගිහින් තියෙනවා. ආපු කාරණේ සේකර මහත්තයාට කිව්වට පස්සෙ එතුමා තාත්තට කියල තියෙන්නෙ අද යන්න එපා සෝමේ. රෑ උඹ මෙහෙ නැවතියං. අපි හෙට උදේම ගීතය ලියමු කියලයි. ඒ කීමට අනුව දෙන්නම වත්ත පහළ ළිඳෙන් නාල රෑට කෑමත් කාලා ඉස්තෝප්පුවේ පැදුරුදාගෙන නිදාගෙන තියෙනවා. පාන්දර තුනට විතර මහගම සේකර මහත්තයා තාත්තව කූද්දලා කිව්වලු‍ සෝමෙ දැන් අපි ගීතය ලියමු කියල. ඒ වෙලාවෙ තමයි ගීතය ලියවිලා තියෙන්නෙ. ඒ තමයි අඩවන් දෑසින් පවසනු රහසින් කියන ගීතය

ගීතය හෝ සංගීතය ආදී ඕනෑම කලා නිර්මාණයක අව්‍යාජ බව රඳා පවතින්නේ මේ නිරුත්සාහික ගලායාම මතය. එය එසේ වන්නේ නිර්මාණකරුවා මේ තුළ ආත්ම ගතව ජීවත්වීමෙනි. තම පියාගේ එම නිර්මාණාත්මක ප්‍රතිභාව සුමේධ ඇල්විටිගලයන් සිහිපත් කරන්නේ මෙසේය.

 “අපි කිහිප දෙනෙක් සහභාගී වූ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී සෝමපාල රත්නායක මහතා දවසක් හරි අපූරු කතාවක් කිව්වා. තාත්තා ගුවන්විදුලි සංස්ථාවේ නිර්මාණ කාර්යයක යෙදිලා ඉන්න අවස්ථාවක සෝමපාල රත්නායක මහතා තාත්තාගෙන් අහලා තියනවා මාස්ටර් කොහොමද ඔබතුමා අතින් මෙච්චර ලස්සන ගී තනු නිර්මාණය වෙන්නෙ කියල. එතකොට තාත්තා දීලා තියෙන්නෙ හරි අපූරු උත්තරයක්. ඒ තමයි  “සෝමපාල තනුවයි මරුවයි එන්නෙ කොයිවෙලාවෙද කියලා කාටවත් කියන්න බෑ”‍ කියන එක. අපි ආයාසයෙන් යමක් නිර්මාණය කරනවාට වඩා නිරායාසයෙන් යම් අදහසක් පහළවීමෙන් මතුවන නිර්මාණය වඩාත් අගනා බව මෙයින් කියැවෙනවා. ඒ අදහස කුමන මොහොතේ ඒවිදැයි කියන්න බෑ.

අනිත් එක තාත්තා තමන් කළ සෑම නිර්මාණයකදීම ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ හැටි අපට පෙනුණා. ඔහු ඉන්දියාවෙන් ලැබූ ආභාසයත් එක්ක ගීතයකට සංගීතය නිර්මාණය කිරීමේදී විශාල සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් යොදාගත්තා. අඩුම තරමින් වාදකයන් පනහක්වත් ඒ සඳහා සහභාගී වුණා. වයලීන් විස්සක් විතර යොදාගත්තා. සමහර පටිගත කිරීම් හවස හතට විතර පටන් ගත්තාම පාන්දර පහ විතර වෙනකල් තිබුණා.”‍

සෝමදාස ඇල්විටිගල තම පවුල් පරිසරයෙන් පරම්පරාවෙන් යම් සංගීත ආභාසයක් නොලද බව මුලින් කියැවිණ. ඔහු පුත් සුමේධ ඇල්විටිගල මහතා ද ඔහුගේ පියාගේ අඩිපාරේ යමින් සංගීත ක්ෂේත්‍රය වෙත යොමුවන්නට උනන්දු නොවූයේ ඇයි දැයි අපට අසන්නට සිතුණි. සුමේධ මහතා ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

‘‘ඒ කාලෙ සංගීත ක්ෂේත්‍රයේ තිබුණු බාධක කම්කටොළු නිසාදෝ අපි සංගීතය පැත්තට යොමු වෙනවාට තාත්තගෙ ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ. ඒ පැත්තට අපට තල්ලු‍වක් දුන්නෙත් නෑ. පුළුවන් තරම් අපට උගන්නන්න තමයි බැලු‍වෙ. ඒත් මගෙ නංගි කෙනෙක් සංගීත විශාරද උපාධිය දක්වා ඉගනගන ඉන්නවා. අම්මා නම් චිත්‍ර, සංගීතය කියන විෂයයන් දෙකටම සම්බන්ධයක් තිබුණා. ඒත් මට පස්සෙ කාලෙනම් හිතුණා සංගීතය ඉගෙනගෙන තාත්තගෙ නිර්මාණ තවත් ඉදිරියට ගෙනියන්න තිබ්බ නම් හොඳයි කියලා. හැබැයි මගේ දුව සංගීත අංශයට යොමු වී සිටිනවා. ඇය පාසල් කාලයේ දහය ශ්‍රේණිය වනවිට ම ගායනය, වයලීන් වාදනය සම්බන්ධව භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ විභාග සමත්ව සංගීත විශාරද උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව ලබාගෙන තිබෙනවා.”‍

සෝමදාස ඇල්විටිගල වැන්නෝ ගීත හා සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන අමරණීය යුගයක් නිර්මාණය කළහ. ඉහළ රසවින්දනයක් සමාජය තුළ තහවුරු කරමින් මහා සංස්කෘතික සමාජ මෙහෙවරක් ඉටුකළහ. එහෙත් ඔවුන් නිර්මාණය කළ සරු බිමට අද සිදුව ඇත්තේ කුමක්ද? සුමේධ ඇල්විටිගල මහතා ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙවැන්නකි.

“තාත්තා විතරක් නෙවෙයි ඒ කාලෙ හිටපු ශ්‍රේෂ්ඨ ශිල්පීන් හැම කෙනෙක්ම වාගෙ පුදුම කැප කිරීමක් කරලා තමයි නිර්මාණ කළේ. අද වනතුරුත් ඒ නිර්මාණවල මහා ගුණයක්, රසයක් පිරිලා තියෙන්න හේතුව ඒකයි. එදා විශාල වාද්‍ය වෘන්දයක් එක්ක නිර්මාණ කළත් අද සංගීත භාණ්ඩයක් දෙකක් යොදාගෙන තමයි ඒ මුල් ගීත වුණත් ගායනා කරන්නෙ. මුල් නිර්මාණයට අසාධාරණයක් නොවන විදිහට ඒවා යොදාගන්නවා නම් තමයි හොඳ. මුල් නිර්මාණ යම් ආකාරයකට අද වන විට විකෘති කිරීමක් ද දකින්න පුළුවන්. ඒක මුල් නිර්මාණයට වගේම මුල් නිර්මාණකරුවාටත් කරන අගෞරවයක්.”‍

සුමේධ ඇල්විටිගල මහතා ගේ මේ අදහස වෙත අප කාගේත් අවධනය වඩ වඩාත් යොමුවිය යුතු බව අවධාරණය කරමු.

 

(***)
සටහන
ගාමිණි කන්දේපොළ

 
 



අදහස් (0)

සිනිඳු සුදු මුතු තලාවේ - සෝමදාස ඇල්විටිගල නිර්මාණ රස මතක

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර
2024 ජුලි මස 13 206 1

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයකැයි ප්‍රකාශයට පත් කරන ලෙසද එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ද ඉල්ලා මොරටුවේ පදිංචිකරුවකු වූ චමින්ද ලේනව නමැති


පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය
2024 ජුලි මස 13 255 0

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා ර


රජිව්ගේ පරිප්පු මෙහෙයුම
2024 ජුලි මස 12 520 1

එක්දහස් නවසිය අසූහතේ වසර එළඹුණේ ශ්‍රී ලංකාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් උදා කරමිනි. උතුරේ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රහාර උච්ච කර තිබූ අතර උතුරේ ත්‍රස්තව


ජනපති අපේක්ෂක අභියෝග
2024 ජුලි මස 12 179 0

මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු
2024 ජුලි මස 12 166 0

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති.


ආර්ථිකය වැටීමට හේතු සාධක
2024 ජුලි මස 11 139 1

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකාවේ බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ජනතාවට මේ අවස්ථාවේ ඇති බරපතළ ප්‍රශ්නය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1787 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site